සිංහල මළ භාෂාවක්‌ නොවන්න නම්
අවශ්‍ය වෙනස්‌කම් කරන්න ඕනෑ
පරිගණක අක්‌ෂර නිර්මාණ ශිල්පී පුෂ්පානන්ද ඒකනායක

සංවාදය - නිරෝෂන් හැඳලගේ

සිංහල භාෂාව පිළිබඳ කිසියම් සංවාදයක්‌ ගොඩනැගෙමින් පවතින මෙකල සිංහල අක්‌ෂර පරිගණක තාක්‍ෂණයෙන් නිර්මාණය වීම පිළිබඳ යම් කතා බහක්‌ ඇති කළ යුතුයෑයි කියා ද අපි සිතුවෙමු. පරිගණක අක්‍ෂර නිර්මාන ශිල්පි පුෂ්පානන්ද ඒකනායක මහතා අද වටමඬල මුලසුන ට කැඳවන්නේ ඒ අටියෙනි.

සිංහල අක්‌ෂර මාලාව පරිගණක තාක්‌ෂණය තුළ මොනවගේ තැනක ද තිබෙන්නේ කියන විග්‍රහයකින් මේ සාකච්ඡාවලට ප්‍රවේශයක්‌ ගත්තොත් හොඳයි කියා හිතනවා.

සිංහල අක්‌ෂර මාලාව පරිගණකය සමඟ බද්ධ වී තිබෙනවා. යුනිකෝඩ් අකුරු තමයි යන්න තිබෙන හොඳම තැන. නමුත් ඒකට නම් අපි තාම ආධුනිකයි. අන්තර්ජාලය කියූ විට අපි හිතන්නේ මහා විශාල එකක්‌ කියලා. සිංහල අකුරු භාවිතයේ ප්‍රායෝගික කාර්යයක යෙදී ඉන්න මට නම් අන්තර්ජාලයේ සිංහල අකුරු භාවිතය දශමයක වගේ වැඩක්‌. සිංහල අකුරු පරිගණකයක්‌ සමඟ බහුල වශයෙන් භාවිත වන්නේ මුද්‍රණයේදීයි. ඊමේල් ගනුදෙනු සහ වෙබ්සයිට්‌වල ගැවසීම සිදුවන්නේ බොහෝ සුළු ප්‍රතිශතයකින්. සමස්‌තයක්‌ ලෙස විග්‍රහ කළොත් සිංහල අක්‌ෂර මාලාව තාක්‌ෂණිකව යන්න පුළුවන් හොඳම තැන. "යුනිකෝඩ්". එය අද භාවිත වන්නේ අන්තර් ජාලය තුළ පමණයි. ඒ නිසා සමස්‌ත පරිගණක භාවිතය තුළ යුනිකෝඩ් භාවිතය ඒ නියමිත තැනට පැමිණ නැහැ.

සිංහල අක්‌ෂර පරිගණක තාක්‌ෂණයට එක්‌ කිරීම අභියෝගයක්‌ද?

එහි ගැටලුවක්‌ නැහැ. හේතුව විවිධ පර්යේෂණකරුවෝ පර්යේෂණ කරමින් සිටීමයි. ජංගම දුරකථනයේ සහ අයිපෑඩ් (ipad) එකේ සිංහලෙන් පොත් කියවීමේ තාක්‌ෂණය දැන් සොයාගෙන තියෙනවා. මගේ පරිගණක අක්‌ෂර පළමුවැනි එළිදැක්‌වීමට පැමිණ දේශනයක්‌ කළ සරත් අමුණුගම මහතා කිව්වේ සිංහල අකුරු තව අවුරුදු දහයකින් වඳවෙනවා කියලා. ඒක මගේ විෂයට පරස්‌පර කතාවක්‌. ඇත්තට ම අද ඒ කතාව සියයට දාහකින් බොරුවෙලා තියෙන්නේ.

සිංහල භාෂාවේ අක්‌ෂරවලට විවිධ හැඩ තිබෙනවා. ඒ වගේම සංකේත ප්‍රමාණයත් වැඩියි. පරිගණක තාක්‌ෂණයේදී මෙය කළමනාකරණය කරන්නේ කොහොමද?

