රූපවාහිනි වැඩ සටහන්වලට නිකම්ම
ගිහිල්ලා නාන්න එපා!
- ජනපති ඇමැතිවරුන්ට කියයි
කලබලකාරී බවින් ඈත්ව රට තරමක් සංසුන්ව පැවැති සතියක් ගෙවී
ගියේය. දේශපාලනමය වශයෙන් පෙරළි, කැරලි කලකෝලාහල, ගාලගෝට්‌ටි කිසිවක් ද නොවීය. එක්‌සත් ජාතික පක්‍ෂය
හා ජනතා විමුක්‌ති පෙරමුණ අභ්‍යන්තරයේ තිබූ ආරවුල්මය ස්‌වරූපයද සංසිඳී ඇති සෙයක්
පෙන්නුම් කළ පසුගිය සතිය දේශපාලනමය ලෙස කම්මැලි සතියක් කීවාට වරදකුත් නැති තරම්
ය.......
මේ නිහඬ නිසසල තත්ත්වය තුළ පවා ඉතා සීරුවෙන් යටින් ක්‍රියාත්මක වෙමින් වෙමින්
පැවැති භයානක තත්ත්වයත් ද තිබිණි...... තර්ටීන් ප්ලස් නමින් දේශපාලන කරළිය මත
ප්‍රසිද්ධයට පත්ව ඇති සංකල්පය පසුබිමෙහි වූ දේශපාලන නැඹුරුව රටට ඒ තරම් සුවදායක
නොවන බව මේ රටේ බොහෝ දෙනකු කල්පනා කරන්නට පටන් ගත්තේද ඉන්දියානු රජය ඒ ගැන දක්‌වන
උනන්දුව දකින විටය. උතුරේ දෙමළ දේශපාලනඥයන් හා ඉන්දියානු දේශපාලන බලවේග මෙන්ම එරට
රජය ඇති කර ගෙන ඇති ඇයි හොඳයිය මේ රටේ හා රජයේ දේශපාලන සෞඛ්‍යයට එතරම් සුබදායක නොවන
බව පෙනෙන්නට තිබිණි.......

ඒ අතරතුර ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කරන දැඩි ප්‍රතිපත්තිය ලංකාවේ දේශපලාන
අනාගතයටද හිරසදයක් වන බවට ඉඟිබිඟි පහළ වන්නට ද පටන් ගැනිණි. ඒ පිළිබඳ බෙහෝ දෙනෙක්
මේ රටේ විවෘත දේශපාලන කතිකාවේ එළිපිට කතා නොකළත්, පසුගිය සතියේ ජාතික නිදහස්
පෙරමුණේ දේශපාලන මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රධාන මාතෘකාව වූයේද එම ප්‍රශ්නයයි.
මෙම කතාබහට එම පෙරමුණේ නායක විමල් වීරවංශ මුල පිරුවේ තව නොබෝ දිනකින් ලංකාවට
පැමිණෙන්නට නියමිත ඇමරිකානු නියෝජිතයන් කිහිපදෙනෙක් ගැන මතක් කරමිනි.
මෙයාලා කිහිපදෙනෙක් ඇමරිකාවේ පණිවිඩයක් අරගෙන ලංකාවට එන්නේ අරමුණු කිහිපයක්‌ම
මුදුන් පමුණුවා ගන්න හිතාගෙන. මෙයාලා ගේන භයානකම යෝජනාව තමයි අපිත් ඉරානයත් අතර
තිබෙන ද්වි පාර්ශ්වික ගනුදෙනු හා මිත්‍රත්වය අත්හිටුවන්න කියන යෝජනාව.
ඇමරිකාව අපට කරදර හිරිහැර කරපු කාලෙත්, ලෝක තෙල් අර්බුදය ඇතිවුණු වෙලාවෙත් ඉරානය
අපට සහන මිලට තෙල් දුන්නා නේද...... තවත් අයෙක් කීය.
