මහේල ඇදගෙන ගියාවේ...

ඔටුන්නක්‌ හිස මතට දමා ගැනීමද පහසු නැත. එය රැක ගැනීම ඊටත් වඩා අපහසුය. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායකත්වය නම් ඔටුන්න තිලකරත්න ඩිල්ෂාන්ගෙන් ගැලවී ගියේය. නැවතත් ඔටුන්න මහේලගේ හිස මතට වැටිණි. එය නව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිච්ඡේදයක ඇරඹුමයි අපි සිතමු. එබැවින් ඩිල්ෂාන්ගේ ඉවත්වීම සහ මහේලගේ පැමිණීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ යළි පිබිදෙනු ඇත්ද? එය අනාගතය විසින් විසඳන පැනයකි.

නිසි වේලාවට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායකත්වය හෙබ වූ මහේල නිසි කාලය පැමිණි පසු එයට විශ්‍රාම දීමට කටයුතු කළේය. එහෙත් යළිත් ශ්‍රී ලංකා නායකත්වය මහේල විසින් භාර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ "නන්නත්තාර" වූ අවධියකය.

"ඩිල්ෂාන් ඉවත් වීමෙන් පසුව තමයි මට නායකත්වයට ආරාධනා ලැබුවේ. දැන් කණ්‌ඩායම වැටී තියෙන තත්ත්වය අනුව නවකයකුට නායකත්වය දරන්න අපහසුයි. ඒක හින්ද මම මේක භාර ගත්තා. හැබැයි ඒ ඉතාමත ටික කාලයකට. උපරිමය මම නායකත්වයෙ ඉන්නෙ අවුරුද්දයි." කණ්‌ඩායම වැටී තියෙන මොහොතක එය ගොඩ ගැනීම උදෙසා මහේල නායකත්වය භාර ගැනීම බොහෝ අගේය.

2007 ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය දැරූ මහේල තමාගේ රාජකාරිය අකුරටම ඉටු කළේය. එහෙත් ඔහුට එය ලබාදුන්නා ඉක්‌මන් වැඩි යෑයි හැඟෙන්නේ මහේල නායකත්වයෙන් කලින්ම විශ්‍රාම ගිය බැවිනි. එකල සිටි තේරීම් කමිටුව මහේලගේ අනාගතය සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අනාගතය පිළිබඳව සිතා නායකත්වය හරි හැටි කළමණාකරනය කළේ නම් අද මහේල යළි නායකත්වයට පත්වීමට අවශ්‍ය නොවන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායකත්වය පිළිබඳව ගැටලුවක්‌ද ඉස්‌මතු නොවනු ඇත. එහෙත් ඒ සියලු දේ දැන් අතීතයට එකතුවී හමාරය. දැන් ඇත්තේ වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අළු ගසා නැඟීටීමටය.

මහේල යනු දක්‍ෂ නායකයකු බව ඔහුගේ නායකත්ව වාර්තා පෙන්වා දෙයි. එහිදී මහේල ටෙස්‌ට්‌ තරග 28 කදී ජයග්‍රහණ 15 ක්‌ ලබද්දී තරග 7 ක්‌ පමණක්‌ පරාජය වී ඇත. එහි ජයග්‍රාහී ප්‍රතිශතය 53.57% කි. එක්‌දින තරගය 94 කට නායකත්වය ලබාදුන් ඔහු තරග 54 ක්‌ ජයග්‍රහණය කරා මෙහෙය වූ අතර තරග 35 ක්‌ පරාජයට පත්විය. එහි ජයග්‍රාහී ප්‍රතිශතය 60.67 කි. එහෙත් ඩිල්ෂාන් නායකත්වය ලබාදුන් එක්‌දින තරග 26 කදී පරාජයන් 15 ක්‌ ලබද්දී ජයග්‍රහණ 11 ක්‌ ලබා තිබේ. ජයග්‍රාහී ප්‍රතිශතය 42.30% කි. ටෙස්‌ට්‌ තරග 11 කට නායකත්වය ලබාදුන් ඩිල්ෂාන් පරාජයන් පහක්‌ ලබද්දී එක්‌ ජයග්‍රහණයක්‌ තමාගේ නායකත්වය ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් විය. එහි ජයග්‍රාහී ප්‍රතිශතය 0.20% කි.

