සැදුනි මෙලෙස බෞද්ධ කොඩි රජාණෝ

එය විශ්වයම මවිතයට පත් කළ විසල් නිමැවුමක්‌ ලෙස ලක්‌ ඉතිහාස පුස්‌තකයේ පත්ඉරු අතර ස්‌වර්ණමය අකුරෙන් සනිටුහන් වනු නොඅනුමානය. එය ලක්‌වැසි සේම සමස්‌ත ලෝ වැසි බොදු දනන්ගේද බුද්ධාලම්භන ප්‍රීතිය වඩවාලූ නිර්මාණයක්‌ ලෙසද ඉතිහාසයට එක්‌වනු නොඅනුමානය. එය එකමුතු බවේ සවියෙන් ලොව දිනුමට වෙර දැරූ මිනිසුන් පිරිසකගේ විස්‌කමක්‌ ලෙසද ඉතිහාස ගතවනු නොඅනුමානය. එමතු නොව පරාජය නිසා හටගත් තුවාල පාරමින් වේදනාවෙන් කෑමොර දෙනු වෙනුවට පරාජය ආශීර්වාදයක්‌ කරගනිමින් නැඟී සිටි දිරිය මිනිසුන් පිරිසකගේ විස්‌කම් නිමැවුමක්‌ ලෙසද එය ඉතිහාස පොතේ පිටු අතර රන් අකුරෙන් ලියෑවෙනු නොඅනුමානය.

මේ එළැඹ ඇත්තේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සමාප්ති මහෝත්සව කාලසීමාවයි. තැනෙක ඒ වෙනුවෙන් ආමිෂ පූජාය. තවත් තැනෙක ප්‍රතිපත්තිමය පූජාවෝය. දන්සැල්, වෙසක්‌ පහන් කූඩු, වෙසක්‌ තොරණ, බැති ගී සංදර්ශන, රූකඩ මඩු ඈ නිර්මාණ දැකගනු රිසින් දස දහස්‌ සංඛ්‍යාත ජනයා මග දිගට අතොරක්‌ නැතිව රැස්‌කන නමුදු, මේ නිමැවුම දැකගනු පිණිස රට නන් දෙසින්ම පිරිස්‌ පැමිණෙන්නේ සැබැවින්ම එය විශ්වයේ අසිරිමත් නිමැවුමක්‌ම වන නිසාම ය. වෙසක්‌ සඳකැන් දහරින් මුළු සිරිලකම නැහැවී යද්දී වෑවල ඉසිපතනාරාම ක්‍රීඩාංගණයට සපැමිණි දස දහස්‌ සංඛ්‍යාත ජනයාගේ මුවින් "සාදු·" නාදය නික්‌මුණේ ලොව විශාලතම බොදු ධජය දුටුකලී ඇතිවූ බුද්ධාලම්භන ප්‍රීතියේ තරම මොනවට විදහා පාමිනි.

වෑවල (Wewala) ඉතිපතනාරාම ක්‍රීඩාංගණය කඩි ගුලක සිරිය ගෙන තිබිණි. ආයාසයෙන් මුත් ඉදිරියට ඇදුණු අප සෙනඟ පීරාගෙන ගොස්‌ මේ කටයුත්තේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන බොක්‌කාවල ඉසිපතනාරාමවාසී ශාස්‌ත්‍රපති පූජ්‍ය අලවතුගිරිගම පඤ්ඤාසීහ ස්‌වාමිපාදයන් වහන්සේ මුණගැසුණේ මේ විස්‌කම් නිමැවුම පිළිබඳ තතු විත්ති දැනගනු රිසිනි. වැඩ රාජකාරි කොතෙක්‌ නම් තිබුණද ඒ සියල්ල මඳකටමුත් පසෙකලූ උන්වහන්සේ මිත්‍රශීලීව අප හා දොඩමළු වූයේ සැබෑම බුද්ධ පුත්‍රයකුගේ ලක්‍ෂණ මොනවට පළ කරමිනි.