ඔව්..... ඉරානය තවමත් අපට සහන මිලට බොරතෙල් ලබා දෙනවා. හුඟක් ඈත කාලෙක ඉඳලා
ඉරානයත් අපිත් අතර හොඳ මිත්‍රත්වයක් තිබුණා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ආවාට
පස්‌සේ ඒ මිත්‍රත්වය අලුත් වුණා. අපට සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කර ගන්න
බැරිව ඉන්න වෙලාවේ ඉරානය තමයි ඊට ආධාර කළේත්. අන්න එහෙම මිත්‍රත්වයක් තියෙන රටකට
එරෙහිව තමයි ඇමරිකානු නියෝජිතයෝ සම්බන්ධතාව නතර කරන්න කිය කියා අපට බලපෑම් කරන්නේ.
ඒ බලපෑම්වලට යටවෙලා සහන මිලට තෙල් ටික ලැබෙන එක අපට නැති වුණොත් අපට මොකද වෙන්නේ.
අපට වෙන්නේ වැඩි මිලක් ගෙවලා තෙල් ටික ලබාගන්න. මේවා අපිව වට්‌ටන්න ඇමරිකාව
හිතාමතාම අටවන උගුල්..... විමල් කීවේය.
ඔව්....... අපි නිතරම මේවා ගැන අවදියෙන් ඉන්න ඕන. හෙට අනිද්දා ආයෙත් ජිනීවාවල මානව
හිමිකම් කවුන්සිලය රැස්‌වෙනවා. ඒ රැස් වුණාමත් ලංකාවට එරෙහිව ආයෙත් අත් ඔසවන්න
බලවත් රටවල් ටික ලැහැස්‌තිවෙලයි ඉන්නේ. ප්‍රියන්ජිත් විතාරණ මතක් කළේය.
ඔව්......... මේ කාලය අපි හරි පරිස්‌සමින් රට දිහා ඇහැ ගහගෙන ඉන්න ඕන කාලයක් විමල්
කීවේය.
මේ අතරතුර ඇදී ගිය කතාව වෙනත් අතකට හරවමින් පියසිරි විජේනායක තර්ටීන් ප්ලස්
ප්‍රශ්නය කරලියට ගෙනාවේ ඉන්දියාව ඒ ගැන දක්‌වන උනන්දුව ගැන අපි රටක් හැටියට
සෝදිසියෙන් ඉන්නට ඕනෑ යෑයි කියමිනි.
එතැනදී තර්ටීන් ප්ලස් ගැන රජය දැන් දරන ස්‌ථාවරය ගැනද ප්‍රශ්න මතුවිණි. රජය මේ
යෝජනාවලට යම් යටහත් පහත් බවක් අනුගමනය කරමින් සිටිනවාද යන සැකය තුළ සමහරු කතා
කළහ.......
ඔය විවිධ කතා තියෙනවා. ඒ වුණාට අපේ ජනාධිපතිතුමා පැහැදිලිව කියලා ඉවරයිනේ රටේ
ස්‌වෛරීභාවයට හෝ ඒකීය භාවයට හානිවන කිසිදු යෝජනාවකට, පියවරකට රජය එකඟ වෙන්නේ නැහැ
කියලා. ඉතින් මොකටද කලබල වෙන්නේ. ඒ අයුරින් විමල් ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණේ
නියෝජිතයෝ එම ප්‍රශ්නය ගැන තවදුරටත් සාකච්ඡා කරමින් සිටියහ.
තර්ටීන් ප්ලස් ප්‍රශ්නය ගැන ඉන්දියාවේ මධ්‍යම රජය අනුගමනය කරමින් තිබූ ක්‍රියාශීලී
වැඩපිළිවෙළ නිසා විපක්‍ෂයේ පක්‍ෂවල විවිධ නායකයන්ට මේ දිනවල ඉන්දියානු සංචාරවලින්
නම් අඩුවක් නොවීය. වැඩිපුරම මෙබඳු සංචාරවලට සහභාගි වෙමින් සිටියේ දෙමළ සන්ධානයේ
මන්ත්‍රීවරුය.
මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ද පසුගිය සතියේ ඉන්දියානු
සංචාරයකට ආරාධනා ලැබිණි. එහෙත් ඒ මධ්‍යම රජයෙන් නොව, ගුජරාඨ ප්‍රාන්තයේ මහ
ඇමැතිවරයාගෙනි. ඒ අනුව රනිල් පසුගිය 20 වැනිදා සිකුරාදා මුම්බායි හරහා ගුජරාඨ
ප්‍රාන්තය බලා පිටත්ව ගියේ දින දෙක තුනක සංචාරයක් සඳහාය. ලංකාවේ පවතින ප්‍රශ්න හා
ලංකාවේ අලුත් තත්ත්වය ගැන උනන්දුවක් දක්‌වන අයෙකු ලෙස ගු=ජරාඨ මහ ඇමැති රනිල්ට
ආරාධනය කර තිබුණේ ද ලංකාව ගැන කතා කරන්නටය.
ඉකුත් 21 වැනිදා සෙනසුරාදා එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස හා ඩී. එම්.
ස්‌වාමිනාදන් වව්නියාව බලා පිටත්ව ගියේ එක්‌තරා විවාහ මංගල උත්සවයකට සහභාගි වන්නටය.
විවාහය වව්නියාව ආසනයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ සංවිධායක පී. ඩී. කරුණාදාසගේ දියණියගේ
ය. වව්නියාව නෙල්ලිස්‌ටාර් හෝටලයේ පැවැති මෙම විවාහ මංගල්‍යයට ප්‍රදේශයේ දේශපාලනඥයෝ
මෙන්ම එජාප ආධාරකරුවෝaද විශාල පිරිසක් පැමිණ සිටියහ.
මේ අතරතුර පසුගිය ඉරිදා ඉන්දියාවේ සිටි රනිල් හදිසියේම තිස්‌ස අත්තනායකට කතා කළේය.
මම බදාදා ලංකාවට එනවා. ඊළඟ සති අන්තයේ මම නුවරට එනවා. තිස්‌ස ලෑස්‌ති කරන්න එහෙදී
මට මල්වතු අස්‌ගිරි මහ නායක හාමුදුරුවරු මුණගැහෙන්න හමුවක්. මට තියෙනවා වැදගත්
කාරණා කීපයක් උන්වහන්සේලා එක්‌ක කතා බහ කරන්න.
ඒත් එක්‌කම එදා රාත්‍රියේ මම ඉන්නේ මලික්‌ලගේ ගෙදර. හවස පුළුවන් මහනුවර
දිස්‌ත්‍රික්‌කයේ අපේ ක්‍රියාකාරී පිරිස් හමුවෙන්න. තිස්‌ස ඒකටත් ලෑස්‌ති වෙන්න. ඒ
වගේම මම හිතාගෙන ඉන්නවා ඉරිදා උදේ මහනුවර ඉඳල කුරුණෑගලට ඇවිත් ගාමිණී ජයවික්‍රමගේ
රැස්‌වීම් කිහිපයකටත් සහභාගි වෙන්න.
මේ අයුරින් රනිල් තිස්‌සට කතා කොට කීවේ ඊළඟ සතියේ තම හමුවීම් හා රැස්‌වීම් පිළිබඳ
වැඩසටහන නිරවුල්ව සකස් කර තබන ලෙසය.
ඒ අනුව පක්‍ෂ නායකයා විදේශගත වී සිටියත් පක්‍ෂයේ සියලු සංවිධාන වැඩකටයුතුවල අඩුවක්
නොවීය. තිස්‌ස රනිල්ගේ උපදෙස් පරිදි ඒ සියලුම වැඩකටයුතු ඉටුකොට තබන්නට අමතක
නොකළේය.
