වරම් මොටද ගිනිපිට ඇවිදන් යන්න....?

අප ජීවත් වන්නේ පුදුමාකාර සමාජයකය. මේ මිනිස්‌සුන්ට බැල්ම හෙලන පෙරේතයෝද, කුම්භාණ්‌ඩයෝ ද අටෝ රාශියක්‌ යක්‍ෂයෝද වෙති. හදි හූනියම් වල ප්‍රමාණය කොතෙකැයි ද කිව හැකි නොවේ. මේ නපුරු බලවේගවලින් මිදීමට තිස්‌තුන් කෝටියක්‌ දෙවිගොල්ලෝ වෙති. ඔවුන් හා මනුෂ්‍යයන් සම්බන්ධ කරනු ලබනා නේක ප්‍රකාර සෘෂිවරුන් දේව වරම් සහිතව විටින් විට සමාජයේ පහළ වේ. ඔවුහු දේව හාස්‌කම් හා අනුහස්‌ බලයෙන් ගිනි කති. ගිනිපිට ඇවිදිති. කටු ගසාගෙන කොකුවලින් එල්ලෙති. උණුදිය සනහති.


දයා සිසිර ගමගේ ගිනිපිට ඇවිදගොස්‌ පෙන්වූ අයුරු...

මේවා දකින දෙනෝ දාහක්‌ දෙනා වැළ නොකැඩී ගොස්‌ මේ උත්කෘෂ්ඨ දේව හාස්‌කම් දැක භක්‌තියෙන් මුසපත් වෙති. අනතුරුව සකලවිධ ජීවිත සංවේදනාවන් දේව සමාගම හා ගනුදෙනු කරනා අතරමැදි ශුද්ධවන්තයට භාර කරති.

එහෙත් දේව වරම් හා ආශිර්වාද සහිතව පේවී කරනු ලබන්නේ යෑයි කියන ගිනි පෑගීම ගිනි කෑම ශරීරයට කටු ගැසීම, උණුවතුර නෑම වැනි ක්‍රියාකාරකම් වල යථා ස්‌වරූපය විද්‍යාත්මකව පැහැදිලි කරනා අපූරු වැඩසටහනක්‌ පසුගිය 6 වැනි දා පේරාදෙණිය සරසවි භූමියේදී පැවැත් විණි.

කිසිම පේ වීමක්‌ හෝ දේව භක්‌තිකයකින් හෝ තොරව මේ සියලුම ක්‍රියාවන් විද්‍යාත්මකව පැහැදිලි කරමින් නරඔන්නන්ද සහභාගි කරවා ගත් සංදර්ශනයක්‌ පවත්වනු ලැබුවේ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ආරාධනයෙනි.

මහනුවර හේතුවාදී සංගමයේ සාමාජිකයන් අතුරින් දයා සිසිර ගමගේ මහතා මෙම අවස්‌ථාවන් පළමුව නරඹන්නන්ට පැහැදිලි කිරීමෙන් අනතුරුව වැඩසටහන ඇරඹිනි.

එහි පළමු අංගය වූයේ දැල් වූ කපුරු පෙත්තක්‌ දිව මත තබා ගැනීමයි. කපුරු පෙත්ත ද්‍රව තත්ත්වයට පත් නොවී කෙලින්ම දහනයෙන් වාෂ්ප වෙන නිසාත් දිවෙහි ඇති තෙතමනය නිසාත් යම් වේලාවක්‌ එය දිව මත දල්වා තබාගත හැක. තවද හමෙහි ඇති ඝනකම නිසා අත්ල මත වුවද එය මාරු කරමින් සෑහෙන වෙලාවක්‌ තබාගත හැකි දැල්වෙන පන්දමක්‌ මුව තුළට යවා රඳවා ගැනීමේදී ද එය තබා ගන්නා ආකාරයට ගිනි දළු විහිදෙන්නේ මුවින් ඉවතට උඩු අතට බැවින් කිසිම පිළිස්‌සීමකින් තොරව හුස්‌ම පහලට හෙළමින් එය අවසාන වන තෙක්‌ එසේ තබාගත හැක. එහෙත් ආශ්වාස කිරීමේදී මදකට එය ඉවතට ගැනීමට සිදුවේ.

ඉන් පසු පැහෙන උණුවතුර කොල අත්තක ආධාරයෙන් නෑමේ ජනප්‍රිය හාස්‌කම පෙන්වීමේ අවස්‌ථාව උදාවිය. මේ සඳහා දේවාලවල කොහොඹ අත්තක්‌ භාවිතා කෙරුනත් අවස්‌ථානෝචිතව අසල තිබූ මාර ගසක අත්තක්‌ දයාසිසිර මහතා මේ සඳහා භාවිතා කළේය. පැහෙන වතුරට එබූ කොළ අත්ත සැනෙකින් ඉවතට ගන්නා අතර එහිදී කොළ අතු මගින් දිය බිඳුවල උෂ්ණත්වය සීග්‍රලෙස පහත හෙළන අතර අනතුරුව එය බිඳිති වශයෙන් සිරුරට ඉස ගැනීමේදී උෂ්ණත්වය තවදුරටත් අඩුවේ. එම අවස්‌ථාවේදී තමා අසලම සිටි ප්‍රේක්‍ෂකයන් පිරිසක්‌ද තමා සමඟම නැහැවීමට දයා සිසිර මහතාට හැකි විය. ඒ කිසිවකු ද කිසිම වේදනාවකට හෝ පිළිස්‌සුමකට හෝ හසු නොවීය.

