කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙක්‌ සහ
නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයෙක්‌ පත්වෙති


ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු අතර ප්‍රමුඛත්වය උසුලන කොමර්ෂල් බැංකුව, රවී ඩයස්‌ මහතා කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස ද, ජෙගන් දුරෙයිරත්නම් මහතා විධායක අධ්‍යක්‍ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත්කොට ඇතැයි නිවේදනය කර සිටී.

පුරා වසර 17 ක්‌ ආයතනික කළමනාකාර මඬුල්ලේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළ රවි ඩයස්‌ මහතා වෘත්තීය බැංකු ක්‍ෂේත්‍රයේ හසල දැනුමක්‌ සහිත වෘත්තිකයෙකි. හෙතෙම 2008 වසරේ සිට බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ලෙස කටයුතු කළ අතර 2012 පෙබරවාරි 27 වැනි දින සිට බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත් කරනු ලැබීය. නීතිවේදී උපාධිය (LLB) හිමි ඒ මහතා ලන්ඩනයේ වරලත් බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය ද හිමි කරගෙන සිටින අතර හර්බට්‌ එච්. හම්ප්‍රි අධි ශිෂ්‍යත්වය දිනාගැනීමට ද සමත් විය. ඔහු අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයකු බවට තේරී පත්වූයේ 2010 වසරේ දෙසැම්බර් මාසයේදීය. 2008 සිට 2011 වසර දක්‌වා ශ්‍රී ලංකා වාණිජ මණ්‌ඩලය තුළ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය නියෝජනය කරන්නා ලෙස කටයුතු කළ ඔහු 2011 වසරේ ජුලි මාසයේ සිට ශ්‍රී ලංකා වාණිජ මණ්‌ඩලයේ පොදු ව්‍යාපාරික ප්‍රවණතා පිළිබඳ කණ්‌ඩායමේ සාමාජිකත්වය දරයි.

ජෙගන් දුරෙයිරත්නම් මහතා 1982 වසරේ සිට බැංකුව සමග සම්බන්ධ වී කටයුතු කරයි. බැංකුකරණයට අදාළව ජාත්‍යන්තර වෙළෙ¹ම, එතෙර බැංකු කටයුතු, ණය මෙහෙයුම් සහ තොරතුරු තාක්‍ෂණය යන ක්‍ෂේත්‍රයන්හි හසල දැනුම් ඇත්තෙකි. පුරා වසර 7 ක්‌ බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්‌ඩායම් සාමාජිකයකු වශයෙන් කටයුතු කළ ඔහු පේරාදෙණිය සරසවියේ උපාධිධාරියෙකි. කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරු කිහිපයක්‌ හෙබවූ ඒ මහතා බැංකුවේ ජාත්‍යන්තර අංශයේ සහකාර සාමාන්‍යාධිකාරි සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරු හෙබවූ අතර ආනයන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.