කරු එයි
මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය ද අලුතිsන්
වැඩකටයුතු ආරම්භ කර තිබිණි. ඔහු පසුගිය 23 වැනිදා සඳුදා කිරුළපන ප්‍රදේශයේ තම
පෞද්ගලික කාර්යාලයක් නිල වශයෙන් විවෘත කළේය. එදින පස්‌වරු 2.00 ට යෙදුණු සුබ
මොහොතින් සිය කාර්යාල මේසයේ වාඩි වූ කරු අදාළ කාර්යාලයීය ලිපියකට අත්සන් තබමින් නිල
කටයුතු ආරම්භ කළේය. මෙම අවස්‌ථාව සඳහා කරු කිසිවකුටත් නිල වශයෙන් ආරාධනා නොකළත්
කරුට හිතවත් දේශපාලනඥයෝ හා හිතවත්හු විශාල පිරිසක් පැමිණ සිටියහ.
මෙම අවස්‌ථාවට සහභාගි වීමෙන් වළකින ලෙස කරු කල්තියාම එජාප පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන්ට දන්වා තිබිණි. ඔබතුමන්ලා මට හැබැහින් ආශිර්වාද කරන බව මම දන්නවා.
නමුත් මෙතැනට එන එක විනය පරීක්‍ෂණ පවත්වන තරමටම වරදක් වෙන්න බැරි නැහැ......
මෙවන් කාර්යාලයක් ඇයි දැයි කියා විමසූ අයට ද කරු අපූරු උත්තරයක් දුන්නේය.
මම නායකත්වයට තරග කරලා පැරැදුනා විතරයි. මට පාර්ලිමේන්තුවේ නිල වශයෙන් හිමිවෙලා
තිබුණු කාමරයටත් ඉබි යතුරු දැම්මා. එහෙමය කියලා මාව මුණගැහෙන්න එන ජනතාව අඩු වුණේ
නැහැ. වැඩි වුණා. ඒ අයට මාව හමුවෙන්න තැනක් ඕන නිසා මම මේ කාර්යාලය විවෘත කළා.
පෞද්ගලික කාර්යාලය විවෘත කරන තෙක්‌ම නිහඬව සිටි කරු කාර්යාලය විවෘත කළ පසු
මාධ්‍යවලටද කතා කළේය.
මට ඕන මේ පක්‍ෂය සමඟි කරන්න. රුක්‌මන්ලා, ඉමිතියාස්‌ලා, අතුකෝරලලා, සජිත්ලා,
රංජිත්ලා, දයාසිරිලා වැනි දක්‍ෂ නායකයන් කොන්කරලා පහර දෙන පක්‍ෂයක් වෙනුවට
රනිල්ලා, සජිත්ලා, රංජිත්ලා, දයාසිරිලා, රෝසිලා, ඉමිතියාස්‌ලා පරණ අය සමඟ අත්වැල්
අල්ලගෙන වැඩ කරන සමගි සම්පන්න පක්‍ෂයක් හදන්නයි මට වුවමනා කළේ මාධ්‍ය හමුවේ
කීවේය........
වැරැදි මත
පසුගිය සතියේ ලෝක බැංකුවේ විශේෂ නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.
ඔවුන් පැමිණ සිටියේ පාර්ලිමේන්තුවේ පොදු මන්ත්‍රී කණ්aඩායමක් සමඟ රටේ ආර්ථිකය,
ආර්ථික අනාගතය හා ලෝකයට රට විවෘත වන තරම ගැන ඉතාම ගැඹුරින් කතා බහ කරන්නටය. මෙම
හමුව සඳහා සහභාගි වන්න පාර්ලිමේන්තුවේ විශාල පිරිසකට ආරාධනා කර තිබුණත් පැමිණ
සිටියේ ඉන් භාගයකට තරමක් වැඩි ප්‍රමාණයකි. එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් හර්ෂ ද
සිල්වා, කබීර්, සුරේෂ්, ඒ. එම්. සුහන්දිරම් යන අය පැමිණ සිටියත් ආරාධනා ලැබ සිටි
එරල් වික්‍රමසිංහ, රවී කරුණානායක, ස්‌වාමිනාදන්, විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති
ආදීහු පැමිණ සිටියේ නැත. රජය වෙනුවෙන් නිමල් සිරිපාල, තිලංග, ලක්‍ෂ්මන් යාපා හා
හිස්‌බුල්ලා ආදී දේශපාලනඥයෝ සහභාගි වී සිටියහ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද මෙතැන
කැපී පෙනිණි.
