අම්බලම

ලෝ කය දැන් කුඩා වී ඇත. උදයට කොළඔ ඉන්නා ඔබ සවසට ඉන්නේ යාපනයේ හෝ ලන්ඩන් නගරයේ විය හැක. පසුදින නිව්යෝක්‌හි හෝ තිස්‌සමහාරාමයේ විය හැක. මේ කොතැනක ගියද ඔබට රැය ගත කරන්නට හෝ විවේක ගන්නටත් බොහෝ තැන් තිබේ. ඔබේ පසුම්බිය අනුව විශ්‍රාම ශාලාවක සිට තරු පහේ හෝටලයක්‌ දක්‌වා වන තෝරා ගැනීමක්‌ කළ හැකිය. ඔබට නවාතැන පිළිබ`ද කල් තබාම සැලසුම් කර ගත හැකිය. අද ජීවිතය ඒ තරම්ම පහසුය.

අදින් වසර තුන් හාරසීයකට එපිට ජීවත් වූ අපේ මුතුන්මිත්තෝද දෙස්‌ විදෙස්‌හි සංචාරයේ යෙදුනහ. ඒ ගැන වන සාධක කොතෙකුත් තිබේ. ඔවුනටද රැයක්‌ ගත කරන්නට තැන් තිබෙන්නට ඇත. මේ රටේ නේක දුර්ග මැදින් කළ සංචාරයන් ඇතුළුව ඒ අතීත ගමන් බිමන් ගැන කියෑවෙන විට නිතැතින්ම සිහියට නැගෙන්නේ අම්බලම්ය. අපේ අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ තවත් එක්‌ අග්‍රඵලයක්‌ ලෙස හඳුන්වා දිය හැකි අම්බලම් ගණනාවක්‌ තවමත් මේ රටේ අතීත උරුමයක්‌ සේ රක්‌ෂා වී පවතී.

නවාතැන් අරුමයක්‌ නොවන අද වැනි සමාජ පරිසරයක පවා අම්බලම් කුමන හෝ ප්‍රායෝගික කටයුත්තක්‌ ස`දහා භාවිත වෙමින් ඇත. ඉන් විදහා දක්‌වන්නේ මෙම වාස්‌තු විද්‍යාත්මක නිමැවුම බිහිකර තිබූ ප්‍රායෝගික ස්‌වරූපයයි. මේ ස්‌වරූපය සලකා බලන විට සියවස්‌ ගණනකට පෙර අම්බලම් හැදුවේ රාත්‍රි නවාතැනක්‌ ලෙස පමණක්‌දැයි විමසා බලනු වටී.

අම්බලම යනු ගමක අධ්‍යාත්මයේ හා කලාව සහිත සමස්‌ථ චින්තනයේම එක්‌තරා ප්‍රකාශනයකි. මෙම අම්බලම් ඉදිකිරීම ස`දහා මුල් වූ අරමුණු විවිධාකාරය. පැරණි නගර යාකළ ගමන් මං ඔස්‌සේ ඉදිකළ අම්බලම්, ගමේ පොදු කටයුතු සඳහා එක්‌රැස්‌වීමට ඉදිකළ අම්බලම්, ගොවිතැන් කටයුතු පහසුව සඳහා ඉදිකළ අම්බලම් වශයෙන් අම්බලම් ඉදිවීමේ අරමුණු විවිධාකාර විය. අද ද හන්දියේ අම්බලම, වෙල මැද අම්බලම, ළිඳ ළඟ අම්බලම, බණගේ අම්බලම ආදී වශයෙන් ව්‍යවහාරයේ පවතින්නේ ඒ අරමුණු මුල් කරගනිමිනි. සමහර අම්බලම් මෙකී සියලු කටයුතු සඳහා අද ද භාවිතා වේ. මෙය කොතරම් ජන සමාජය ආකර්ෂණය කරන ගෘහ නිර්මාණ අංගයක්‌ද කිවහොත් බේදයකින් තොරව සියලු ජනවර්ගයන් අම්බලම් භාවිතයට ගත්හ. එමෙන්ම විවිධ ජන වර්ගයන් ඉලක්‌ක කරගෙනද අම්බලම් ඉදිවිය. මාතලේ කූඹියන්ගොඩ දෙමළ අම්බලම එවැනි එකකි. එහි මධ්‍යයේ කාමරයක්‌a බිත්තියකින් වෙන්කර තිබූ අතර, එය කාන්තාවන් සඳහා යෑයි කියවෙයි. දවුලගල හන්දියේ පිහිටි අම්බලම ද එවැනි වාර්ගික පදනමක්‌ මත ඉදිවූවකි. එහෙත් අද එය සිංහල මුස්‌ලිම් සියල්ලෝම භාවිත කරති.

