බුදුන් දැකීම

සමස්‌ත ලෝකවාසී බෞද්ධ ජනතාවම සිය අසම සම ශාස්‌තෲවරයාණන්ට, අසාමාන්‍ය දාර්ශනිකයාණන්ට, අනුපමේය විමුක්‌තිදායකයාණන්ට, පරමාදර්ශී, වීතරාගී, මුනිවරයාණන්ට සිය හද පිරි ගෞරවය ද බුහුමන ද පිරිනමන අසිරිමත් වෙසක්‌ මංගල්ලය උදා වී තිබේ. ලෝ සතුන් භව සාගරයෙන් එතෙර කරවීම සඳහා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ මුළුල්ලේ අප්‍රමාණ කැපවීම් ද පරිත්‍යාගයන් ද කරමින් අධිෂ්ඨානයෙන් ද, වීර්යයෙන් ද ප්‍රඥවෙන් ද සියලු ලෝ තතු දැන ගත් බුදුන් වහන්සේ මනුෂ්‍යයකු වුවද උත්තරීතර ආශ්චර්යමත් මනුෂ්‍යයකු බව නිසැකය. ඒ බුද්ධ ඥනයේ මහිමය ඒ බුද්ධ ධර්මය තුළ නිනාද වන්නේය. අනන්ත අප්‍රමාණ සංසාරයේ සැරිසරන්නා වූ මිනිස්‌ වර්ගයාට එයින් මිදෙන මාර්ගය විචිත්‍රව ද, ගාම්භීරව ද, අභීතව ද, අකම්පිතව ද හෙළි කළ මහා පුරුෂයකුගේ විලාසය මෙම බුදු තෙමඟුල තුළින් අපි දකිමු.

බුදුන් වහන්සේ සරලව ආගම් කතුවරයකු ලෙස හැඳින්වීමද නො මැනවි. ඒ බුදුමඟ මානව වර්ගයා තුළින් බිහි වූ විශිෂ්ටතම ප්‍රාඥයකුගේ බුද්ධිමය ගවේෂණයක අග්‍රඵලයක්‌ සේ හැඳින්වීම මැනවි. ලෝකයේ මැවීම් පිළිබඳව මෙන්ම අදෘශ්‍යමාන බලවේගයන් පිළිබඳව ද බුදුහු එකඟ නොවෙති. මනුෂ්‍යත්වයෙහි ශ්‍රේෂ්ඨත්වය අවධාරණය කළ බුදුහු මිනිසාගේ ඉරණම දෙවියන්ට හෝ බාහිර බලවේගයන්ට පවරා නොදෙති.

මිනිසාට ජීවිතය හා යථාර්ථ ඥනය ලබා ගත හැකි වන්නේ තම බුද්ධියේ හා අධිෂ්ඨානයේ බලයෙන් බව බුදුහු වදාළහ. බෞද්ධයන් ලෙස අප නිවන් සුවය ප්‍රාර්ථනා කළත් එය අප විසින්ම පසක්‌ කර ගත යුතු පරම සත්‍යයක්‌ බවද බුදුහු දැක්‌වූහ.

බුදුන් වහන්සේට භක්‌ති පූජාකරන බොහෝ දෙනෙක්‌ මොහොතක්‌ හෝ බුද්ධ වචන සිහි කරත් ද? ජීවිතය පිළිබඳව බුදුන් වහන්සේ විසින් කරන ලද සාර විග්‍රහයන් කිසිදු නවීන විද්‍යාවකින් අවලංගු වී නැත. ජීවිතය දුකක්‌ බව බුදුහු පෙන්වා දෙති. එහෙත් එය සැපතක්‌ නොවන බවක්‌ ද වදාළේ නැත. සැප යනු භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් විග්‍රහ කළ බුදුහු ගිහි සුඛය, පබ්බජිත සුඛය, කාම සුඛය, චෛතසික සුඛය යනාදි ප්‍රභේද රැසක්‌ දක්‌වති. එහෙත් පරම සුඛය නම් අත්හැරීම බව උන්වහන්සේ වදාළහ.

නියම බෞද්ධ ජීවිතය සුවයකි. මන්ද යත් බිය නැති තැති ගැන්මක්‌ නැති බෞද්ධයාට ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක්‌ තිබේ. බුදුන් වහන්සේගේ විලාසය සන්සුන් හා ශාන්ත ද වේ. බුද්ධ කාලීන සමාජය තුළත් බුදුන් වහන්සේ වර්ණනා කළේ නිබඳ සිනාවෙන් යුතු මුහුණක්‌ (මිහිත පුබ්බංගම) ඇති අයෙකු ලෙසය. ඔබ කිසිම තැනක දුක්‌බර විලාසයක්‌ දක්‌වන බුදුරුවක්‌ දැක තිබේද? බුදු පිළිමය ශාන්තය. කාරුණික බවින් යුතුය. කලකිරීමෙන් හෝ දුකට පත්වීමෙන් නිවන් දැකීම අසීරු බව ද බුද්ධ වචනය විය.