රටේ ආර්ථිකය ගැන කතා කරන අතරතුර හර්ෂ ද සිල්වා ඉදිරිපත් වී ලොකු විග්‍රහයක් කරන්නට
පටන් ගත්තේය. ඔහු කීවේ රජය මේ නොබෝදා අනුගමනය කරමින් සිටි පෞද්ගලික ව්‍යවසායන් රජයට
පවරා ගැනීමේ වැඩපිළිවෙළට බය වූ ආයෝජකයෝ මේ රටට ආයෙත් නොඑන බවය. විදේශ ආයෝජකයෝ නොව,
දේශීය ආයෝජකයෝ පවා මේ තත්ත්වය මත කලකිරී ඉන්න බව හර්ෂ අවධාරණය කළේය.
හර්ෂගේ කතාවෙන් පසු නිමල් සිරිපා ද සිල්වා කතා කරමින් කරුණු පැහැදිලි කළේය...
හර්ෂ මන්ත්‍රීතුමාගේ අදහස රට සම්බන්ධයෙන් ඉතා වැරැදි අර්ථකථනයක් බව ඔහු කීවේය.
රජය ව්‍යාපාර කීපයක් නැවත පවරා ගත්ත බව ඇත්ත. නමුත් ඒවා රජයේ ව්‍යාපාර මිස
පෞද්ගලික ආයෝජකයන්ගේ ව්‍යාපාර නොවෙයි. රජය ඒවා ජනසතු කළේ පෞද්ගලික අංශයට පවරලා
සංවර්ධනය කරන්න. නමුත් ඒ ඉලක්‌ක සපුරලා නැහැ. එහෙම වුණාම රජය නැවත ඒ දේපළ පවරා ගන්න
එක වැරැද්දක් නොවෙයි. හර්ෂ මන්ත්‍රීතුමාගේ කතාවට අනුව පිටට යන්නේ වෙන අදහසක්.
ඇත්තටම ඒවා රජයේ දේපළ. පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් බලෙන් කිසිවක් පවරාගෙන නැහැ.....
මෙම සාකච්ඡාවට අනතුරුව මේ ලෝක බැංකු නියෝජිතයන් කිහිපදෙනා දිවා ආහාරය ගත්තේද
මන්ත්‍රීවරු සමගය. නමුත් ඔවුන්ට එහිදී මුහුණ දෙන්නට වූයේ ලොකු අකරතැබ්බයකටය. මන්ද
එදින දිවා ආහාරය දේශීය ආහාර වර්ග වලින් පමණක් සකස් කොට තිබූ නිසාය. මේ නිසා ලෝක
බැංකු නියෝජිතයන්ට පවා ආහාර ගන්නට සිදුවූයේ බත්, මාලු, ව්‍යංජන හා පලා වර්ග සමගය.
ජවිපෙ
ජනතා විමුක්‌ති පෙරමුණ දෙකඩ වීමත් සමගම පක්‍ෂය හමුවේ තිබූ බරපතළ ප්‍රශ්න රාශිය ද
දෙකඩ වී ඇති බව පෙනෙන්නට ගත්තේය.
සාමාන්‍යයෙන් රටේ ශිෂ්‍ය සටන් මෙහෙයවීමේ වැඩිම බලපෑම කරන්නේ ජවිපය බවට කතාවක්
තිබේ. එය ජවිපය සතු එක්‌තරා අයෝමය අවියක් ලෙස සැලකූ යුගයක් ද තිබිණි. මේ තත්ත්වය
හමුවේ රටේ පවතින සරසවි ප්‍රශ්න, ශිෂ්‍ය අරගලවලදී රටේ මැදිහත් ජනතාව ඇඟිලි දිගු කළේ
ජවිපෙ නායකයන්ටය. ඒ කිව්වේ සෝමවංශ අමරසිංහලාටය. අනුරලාටය. විජිතලාටය.