අම්බලමක්‌ පිළිබ`ද අධ්‍යයනයේදී ප්‍රකාශ වන ප්‍රධාන කාරණා කීපයක්‌ වේ. මුල්ම කාරණය නම් මේ නිර්මාණයන් කළ ශිල්පීන් කවුරුන්ද යන්නය. මෙම නිර්මාණ කිසිවක්‌ හැඩයෙන්a, සැලසුමෙන්, හෝ ප්‍රමාණයෙන් සමාන නැත. එනම් අම්බලමක්‌ ස`දහා වන නිශ්චිත වූ සම්මත සැලැස්‌මක්‌ නොවීමය. එසේ නම් මෙම කුඩා වාස්‌තු විද්‍යාත්මක අංග්‍රයන් නිර්මාණය වූයේ රාජ්‍ය අනුගහයකින් නොවන බව පැහැදිලිය. මේ බොහෝ අම්බලම් ඉදිකරන්නට එම ගමේ ජීවත් වූ ප්‍රභූන් රැස්‌ මුල් වී ඇති බව සිතිය හැක. නමුත් මෙයට වැය කළ ශ්‍රමය හා නිර්මාණ හැකියාව ගැමියාගේම වූ බව පැහැදිලිය.

දෙවනුව වැදගත් වන්නේ අම්බලම ඉදිකරන්නට තෝරා ගත් ස්‌ථානයයි. එය ඉතාමත් වැදගත් තේරීමක්‌ විය. අම්බලම භාවිත කරන අයගේ උපරිම පහසුව එයින් සැලසුණි. ගමන්මගේ ළිඳක්‌ අසල, දොලක්‌ අසල, කඹුරක්‌ මැද ආදී වශයෙන් අම්බලම් ඉදිවිය. නමුත් විහාරස්‌ථානයක්‌ අසලම අම්බලමක්‌ ඉදිවූ අවස්‌ථා විරලය. මන්ද අම්බලමේ කාර්යය පන්සලේ බණ මඩුවෙන් ඉටුවූ නිසා විය හැක.

අම්බලමේ නිර්මාණ සංකල්පය වාස්‌තු විද්‍යාත්මක වශයෙන් විශ්ලේෂණයේදී එය එක්‌තරා අනන්‍ය වූ වාස්‌තූ විද්‍යාත්මක නිර්මාණයක මූල බිජය වේ. අම්බලම සෑම විටම කණුවල ආධාරයෙන් සෙවන දෙන විවෘත අවකාශයක්‌ සහිත ගොඩනැගිල්ලක්‌ විය. අම්බලම යන වචනයෙන් සෘජුවම ගම්‍ය වන්නේ නවාතැන් පළක්‌ වුවද මෙය මූලික වශයෙන් රැස්‌වීම් ශාලාවක්‌ විණි. ගම් මට්‌ටමේ රාජකාරි කටයුතු වලදී මෙන්ම ගම්මුන් එකට එකතු වී සතුටු සාමීච්චියේ යෙදුණේද මෙහිදීය.

