වම්ඉවුර

පළාත් සභා අහෝසි කිරීමේ
ඔස්‌ටින් ප්‍රනාන්දුගේ විසඳුම


මේ රටේ ඡේෂ්ඨ පරිපාලන නිලධාරියකුව සිටි ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ඉකුත් සතියේ මට කතාකොට පළාත් සභා වලට ඉඩම් බලතල ලබාදීම සම්බන්ධයෙන් ඔහු ලියා තිබුණු නිබන්ධනයක්‌ කියවා බලන මෙන් මට ආරාධනය කළේය. ප්‍රනාන්දු මහතා 2001-2004 එ.ජා.ප. පාලන සමයේ මේ රටේ ආරක්‍ෂක ලේකම්වරයා හැටියටද සේවය කොට තිබිණි. බලය බෙදාහැරීම සම්බන්ධයෙන් පරිපාලන නිලධාරියෙක්‌ ලියන ඕනෑම දෙයක්‌ කියවිය යුතුය යන්න මගේ අදහසයි. එයට හේතුව මේ රට සැබවින්ම පාලනය කරන පිරිස වන්නේ මේ පරිපාලන නිලධාරීන් වන නිසාය. යම් බලයක්‌ බෙදිය හැකිද නැද්ද යන්න වඩාත් හොඳින් දන්නේ ඔවුන්ය. බලයක්‌ බෙදීමෙන් ඇතිවන ගැටලු සමග පොරබදන්නට වන්නේද ඔවුන්ටය. එම නිසා මෙවැනි කාරණා ගැන පරිපාලන නිලධාරියකුගේ අදහස්‌ හැමවිටම වැදගත් වෙයි.

එසේ නමුත් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාගේ නිබන්ධනයේ තිබුණු දුර්වලතාවයන් කිහිපයක්‌ පෙන්වාදිය යුතු යෑයි මට සිතුණි. ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන නිසා, එ.ජා.ප. යේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වන නිසාත්, ඔහු පලකරන අදහස්‌ තීරණ ගන්නා ස්‌ථානවල සිටින උදවියට බලපෑම් එල්ල කළ හැකි ඒවා වන නිසාත් ඒවා දෙස අප විවේචනාත්මකව බැලිය යුතුය. ප්‍රනාන්දු මහතාගේ තර්කයේ මා මුලින්ම දුටු දුර්වලතාවය වූයේ 13 වැනි සංශෝධනයෙන් දැනටමත් ඉඩම් බලතල පළාත් සභා වලට ලබාදී ඇති නිසාත්, එය ශ්‍රේෂ්ඨාධිකරණයේම තීන්දු කීපයකින් තහවුරු වී ඇති නිසාත් එකී ඉඩම් බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවට තර්ක කිරීමයි. මෙසේ ඉඩම් බලතල පළාත් සභාවලට ලබා නොදීම ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමක්‌ හැටියටද ඔහු හඳුන්වයි. එපමණක්‌ ද නොව මෙකී ඉඩම් බලතල ව්‍යවස්‌ථාවෙන්ම පළාත් සභාවලට දී නොතිබුණේ නම් ඔහු ඒ ගැන වචනයක්‌වත් කතා නොකරන බවද ඔහු පවසයි. එයින් අපට පෙනෙන ආකාරයට ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාගේ තර්කය පදනම් වී ඇත්තේ මෙය දැනටමත් නීති පොතේ ඇති කාරණයක්‌ වන නිසා එය ක්‍රියාත්මක කළ යුතුය යන නීතිමය තර්කයයි. මෙය ඔහු පරිපාලන නිලධාරියකුගේ මානසිකත්වයෙන් කියන දෙයක්‌ යෑයි මට