"වෑන් රියක බිම දිගා කර පහර දෙමින්
ඒ මොහොතේම ලක්‍ෂ 500 ක්‌ ඉලලුවා"

පැහැර ගැනීමට ලක්‌වූ සාගර සේනාරත්න කියයි


පියසේන දිසානායක

කැබ් රථයෙන් බහින්න හදනවාත් සමග පිටිපසින් පැමිණි වෑන් රථයේ සිටි හතර දෙනෙක්‌ දුවගෙන ඇවිත් මගේ බෙල්ලෙන් ඇදලා අරගෙන ඔවුන්ගේ වෑන් රථයේ බිම දිගා කරවා පහර දුන්නා. එසේ පහර දෙමින් ගෙන යන විට බිරිඳත් දරු තිදෙනාත් හැරුණු කොට මට සිහි වූයේ දෙවියන් වහන්සේ පමණයි"

පෙරේදා (26 වැනිදා) රාත්‍රියේ පැහැර ගැනීමකට ලක්‌ව නිදහස්‌ වී පැමිණි බස්‌නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ මස්‌සිනා වන සාගර සේනාරත්න මහතා එසේ පැවසීය.

ජීවන් කුමාරතුංග අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනවාදැයි කිව නොහැකි බවද හෙතෙම කීය.

පැහැර ගැනීමකට ලක්‌වූ හිටපු පළාත් සභා මන්ත්‍රී සාගර සේනාරත්න මහතා මුහුණ පෑ එම සිද්ධිය පිළිබඳව "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් තවදුරටත් මෙසේද කියා සිටියේය.

මගේ ව්‍යාපාරික ස්‌ථානය වසා දමා රාත්‍රි 7.20 ට පමණ හංවැල්ල බලා යැමට මගේ කැබ් රථයෙන් රියෑදුරු සමග පිටත් වුණා. අපි ජුබිලි කණුව මංසන්ධියට යන විට එක දිගට නලාව නාද කරමින් වෑන් රථයක්‌ පිටුපසින් පැමිණියා. මම සිතුවේ මගේ යාළුවෙක්‌ වෙන්න ඇති කියලයි. අපි කැබ් එක නතර කර බහින්න හදනවාත් සමග පිටුපසින් පැමිණි වෑන් රියේ අය දුවගෙන ඇවිත් මගේ බෙල්ලෙන් අල්ලගෙන තල්ලුකරගෙන ගොස්‌ ඒ වෑන් රථයේ පිටුපස අසුනට ඉදිරියෙන් උඩුබැලි අතට බිම දිගා කළා. වචනයක්‌වත් කතා කරන්න දුන්නේ නැහැ.

මගේ රියෑදුරු කෑගහගෙන ඒ වාහනය අසලට පැමිණෙනවාත් සමග එහි සිටි අය ඔහුට බැණලා එළව ගත්තා.

පසුව මගේ උරහිස්‌ එක්‌ අයකුත්, කකුල් සහ කඳ කොටස තව දෙදෙනකුත් තදකරගෙන සිටියා. කෑගහන්න උත්සාහ කළාම කට වහලා මට ගැහුවා. දඟලන විට ගැහුවා. මට පහර දිදී ඒ වාහනය ඈත ප්‍රදේශයකට වේගයෙන් යන බව මට දැනුණා.

එසේ යන විට ස්‌ථාන දෙකකදී එහි සිටි අයට දුරකථන ඇමතුම් ලැබුණා. විනාඩි දෙක තුනක්‌ ඔවුන්ගෙන් අයෙක්‌ කා සමග ද කතා කරමින් සිටියා. මට වට පිට බලන්නවත් කෑගහන්නවත් දුන්නේ නැහැ.

වෑන් එකට දාගත්ත වෙලාවේ සිට මට අතින් පයින් පහර දෙමින් ඔවුන් ලක්‍ෂ 500 ක්‌ දෙන ලෙස ඉල්ලා සිටියා. එවැනි මුදලක්‌ නැති බව කියන විටත් මට පහර දුන්නා. බැරිම තැන ඔවුන්ගෙන් මා ගිණුම් අංකයක්‌ ඉල්ලුවා. මේ සිද්ධියට කාටවත් නොකියා හැකි පමණින් මුදල් දමන බව කිව්වා. නමුත් දැන් මුදල් දීපන් කියලයි ඔවුන් ගැහුවේ.