මෙම වර්ගයේ ගොඩනැගිලි වල දෙවන අදියරය බණ මඩුව විය. එය මෙයට වඩා යම් ක්‍රමාණුකූල රීතියක්‌ යටතේ ඉදිකළ එමෙන්ම සම්ප්‍රදායන් හා ආගමික නියමයන් යටතේ ක්‍රියාත්මක වූ රැස්‌වීම් ශාලාවකි. කෙසේ වුවද මූලික වශයෙන් ධර්ම දේශනාව සඳහා යොදාගත්තද එය ද්විතීයික වශයෙන් රැස්‌වීම් ශාලාවක්‌ ලෙස අද ද භාවිත වෙයි.

මෙම වර්ගයේ ගොඩනැගිලිවල උච්චතම අවස්‌ථාව රාජ සභා මණ්‌ඩපයයි. දැනට අපට අවශේෂව දක්‌නට ලැබෙන පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ සහ නිශ්ශංකමල්ල රජතුමාගේ රාජසභා මණ්‌ඩපය මෙන්ම අදට ද හොදින් පවත්නා මහනුවර මගුල් මඩුවද එයට හොදම උදාහරණ වේ. මෙයට අමතරව සීගිරියේ බිඳී ගිය ගලක්‌ උපයෝගී කර ගෙන ගලේ කොටා ඇති කාශ්‍යප රජුගේ රාජ සභා මණ්‌ඩපයේද ලී කණු ආධාරයෙන් වහළයක්‌ පැවති බවට සාධක වේ. යාපහුවේ පියගැට පෙළ ඇති යාපහුව රාජධානියේ රාජසභා මණ්‌ඩපයේ නටඹුන් අනුව අම්බලමේ මූලික ලක්‌ෂණ සහිත ගොඩනැගිල්ලක්‌ එහි වූ බව පෙන්වයි. එමෙන්ම ගම්පොළ යුගයේa රාජසභා මණ්‌ඩපයෑයි සැක කරන ඇම්බැක්‌ක දේවාලයේ දිග්ගෙයද පඬුවස්‌ නුවර විහාර භුමියේ දක්‌නට ඇති මණ්‌ඩපයද තවත් උදාහරණ දෙකකි.

මේ අනුව රාජසභා මණ්‌ඩපය යනු අම්බලම ගොඩනැගිල්ලේ දියුණුම අවස්‌ථාව ලෙස සැලකිය හැකිය. මෙහිදී සිත යොමු කළ යුතු තවත් වැදගත් කාරණයක්‌ වේ. එනම් මේ නිර්මාණ වර්ග ත්‍රිත්වයම කණු වලින් දරාගත් වහලක්‌ සහිත විවෘත ගොඩනැඟිලි වීමට හේතුව කුමක්‌ද? යන්නය. අපේ කාලගුණික දේශගුණික තත්ත්වයන් යටතේ පොදුවේ ජනතාව රැස්‌වන ස්‌ථාන බිත්ති වලින් ආවරණය කර තිබීම අයෝග්‍ය වේ. මන්ද ඒ හේතුවෙන් වඩාත් අපහසු පරිසරයක්‌ ඇති වීමය. ස්‌වාභාවික වාතාශ්‍රය හා ආලෝකය මැනවින් ලබා ගෙන තම කටයුතු යහපත් මානසික තත්ත්වයන් තුළ සිදුකිරීමට හැකි පරිසරයක්‌ මෙවැනි විවෘත නිර්මාණයකින් ඇතිවේ. මෙය මෙම වාස්‌තු විද්‍යාත්මක සම්ප්‍රදායට අනන්‍ය ලක්‌ෂණයකි. එනයින් බලන කල අම්බලම වූ කලී ගැමියන් විසින් තම හිතුමනාපයට ඉදිකරන ලද්දක්‌ නොවන බව පැහැදිලි වේ.

අම්බලම නිර්මාණය කිරීම ගැන කොතෙකුත් තාක්‌ෂණික හා වාස්‌තු විද්‍යාත්මක තොරතුරු සිද්ධාන්ත හා මූලධර්මයන් ගෙනහැර දැක්‌විය හැකිය. නමුත් වඩාත් වැදගත් වූ කාරණයක්‌ ප්‍රමුඛකොට දැක්‌වීම වැදගත් වේ. එනම් මෙම නිර්මාණය හා සබැඳි සමාජ යථාර්ථයයි.