එතරම් බරපතළ ගැටලුවක්‌ ඇති වුණේ නැහැ. අකුරු තියුණු (Polish) කිරීමේ උවමනාව නම් ඇතිවුණා. ඉවත් කළ යුතු හා ඉවත් කළ හැකි අකුරු ගැන අධ්‍යයනය කරලා ඒ සඳහාත් විසඳුම් සොයා ගත්තා. ඉවත් කරන්න පුළුවන් ඒවා අපි දැනටත් ඉවත් කරලා. උදාහරණයක්‌ විදිහට රේපය නැතිව දැන් අපට වැඩ කරන්න පුළුවන්.

ඉවත් කරනවා කියන්නේ භාවිතයෙන් ඉවත් කරනවා කියන එක ද නැත්නම් පරිගණක තාක්‌ෂණයට ගේන්න බැරි නිසා ඉවත් කරනවා කියන එකද?

පරිගණක තාක්‌ෂණයට ඕනෑ එකක්‌ ගේන්න පුළුවන්. කිසිම බාධාවක්‌ නෑ. පරිගණකය මෙවලමක්‌ විතරයි. වහලෙක්‌ විතරයි. එහෙම බැරිනම් ඒක ශිල්පියාගේ නොදැනුවත්කම. ඒ කාලේ අපි අමාරුවෙන් කරපුවා අද වැඩිය හොඳට කරන්න පුළුවන්. නමුත් පරිගණකය ඔස්‌සේ වැඩකරනකොට ව්‍යාප්තියේ හා භාවිතයේ පහසුව තිබිය යුතුය. අතීතයේදී සිංහල භාෂාව ලේඛනයට භාවිත වුණේ විද්වතුන් අත පමණයි. ඒ අය අතරේ මේ අකුරු 60 - බැරිනම් 100 ක්‌ තිබුණත් ප්‍රශ්නයක්‌ නැහැ. ඒත් අද රුපියල් 3000 ක මොබයිල් ෆොන් එකකින් තමන්ගේ යාළුවට සුබ උපන්දිනයක්‌ කියලා ටයිප් කරන්න කාටත් ඕනේ. ඒ කාරණේ හරියට කරන්න අකුරු ටික අඩු කරලා මේ භාෂාව සරල කරන්න ඕනේ. අකුරු ටික අඩු කරන්න ඕනෑ කියලා මම කියන්නේ හුඟක්‌ අන්තවාදී අදහක ඉඳලම නොවෙයි. මම කියන්නේ අනවශ්‍යමයි කියලා දරුණුවට දැනෙන අකුරු ගැන පමණයි. බලහත්කාරෙන් අකුරු දහයට බස්‌සමු කියලා මම කියන්නේ නෑ. මළ භාෂාවක්‌ නොවී රැක ගැනීම සඳහා අවශ්‍ය වෙනස්‌කම් ටිකයි කරන්න ඕනෑ. මේ තාක්‌ෂණයෙන් ඒක කරන්න හොඳටම පුළුවන්.

ඔබ අදහස්‌ කළ පරිදි මළ භාෂාවක්‌ නොවී පවතින්න සිංහල භාෂාව පරිගණක ගත කිරීම වැදගත් වෙනවා. ඔබට තිබෙන අත්දැකීම් අනුව පරිගණක භාවිතයේදී සිංහල භාවිත කිරීමේ පෙළඹුම කොයි තරම්ද?

ඉහළම ඉහළින් තිබෙනවා. පරිගණක සාක්‌ෂරතාව කියන්නේ කම්පියුටර් එකක්‌ පාවිච්චි කරන එකයි, ඊ මේල් භාවිත කරන එකයි. වෙබ්වලට යන එකයිනෙ. ඒත් වැඩ කරන්න ගියහම කාටවත් ඉංග්‍රීසියෙන් වැඩ කරන්න බැහැ. ගමක ඉස්‌කෝලෙක ළමයකුට වර්ඩ්වල ඉංග්‍රීසියෙන් ලියුම් ගහන්න බැහැනේ. ඒකට සිංහල ඕනේ. වර්ඩ් එකේ සිංහලෙන් වැඩ කරන්න පුළුවන්. භාවිතයේ ප්‍රතිශතය අඩුවෙන්න පුළුවන්. ඒක ඇතුළෙ සිංහල ප්‍රතිශතය ඉහළයි. මේ වෙනකොට සිංහලෙන් පවත්වාගෙන යන වෙබ් අඩවි, බ්ලොග් අඩවි කොයි තරම් නම් තියෙනවාද? ප්‍රසිද්ධ මාධ්‍යවල වගේ ඒවාට සීමාවක්‌ නැති නිසා සිංහල පාව්ච්චිය නිර්භය ව සිදුවෙනවා දකින්න පුළුවන්.

