බලය බෙදුවොත් රටම අනතුරේ!

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

ලෝකයේ කුඩා දූපතක්‌ ලෙස ඉන්දියන් සාගරයෙහි පිහිටි අපේ රට ඉතිහාසය පුරාම ලෝක සමාජයට ඉතා ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියක්‌ දායාද කිරීමට සමත් වී ඇත. ඊට ප්‍රධානතම සාධකය වූයේ බුදුදහමයි. භාරතයෙන් බුදු දහම තුරන් වෙද්දී එය රැකගත්තේ මෙරට සිංහල බෞද්ධ භික්‍ෂුන්, සිංහල බෞද්ධ ජනතාව හා සිංහල බෞද්ධ නායකයන් විසිනි. ඔවුන් බුදුදහම එසේ රැකගත්තේ සිංහල බෞද්ධයන් සඳහා පමණක්‌ නොව ලෝ වැසි සියලු දෙනා උදෙසාය. ඒ වෙනුවෙන් මෙරට සිංහල බෞද්ධයන්ට මුළු ලොවම ණයගැති යෑයි කීව ද වරදක්‌ නොවේ. එහෙත් ආත්මාර්ථකාමීත්වය පදනම් කරගෙන බලය හා ධනය සඳහා ක්‍රියාත්මක වන, ඒ වෙනුවෙන් මිනිසුන් මරණ, සංස්‌කෘතීන් විනාශ කරන, නොමිනිස්‌ ගති ඇති අයට සිංහල බෞද්ධයාගේ ඒ උතුම් කාර්යභාරය වැලිකැටයක්‌ තරම් වත් වටිනා දෙයක්‌ ලෙස නොපෙනෙනු ඇත. මානව හිමිකම් ගැන මහ ලොකුවට බෙරිහන් දෙමින් ඔවුන්ම ඒවා උල්ලංඝනය කරමින් අන් අයට ස්‌වාධීනව ජීවත් වීමට ඉඩ නොදෙමින් ලෝක පොලිස්‌කාරයන් ලෙස පෙනී සිටීමට වෙර දරන ඔවුන්ට නිදහසේ ජීවත් වන ජාතීන්ට ඇඟිල්ල දික්‌කිරීමට අයිතියක්‌ නැති බව අප හඬනගා කිව යුතුය.

එදා සිංහලය ලෙස පැවතුණු පසුව එයම "සීලෝන්" නමින් බටහිරයන් විසින් හඳුන්වනු ලැබූ අද ශ්‍රී ලංකාව ලෙස හැඳින්වෙන අපේ මව්බිම ඉතිහාසයේ දියුණු රටක්‌ ලෙස පැවතියේ ඒකීය හෙවත් එක්‌සේසත් රටක්‌ ලෙස පැවති අවධිවලයි. පර සතුරන් රටෙන් කොටසක්‌ අත්පත් කරගෙන ඒකීය භාවය නැතිව ගිය හැම අවස්‌ථාවකම රට පරිහානියට පත්ව ඇත. දෙවනපෑතිස්‌, දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන, මහ විඡේබා, මහ පැරකුම්බා හය වෙනි පැරකුම්බා, වැනි රජවරුන්ගේ සමයන්හිදී රට එක්‌සේසත්ව පැවති අතර හැම අතින්ම රටේ දියුණුවද සැලසුණි. දකුණු ඉන්දියාවේ පාලකයන් බලවත් වූ අවස්‌ථාවල අප රට එම බලයට නතුකර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. එය සාර්ථක වූවා නම් අපේ රට ලොවට වැදගත් වන දේශයක්‌ නොවනු ඇත. ඒ නිසා අදත් විය යුත්තේ රට එක්‌සේසත්ව ඒකීය රටක්‌ ලෙස ආරක්‍ෂා කර ගැනීමයි. බලය බෙදීමට අදහස්‌ දෙන, සාකච්ඡා පවත්වන, උල්පන්දම් දෙන හැම කෙනෙක්‌ම රටට ෙද්‍රdaහීවන්නන් ලෙස සැලකිය යුතුය.