බුදුන් වහන්සේට අනුව මානව සංහතියේ ඉරණම යෑයි ගත හැකි නිත්‍ය දෙයක්‌ නැත. මිනිසාගේ සියලු ප්‍රශ්න හා ගැටුම් තෘෂ්ණාව නිසා ඇතිවන බව උන්වහන්සේ කීහ. හැම නරක දෙයකම මුල තෘෂ්ණාවය. ආත්මාර්ථය උදෙසා දිව යන ලෝකය ඇවිලෙන අයුරු උන්වහන්සේ පෙන්වූහ. ධනය, බලය, කාමය පමණක්‌ නොව මතවාද, ආකල්ප, දෘෂ්ටිවාද යනාදිය ද මානව වර්ගයාගේ විනාශයට හේතු වී තිබෙන අයුරු බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ සියවස්‌ ගණනකට පෙරය.

අප ජීවත්වන මෙම යුගය අපරාධ බහුල යුගයකි. මානව බුද්ධියේ වර්ධනය භාවිත කරමින් කරනු ලබන නිර්මාණ වුවද යහපතට වඩා අයහපතට බර වී තිබේ. හොරකම, බොරුව, හිංසාව නැතහොත් ප්‍රාණඝාතය වැනි දේවල් අද ව්‍යාප්ත වී තිබේ. අපරාධ මැŽම දඬුවම් මගින් කළ නොහැකි බව බුදුහු පෙන්වා දුන්හ. අපරාධ අඩු කිරීමට ධනය සමව බෙදීයැම මෙන්ම ආර්ථික විෂමතාව ඉවත් විය යුතු බවද උන්වහන්සේ වදාළහ.

මෙලොව හිත සුව පිණිස අදාළ කරුණු හතරක්‌ බුදුහු පෙන්වා වදාළහ. වෘත්තිය හෝ රැකියාව පිළිබඳ නිපුණත්වය පළමු කරුණය. දහදිය මහන්සියෙන් උපයන ධනය සුරක්‌ෂිත විය යුතු බව දෙවැනි කරුණය. හොරුන්ට හෝ රජුන්ට පැහැර ගත නොහැකි ධනයක්‌ අවශ්‍යය. තෙවැන්න අනුව බුද්ධිමත්, ගුණවත් මිතුරෝ ද සිටිය යුතු වෙති. අවසන් කරුණ අය-වැය විමසා බුද්ධිමත්ව කටයුතු කිරීමය.

අද ලෝකය ගිනියම් වී තිබේ. බලවත් රටවල් මේ කිසිදු කරුණක්‌ ගැන උනන්දු නොවේ. මිනිසා ගලවා ගැනීමට ලෝකය සූදානම් නැත. බලකාමය නැති උනුන් මරා නොගන්නා භේද නැති සමාජයක්‌ නිර්මාණය කිරීම බුද්ධ ධර්මයේ පදනම බව අප අමතක කර තිබේ.

බුදුන් දැකීම යනු මේ ධර්මය දැකීම බව කිසිවෙක්‌ කල්පනා නොකරති. බුදුන් වහන්සේට ගෞරව කිරීම යනු ඒ උතුම් ප්‍රතිපත්ති අනුව ජීවිතය හැඩ ගස්‌වා ගැනීමය. බුදුන් වහන්සේ පරමාදර්ශී පැවතුම්වලින් යුතු වූ සේක. උන්වහන්සේට අනුන්ගෙන් සැඟවිය යුතු දෙයක්‌ නොවීය. කාය දුශ්චරිත හෝ වාග් දුශ්චරිත නොවීය.

බුදුන් වහන්සේ සිය ධර්මය විමසා බලා පිළිගන්නා ලෙස ඉල්ලා සිටියහ. විශ්වාසයට වඩා විචාර බුද්ධිය අගැයූහ. බුදු මඟට එදාත් ජනයා ඇදුණේ අල්ලස්‌, වෙනත් ප්‍රතිලාභ, බලහත්කාරය, රැවටීම වැනි කරුණු නිසා නොවේ. බුද්ධිමය සංවාදය නිසාය. උන්වහන්සේගේ ආගමික සහනශීලය ඉතා අගනා පිළිවෙතකි. උන්වහන්සේ තීර්ථකාරාමවලට පවා ගොස්‌ ධර්ම සංවාද කර තිබේ. පරිබ්‍රාජකයන් සමඟ වාද විවාද කර තිබේ.

තතු මෙසේ හෙයින් බුදු තෙමඟුල යෑයි ඝෝෂා කරන බොහෝ අය මේ බුදුමඟ දකිත්දැයි අපට නම් සැකයකි. අපි ඒ අසාමාන්‍ය බුදු ගුණ හා බොදු පිළිවෙත් සිහිකර ප්‍රඥ ඇසින්ම බුදු සිරිපා වඳිමු.

 
Powered By -



සීමාසහිත උපාලි පුවත්පත් සමාගම

අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.