හැඟේ. ඒ ජීවිත කාලය පුරාම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ පුරුද්ද නිසා විය හැක. එසේ නමුත් දේශපාලන ලියුම්කරුවකු වන මට යමක්‌ ව්‍යවස්‌ථාවේ හෝ නීති පොතේ තිබෙනවාය යන කාරණයේ සත පහක වටිනාකමක්‌ නැත. යමක්‌ ව්‍යවස්‌ථාවේ තිබුණත් අප වැනි උදවිය ඒ දෙස බලන්නේ මේ වගන්ති ක්‍රියාත්මක කළ හැකි ද, ඒවා ක්‍රියාත්මක කළ යුතුද? ඒවා ක්‍රියාත්මක කිරීමෙන් විසඳෙන ප්‍රශ්න මොනවාද? යනාදී ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ කාරණා අනුසාරයෙනි. යමක්‌ ව්‍යවස්‌ථාවේ තිබුණේ යෑයි කියා එය ක්‍රියාත්මක කළ යුතුය යන තර්කය අප වැනි අයට අදාළ නැත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 224 දෙනකුම ඡන්දය දී සම්මත කරගත් 17 වැනි සංශෝධනය පවා ක්‍රියාත්මක නොකළ යුතුය යන අදහස "වම් ඉවුරෙන්" තර්ක කළ බව පාඨකයන්ට මතක ඇතුවා විය හැක. එකී 17 වැනි සංශෝධනයට ආණ්‌ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් සියලු දෙනාම ඡන්දය දුන්නද ඒ තීන්දුව පියවි සිහියෙන් ගත් තීන්දුවක්‌ නොවන බව එයට පසුබිම් වූ කාරණා දෙස බලන විට ඕනෑම කෙනෙකට පෙනේ. අප මේ අවස්‌ථාවේදී සාකච්ඡා කරමින් සිටින 13 වැනි සංශෝධනයද ව්‍යවස්‌ථාවට ඇතුළු වූයේ කෙසේද යන්න හැමෝම දනී. එය අඩුම වශයෙන් 17 වැනි සංශෝධනය මෙන් අපේ රටේ දේශපාලන පක්‍ෂ සාමූහිකව ගත් තීන්දුවක්‌ නොව ඉන්දියාව විසින් බලහත්කාරයෙන් මේ රට මත පටවන ලද්දකි. ලංකාවේ පාලකයන් ද එයට ඔලුව වැනුවේ පළාත් සභා ක්‍රමය මේ රට පාලනය කිරීමට සුදුසුම ක්‍රමය යෑයි ඔවුන් විශ්වාස කළ නිසා නොව, කොටි සංවිධානයේ ත්‍රස්‌තවාදය එයින් නතරකර ගත හැකිවේය යන බලාපොරොත්තුව මතය. 13 වැනි සංශෝධනය යනු ගනුදෙනුවකි. එය ව්‍යවස්‌ථාවට ඇතුළත් කළහොත් ත්‍රස්‌තවාදය මඩින්න ඉන්දියාවෙන් උදවු කරනවාය යන පොරොන්දුව මත ඇතිකරන ලද්දකි. නමුත් එදා 13 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වූ කිසිදු කාරණයක්‌ සිදු නොවිණි. කොටි සංවිධානය ත්‍රස්‌තවාදය අත්හැරියේත් නැත. ඉන්දියාව ත්‍රස්‌තවාදය පරාජය කළේත් නැත. නමුත් මේ අසාර්ථක ගනුදෙනුවේ ප්‍රතිඵලය තවමත් අපේ නීති පොත් වල ඇත. එය තවමත් මේ රටේ පාලකයන්ට හිසරදයක්‌ වී ඇත. මේ පොලිස්‌ බලතල හා ඉඩම් බලතල ගැන නිතර සාකච්ඡා ඇතිවන්නේද මේ 13 වැනි සංශෝධනය නීති පොතේ තිබෙන නිසාය.

ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා මා සමග කියා සිටියේ 13 වැනි සංශෝධනය නීති පොතේ නොතිබුණේ නම් ඔහු ඒ ගැන වචනයක්‌වත් කතා නොකරන බවයි. එපමණක්‌ ද නොව ජනාධිපතිතුමාට මේ ප්‍රශ්නයෙන් බේරිමට නම් කළ හැකිව තිබෙන්නේද 13 වැනි සංශෝධනය අවලංගු කර දැමීම බවයි. මම ද ඒ අදහස පිළිගනිමි. 13 වැනි සංශෝධනය ද 17 වැනි සංශෝධනය අවලංගු කළ ආකාරයටම අහෝසි කොට දැමීමට දැන් කාලය එළඹ තිබේ. බලය බෙදාහැරීම යන සංකල්පය ද නැවතත් විමර්ශනය කළ යුතුව තිබේ. ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා සමග ද මා මේ සම්බන්ධයෙන් සංවාදයක යෙදුනෙමි. නීති පොතේ තිබීමේ කාරණය හැරුණු විට පළාත් සභාවලට බලතල බෙදා දීම ගැන වෙනත් තර්ක ඔහුට තිබෙනවා දැයි මා ඇසූ විට ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ඉංගී්‍රසියෙන් "සබ්සිඩියෑරිටි" නමැති මූලධර්මය ගැනයි. මෙකී මූලධර්මයෙන් කියවෙන්නේ මධ්‍යම ආණ්‌ඩුවක්‌ විසින් ප්‍රාන්ත මට්‌ටමින් කෙරිය යුතු දේවල් ප්‍රාන්ත මට්‌ටමින් සිදුකිරීමට ඉඩහැරීම පිළිබඳ මූලධර්මයයි. මෙවැනි සංකල්පයක්‌ ඇමරිකාව, ඉන්දියාව, කැනඩාව හෝ ඔස්‌ටේ්‍රලියාව වැනි විශාල රටකට ආදේශ කළ හැකි වුවත් ලංකාව වැනි කුඩා රටකට ආදේශ කරන්නේ කෙසේද යන කාරණය ගැටලුවක්‌ වෙයි. ලංකාවේ මධ්‍යම ආණ්‌ඩුවට පත්වන නියෝජිතයන්ද පත්කර එවනු ලබන්නේ පිටිසර පළාත් වලිනි. බලය බෙදාහැරීම පිළිබඳ කතා කරන උදවිය මධ්‍යම ආණ්‌ඩුව ගැන කතා කරන්නේ යටත් විජිත පාලකයන් ගැන කතා කරනවා සේය. නමුත් මේ මධ්‍යම ආණ්‌ඩුවද සැඳී තිබෙන්නේ හම්බන්තොටින්, යාපනයෙන්, පුත්තලමෙන් එන ජනතා නියෝජිතයන්ගෙනි. තමන්ගේ ප්‍රදේශවලට සුදුසු මොනවා දැයි මේ නියෝජිතයන් දන්නේ නැතැයි කිසිවකුටත් කිව හැකිද? පුත්තලමෙන් තේරී පත්වන එන මන්ත්‍රීවරයා ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ පාර්ලිමේන්තුවේ අසුන්ගත් පමණින් ඔහුට පුත්තලමේ ප්‍රශ්න විස¹ලීමට ඇති සුදුසුකම අහෝසි වි යනවාය යන අදහස බලය බෙදා හැරීමට පක්‍ෂපාත අය ප්‍රචාරය කර හරී. ඔවුන් ප්‍රචාරය කරන අදහස වන්නේ මැදවච්චියේ ප්‍රශ්න විසඳීමට කොළඹ පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා අයෙක්‌ නොව අනුරාධපුරයේ අසුන් ගන්නා තවත් මන්ත්‍රීවරයෙක්‌ අවශ්‍ය බවයි. මේ තර්කය කෙළවරටම ගෙන ගියහොත් අවසානයේදී සිදුවන්නේ මැදවච්චියේ ප්‍රශ්න විසඳීමට මැදවච්චියේම මන්ත්‍රීවරයෙක්‌ම අසුන්ගෙන සිටිය යුතු බව කීමයි. ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ගෙනහැර දැක්‌වූ එක්‌ උදාහරණයක්‌ වූයේ "සබ්සිඩියරිටි" මූලධර්මයට අනුව ග්‍රාමසේවකවරුන් වගකිවයුත්තේ කොළඹ තිබෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොව පළාත් සභාවලට බවයි. නමුත් මෙතැනදී කැබැතිගොල්ලෑවේ සිටින ග්‍රාමසේවකවරයෙක්‌ අනුරාධපුරයේ පළාත් ආණ්‌ඩුවකට වගකිවයුත්තේ මන්දැයි අයෙක්‌ ප්‍රශ්න කර ඇත. කැබිතිගොල්ලෑවේ ග්‍රාමසේවකවරයා කැබැතිගොල්ලෑවේ ප්‍රශ්න හඳුනන කැබැතිගොල්ලෑවේම පාලන අධිකාරියකට වගකිවයුතු යෑයි තවත් අයෙක්‌ පවසනු ඇත. මෙකී මූලධර්මය ඕනෑම කෙනකුට ඕනෑම ආකාරයකට කරකැවිය හැකිය. නමුත් ලංකාවේ නම් මේ සියලු තර්ක ගෙන හැර දක්‌වන්නේ ජාතීන් බෙදා වෙන්කිරීමට බව නම් පැහැදිලිය. එනම් ඉච්චිලම්පතුවේ ග්‍රාමසේවකවරයා කොළඹ තිබෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොව ත්‍රිකුණාමලේ දෙමළ පළාත් සභා ඇමැතිවරයකුට වගකියන තැනට වැඩ සැලසීමයි. මේ බලතල බෙදීම පිළිබඳ සියලු තර්ක පසුපස ඇති අවසන් අදහස එයයි.