ලාල්කාන්තලාටය.
එහෙත් ජවිපය දෙකඩ වීමත් සමගම ජවිපයේ සටන්කාමී බලඇණියක් වන ශිෂ්‍ය ව්‍යාපාරයේ
අයිතියද දෙකට බෙදී ගියේය. ඉන් ක්‍රියාකාරී වඩාත් වැඩි පිරිස බද්ධ වූයේ වඩාත්
සටන්කාමී කණ්‌ඩායම ලෙස මතවාදයට ලක්‌වූ ජවිපයේ කුමාර මහත්තයලාගේ කල්ලිය සමගය. මේ
නිසා අද වන විට රජයේ ප්‍රකාශකයෝ, උදේට ගුවන්විදුලියේ තොර තෝංචියක් නැතිව විපක්‍ෂයට
බැණ වදින නිවේදකයෝ මේ දිනවල සෝමවංශලාට, විජිතලාට, අනුරලාට බැණවදින්නේ නැත. ඒ වෙනුවට
උදුල් ප්‍රේමරත්නලා තවමත් බැණුම් අසන බව නම් පෙනෙමින් තිබේ.
මධ්‍යම හමුව
පසුගිය අඟහරුවාදා උදේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමක්
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ජනාධිපතිවරයා මේ
මධ්‍යම කාරක සභා රැස්‌වීම කැඳවා තිබුණේ කරුණු කීපයක් ගැන කතාබහ කරන්නටය. පළමු
කාරණය වූයේ මාර්තු මාසයේ 4, 5 දිනවල නුවරඑළියේ පවත්වන්නට යොදාගෙන තිබෙන මැති
ඇමැතිවරුන්ගේ දෙදින වැඩමුළුවය.
මේක ඉතාම වැදගත් හමුවීමක්. කවුරුත් මේකට සහභාගි වෙන්න ඕන. මෙතනදී ඇමැතිවරුන්ගේ
අනාගත වැඩකටයුතු ගැන ලොකු දැනුමක් හා පුහුණුවක් ලබාදෙන්නට අවශ්‍ය වෙලා තියනවා.
මෙම වැඩමුළුව සංවිධානය කිරීමේ කටයුත්ත බාර කෙරුණේ සී. බී රත්නායකට හා මහින්දානන්ද
අළුත්ගමගේටය.
එම මාතෘකාවෙන් පසු පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැන කතා කළේය. සෑම ආසන
සංවිධායකවරයෙක්‌ම තම ආසනයට ගොස් අනිවාර්යයෙන්ම කළ යුතු හා සොයා බැලිය යුතු කාරණා
ගැන ජනාධිපතිතුමා කතා කළේය. ආසන මට්‌ටමින් පක්‍ෂයේ සංවිධාන කටයුතු කරද්දී ළඟ එන ඊළඟ
පළාත් පාලන මැතිවරණය ඉලක්‌ක කරගෙන කළ යුතු බව හේ කීවේය. ඊළඟට ඡන්දය පවත්වන්නට තිබෙන
පළාත් සැලකිල්ලට ගෙන තම වැඩපිළිවෙළ ආරම්භ කරන්නැයි ජනාධිපති ඉල්ලීමක් ද කළේය.
පක්‍ෂයේ පහළ මට්‌ටමේ ශාඛා සමිති ශක්‌තිමත් කළ යුත්තේ ඊළඟ ඡන්ද පැවැත්වෙන නැගෙනහිර,
සබරගමුව, උතුරු මැද ආදී පළාත් වල බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව පක්‍ෂයේ ශාඛා සමිති ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ අලුත් කමිටුවක්‌ද පත්
කෙරිණි.
ජනාධිපතිවරයා ඉන් පසුව කතා කළේ ආණ්‌ඩුවට එරෙහිව විවිධ මට්‌ටමින් රටේ ක්‍රියාත්මක වන
බලවේග ගැනය.