සිංහල නිර්භයව භාවිත කරනවා කියන්නේ අදහස්‌ ප්‍රකාශනයට ද, භාෂාවක්‌ හැටියට ද?

දෙවිදිහටම සිද්ධ වෙනවා. මම කියන්නෙ නෑ ඒක භාෂාවට හෝ සාහිත්‍යයට සිදුවන මෙහෙයක්‌ කියලා. නමුත් සිංහල අක්‌ෂර භාවිත කිරීම පිළිබඳ අපි සතුටු විය යුතුයි. හැබැයි සාහිත්‍ය, දේශපාලනය ආදී විෂයන් සම්බන්ධයෙන් ඉතා ඉහළ මට්‌ටමේ සිංහල වෙබ් අඩවි පවත්වාගෙන යන පිරිසක්‌ද සිsටිනවා. වැඩි පිරිසක්‌ පිස්‌සු නටනවා.

ජපානය, චීනය, අරාබිය වැනි රටවල එම භාෂාවලින් වැඩ කළ හැකි ආකාරයට පරිගණක මෘදුකාංග (Software) නිෂ්පාදනය වෙනවා. සිංහල භාෂාවට එබඳු තැනකට ඒමට ඇති බාධක මොනවාද?

ප්‍රධාන ගැටලුව තමයි මයික්‍රොසොෆ්ට්‌ලා සිංහලෙන් නොලියන එක. එබඳු උත්සාහයන් කීපයක්‌ ඇති වුණත් පැවැත්මක්‌ තිබුණේ නැහැ. ප්‍රධාන මෘදුකාංග සමාගම් ඒකට උදව් කරන්නේ නැහැ. ප්‍රධාන හේතුව මේක වෙළෙඳපොළක්‌. ජපානෙට, චීනෙට, මයික්‍රොසොෆ්ට්‌ලා ලියන්නේ හොඳ වෙළෙඳපොළක තිබෙන නිසා. අපේ රටේ එබඳු විශාල වෙළෙඳපොළක්‌ නැති නිසා ඔවුන් ඒ සඳහා උනන්දු වෙන්නේ නෑ. ඒ වගේම තමයි ඇඩෝබිලා යුනිකෝඩ්වලට සහයෝගය දෙන්නේ නෑ. ඉන්ඩික්‌ ලැන්ග්වේජස්‌ (ඉන්දියානු සම්භවයක්‌ සහිත භාෂා) කියලා භාෂා තිබෙනවා. ඇඩෝබිලා ඒවාට සහයෝගය දෙන්නේ නැහැ. භාෂා ගණනාවක්‌ නිසා ප්‍රායෝගිකව ඔවුන්ට එය කරන්නත් බැහැ. චීනෙ ගත්තොත් එක භාෂාවයි. ජපානෙ ගත්තොත් ඒත් එකයි. ඉන්දියාවේ හැටක්‌ විතර ඇති. සිංහලත් එක්‌ක හැට එකක්‌. ඒ නිසා ඔවුන් ඉන්දියාවට ලියන්නෙත් නැහැ. ප්‍රංශ, ජර්මන්, අරාබි ඔක්‌කොටම වෙන වෙනම මෙහෙයුම් (Operating System) තිබෙනවා. අපේ රටවල් යටත් විජිත නිසා ඉංග්‍රීසියෙන් කරන්නත් පුළුවන්නේ. ඒ නිසා ඒ ගැන ඔවුන් වධ වෙන්නේ නෑ.

