|
|
|
|

නිදහසට පසු වදනක්
ශ්‍රී ලංකාවේ 64 වන ජාතික නිදහස් සැමරුම අවසන් වුවද ඒ පිළිබඳ
ආවර්ජනය කිරීමට අපි මෙම තීරුව වෙන් කරමු. ජාතික නිදහස සිහිපත්
කෙරෙන හැම කෙනෙකු තුළම තිබෙන එක් සාධාරණ විවේචනයක් වන්නේ
ජාතියක් ලෙස හා රටක් ලෙස අප ඒ නිදහස් අවකාශය භාවිත නොකළ
බවය. අපට වඩා පසුපසින් සිටි හා නිදහස ලබා ගත් ආසියානු රටවල්
සමග බලන විට ශ්‍රී ලංකාවේ වර්තමාන කතාව මීට වඩා වෙනස් විය
යුතුව තිබෙන බව බොහෝ දෙනෙක් කියති. එහෙත් මෙහිදී අපට පෙනෙන
එක් ප්‍රබල කරුණක් නම් 1948 දී අප විසින් ලබාගන්නා ලද නිදහස
යළි අපට අහිමි කිරීමේ කුමන්ත්‍රණ දියත් වූ බවය.
1948 දී අපට ලබා දුන් නිදහස අර්ථවත් කර ගැනීමට අපි අසමත් වීමු.
ජාතික සමගියක් ගොඩනංවා ගැනීමටත් නව දේශපාලන සමාජ ආර්ථික
දැක්‌මකින් රට ඉදිරියට ගෙන යාමටත් අපේ නායකයෝ අසමත් වූහ.
හැත්තෑව දසකය මැද භාගය පමණ විට මේ සියලු ගරාවැටීම් සමග
එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය හිස ඔසවමින් තිබුණි. එල්.ටී.ටී.ඊ. ය
යනු බටහිර අධිරාජ්‍යවාදයේ අනුබල අනුග්‍රහ ඔස්‌සේ වර්ධනය වූ
µeසිස්‌ට්‌වාදී විනාශයකි. සියලු විජාතික බලවේග ඒ ත්‍රස්‌තවාදය
තුළ විවිධ භූමිකා නිරූපණය කළ බවද අපි දනිමු.
නිදහසින් පසු අප මුහුණ දුන් බිහිසුණුම අනතුර එල්.ටී.ටී.ඊ.
ත්‍රස්‌තවාදය බව අපට තේරුම් ගැනීමට සෑහෙන කාලයක් ගත විය. 1977
දී ඇරඹුණු ආර්ථික හා දේශපාලන වෙනසත් සමග රටේ සාධනීය
පරිවර්තනයක්‌ද සිදු නොවීය. ඡේ. ආර්. ගේ සිට චන්ද්‍රිකා තෙක්‌ම
අප නිදහස් උත්සව පවත්වා විසිර ගියත් අප රටක් වශයෙන් සිටියේ
දැඩි අගාධයකය.
2005 දී මහින්ද රාජපක්‍ෂ බලයට පත්වෙද්දී බෙදුම්වාදයේ සීමා
මායිම් සැකැසී තහවුරු වී තිබුණි. ඉන්දියාවේ අතපෙවීම් ද බටහිර
කපටි ආරක්‍ෂකයන්ගේ මෙහෙයුම්ද උග්‍ර වී තිබුණි. කොටින්ම
ජනාධිපති මහින්දට ලැබුණේ වෙනත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක
කිරීමය. එහෙත් ඔහු එයට එකඟකරවා ගැනීමට බටහිර ප්‍රමුඛ බලවේගවලට
අසීරු විය.
අපගේ තක්‌සේරුව අනුව ශ්‍රී ලංකාවේ දෙවන විමුක්‌ති සටනේ හැරවුම්
ලක්‍ෂය මහින්ද රාජපක්‍ෂ ජනාධිපති පදවිප්‍රාප්තියත් සමග එළඹුණු
බවයි. ත්‍රස්‌තවාදය පරාජය කර රට එක්‌සත් කිරීමේ ජාතික වගකීම
ඔහුට භාරකළ ජනතාවද ඒ සඳහා අප්‍රමාණ කැපකිරීම් කළහ. ආරක්‍ෂක
හමුදා යළි බලගන්වමින් ඇරඹුණු මානුෂික මෙහෙයුම 2009 මැයි 19
වනදා විජයග්‍රහණය කරවීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ
සන්ධාන රජයට හැකි විය.