මට මේ ළඟදි ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කිව්වා අපේ සමහර ඇමැතිවරු යනවලු රූපවාහිනි
වැඩසටහන් වලට මෙලෝ සූදානමක් නැතුව. ගිහින් නාගන්නවලු. ඒකෙන් සවුත්තු වෙන්නේ කවුද?
රජයයි සවුත්තු වෙන්නේ. කිසි කෙනෙක් ආවට ගියාට ඔය වගේ වැඩසටහන් වලට යන්න එපා.
ටිකක් කල්පනාකාරීව වැඩ කරන්න.
මේ කතාබහට පසුව ජනාධිපතිවරයා පැහැදිලි කළේ මේ සතියේ තිබෙන බරපතළම මාතෘකාව වූ
තර්ටීන් ප්ලස් (13+) ගැනය.
මම මේක කලිනුත් කියල තියනවා. 13 වන සංශෝධනයට වඩා වැඩි යමක් දෙන්න ඕන කියලා මම
කියලා තියනවා. හැබැයි ඒ වැඩිපුර දෙන්නේ මොනවද කියන එක තීරණය කරන්නේ තේරීම් කාරක
සභාව. අපට බැහැ ඒක බලෙන් කරන්න. හැමදෙනාටම එකඟ විය හැකි පරිදි විසඳුමකින් තමයි මේ
ප්‍රශ්නයේ අවසානයක් දකින්න තියෙන්නේ.
සමහර අය මෙතන ඉඳලම කුමන්ත්‍රණ කරනවා. දැන් බලන්න වැලිකඩ සිද්ධිය. මෙතන කාගේ හරි
සහයෝගයක් නැතුව ඕවා වෙන්නේ නැහැ. කණ්‌ඩායම් ඉන්නවා. ඔය අතරේ ඉන්නවනේ දැන් මොනවද
ආගමික නිකායන් වගයකුත් රජයට විරුද්ධව වැඩ කරන.
ඔව් සර්... මේ ළඟදි මම දැක්‌කා පස්‌සර තිබුණා ආගමික වැඩසටහනක්. මේ නැගෙනහිර
පැත්තෙන් ආපු පූජකයෙක් සභාව මෙහෙයවමින් රජයටයි ඔබතුමාටයි ප්‍රසිද්ධියේ බනින්න පටන්
ගත්තනේ... සුරේෂ් වඩිවේල් කීවේය.
අවසාන වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා කතා කරමින් පක්‍ෂයේ විනය ක්‍රියාමාර්ග
කිහිපයක් ගැන අදහස් පැහැදිලි කළේය. අනතුරුව කතාබහ නිමාව දැක්‌කේය.
කුරුළු ජෝඩු
පසුගිය සතියේ ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් හදිසි රාජකාරි කටයුත්තකට
අනුරාධපුරය බලා පිටත්ව ගියේය. ඔහුගේ හුරුපුරුදු නිලධාරීහු එදා ඔහුගේ ගමනේ
විශේෂත්වයක් දුටුවේය.
මොකද ඇමැතිතුමා අද තනියම. වෙනද නෝනත් එක්‌කමනේ මේ වගේ ගමන් බිමන් වල යන්නේ...
අද එතුමිය අසනීපෙන්. වෛද්‍ය උපදෙස් මත ගෙදරට වෙලා විවේකීව ඉන්නවා කියා උත්තර දුන්
ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා එදා දිවා ආහාරය ගන්නට අදාළ ස්‌ථානය වෙත ගියේය.
එහෙත් ඔහු එදා බත් අන අනා සිටියා පමණි. කාගන්නට බැරි විය. ඔහුට බත් කට ගිලගන්නට
බැරි බව නිලධාරීන්ට කී ඔහු කෑම නතර කළේය. සමහරු සිතුවේ උගුරේ ආබාධයක් නිසා ආහාර
ගැනීම දුෂ්කර බවකි.