දෙමළ දේශපාලකයන් මෙරට දෙමළ ජනකොටස්‌ වෙනුවෙන් වෙනම බලතල ඉල්ලන්නේ අද ඊයේ නොවේ. නවසිය විස්‌සේ දශකයේ සිටයි. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් දෙසොහොයුරෝ හාපුරා කියා වෙනම දෙමළ බලයක්‌ සඳහා අරඇඳි අය වූහ. එස්‌. ඡේ. වී. චෙල්වනායගම් හා අමිර්තලිංගම් හරහා අද එය සම්බන්ධන් දක්‌වා පැමිණ තිබේ. මේ කිසිම දෙමළ දේශපාලකයෙක්‌ දෙමළ ජනතාවගේ මතය නියෝජනය කර නැත. එමෙන්ම අහිංසක දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ක්‍රියා කර නැත. උතුරේ දෙමළ ජනයා වෙනුවෙන් විශාල මෙහෙවරක්‌ කළේ ඉංග්‍රීසීන්ය. ඔවුන් එසේ කළේ දෙමළ ජනයාට වැඩිපුර ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දී ඔවුන් පරිපාලනයට සම්බන්ධ කරගෙන දකුණේ සිංහලයන් මර්දනය කිරීම පිණිස මිස දෙමළ ජනයා කෙරෙහි පැවති අනුකම්පාවක්‌ නිසා නොවේ. ඉංග්‍රීසීන්ගෙන් පසුව ද එම දෙමළ ජනයා වෙනුවෙන් ක්‍රියාකර ඇත්තේ මෙතෙක්‌ මෙරට බිහිවූ රජයන්ය. ඒ මිස බලය බෙදීමක්‌ වෙනුවෙන් කෑ ගහන දෙමළ දේශපාලකයන් නොවේ. අදත් සම්බන්ධන් වැනි දෙමළ ජාතිවාදී දේශපාලකයන් සිදු කරන්නේ වෙනම බලයක්‌ සඳහා දෙමළ නියෝජනයක්‌ පාවිච්චි කිරීම මිස දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස නොවේ.

ඔවුන්ගේම පිළෙහි ළැග කෑ ගහන වාසුලා - බාහුලා වැනි ඊනියා වමේ දේශපාලකයන් ද කිසිදු උදාර අරමුණක්‌ නොමැතිව ක්‍රියා කරන බව පෙනේ. පන්ති සටන පන්ති අරගලය පණ ගැන්වීමට කෑ ගහන තවත් වමේ පිරිසක්‌ ඉවක්‌ බවක්‌ නැතිව ඉබාගාතේ යන්නෝ වෙති. ඔවුන්ට තමන් දරන මතය ගිරවුන් ලෙස උච්චාරණය කරනු මිස එය ප්‍රායෝගික දැයි සිතා බැලීමට නුවණක්‌ නැත.

පනහට පනහේ ඉල්ලීම හා ඉලංකෙයි තමිල් අරුසුකච්චි (ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය) වෙනම දෙමළ බලයක්‌ ස\හා ඉදිරිපත් කළ මතවාදයන්ය. මෙම දෙමළ ජාතිවාදී දේශපාලකයන් ගෙනා වැඩපිළිවෙළේ ප්‍රතිඵලය වූයේ 1976 දී උතුරේ දෙමළ ත්‍රස්‌තවාදයක්‌ ඇරඹීමයි. ඇතැමුන් මෙය දෙමළ ජනයාට වූ අසාධාරණයක්‌ නිසා දෙමළ තරුණයන්ගේ නැගිටීමක්‌ ලෙස හැඳින්වීමට ද පෙළඹුණි. 1971 හා 88/89 වකවානුවල ජනතා විමුක්‌ති පෙරමුණ ක්‍රියාත්මක කළ ත්‍රස්‌තවාදය ද දෙමළ ත්‍රස්‌තවාදී ක්‍රියාවන් ද අසාධාරණය වෙනුවෙන් නැගී සිටීමක්‌ ලෙස හඳුන්වමින් ඒවා යුක්‌ති යුක්‌ත කිරීමට කවුරුන් හෝ ක්‍රියාත්මක වෙතොත් එක්‌කෝ ඔවුන්ගේ මොළේ කිසියම් අඩුවක්‌ තිබිය යුතුය. නැතිනම් විජාතික බලවේගවල ඉත්තන් විය යුතුය. එසේත් නොමැතිනම් මිනීමරා ලේ දකිනු කැමති ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීන්ගේ සගයන් විය යුතුය. විඡේවීරගේ හා ප්‍රභාකරන්ගේ නායකත්වයේ ඇති වෙනස නම් විඡේවීරට ප්‍රභාකරන්ට තරම් ජාත්‍යන්තර වශයෙන් මිල මුදල් හා අවි ආයුධ නොලැබීම හා විඡේවීර ඊළාම් සංකල්පයෙන් බැහැරව ක්‍රියා කිරීමයි. කොටි ත්‍රස්‌තවාදීන්ට ද විඡේවීර යාපනයට ගොස්‌ දේශන පැවැත්වූ බව 1986 දී යුදහමුදා කඳවුරක සිටි කොටි ත්‍රස්‌තවාදීයෝ අප සමඟ පැවැසූහ.

