|
|
|
|

ඇමතිතුමානෝ තේරුම් ගනිත්වා!
"කපන්න පෙර සිතා බලනු" යන සිරසින් ඉකුත් 15දා "ඉරිදා දිවයින"
ක්‍රීඩා සංග්‍රහයේ අප පළ කළ ලිපිය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද
අලුත්ගමගේ මහතා සමග කිසිදු ආරෝවකින් ලියූවක් නම් නොවන බව
පළමුවෙන්ම සඳහන් කර සිටිමු.
ක්‍රීඩාවෙන් දේශපාලඥයන් ඉවත්කිරීමටත්, වසර 6කින් පසු ක්‍රීඩා
සංගම් බලධාරීන් "අනිවාර්ය නිවාඩු" යෑවීමටත් එතුමා ගෙන තිබූ
තීරණ ගැන අපි එම සටහන තැබුවේ පැහැදිලි සද්භාවයකිනි. එම තීරණ
ක්‍රියාත්මක කළහොත් ඉන් ක්‍රීඩාවට ලැබෙන පිරිසිදුභාවය මෙන්ම
එහිදී සිදුවිය හැකි හානියද, එවැනි තීරණයක සදාචාරත්මකභාවය මෙන්ම
ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කඩිනමින් කළයුත්තේ මොනවද යන අප
යෝජනාද එහි සඳහන් විය. එහෙත් කුමක් දෝ කරුමයකට (අපේ කරුමයක්
නොව, එය මෙරට ක්‍රීඩාවේ කරුමයකි) අප ක්‍රීඩා ඇමතිතුමා දැක
තිබුණේ එම ලිපියේ විවේචනාත්මක පැත්ත පමණි. එයද ඔහු දැක ඇත්තේ
විවේචනයක් ලෙස නොව අපහාසයක් ලෙසය. එහෙත් අපේ හැඟීSම නම්
එතුමා එම ලිපිය හරිහැටි කියවා නැති බවයි. එක්‌කෝ එතුමාගේ
"කේවට්‌ටයකු" විසින් එම ලිපිය කියවා සිය "කුඩා මොළයට" වැටහුනු
අයුරින් එය ඇමතිතුමාට පැහැදිලිකර දෙන්නට ඇතැයිද සිතේ. එසේ නොමඟ
යවන සුළු හැඟීමක් කිසිවකු විසින් ලබා නොදෙන්නට අප ක්‍රීඩා
ඇමතිතුමානෝ ඒ ගැන මෙලෙසින් තැවුල් නොවන්නාහුය.
එම තැවුල කෙසේදයත් ඉකුත්දා පැවැති ජාතික ක්‍රීඩා සංගම්
ප්‍රධානීන් රැස්‌වූ අවස්‌ථාවේදී මෙන්ම පසුගියදාක එතුමා විසින්
සංවිධානය කළ ක්‍රීඩා මාධ්‍යවේදීන් ගේ හමුවකදීද, තවත් බොහෝ
තැන්හිද එම ලිපිය ලියූ මාගේ නම් ගම්ද සහිතව ක්‍රීඩා ඇමතිතුමා
සංවේදීව කරුණු දැක්‌වූ බව අපට සැලවිය.
ඇමතිතුමනි. ඒ සටහන මෙන්ම මේ සටහනද තබන්නේ කිසිදු ද්වේෂයකින්
නොවේ. එදා ඔබ ක්‍රීඩාව භාරගන්නා දා "මහින්දානන්ද ආගමනය
ක්‍රීඩාවට ආනන්දයක්‌ම වේවා" යි ඔබ ගැන මේ පිටුවේ පළමු ලිපිය
ලියූ පිවිතුරු සහ බලාපොරොත්තු සහගත සිතින්මය මේ සටහනද
තැබෙනුයේ..
එහෙත් අප පැතූ ඒ ආනන්දය වෙනුවට වෙනත් "තොවිලයක්" වන්නට යන්නේ
නම් එය පිළිබඳවද ඔබව දැනුවත් කිරීම අපගේ වගකීමය. අප විසින් එම
වගකීම ඉටුකිරීම වූ කලී මෙරට ක්‍රීඩාවටද, විශේෂයෙන්ම ඔබටද
ඉටුකරනු ලබන යුතුකමක්‌ය යන්න ඔබට වටහාගැනීමට හැකිවේවායි පතමු.
අපි ඔබ වෙනුවෙන් තවත් යුතුකමක් ඉටුකිරීමට සූදානමින් සිටියෙමු.