භාෂාව කියන්නේ එකක්‌. අකුරු කියන්නේ තව එකක්‌. ඉංග්‍රීසියේ දී ඉංග්‍රීසි කියන භාෂාවත් වැඩ කරනවා. අකුරුත් වැඩ කරනවා. වැරැද්ද තියෙන්නේ හැම වෙලේම අපේ රටේ උත්සාහ ගන්නේ තුන්වැනි තැනින් පටන් ගන්න. පළවැනි එක ඕනේ නෑ. දැන් මේ දවස්‌වල තව කට්‌ටියක්‌ ලංකාවේ ප්‍රකාශකයෝ අල්ලගෙන අන්තර්ජාලයට ඊ - බුක්‌ස්‌ දාන්න හදනවා. ඊ බුක්‌ස්‌ දාන්න ඉස්‌සෙල්ලා ඒ පොත යුනිකෝඩ්වලින් ටයිප් කරලා තියෙන්න ඕනෑ. මුද්‍රණය කරන්න පාවිච්චි කරපු පොන්ට්‌ එක ඊ බුක්‌ එකට ගැලපෙන්නේ නෑ. ඉස්‌සෙල්ලා අපි ඒක තේරුම් ගන්න ඕනෑ. ඒ අය හිතනවා ෆොන්ට්‌ එකත් එක්‌ක දැම්මහම කියවන්න පුළුවන් කියලා. ඒක ප්‍රායෝගික නැහැ. නිදසුනක්‌ ගත්තොත් අමෙරිකාවේ ඉන්න "දිවයින" වාර්තාකරු සිංහලෙන් ටයිප් කරලා එවන ලිපිය කෙලින්ම පත්තරේට ගන්න පුළුවන් කමක්‌ තියෙන්න එපායෑ. ඉංග්‍රීසි පත්තරවල එහෙමයි. "ටයිම්ස්‌" එකේ ඔබ්සර්වර් එකේ, ඉන්න ඔක්‌කොම කාර්යාලයට යන්නේ නෑ. ගෙදර ඉඳලා ටයිප් කරලා ඊ - මේල් කරනවා. සිංහල භාෂාවෙන් ඕක කරන්න බැහැ සම්මතයක්‌ නැතිව. දැන් අජිත් තිලකසේන මහත්තයාගේ ලිපි ටයිප් කරන්න නම් එයාගෙ ෆොන්ට්‌ එක තියෙන්න ඕනේ. එයා ඒක බෙද බෙද යන්න ඕනේ පත්තරවලට එහෙම එකේ ඊ බුක්‌ස්‌වලට යන්නේ කොහොම ද.

එතැනට යන්න නම් ඔබ යෝජනා කරන විසඳුම මොකක්‌ද?

සිංහලෙන් පත්තරේ හෝ පොත මුද්‍රණය කිරීමයි අපේ මූලික කාර්යය. ඒකට මුලින්ම විසඳුම් දෙන්න ඕනේ. ඊට පස්‌සේ ඒකම අන්තර්ජාලයට ගන්න පුළුවන්. යුනිකෝඩ්වල තිබෙන ප්‍රතිලාභය තමයි පත්තරය මුද්‍රණය ට පාවිච්චි කරන අකුරුම වෙබ් එකටත් පාවිච්චි කළ හැකි වීම. වෙබ් එකේ සමහර ෆොන්ට්‌ නැති වුණත් ඊට සමාන ෆොන්ට්‌ එකකින් පෙන්වනවා.

අපි දැන් වෙනත් පැත්තකට යමු. අජිත් තිලකසේන මහත්මයා වෙනුවෙන් ඔබ නිර්මාණය කළ සමරූපී අක්‍ෂර පොදු භාවිතයේදී මොනවගේ තත්ත්වයක ද තිබෙන්නේ?

"µ" අක්‍ෂරය හඳුන්වලා දුන්නු මුල් කාලේ භාෂා විද්වත්තු ඒක පාවිච්චි කරන්න ඒ තරම් කැමති වුණේ නෑ. ළමයින්ට මේ අක්‍ෂරය ඉගැන්නුවේ නැහැ. නමුත් කාලයක්‌ යනකොට භාවිතයෙන් මේ අක්‍ෂරය හෝඩියට ගන්න වුණා. මේක මම දකින්නේ අපේ රටේ තියෙන කැත පුරුද්දක්‌ විදහට. හැමදේම මුලදී ප්‍රතික්‌ෂේප කරනවා. කරන්න දෙයක්‌ නැති වුණාම එහෙනම් කමක්‌ නෑ කියනවා. ඒ වගේ වෙනස්‌ කරන්න පුළුවන් එක වරකට එකක්‌ දෙකක්‌ පමණයි. එක සැරේ 25 ක්‌ වෙනස්‌ කරන්න හැදුවොත් එකක්‌වත් වෙනස්‌ වෙන්නෙ නෑ කියන එකයි මං හිතන්නේ. එහෙම වෙනස්‌ කරනවා නම් සිංහල හෝඩියට දාලා ළමයින්ට උගන්වල එන්න ඕනෑ. 25 ක්‌ වෙනස්‌ කරන එක පත්තරවලින් කරන්න බැහැ.