තිලකරත්න ඩිල්ෂාන් දක්‍ෂ ක්‍රීඩකයකු බව තර්කයක්‌ නැත. තර්කය ඇත්තේ ඔහු දක්‍ෂ නායකයකුද යන්නයි. ඩිල්ෂාන් දක්‍ෂ නායකයකු වුවද ඔහුට කණ්‌ඩායම ජයග්‍රාහී රිද්මයක පවත්වා ගැනීමට නොහැකි වූයේ ඇතැම් පුද්ගලයන්ගේ ඕනෑ එපා කම් අනුව ක්‍රියා කිරීම නිසාද? එබැවින් ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවකදී ඩිල්ෂාන්ට මෙසේ මාධ්‍ය විසින් ප්‍රශ්නයක්‌ යොමු විය. ඔබ සනත් ජයසූරියගේ ඕනෑ එපාකම් මත කණ්‌ඩායමේ ඇතැම් වෙනස්‌ කම් සිදුකළාද? මඳ වේලාවක්‌ සිනා සී සිටි ඩිල්ෂාන් පැවසුවේ, "නැහැ එහෙම කිසිම බලපෑමක්‌ නැහැ." යනුවෙනි.

එහෙත් ඩිල්ෂාන්ට වැරදුන තැන දන්නේ ඔහුම පමණි. එබැවින් ඩිල්ෂාන් පවසන්නේ "මට නැවතත් නායකත්වය දුන්නොත් හොඳින් කරනවා" යනුවෙනි. ඩිල්ෂාන්ට වැරදුන පොට හඳුනාගෙන එසේ කියනවාද විය හැක. ඒත් දැන් සියල්ල සිදුවී හමාරය.

"මට පාලනය කරන්න බැරි කිසිම දෙයක්‌ ගැන මම අවධානය යොමු කරන්නේ නැහැ" එහෙම කියන්නෙ මහේල ජයවර්ධනයි. එසේ නම් මහේල මේ ආරම්භ කර ඇත්තේ ඔහුට පාලනය කර හැකි කර්තව්‍යකට බව විශ්වාස කළ හැක. වසරකින් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කරන මහේල අනාගතය සඳහා සුදුසු නායකයකු නිර්මාණය කිරීමට වගබලා ගනීද? එහෙත් ඩිල්ෂාන් පවසන්නේ, "තාම නායකත්වය සඳහා සුදුසු නවකයකු නැහැ. මම කියන්නෙ මහේලට තව අවුරුද්දක්‌ නෙමෙයි. අවුරුදු දෙකක්‌වත් නායකත්වය කරන්න වේවි. යනුවෙනි. මහේලගෙන් පසුව නැවතත් ඩිල්ෂාන්ට හෝ සංගක්‌කාරට නායකත්වය දීම නොව ඒ සඳහා සුදුස්‌සකු ඔසවා තැබීම තේරීම් කමිටුවේ සහ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ වගකීමද වනු ඇත.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට නව පුහුණුකරුවකු පැමිණ තිබේ. ඒ දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෙµdaඩ්ය. මහේල පවසන්නේ ඔහු හොඳ සැලසුම් සකස්‌ කරන්නෙක්‌ බවයි. නව නායකත්වය සහ නව පුහුණුකරුවා සමග ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විට ඔස්‌ටේ්‍රලියාවට ගොස්‌ සිටිති. ඒ සටන සුළු පටු නොවේ. එහිදී ඔස්‌ටේ්‍රලියානුවන් සහ ඉන්දියානුවන් දණ ගැස්‌වීමට මහේල ප්‍රමුඛ ශ්‍රී ලංකා නඩයට හැකිවේද? ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ගෙන් ගිලිහී යමින් පවතින ක්‍රිකට්‌ උණුසුම නැවත ලගා කර ගැනීමේ පළමු පියවර ඔස්‌ටේ්‍රලියාවේ පැවැත්වෙන තුන්කොන් සටන වනු ඇත. එබැවින් මහේල ඇතුළු පිරිස කබලෙන් ලිපට නොවැටී ජාමෙ බේරා ගනු ඇතැයි බහුතරයකගේ විශ්වාසය වී ඇත.

අසේල විතාන
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.