"මේ ගෙවී යමින් තිබෙන්නේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සමාප්ති මහෝත්සව කාලසීමාව. ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධ කොඩියේ 127 වැනි සැමරුමත් යෙදී තිබෙන්නේ මේ කාලසීමාව තුළයි. ඉතින් මේ වෙනුවෙන් ධර්මයේ පණිවිඩය ලොවට ලබාදිය හැකි ක්‍රමවේදයක්‌ පිළිබඳව අපි කල්පනා කළා. ධර්මයේ පණිවිඩය වඩාත් තීව්‍ර ලෙස ලෝකයට ලබාදිය හැකි මාධ්‍යය පිළිබඳ අධ්‍යයනය කරමින් සිටියදී තමයි මේ අවිහිංසාවේ ධජය නිර්මාණය කළ යුතුයි කියන අදහස ඉස්‌මතු වෙලා ආවේ. ඉසිපතනාරාම විහාරස්‌ථ බෞද්ධ සංගමයේ විධායක සභාව රැස්‌වී කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක්‌ ලෙස තමයි මේ කර්තව්‍යය ආරම්භ කරන්න ඉඩහසර විවර වුණේ."

උන්වහන්සේ ඉතා සරලව කරුණු කාරණා විග්‍රහ කළ ද මෙය නම් සරල කටයුත්තක්‌ නොව අතිශය සංකීර්ණ කටයුත්තක්‌මය. ඒ සඳහා විසල් ශ්‍රමයක්‌ අවැසිය. එමතු නොව, අති විශාල මුදල් කන්දරාවක්‌ද අවැසිමය. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා වැය වූ රුපියල් ලක්‍ෂ 18 කට ආසන්න මුදල් කන්දරාව සොයාගත් සැටිද අපි උන්වහන්සේගෙන්ම විමසා දැනගතිමු.

"මූල්‍යමය වශයෙන් අපට නිරන්තරයෙන්ම ප්‍රශ්න ඇතිවුණා. නමුත් අපි නිර්මාණය කරන්නේ බුදුන්ගේ ෂඩ් වර්ණ රශ්මි මාලාව බව දැනගත් ශ්‍රද්ධාවන්ත පිරිස්‌ අපට නිර්ලෝභීව උදව් උපකාර කළා. ඒ වගේම ප්‍රදේශයේ ප්‍රභූ පිරිස්‌, මැති ඇමැතිවරු සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ද සතුටු සිතින් යුතුව අපට ආධාර කළා. ඒ වගේම මේ කොඩිය ආශ්‍රිත ප්‍රචාරණ කටයුතුත් අපි මාස කිහිපයක පටන්ම කරගෙන ගියා. එහිදී බෞද්ධ කොඩියේ ඉතිහාසය, විවිධ රටවල බෞද්ධ කොඩි සහ ඒ ඒ වර්ණ (Colors) වලින් කියෑවෙන අරුත ආදී තොරතුරු සොයාගෙන අවසානයේදී 1885 දී නිර්මාණය වූ බොදු ධජය ලොව විශාලතම බෞද්ධ කොඩිය ලෙස නිර්මාණය කිරීම දක්‌වා වන තොරතුරු ඇතුළත් පත්‍රිකාවක්‌ද ලබාදීමට අපි කටයුතු කළා. එම නිසාම අපට ඒ අභියෝගය ජය ගැනීමට හැකි වුණා. අභියෝග පිට අභියෝග එල්ල වුවද නොපසුබට උත්සාහයෙන් යුතුව කටයුතු කරන්නේ නම් ඒ අභියෝග ජයගැනීම එතරම් අසීරු නොවන බව ඒ හඬෙහි මොනවට ගැබ්ව තිබිණි.

මෙම කටයුත්ත අහම්බයකැයි කියන්නෝද කොතෙකුත් සිටිය හැක. එහෙත් එය අහම්බයක්‌ නොව දිගුකාලීන අධ්‍යයනයක ප්‍රතිඵලයක්‌ම හැර අනෙකක්‌ නොවන බැව් කියන්නට උන්වහන්සේගේ මුවින් පිටවූ මේ වදන් කිහිපය වුව හොඳටම ප්‍රමාණවත් නොවේද?