මේ ආකාරයට වක්‍රාකාරයෙන් ඉදිරිපත් වන බෙදුම්වාදී අදහස්‌ ඉදිරියේදී මහත් ප්‍රශ්නයක්‌ වීමට ඉඩ ඇත. මේ බලතල බෙදීමේ තර්කය එය තුලින්ම විනාශකර දැමීමට ඇති එක්‌ ක්‍රමයක්‌ වන්නේ සියලු පළාත් සභා අහෝසිකොට පුළුවන්තරම් බලතල ප්‍රාදේශීය සභාවන්වලට පවරා දීමයි. ප්‍රාදේශීය සභා මට්‌ටමින් කළහැකි දේවල් මොනවාද යන්න ගැන හදාරා ඒ සියලු බලතල ප්‍රාදේශීය සභා වලට ලබාදී ඒවායේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා වරප්‍රසාද ද ඒ අනුව වැඩිකළ යුතුය. ඉන්පසුව සිදුවන්නේ සිංහල, දෙමළ හා මුස්‌ලිම් ප්‍රදේශවල වෙනසක්‌ නොමැතිව සැලකිය යුතු බලතල හොබවන ප්‍රාදේශීය නායකයන් විශාල ගණනක්‌ බිහිවීමයි. මේ ආකාරයට සියලු ප්‍රදේශවල කුඩා පරිපාලන ඒකක ගණනාවක ප්‍රාදේශීය නායකයන් ගණනාවක්‌ බිහිවීමෙන් ජාතිවාදී පදනමක්‌ මත රටේ කෑලි වෙන්කර ගැනීම නවතිනු ඇත. මෙවැනි බලතල සහිත ප්‍රාදේශීය සභාවන් බිහි කිරීමෙන් ප්‍රාදේශීය සභාවන් හා ප්‍රධාන ආණ්‌ඩුව අතර අතරමැදි ස්‌ථරයන් ඇතිකිරීමේ උවමනාවද නැතිවෙයි. තවද මෙවැනි ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් තමන්ට මේ ලැබී ඇති බලතල අහෝසි කොට ඊට ඉහළින් පවතින පළාත් සභා ස්‌ථරයකට දීමටද විරුද්ධ වනු ඇත. එයින් ජාතිවාදි පදනම මත පාලන ඒකක බිහිකිරීමද නවතිනු ඇත. මෙවැන්නක්‌ කිරීමෙන් අර පෙර කී සබ්සිඩියෑරිටි මූලධර්මයද එහි තාර්තික කෙළවරකටම රැගෙන යැමක්‌ද සිදුවෙයි.