අප දැන් සිහිපත් කරන ජාතික නිදහස් දිනය අර්ථවත් එකක් බවට පත්
කිරීමේ කෙටි ඉතිහාසය එයයි. එහෙත් එතැන් සිට සිදු වූයේ කුමක්‌ද?
අදත් බටහිර බලවේග ඒ නිදහසේ මෙහෙයුම්කරුවන් ලුහුබඳින බවද ඇත්තය.
අපට කළ හැකි හැම විපතක්‌ම කිරීමට දිය යටින් ගින්දර ගෙන යැමට
අමතරව උඩින්ම සටන් කරන බවද ඇත්තය. එයටද අප තවම සංවේදී වී නැත.
ශ්‍රී ලංකාව තුළ ජාතික සමගියක් තහවුරු කර ගැනීමට තවමත් අපට
හැකි වී නැත. දෙමළ ජනතාව දිනාගැනීමට අපට නිසි සැලැස්‌මක්
තිබිය යුතු විය. උතුරේ මොන තරම් දැවැන්ත සංවර්ධනයක් සිදු කළත්
දෙමළ ජනතාව මෙහෙයවන්නේ දෙමළ ජාතික සන්ධානයයි. දෙමළ ජාතික
සන්ධානය තවමත් දුවන්නේ ඉන්දියාවටය. ජයලලිතා නමැති අහංකාර
ස්‌ත්‍රිය අදටත් අපේ දේශපාලනය අවුල් කරමින් සිටින්නීය.
අපේ රටේ තිබෙන හක්‌කේ බුදුරැස් බොක්‌කේ දඩමස් දේශපාලන
සංස්‌කෘතියෙන්ද ඒ ජාතික සමගිය තහවුරු කළ නොහැකි වී තිබේ.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ උතුරේ ප්‍රශ්නයට විසඳුමක්
ලබාගැනීමට උනන්දුවීම මඟහරිමින් දේශපාලන බයිලා කියන අය දෙස අපට
බලා සිටීමට සිදුවී නැද්ද?
මේ හැරුණු විට දූෂණය අල්ලස, දේශපාලන බලහත්කාරය වැනි චෝදනා අහසේ
පාවෙමින් තිබුණත් ඒවා නිවැරැදි කර ගැනීමේ හෝ ඒවාට පිළියම්
යෙදීමේ හෝ සැබෑ උනන්දුවක් ඇති බවක් ජනතාවට නොපෙනේ. නොදැනේ.
නාස්‌තිකාර වියදම්වලද අඩුවක් නැත. ඔක්‌කොම මැතිවරු ඇමැතිවරු
නොවුවද වැඩිහරියක් ඇමැතිවරුය. එහෙත් රටේ ප්‍රශ්න විසඳීම
සිදුවන්නේ ජනාධිපතිවරයා අතිනි.
මේ සියලු අවකල් ක්‍රියාකාරකම්වලින් මිදෙන තෙක් අපට නිදහසක්
නැත. විධායක බලය පාවිච්චි කර යුද්ධය දිනූ ආකාරයටම ඒ බලය ගෙන මේ
දූෂණ නාස්‌ති අපචාර කප්පම් පාතාල මඩින්න බැරි දැයි අසන අය
සිටිති. අපට ද ඒ ප්‍රශ්නය වැරදි යෑයි කිව නොහැක.
අද රටේ සංවර්ධන ක්‍රියාකාරකම් සිදුවෙයි. මාර්ග, අධිවේගී මාර්ග
ඉදිවෙයි. හෝටල් තැනෙයි. ආර්ථික වර්ධනයද ඉහළ යයි. එහෙත් ජන
ජීවිතවලට ඒ සියල්ල සාධනීය ලෙස බලපා තිබේද? නිදහස අහසින්
කඩාපාත් වන දෙයක් නොවේ. එය අධිෂ්ඨානයෙන් කැපවීමෙන් දිනාගත
යුතු දෙයකි.
රට කරවන අයට, නිල බල තිබෙන අයට, වරප්‍රසාද හිමි පන්තියට තිබෙන
නිදහස හා ජීවිතය මේ රටේ තිබෙන්නේ සුළු පිරිසකට නම් එබඳු
නිදහසක් කුමට දැයි අසන ප්‍රශ්නය වැරදිද? ආණ්‌ඩුව එය
බුද්ධිමත්ව තේරුම් ගත යුතුය. රට රැගෙන යා යුත්තේද එහෙව්
නිදහසකටය. |
|
|
|