වත්මන් යුගයෙහි ලොව කිසිදු රටක උද්ගත වූ අභ්‍යන්තර ත්‍රස්‌තවාදී ක්‍රියා මුළුමනින්ම මැඩලීමට සමත් වී නැති අවධියක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සේනාධිනායකත්වයෙන් සන්නද්ධ හමුදාවන් විසින් තිස්‌ වසරක්‌ තිස්‌සේ පැවැති මිලේච්ඡ ත්‍රස්‌තවාදය 2009 මැයි 19 වැනිදා නන්දිකඩාල් කළපුවේදී නිමාවට පත් කරනු ලැබීය. ලොව වෙනත් රටකට කළ නොහැකි වූ එම ක්‍රියාව අගය කරනු වෙනුවට බලගතු රටවල් ඊට ඊර්ෂ්‍යා කරති. එසේම ඊළාම් වාදීන්ට තවදුරටත් සහාය ලබා දෙති. අවි ගත් ත්‍රස්‌තවාදය අවසන් කළ නමුත් එම ත්‍රස්‌තවාදයට සහාය වූ ලොව පුරා ක්‍රියාත්මක වන දෙමළ ප්‍රචාරක ජාලය හා උපකාරක ජාලය තවමත් ක්‍රියාත්මක වේ. එවැනි ජාලයන් බිහි වූයේ අප රටේ දේශපාලකයන්ගේ දුරදක්‌නා නුවණක්‌ නොමැතිකම නිසාත් විදේශ දූත සේවාවේ දුර්වල කම් හා නොපනත් කම් නිසාත්ය. එම ජාලයන්ගේ බලවත් වීම හේතු කොට ගෙන ලොව බලගතු රටවල් ද ඔවුන්ගේ සහායට ඉදිරිපත්ව සිටිති. විශේෂයෙන් බටහිර ක්‍රිස්‌තියානි මිෂනාරී යුදෙව් ආධිපත්‍ය එහිලා ප්‍රමුඛස්‌ථානයක්‌ ගනියි. අප රටට බලය බෙදීමට බලපෑම් කරන්නේ එම බලවේගයන්ය. ඔවුන්ට අහිංසක දෙමළ ජනතාව නගා සිටුවීමට හෝ ජීවත්කර වීමට කිසිදු උවමනාවක්‌ නැත. ඔවුන්ට අවශ්‍ය වනුයේ ලෝක දෙමළ ප්‍රචාරක හා උපකාරක ජාලයන් හරහා අපේ රට අස්‌ථාවර කිරීමටයි.

මෙහිදී ඉන්දියාවේ ස්‌ථාවරය ගැන ද යමක්‌ කිව යුතුව ඇත. ඉන්දියාව මුල් අවධියේ දී පුහුණුවීම් ආදියට ද ඉඩ ලබාදෙමින් මෙරට දෙමළ ත්‍රස්‌තවාදයට සහාය දුන් බව රහසක්‌ නොවේ. දෙමළ ජාතිවාදී දේශපාලකයන්ට මෙන්ම එම ත්‍රස්‌තවාදීන්ට ද අවශ්‍ය වූයේ ඉන්දියාවේ ද කනින් රිංගා ලංකාවේ උතුරු හා නැගෙනහිර වෙනම දෙමළ බලයක්‌ තහවුරු කරගෙන ඊට තමිල්නාඩුව ද එකතුකරගෙන ලෝක දෙමළ රාජ්‍යයක්‌ බිහි කරලීමයි. ඉන්දියාව ඊට එරෙහි වන බව දැනුණ නිසා ඉන්දියානු නායක රජිව් ගාන්ධි දෙමළ ත්‍රස්‌තවාදීන් විසින් මරා දමනු ලැබීය. ඉන් පසුව වුවද ඉන්දියාව මෙම දෙමළ ජාතිවාදී වියරුව වටහා ගෙන නොමැති බව පෙනේ. ඔවුන් බලන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ දෙමළ ඡන්ද වෙනුවෙන් ලංකා රජයට බලපෑම් කර උතුරෙහි හා නැගෙනහිර දෙමළ බෙදුම්වාදයකට මග හැදීමක්‌ යෑයි අපට සිතේ. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර හෝ කොතැනක හෝ වෙනම දෙමළ බලයක්‌ සඳහා ඉඩ සැලසීම ලංකාවේ පැවැත්මට මෙන්ම ඉන්දියාවේ පැවැත්මට ද තර්ජනයක්‌ වන බව තමිල්නාඩුවේ දෙමළ ඡන්ද ගැන සිතනවාට වඩා ඉහළින් ඉන්දියාව කල්පනා කළ යුතු දෙයකි. එසේ කල්පනා කළ නොහැකි නම් අනාගතයේදීත් ඉන්දියාවේ වැඩපිළිවෙළ ඉන්දියාවටම පාරාවල්ලක්‌ වනු ඇත.

