|
|
|
|
|

මිනිසුන් අතට "ගල්" දීමට සැලැස්‌වීම
ඉන්ධන මිල යන සාධකය කොතරම් සංවේදී දෙයක්‌ද යන්න වටහා ගැනීමට
අයින්ස්‌ටයින්ගේ මොළය තරම් විශාල හා සංකීර්ණ මොළයක් අවශ්‍ය
නැති බව මේ ආණ්‌ඩුව තුළට රිංගාගෙන සිටින ආර්ථික ඝාතකයන්
දැන්වත් පිළිගත යුතුව තිබේ. ඩීසල් මිල 50% කට කිට්‌ටු මුදලකින්
වැඩි කළ ආණ්‌ඩුව සියලු භාණ්‌ඩ හා සේවාවල මිල පාවීමට ඉඩහැර බලා
සිටී. ආණ්‌ඩුව රටේ පොදුජන ආර්ථිකය සම්බන්ධයෙන් මේ මොහොතේදී
අනුගමනය කරන්නේ නිරීක්‍ෂණ මට්‌මේ ප්‍රතිපත්තියකි. එනම්, බඩු
මිල නගී. ආණ්‌ඩුව බලා සිටී. ඒ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා
දේශපාලන පක්‍ෂ සාමාන්‍ය ජනයා මහ පාරට ගාල් කර ඔවුන් අතට "ගල්"
ලබා දෙයි. එවිට ඒ මිනිස්‌සු ඒ වෙලාවේ සිටින තම ආසන්නම සතුරා වූ
පොලිසියට ගල් ගසයි. පොලිසිය මුලින්ම මිනිසුන්ට වතුර විදී.
දෙවනුව කඳුළු ගෑස් ගසයි. තෙවනුව වෙඩි තබයි. එවිට කොහෙන් හෝ
පැමිණි අසරණයකුගේ ඔලුව හිල්වී ඔහු මියගොස් ප්‍රශ්නය එක්‌සත්
ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලය දක්‌වා යයි. එවිට
එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සිතන්නේ ලංකාවේ ආණ්‌ඩුව සෝමාලියාවේ
එක් පැත්තක පවත්නා මුහුදු කොල්ලකාරයන්ගේ ආණ්‌ඩුව හා සමාන
බවයි. සෝමාලියා මුහුදු කොල්ලකාරයන්ගේ ආණ්‌ඩුව පැන්සලක් හොරකම්
කළ මිනිහාටත් වෙඩි තබයි. රත්තරන් කිලෝවක් හොරකම් කළ එකාටත්
වෙඩි තබයි. කෙනකුට රැවු එකාටත් වෙඩි තබයි. කෙනකු මැරූ එකාටත්
වෙඩි තබයි. ලංකාව ගැන බෑන්කී මූන්ට පණිවුඩය යන්නෙත් ඒ ආකාරයටය.
මේ වැරදි ප්‍රචාරවලට පහර දී සැබෑ තත්ත්වය ලොවට කීමට තරම් අපගේ
තානාපති සේවාව ශක්‌තිමත් නැත. ශ්‍රී ලංකාවට විරුද්ධව එක්‌සත්
ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට ගෙන එන යෝජනාවට
ඇමරිකාව සහයෝගය දෙන බව එනම්, ලංකාවට වළ කැපීමට ඇමරිකාව උදව්
කරන බව අපගේ එළිපත්තටම පැමිණි අපගේ රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රයා
වන රොබට් බ්ලේක් පැවැසීය. එය තර්ජනයකි.