සිද්ධිය වූ සැණින් මගේ රියෑදුරු සියලු තැන්වලට කතා කරලා මේ ගැන කියා තිබුණා. ජීවන් කුමාරතුංග අයියා වහාම මැදිහත් වී ජනාධිපතිතුමා සහ ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කර මාව බේරා ගැනීමට හැකි උපරිම පියවර ගෙන තිබුණා.

ටික දුරක්‌ යන විට වාහනයේ පිටුපස අසුන දෙසින් යම් අයෙක්‌ වේදනාවෙන් කෙඳිරි ගානවා මට ඇසුණා. ඔහු වේදනාවෙන් "බුදු අම්මෝ මාව බේරගන්න මට යන්න දෙන්න" වැනි වචන දෙඩෙව්වා. ඒ අවස්‌ථාවේ එහි සිටි අයෙක්‌ ඔහුට පහර දුන්නා. මා වගේම තවත් අයෙක්‌ එම වෑන් රථයේ බිම දිගාකර සිටින අයුරු මම ඡායාව වගේ දැක්‌කා. ඔහු කවුද ඔහුට මොනවද වුණේ කියලා මා දන්නේ නැහැ.

බොහෝ දුරක්‌ යන විට වෑන් රථය පැදවූ අයට දුරකථන ඇමතුමක්‌ ලැබුණා. ඒත් සමඟ ඔහු "මූව දමලා යමු" කිව්වා. එකවරම වෑන් රථය නතර කර මාව එළියට ඇදලා අරගෙන වතුර බෝතලයක්‌ අතට දී "උඹට අපි දුරකථනයෙන් කතා කර ගිණුම් අංකයක්‌ දෙනවා. පොලිසියට හෝ කිසිවකුට නොකියා එයට මුදල් දාපන්" කියලා විනාඩි 15 ක්‌ තාප්පය දෙසට හැරී බලා හිටපන්" කියා මාව තාප්පයක්‌ අසල දමා ඔවුන් වෑන් රියට ගොඩ වී වේගයෙන් ඉදිරියට ගියා. වටපිට බලන විට සිටින්නේ වත්තල හෝටලයක්‌ අසල බව දැනගත්තා.

මා ඉදිරියට ගමන් කරන විට බස්‌ රථයක්‌ පැමිණියා. බලන විට මීගමුව දෙසට ඒ බස්‌ රථය ගමන් කරනවා මට දැනුණා. පසුව බසයෙන් බැස පාරේ අනෙක්‌ පැත්තට යනවත් එක්‌ක ගුවන්තොටුපළ කොටුව බසයක්‌ ආවා. එයට ගොඩවී බස්‌ හෝල්ට්‌ 2 ක්‌ පමණ යන විට දුරකථන ඇමතුම් ලබාගත හැකි තැනක්‌ මා දුටුවා. වහාම බසයෙන් බැස ඒ දුරකථන ඇමතුම් ලබාගන්නා ස්‌ථානය වෙත ගොස්‌ ජාඇල පොලිසියට කතා කර සිද්ධිය කිව්වා. විනාඩි කීපයකින් පොලිස්‌ වාහනයක්‌ එතැනට පැමිණ මාව ජාඇල පොලිසියට ගෙන ගියා. ජාඇල පොලිසිය මගෙන් කටඋත්තර ලබාගෙන පසුව මිරිහාන පොලිසියට කතා කළා. පැය බාගයක්‌ පමණ යන විට මිරිහාන පොලිසියෙන් ද වාහන කීපයක්‌ ජාඇල පොලිසියට පැමිණ මාව කොළඹට ගෙන ආවා.

මගේ ජීවිතය ගලවා ගැනීමට හැකිවූයේ සිද්ධිය වූ මොහොතේ සිට ජීවන් අයියා, ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා හා පොලිසි උනන්දුවෙන් ක්‍රියාත්මක වීම නිසයි. ඒ සියලු දෙනාට මගේ ස්‌තුතිය පුදකරනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.