කොණ්‌ඩය නොකපා පාසල් ආවා යෑයි
දුප්පත් හේෂාන් ශිෂ්‍යයාට විදුහල්පති
කණ පැලෙන්න ගහලා


හේෂාන් දිනුක්‌ කුමාර චන්ද්‍රසේන ශිෂ්‍යයා තම නිවස ඉදිරිපිට

ආච්චි ආර්. ඩී. සිරියලතා (57) මහත්මිය

කොණ්‌ඩය නොකපා පාසල් පැමිණියේ යෑයි කෝපයට පත් විදුහල්පතිවරයෙක්‌ ශිෂ්‍යයකුට එල්ල කරන ලද ප්‍රහාරයකින් කණ පුපුරා තුවාල සිදුවීමේ සිද්ධියක්‌ රම්බඩගල්ල නහල්ල මඩිතියාව ගමෙන් වාර්තාවේ.

රම්බඩගල්ල මධ්‍ය මහා විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන දොළොස්‌ හැවිරිදි හේෂාන් දිනුක්‌ කුමාර චන්ද්‍රසේන ශිෂ්‍යා මෙම ප්‍රහාරය ලක්‌ව ඇත.

මේ කුඩා ශිෂ්‍යයාගේ මව දැනට වසර 11/2 කට පමණ පෙර විදේශ ගතව රැකියාවක නිරතව සිටින අතර හේෂාන් රැකබලා ගන්නේ ඔහුගේ ආච්චි අම්මාය.

සිද්ධිය පිළිබඳව තොරතුරු සොයා අප හේෂාන්ගේ කුඩා පැල්පතට ගොඩ වැදුනෙමු.

කුඩා කාමර දෙකකින් යුත් මෙම නිවසෙහි හේෂාන් තම ඉගෙනීමේ කටයුතුවල යෙදෙන්නේ ඉතා අපහසුවෙන් බව අපට පසක්‌ විය.

මේ ඔහු මුහුණ දුන් අමිහිරි සිද්ධියයි.

එදා අපි පන්සිල් අරගෙන කලාප රැස්‌වීමට ගියා. පන්තිය භාර ටීචර් එක්‌ක තවත් ටීචර්ල දෙන්නෙක්‌ හිටියා. ප්‍රින්සිපල් ඇවිත් මට අඬගහල කොන්ඩෙ කපල නෑ කියල මගෙ කොන්දටයි කණටයි හයියෙන් ගැහුවා. එක පාරම කන ඇහෙන් නැතුව ගියා. ටික වේලාවකින් ලේ ආවා. මම ඒව පිහදාගෙන ශබ්ද නැතිව හිටිය. ආයෙත් ගහයි කියල පාසල ඇරිල ගෙදර ගිහින් ඉන්න කොට ටික ටික කැක්‌කුම අල්ලන්න ගත්තා.

තම මුනුපුරාට ප්‍රතිකාර ලබාදුන් අයුරු විස්‌තර කළේ ආර්. ඩී. සිරියලතා (57) මහත්මියයි.

ළමයා සවස ඉස්‌කෝලෙ ඇරිල ඇවිත් මොනවත් කීවේ නෑ. ඒත් රෑ වෙද්දී කණ කැක්‌කුම කියල විස්‌තරේ කීවා. එවෙලෙම හුණුගල් කඩුල්ලෙ ප්‍රයිවට්‌ සාප්පුවකට එක්‌ක ගිහින් බෙහෙත් ගත්තා. එහි දොස්‌තර මහත්තයා කීවා "මේකට මට ප්‍රතිකාර කරන්න අපහසුයි. හෙට රිදීගම රෝහලට එන්න" කියල පසුවදා රිදීගම රෝහලේ අංක තුන වාට්‌ටුවට ඇතුළත් කරල දින දෙකක්‌ ප්‍රතිකාර ලබාගත්ත. ඉස්‌පිරිතාලෙන් විස්‌තර අහල කීව ලොකු සර්ගෙ මොලේ හොඳ නැත්ද මෙහෙම ගහන්නේ කියලා. ඉස්‌පිරිතාලෙන් මේ ගැන පොලිසියට දැනුම් දුන්නත් පොලිසිය එන්න පෙර ගෙදර යමු කියල ටිකට්‌ කපාගෙන ගියා. ඒ ලොකු සර්ට විරුද්ධව සාක්‌කි දෙන්න වෙයි කියලා.

මෙම විදුහල්පතිවරයා පිළිබඳව රිදීගම පොලිසියේ පැමිණිලි ගණනාවක්‌ද ඇති බව වාර්තා වෙන අතර විදුහල් ලාංඡනය පැළඳ නැති ශිෂ්‍යයකුට බිම වැටෙන්න පහර දීමක්‌ සහ ලේ එන්නට රැවුල කැපීම පිළිබඳවද ප්‍රසිද්ධියක්‌ උසුලන බව වාර්තා වේ.

විස්‌තරය හා ඡායාරූප - දොඩම්ගස්‌ලන්ද ඩබ්. ඒ. ජයසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.