ඉන් අනතුරුව පැමිණියේ බොහෝ අයගේ ඇඟ කිලිපොළා යන කටු ගැසීමේ අවස්‌ථාවයි. මෙම කටු ජීවානුහරණය කළ විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්‌ත ඒවා විය. මෙහි විද්‍යාත්මක පැහැදිලි කිරීම වන්නේ සම බුරුල් ස්‌ථානවල සම හොඳින් අද එහි රුධිරය ඉවත් වීමට සැලැස්‌වීමත් කටු ගැසීමෙන් ඇතිවන සිදුර අවම ප්‍රමාණයක පවත්වා ගැනීම සඳහා සමෙහි ප්‍රත්‍යස්‌ථාව එසේ ඇද උපරිම තත්ත්වයට පත්කර කටුව සමට ඇතුළු කිරීමත්ය.

තම සිරුරටත් තමාගේ සහායක වශයෙන් සිටි විශ්වවිද්‍යාල සේවකයාගේ සිරුරටත් කටු ගසා ගැනීමෙන් පසු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌ද එම මොහොතේ ස්‌වේච්ඡාවෙන් ඉදිරිපත් විය. ඔහුගේ බාහුවට කටුව ගසන විට ඔහු සිනාසෙමින් එදෙස බලා සිටිමින් කටුව ගසා ගත්තද එදෙස බලා සිටි ඔහුගේ මිතුරා ක්‌ලාන්ත වීම කාගේත් විනෝදයට හේතු විය.

අවසාන වශයෙන් ගිනි පෑගීමේ අවස්‌ථාව එළිඹිණ. මේ සඳහා භාවිතා කරන ගිනි අඟුරු තද වර්ගයේ දැව කඳන් දහනයෙන් ලබාගන්නා අතර ගිනි අඟුරු අළු හා වෙනත් ඇලෙන සුළු ද්‍රව්‍යයන්ගෙන් තොර විය යුතුය. එවැනි ඇලෙන සුළු ද්‍රව්‍ය යටි පතුලේ ඇලීමෙන්ද ගිනි අඟුරු මත රැඳී සිටීමෙන්ද පිලිස්‌සීම ඇතිවේ. ඒ නිසා ගිනි පාගන්නකු වේගයෙන් පතුල් ඔසවමින් සහ මාරු කරමින් ගමන් කළ යුතුවේ. රත් වූ පෘෂ්ඨයකින් තවත් පෘෂ්ඨයකට තාපය හුවමාරු වීමට එම පෘෂ්ඨයන් දෙක ගැටී තිබෙන කාලය වැදගත් වේ. ගිනි පාගන්නකු තම දෙපතුල් ගිනි අඟුරු මත එක දිගට ගැටීමට යොදවන කාලය කෙතරම් කෙටිද යන්න මෙහිදී විශේෂයෙන් පැහැදිලි කරමින් දයා සිසිර මහතාත් ඔහුගේ පුත්‍රයාත් පළමුව ගිනි පාගා පෙන්වීය.

ඉන් අනතුරුව ගිනි පෑගීම ප්‍රේක්‍ෂකයන්ට වෙන් විය. පළමුව එකා දෙන්නා බැගින් සහභාගි වුවත් කාන්තා පාර්ශ්වයේ එක්‌වීමත් සමග බොහෝ දෙනකුගේ පැවති බිය සැක දුරුවී සියලු දෙනාම පාහේ මහත් විනෝදයෙන් අවසානයේ ගිනි පෑගීමට එක්‌ වූහ. සංදර්ශනයේ නිමාවද එසේ සනිටුහන් විය.

එසේ වුවද මෙය හුදෙක්‌ විනෝදාත්මක සංදර්ශනයකට වඩා නරඹන්නන්ගේ විමර්ශනශීලී මනස දියුණු කිරීමේ අරමුණින් පැවැත් වූවකි. උගත් නූගත් වයස්‌ භේදයකින් තොරව මිත්‍යා විශ්වාසවල ඇලීමේ දැඩි නැඹුරුවක්‌ පවතින නූතන සමාජයේ තමා තුළම සැඟවී ඇති විමර්ශන ශීලී බුද්ධියක්‌ සරල විද්‍යාත්මක දැනුමත් පදනම් කරගෙන යථාර්ථවාදීව සිතා ඒ අනුව කටයුතු කිරීමට සමාජය පෙළඹවීම මේ සංදර්ශනයේ පරමාර්ථ විය. මේ සද්කාර්යය සංවිධානය කර තිබුණේ හේතුවාදී සංගමය විසිනි.

වෛද්‍ය සෙනරත් වේරගම,
වේරගම, කයිකාවල.
ඡායාරූප - වෛද්‍ය සේන ද සිල්වා
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.