මේ රට තුළ දෙමළ හෝ මුස්‌ලිම් හෝ සිංහල හෝ කිසිදු ජන කොටසකට බලය බෙදා දීමක්‌ අවශ්‍ය නැත. වරක්‌ බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා ද පැවසූ පරිදි පොලිස්‌ හා ඉඩම් බලතල නොව දෙමළ ජනයාට අවශ්‍ය වනුයේ ආරක්‍ෂාව හා පදිංචිය සඳහා ඉඩම්ය. ඒවා ලබාදීම සඳහා වෙනම දේශපාලන විසඳුම් සේවීම අවශ්‍ය නැත. විනයාගමූර්ති මුරලිදරන් ඇමැතිතුමාට (කරුණා අම්මාන්ට) ද වැටහෙන එම කරුණ ඇතැම් සිංහල දේශපාලකයන්ට නොවැටහෙන්නේ ඔවුන්ගේ බුද්ධියේ අඩුවක්‌ හෝ එන්. ජී. ඕ. සල්ලිවලට කහින නිසා හෝ විය යුතුය. බලය බෙදීම පිටුපස ක්‍රියාත්මක වන ඉල්ලීම් හා බලපෑම් වර්තමානයේ හෝ අනාගතයේ රටේ කිසිදු ආකාරයේ යහපතකට හේතු වන්නේ නැත. ලංකාව වැනි කුඩා රටක්‌ දෙකඩ වීම රට විනාශ වී යැමට මෙන්ම දිගින් දිගටම රට තුළ අභ්‍යන්තර ගැටුම් ඇති වීමටද හේතු වෙයි. එම නිසා වෙනම දෙමළ රාජ්‍යයක්‌ ලබා ගැනීමේ අභිලාෂයෙන් බලය බෙදා ගැනීම සඳහා උත්සුක නොවී රට තුළ සිටින සෑම පුරවැසියන්ම වෙනුවෙන් යහපතක්‌ සිදු කිරීමේ අරමුණින් දෙමළ දේශපාලකයන් ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරමු. ත්‍රස්‌තවාදීන්ට වූ හදිය ඔවුන්ට ද සිදුවනු දැකීමට අපි කැමති නොවෙමු. ආණ්‌ඩුවට එරෙහි වීමේ පහත් අරමුණින් හෝ තම දේශපාලන දර්ශනයේ දුර්වලතා නිසා හෝ බලය බෙදා දී දේශපාලන විසඳුම් ලබාදීමට කතා කරන සිංහල දේශපාලකයන් ද රට හා රටේ ජනතාව ගැන සිතා එම මතවාද ඉවත් කරගෙන රටේ ඉදිරි ගමනට සහාය දිය යුතු බව ද අවධාරණය කරමු. එසේ නොවන්නේ නම් දේශපාලන විසඳුම් හරහා බලය බෙදාදීමක්‌ ගැන කතා කරන හා ක්‍රියා කරන හැම කෙනෙක්‌ම රටේ ඉදිරි ගමනට හා ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන අය බව පොදු ජනතාව විසින් තීන්දු ගන්නා දිනය වැඩි ඈතක්‌ නොවනු ඇති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. රටේ පුරවැසියන් රට වෙනුවෙන් එකට සිටිතොත් දේශපාලන විසඳුම් මගින් බලය බෙදාදීමට බලපෑම් කරන විදේශ බලවේගවලට සාර්ථකව මුහුණ දිය හැකි වෙයි.

ඡේ. ආර්. ජයවර්ධනගේ රජය 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවේ මෙරට පොදු ජනතා අවශ්‍යතාව හා අනුමැතිය මත නොව ඉන්දියානු බලපෑම මතයි. ඒ අනුව පිහිටුවනු ලැබූ පළාත් සභා රටට බරක්‌ වූවා මිස සෙතක්‌ වූයේ නැත. උතුරු හා නැගෙනහිර ප්‍රශ්නය විසඳුනේ ද නැත. එය විසඳුනේ 2009 මැයි 19 දා නන්දිකඩාල් කලපුවේ දී ත්‍රස්‌තවාදය අවසන් කරලීමෙනි. දැන් කළ යුතු වනුයේ 13 ට අඩු හා වැඩි විසඳුම් සෙවීම නොව 13 ද ඉවතට දමා මෙරට සියලු ජනකොටස්‌වලට රටේ ඕනෑම තැනක තම සංස්‌කෘතීන්ද රැකගෙන ජීවත්වීමට මඟ හැදීමයි. ඒ සඳහා අමුතු දේශපාලන විසඳුම් අවශ්‍ය නැත. 13 එල්ලී කෑ ගහන අය වෙනම දෙමළ රාජ්‍යයකට පාර කපන්නෝ වෙති. රට, රටේ දියුණුව හා ආරක්‍ෂාව ගැන අවංකව සිතන පතන කිසිවෙකුට බලය බෙදීමක්‌ ගැන කතා කිරීමට තබා සිතීමටවත් ඉඩක්‌ නොමැත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.