අද පවතින්නේ පන්සල මෙන්ම පාසලත් අනාරක්‌ෂිත කළ සමාජයකි. එබ`දු පරිසරයක වුවද අද පවා අවම තරමින් ගමක රස්‌තියාදුකාරයන් අම්බලමක සිට රා බොන බවක්‌ වත් වාර්තා වන්නේ නැත. එය ගැඹුරින් සිතා බැලිය යුතු සත්‍යයකි. අද අම්බලම එසේ නම් එකල අම්බලමේ අද මෙන් යාචකයන් නොව රජවරු සිටුවරු පවා බියෙන් සැකෙන් තොරව රැය ගත කළ බවට ජනප්‍රවාදයේ එන තොරතුරු අසත්‍ය විය නොහැක. එයින් ගම්‍ය වන සත්‍යයන් දෙකක්‌ වේ. පළමුවැන්න නම් වාස්‌තු විද්‍යාත්මක නිර්මාණයක්‌ වශයෙන් අම්බලමේ ඇති නිර්මාණශීලී ගුණයයි. ඒ වාස්‌තු විද්‍යාත්මක ස්‌වරූපය නිසා අම්බලම භාවිත කරන්නාට ලබා දුන් රැකවරණයයි. අනෙක නම් සමාජයක්‌ වශයෙන් මෙවන් විවෘත ගොඩනැඟිල්ලක සුරක්‌ෂිතව සිටින්නට තරම් එකල ජන සමාජයේ තිබූ සමාජ සුරක්‌ෂිතභාවයයි. අම්බලමක්‌ ඉදිකළ අය කිසිවිටකත් එය තමන්ට අයත් යෑයි කියා වැට ගසා ගත්තේ නැත. එමෙන්ම එහි නැවතී විවේක ගන්නට ආ අය එය කාගේදැයි කවුරු හදපු එකක්‌දැයි සොයන්නට ගියේත් නැත. නමුත් ඔවුනට අවශ්‍ය රැකවරණය අඩුවක්‌ නැතිව ලැබිණි.

සමාජ සුරක්‌ෂික භාවය ගැන සඳහන් කරද්aදී එකතු කළ යුතු තවත් කරුණකි. අද මෙන් සම අයිතිවාසිකම් හිමිවන, ලැබෙන, මෙන්ම ඉල්ලන සමාජ ක්‍රමයක්‌ එකල නොවීය. එකල සමාජය ස්‌ථර ගණනාවකින් යුක්‌ත විය. නොයෙකුත් වෘත්තීන් අනුව බෙදුනු පැහැදිලි කුලයන් ගණනාවකින් යුත් සමාජයක්‌ මෑතක්‌ වන තුරුත් අප රටේ පැවතිණි. අම්බලම වැනි විවෘත ගොඩනැඟිල්ලක්‌ එකී සමාජ ක්‍රමය තුළ සෑම මිනිසෙකුටම මනා රැකවරණයක්‌ ලැබීමද සිsතිය යුතු කරුණකි.

මෙම සමාජ ස්‌ථර ක්‍රමය අම්බලමේද තිබුණු නිසාවෙන් මෙම කරුණ විග්‍රහ කළ යුතුමය. මන්ද අම්බලමේ පැනවූ ආසන අනුව මෙය එකී සමාජ ස්‌ථර සියල්ලටම පොදු වූ ස්‌ථානයක්‌ බව මැනවින් විද්‍යා මාන වේ. අදටද හොඳින් මේ ලක්‌ෂණය ආරක්‌ෂා වී පවතින උඩුනුවර නාරංවල අම්බලම මෙයට කදිම උදාහරණයකි. මෙහි පැති තුනේ ආසන තුනකි. එක්‌ ආසනයක සාමාන්‍ය ආකාරයට වාඩි විය හැක. අනෙක්‌ ආසනය උසින් වැඩිය. එහි වාඩි වූ විට දෙපය බිම නොගෑවෙන තරමට උසය. කකුල් පද්දමින් සිටිය හැකි තරම් එම අසුන උසය. අනෙක්‌ අසුන ඉතාමත් මිටිය. එහි වාඩි වූ විට දණ හිස නිකටේ වදින තරම්ය. මේවා මෙලෙස හැදුවේ මෙකී සමාජ ස්‌ථරයන්ට අනුකූල වන පරිදි බව ඉතාමත් පැහැදිලිය. දවුලගල අම්බලමේ අසුන්ද මේ ආකාරයෙන් තිබී අධික ලෙස ජනතාව විසින් භාවිත කිරීම හේතුවෙන් එක්‌ මට්‌ටමකට ගෙන සකස්‌කර තිබේ.