වැඩිකරන ලද භූමිතෙල් වෙනුවෙන් දෙන සහනාධාරය කිසිදු ආකාරයකින්
ඵලදායක නැත. මසකට රුපියල් 3000 ක් හෝ ඊට වැඩි ගණනක භූමිතෙල්
පරිභෝජනය කරන පවුලකට ලැබෙන්නේ රුපියල් 300 ක් හෝ ඊටත් අඩු
සහනාධාරයකි. පුද්ගලික බස් සඳහා ඩීසල් සහනාධාරයක් දෙන බව
ආණ්‌ඩුව මුලදී කීවද බස් ගාස්‌තුව 20% කින් වැඩි කිරීමට
පුද්ගලික බස් හිමියන්ට පසුව අවසර දුන්නේය. එහි තේරුම ඩීසල්
සහනාධාරය බස් හිමියන්ට ගෙවනු ලබන්නේ රජය විසින් නොව මහජනතාව
විසින් බවය. මෙය ඉතා නපුරු විහිළුවකි. ඉන්ධන යනු ආර්ථිකයේ
කේන්ද්‍රය වන අතර එයට පහර දීමෙන් සමස්‌ත ආර්ථිකයම බිඳ වැටෙනවා
ඇත. සියලු පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉතා ක්‍රමානුකූල ලෙස ඉහළ
යමින් පවතී. අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යැමෙන් එදිනෙදා ආහාර වේල්
ගණන හෝ ආහාර ගන්නා ප්‍රමාණය අඩු කිරීමට ජනයාට සිදු වේ. තමන්ටත්
සහනාධාරයක් නොදුන්නොත් පාන් මිල ඉහළ දමන බව බේකරි හිමියන්ගේ
සංගමය පවසයි. ලයිට් බිලේ ඉන්ධන ගැලපුම් ගාස්‌තුව 40% ක්
දක්‌වා ඉහළ දමා තිබීමෙන් පෙනී යන්නේ ජනතාව කළුවරේ සිටිනු
දැකීමට ආණ්‌ඩුව කැමැති බවකි, ආණ්‌ඩුව එකවරම දරාගත නොහැකි භයානක
බරක් ජනතාව මතට පටවා ඇත. මේ අතර ජීවන වියදම ඉහළ යැමට එරෙහිව
ඉකුත් සිකුරාදා (17 දා) එක්‌සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන ලද
විරෝධතා ව්‍යාපාර ගැන ද යමක් සඳහන් කළ යුතුය. මෙය පවත්වන
ලද්දේ වැඩ ඇරී සවස් කාලයේදී මිනිසුන් ගෙදර යන වේලාවටය.
පෙළපාලිකරුවෝ පොලිසියට ගල් ගසමින් ප්‍රචණ්‌ඩ ලෙස හැසිරුණහ.
පෙළපාලිකරුවන් අත සටන් පාඨ නොවීය. මෙය කිසියම් විකාර ගතියක්
තිබූ පෙළපාලියකි. පෙළපාලිකරුවකුගේ වැලමිටක් නළලේ වැදීම නිසා
හෝ (කැමති නම් මෙය බෝර 12 වෙඩි උණ්‌ඩයක් වැදීමෙන් යයි සංශෝධනය
කළ හැකිය.) වෙනයම් කාරණයක් නිසා කිසිදු තුවාලයක් නැතිව
අහිංසක දොස්‌තර ජයලත් ජයවර්ධන මහීකාන්තාව සිප ගත්තේය. යන එන මං
නැති වික්‍රමබාහු කරුණාරත්න ද මෙයට එකතු වී රනිල් වික්‍රමසිංහ
මහතා සමග උරෙනුර ගැටෙමින් කතා පවත්වන්නට විය. රනිල්ගේ ඇඟේ
ගෑවෙන්නට ලැබීම වික්‍රමබාහු ලද වාසනාවකි. මන්ද රනිල් සතු ජන
පදනමෙන් දස දහසෙන් එකක්‌වත් වික්‍රමබාහුට නැත. කෙසේ වුවද එජාපය
පෙළපාලි සංවිධානය කරන විට ජනතා විමුක්‌ති පෙරමුණේ පෙළපාලිවල
වීඩියෝ පිටපත් ගෙන්වාගෙන බැලිය යුතුය. ජවය, සටන් පාඨ, ක්‍රමවත්
භාවය යන සියල්ල ඔවුන් තුළ තිබේ. ඔවුන්ට පොලිසියෙන් ගහන විට
ජනතාව තුළ සත්‍ය වශයෙන්ම ශෝකයක් හට ගනී. එහෙත් එජාප යට
පොලිසියෙන් ගහන විට බලා සිටින්නා තුළ පොඩි නිදිමත ගතියක් ඇති
වේ. අප මේ සියල්ල ලියුවේ සද්භාවයෙනි. කවුරුත් මෙයට වැරදි
අර්ථකථන නොදිය යුතය. කෙසේ වුවද සංවිධානාත්මක හා තියුණු
විපක්‍ෂයක් රට තුළ තිබුණේ නම් ආණ්‌ඩුවට කුමකින් කුමක් සිදු
වන්නේද යන්න හිතා ගන්නට පවා නොහැක.
|
|
|
|