මේ රටේ බලතල බෙදීමට ඇති පිළිගැනීමේ තරම ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාම කී කාරණාවලින්ම අපට පැහැදිලි විය. වරක්‌ එ. ජා. ප. පාලන සමයේදී ඔහුත් ජෝන් අමරතුංග මහතාත් මඩකලපුවේ ශාන්ත වින්සන්ට්‌ බාලිකා පාසලේ උත්සවයකට සහභාගි වූ අවස්‌ථාවේදී එම පාසලේ දරුවන්ගේ දෙමළ දෙමව්පියන්ගෙන්ද, එහි විදුහල්පතිවරයාගෙන්ද ඉදිරිපත් වුණු තදබල ඉල්ලීමක්‌ වූයේ තමන්ගේ පාසල ජාතික පාසලක්‌ බවට හරවන මෙන්ය. අමරතුංග ඇමැතිවරයාද කිසිදු පෙර සූදානමක්‌ නැතුව වුවද ජනප්‍රිය වීම සඳහා එම පාසල ජාතික පාසලක්‌ බවට හරවන බවට පොරොන්දුවක්‌ දෙන ලදී. මේ ආකාරයට දෙමළ ප්‍රදේශවල පවා මිනිසුන් බලය බෙදීමට පිටුපාන්නේ බිම් මට්‌ටමිනි. ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාම පවසන ආකාරයට සෑම ඡන්දයකට පෙරම ඒ ඒ ප්‍රදේශවල තිබෙන ඉස්‌පිරිතාලවලින් කීපයක්‌ද ජාතික ඉස්‌පිරිතාල බවට පත්වෙයි. එය සිදුවන්නේ ද ප්‍රාදේශීය ජනතාවගේ ඔල්වරසන් මධ්‍යයේය. මේ ආකාරයට ප්‍රාදේශීය සභාවල සාර්ථක පාසල් හා රෝහල් මධ්‍යම ආණ්‌ඩුව යටතට පැමිණීම ගැන ඒ ප්‍රදේශවල ජනතාව විරුද්ධ වන්නේද නැත. ගමට අලියෙක්‌ පැමිණියා යෑයි කියා පාර මැද ටයර් පුච්චන මිනිසුන් තමන්ගේ ප්‍රදේශයේ තිබෙන හොඳම පාසල හා රෝහල කොළඹ ආණ්‌ඩුව පවරා ගත්තේ යෑයි කියා වචනයක්‌වත් කියන්නේ නැත. මෙයින් අපි සිතාගත යුත්තේ සාමාන්‍ය මහජනතාවට බලතල බෙදීම අවශ්‍ය වී ඇත්තේ කුමන ප්‍රමාණයටද යන්නයි. 13 වැනි සංශෝධනය අහෝසි කරනවාට විරුද්ධ වූවොත් විරුද්ධ වන්නේ එයින් තීරුබදු රහිත වාහන ලබාගෙන වැටුප් හා වරප්‍රසාද ලබාගෙන කිසිදු සැලකියයුතු වැඩක්‌ නොරක නොමිලේ ලබා දෙන "බුෙµa කමින්" කාලය ගෙවන පළාත් සභා මන්ත්‍රී ස්‌ථරය පමණි. බස්‌නාහිර පළාත් සභාවේ එ. ජා. ප. පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්‌තිලක මහතා මා සමඟ පවසා සිටියේ ඇතැම් මන්ත්‍රීවරුන් පළාත් සභාවට පැමිණ උදේට ලබාදෙන බුෙµa ආහාරවේලෙන් සප්පායම් වී සභා ගැබට ඔලුව දමන්නේවත් නැතුව එහෙමම පිටව යන බවයි. බස්‌නාහිර පළාත් සභාව විසින් පසුගිය අවුරුදු ගණනාව පුරාම පනත් සම්මතකර ඇත්තේද, 10 ත් 15 ත් වැනි සුළු ප්‍රමාණයක්‌ බව ඔහු පවසයි. එක පළාත් සභාවකින් වත් කෙරෙන වැඩක්‌ නැත. ජීවන වියදම් ප්‍රශ්නය අද අහස උසට නැගී තිබෙන අවධියක මේ පළාත් සභා ක්‍රමය නැමැති සුදු අලියා නඩත්තු කිරීමට යන වියදම අඩුකර ගත්තේ නම් එය ජනතාවටත් ආණ්‌ඩුවටත් එකලෙස සහනයක්‌ වනු ඇත.


සී.ඒ. චන්ද්‍රප්‍රේම

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.