අජිත් තිලකසේනගේ සමරූපී අක්‍ෂර පරිගණක තාක්‍ෂණයේ දී භාවිතයට පහසුවක්‌ ද?

එහෙම විශේෂත්වයක්‌ නැහැ. දැනට භාවිත කරන අක්‍ෂර වුණත් පරිගණකයේදී භාවිතයට අපහසුවක්‌ නැහැ. තිලකසේන මහත්තයාට සමරූපී අක්‍ෂරවල තාක්‍ෂණික අපහසුව පෙනුනේ ටයිප්රයිටරය භාවිත කරන කාලේ. එතකොට ඔහු දුටු ගැටලුව හුඟක්‌ හොඳයි. නමුත් අද වෙනකොට තාක්‍ෂණය දියුණු වෙලා. අද පාපිලි තුනට ම එක යතුරයි ඔබන්න ඕනේ. අපි "රැ" ,"රෑ" ත් හදලා තියෙන්නේ. ර යන්න ගහලා ඇදේ ගැහුවාම රැ යන්න එනවා. "ර" ගහලා පාපිල්ල ගැහුවාම රු යන්න එනවා. තාක්‍ෂණයෙන් බැහැරව සමරූපී වීමේ අගයක්‌ තිබේ නම් මම ඊට විරුද්ධ නෑ.

ඔබ කියන්නේ තිලකසේන මේ ගැන කතා කරන්න පටන් ගන්න කාලෙයි අද වෙනකොටයි බොහෝ ප්‍රශ්න විසඳිලා තියෙනවා.?

හුඟක්‌ දුරට විසඳිලා තියෙනවා. නමුත් ඔහු කියු දේවලින් තව කෙරෙන්න ඕනෑ දේවලුත් තියෙනවා. අක්‍ෂර නිර්මාණ කරුවකු හැටියට නම් මම හිතන්නේ සමහර අක්‍ෂර ඒ විදිහටම තියෙන එකත් හොඳයි කියලයි. එහෙම කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ දීත් සමහර අක්‍ෂරවල සම රූපී වීම නෙවෙයි ලක්‍ෂණය විෂමරූපී වීම.

ඒ ගැන අපි ටිකක්‌ කතා කරමු.

මේක විද්‍යානුකූල කතන්දරයක්‌. අපි පිටු තුන්හාරසීයක පොතක්‌ එකදිගට කියවලා ඉවර කළාම අන්තර්ගතයෙන් අපි තෘප්තිමත් වෙනවා මිසක්‌ අපේ ඇස්‌ රිදිලා ඔළුව කැක්‌කුම හැදෙන්න බැහැ. සමරූපී අක්‍ෂරවල සමරූපී භාවයෙන් අපි ව්‍යාකූල වෙන්න පුළුවන්. විෂමරූපී වුණාම අපි පහසුවෙන් කියවනවා. "තු" "නු" වෙනස්‌ වීම් තුළ මුල් එක "ත" යන්න බව සියයට සියයක්‌ම සාක්‌ෂාත් වෙනවා. ත යන්නට න යන්නේ පාපිල්ල තිබ්බොත් අපිට පැටලෙන්නට ඉඩ තිබෙනවා. අක්‍ෂර කුඩා බවට පත් වීමේදී විෂමරූපී පාපිල්ලෙන් අක්‍ෂරය නිරවුල් කරලා දෙනවා. ඉංග්‍රීසි ටයිම්ස්‌ ෆොන්ට්‌ එකේ ජී හා ඒ (g හා a) අකුරත් ඒ වගේ. වෙබ් එක ඇතුළෙන් මුල් කාලේ ඔය සමරූපී අක්‍ෂර ආවා. න මුත් කියවීමේ පහසුව සඳහා අද ඒවා වෙනස්‌ වෙලා. අද වෙනකොට ස්‌ක්‍රීන් ෆොන්ට්‌ කියලා පරිගණක තිරය සඳහාම නිර්මාණය කළ අක්‍ෂර තියෙනවා. මේ ප්‍රශ්නෙදී මම ඉන්නේ මැද තැනක.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.