එහෙත් ඇත්ත කතාව දැනගෙන සිටියේ ඉතාම සීමිත දෙනෙකි. ජනක ඇමැතිතුමා සාමාන්‍යයෙන් කෑම
කන්නේ සිය බිරිඳ ද සමගය. බිරිඳ නොමැතිව එක කෑම වේලක්‌වත් ඔහු සම්පූර්ණ කර නැත.
පාර්ලිමේන්තු පැමිණියත් ඔහු දවල් කෑම වෙලාවට නිවසට ගොස් බිරිඳ සමග ආහාර කිස නිමවා
නැවත පැමිණීම පුරුද්දක් කරගෙන සිටියේය. මේ නිසා බොහෝ දෙනෙක් මේ දෙදෙනාට කියන්නේ
කුරුළු ජෝඩුව කියාය. එදා මුළු අනුරාධපුරයේම ඇවිද නිරාහාරව සියලු රාජකාරි කළ
අමාත්‍යවරයා නැවත කෑම කෑවේ හවස ගෙදර පැමිණ සිය ප්‍රිය බිරිඳ ද සමගය.
පසුගිය සතියේ දිනයක පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංගට
අතරමඟදී ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්‌ටිගේ හමු වූයේය. ඒ වන විට
විපක්‍ෂ නායක රනිල් ඉන්දියාවට ගොස් සිටි අතර වැඩ බලන විපක්‍ෂ නායක කම පවරා දී
ගොස් තිබුණේ ජෝන් අමරතුංගටය.
නායකතුමා රට යනවා. වැඩ බලන විපක්‍ෂ නායක කම ඔබට පවරනවා. හොඳයි හොඳයි.. හෙට්‌ටිගේ
කීය.
ඇයි... නරකද... ඒකට මම සුදුසු නැද්ද... ජෝන් අමරතුංග ඇසීය. මම කවදාවත් නායකතුමාට
අභියෝග කරල නැහැ.
නැහැ. ඔබතුමා සුදුසුයි. අපි අහන්නේ ඉතින් පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා කියලා කෙනෙකුත්
ඉඳිද්දිනේ අන්න ඒකයි.
ඒක නායකතුමාගේ තිරණයක්‌නේ. එතුමාට අපි ගැන දැඩි විශ්වාසයක් තියනවා.
දැන් ඉතින් ඔබතුමානේ මෙතන ලොක්‌කා. ලොකු බලයක් තියෙනවා.
අනේ ඒ බලය තිබියදෙන්. ඒවා පාවිච්චි කරන්න යන්නයි හොඳ නැත්තේ. එතුමා කියපු වැඩේ
විතරක් කරනවා එච්චරයි.
ඒක නොවෙයි. මම අහන්නයි හිටියේ ඔබ ළඟ අපේ පක්‍ෂයේ කීපදෙනෙක්‌ගේ කේන්ද්‍ර කොපි තියනවා
කියලා. මොකක් ද ඒ කතාව ඇත්තද... අපි ඔය කේන්දර පස්‌සෙ යන අය නොවෙයිනේ. පසුගිය දවසක
මට මුණගැසුණා ඔබතුමාලගේ පක්‍ෂයේ කේන්දර වැඩ කරපු කෙනෙක්‌ව. එතුමා ළඟ පක්‍ෂයේ
නායකයන් 3 දෙනකුගේ කේන්දර තිබුණා මට පෙන්නුවා.
කවුද අනේ ඒ තුන්දෙනා
නම් කියන එක හරි නැහැ. ඒ දෛවඥයා කිව්වේ රටේ බලය ගන්න බලාගෙන හිටියට ඒ කේන්ද්‍රවල
රාජයෝගයකට සම්බන්ධ කිසිම ග්‍රහයෙක් පිහිටලා නැහැ කියලයි.
මගේ එකත් ඔතන තියනවද... අමරතුංග ඇසීය. අපෝ නැහැ. ඔබතුමාට රාජයෝග ඇති. ඒකනේ ඔබට ඔය
වැඩ බලන විපක්‍ෂ නායක කම පවා ලැබෙන්නේ.
නාගසේන