ඒ ඔබ විසින් ගනු ලැබූ තීරණ වලට හේතු දැක්‌වීම සඳහා මේ
පිටුවෙන්ම ඉඩක් ලබාදීමයි. නමුත් ඔබ එම අවස්‌ථාවෙන්
ප්‍රයෝජනයක් නොගෙන සංවාදයක් වෙනුවෙන් අප විසින් ඔබ මාධ්‍ය
අංශය මගින් කළ ආරාධනයට ප්‍රතිචාර නොදක්‌වා එම අවස්‌ථාව පැහැර
හැරියේය.
නමුත් එය සාම කථාවක් සඳහා කළ ඇරයුමක් ලෙසින් හැඟෙන පරිදි ඔබ
යමක් කියනු අපට ටොරින්ටන් පැත්තේ "ජිම්" එකකින් ඇසිණි. සැබැවි
ඇමතිතුමනි. අපි කවදත් කළේ සාම කථාය. නැතහොත් ප්‍රේම කථාය. අපේ
සාමය ඇත්තේ මාධ්‍ය සදාචාරය සමගය. අපි ඔබේ පාර්ශ්වයට අදහස්
දක්‌වන්නට අවස්‌ථාවක් ලබාදුන්නේ එබැවිනි. අපේ ප්‍රේමය ඇත්තේ
ක්‍රීඩාව සමඟය. එදා එවැනි සටහනක් තැබුවේ එනිසාය.
සැබැවින්ම එම පාදක සටහනේ අපි ලියා දැක්‌වූයේ ක්‍රීඩාව
සම්බන්ධයෙන් ඔබගේ එම තීරණ, ක්‍රීඩාවේ සිටින "අපතයන්ව" ගෙදර
යෑවීම පිණිසත්, ක්‍රීඩාවට යමක් කළ හැකි පිරිස් වලට එයින්
හානියක් නොවන ලෙසත්, විශේෂයෙන්ම ඔබගේ ආත්මයට හානියක් නොවන
ලෙසත් සංවාදයකින් අනතුරුව, සංශෝධන සහිතව ක්‍රියාත්මක කරන ලෙසය.
අප කියනා දෙයෙහි අදහස කෙසේවෙතත් අපේ හඬ ඔබට බොහෝ සෙයින් දැනෙන
සෙයකි අදාළ (පාදක) ලිපියට ඔබගේ වූ ප්‍රතිචාර වලින් අපට දැනුනේ.
ඉතින් මාධ්‍යයේ අප හැර කවුරුනම් ඔබට දැනෙන පරිදි මේවා මෙසේ
කියන්නද?
අප ඒවා ලියුවේ ඔබේ විජිතයට පහරදීමටද? නැත. ඔබ අපේක්‍ෂා කරන
ලෙසින්ම මෙරට බිහිවූ දක්‍ෂතම ක්‍රීඩා ඇමැති බවට ඔබව
පත්කිරීමටය. ඔබ ඔබේ දේශපාලන සවිය යොදා නාවලපිටිය නගරය අපූරුවට
ගොඩනැගුවේ යම්සේද ඒ ආකාරයෙන්ම මේ රටේ ක්‍රීඩාවද ගොඩනැගීමට
හැකියාව ලැබෙනු රිසියෙනි. ඔබ එතැනට පැමිණියහොත් ඉන් අපට කිසිදු
පෞද්ගලික ප්‍රයෝජනයක් නැත්තේය. එහි ආලෝකයෙන් බැබලෙන්නේ ඔබය.
ක්‍රීඩා ඇමති ලෙසින් මහින්දානන්ද සාර්ථකවීම යනු මෙරට ක්‍රීඩාවේ
සාර්ථකත්වයි. එවැනි තැනකට ඔබ පැමිණියහොත් අපට ඇති එකම දෙය නම්
මේ රටේ ක්‍රීඩාවේ සාර්ථකත්වය වෙනුවෙන් අකුරකින් හෝ දායකවීමට
අපටද හැකිවී යෑයි කියන අහිංසක සතුට පමණි. අනේ ඔබට එය වැටෙහේවා.
එය නොවැටහීම තුළ (අදාළ ලිපියෙන්) ඔබට යම්කිසි චිත්ත පීඩාවක්
වීද මේ සටහනනින් එය සංසිඳේවා ඔබතුමා සැනසෙත්වා මේ වචන අවංක
සිතින්ම පිළිගනිත්වා.
ඉන්ද්‍රජිත්
|
|
|
|