අම්බලම් ගැන කියද්දී සුවිශේෂී අම්බලම් කීපයක්‌ ගැන කිව යුතුමය. නාරම්මල අසල පිහිටි පනාවිටිය අම්බලමත් කරගහ ගෙදර අම්බලමත් අම්බලම් අතර සුවිශේෂී ස්‌ථානයක්‌ ගනී. ඒ ඒවායේ ඇති වාස්‌තු විද්‍යාත්මක ගුණයත් කැටයම් ආදිය නිසා ඇති කලාත්මක ගුණයත්a නිසාය. මාතලේ කූඹියන්ගොඩ පඬිවිට වෙල මැද අම්බලමේ පිට බාල්ක මැදින් ඇතිරිය හැකි ලෑලි තට්‌ටුවකි. මෙය ගලවා ඉවත්කළ හැකි ආකාරයෙන් සකස්‌කර ඇත. නිදා ගැනීමට අවශ්‍ය වූ විට එම ලෑලි අතුරා හත් අට දෙනකුට පහසුවෙන් නිදාගත හැකි ඇඳක්‌ සකස්‌ කර ගත හැක.

කෑගල්ලේ මාකුර අම්බලම ආකාරයේ අම්බලමක්‌ වෙනත් කොහේවත් නැති බව කිව යුතුය. එය ඉදිකර ඇත්තේ ඇළ මාර්ගයක්‌ මත ඇතිරූ ගල් පුවරුවකය. අම්බලමට යටින් ගලා යන සිහිල් දිය පහර වායු සමනය කළ මැදිරියක සුවය ගෙනෙයිs. කෙන්ගල්ලේ අම්බලම අපට හමුවන ලොකුම අම්බලමය. එය අප කවුරුත් දකිනා කොළඔ නුවර මාර්ගයේ පිහිටි ප්‍ර්‍රසිද්ධම අම්බලමකි. බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉදිකළා යෑයි සිතන මේ අම්බලමේ විශේෂත්වය එහි කාමරයක්‌ තිබීමයි. එය මෙම පරිසරයේ පවතින සිසිල් ස්‌වභාවය හේතුවෙන් ඇති කළ වෙනසක්‌ යෑයි සිතිය හැක. නැතිනම් අපේ පැරණි ජන සමාජයේ පැවති සමාජ සුරක්‌ෂිත භාවය යුරෝපීය ආක්‍රමණයන් සමග බිඳවැටීම හේතුවෙන් හුදෙක්‌ ආරක්‌ෂාව සඳහාම නිර්මාණය වූ කාමරයක්‌ දැයි සිතා බැලීමද වටී.

අද සිදුවෙමින් පවත්නා සමාජ විපර්යාසයන් හමුවේ භාවිතයෙන් ඈත්වෙමින් පවතින අම්බලම නම් සුවිශේෂී වාස්‌තු විද්‍යාත්මක නිර්මාණය රැක ගැනීම අප කාගේත් යුතු කමක්‌ හා වගකීමක්‌ වන බව කිව යුතුමය.

වරලත් වාස්‌තු විද්‍යාඥ ප්‍රසන්න බී. රත්නායක
අධ්‍යක්‌ෂ
වාස්‌තුවිද්‍යා සංරක්‌ෂණ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ඡායාරූප - අර්ජුන සමරවිර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.