"මම කලක්‌ තිස්‌සේ අන්තර්ජාලය ඔස්‌සේ මේ පිළිබඳ අධ්‍යයනයක නිරත වුණා. එහිදී මේ වන විට ලොව ඇති විශාලතම බෞද්ධ කොඩිය ඇත්තේ තායිලන්තයේ බවත්, ඒ සඳහා රෙදි වර්ග අඩි 9000 ක්‌ වැයවී ඇති බවත් දැනගන්න ලැබුණා. අපි නිර්මාණය කරන කොඩිය වර්ග අඩි 20,000 කින් සමන්විත එකක්‌. දිග අඩි 200 ක්‌ සහ පළල අඩි 100 ක්‌ වන මෙම කොඩිය "ටැෆටා" නමැති රෙදි වර්ගය උපයෝගී කරගෙන "ඕවර්ලොක්‌" නමැති මැහුම් ක්‍රමය භාවිත කරමින් මසා තිබෙනවා. සිරස්‌ තීරු හයක්‌ (06) ලෙස මසා ඇති මෙම කොඩිය සැකැසීම සඳහා හාරිස්‌පත්තුව, මැදවල "ස්‌ටාර්ලයිට්‌ ගාමන්ට්‌" ආයතනයේ සේවය කරන අප බෞද්ධ සංගමයේ සාමාජික වසන්ත මහත්මා ඇතුළු පිරිසක්‌ දිවා රෑ නොබලා වෙහෙසුණා. මේ කොඩිය සම්පූර්ණයෙන්ම මසා නිම කිරීම සඳහා සති 2 1/2 ක පමණ කාලසීමාවක්‌ ගතවුණා."

මේ කටයුත්තට අතහිත දුන් සියලු දෙනාම ස්‌තුති පූර්වකව සිහිපත් කරමින් උන්වහන්සේ එසේ පැවසූහ. මේ ධජය ප්‍රදර්ශනය කරන්නේ කෙලෙසද...? යන පැනය එකෙණෙහිම අප තුළ පැනනැගුණෙන් ඒ පැනයද අපි උන්වහන්සේටම යොමු කළෙමු.

"මෙම කොඩිය ප්‍රදර්ශනය කිරීම සඳහා විශේෂිත යකඩ සැකිල්ලක්‌ ඉදිකොට විශේෂිත ක්‍රමවේදයක්‌ ඔස්‌සේ කොඩිය එහි ගැටගැසීමට කටයුතු සම්පාදනය කොට තිබෙනවා. අඩි 20 යකඩ පයිප්ප බට 1050 ක්‌ සහ සම්බන්ධතා යතුරු 2500 ක්‌ මේ සැකිල්ල සඳහා යොදාගෙන තිබෙනවා. මහනුවර ඡේ. ඒ. ඩී. ඉංජිනියර්ස්‌ ආයතනයේ අධිපති ඉංජිනේරු බණ්‌ඩාර මහතාගේ අධීක්‍ෂණය යටතේයි මේ කටයුත්ත සිදුවුණේ."

ලොවම විශ්මයට පත්කරවන මේ අපූර්ව නිර්මාණය මැයි 2 දා සිට 8 දා දක්‌වා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණමුත්, මැයි 5 දා සිට පුරා සතියක්‌ මුළුල්ලේම එය ප්‍රදර්ශනය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත. ඉකුත් දිනෙක (02 දා) සන්ධ්‍යාවක කිසිවකුත් නොසිතූ නොපැතූ විලසින් මෙහි යකඩ සැකිල්ල බිමට පතිත වී සමතලා වූ නමුදු ඉන් අධෛර්යයට පත් නොවූ ප්‍රදේශවාසීන් සැවොම ඉංජිනේරු ආයතනයේ සේවක පිරිසට අතහිතදී දින දෙකක්‌ තුළ නැවතත් යකඩ සැකිල්ල ඉදිකළේ උට්‌ඨාන වීර්ය ඇතොත් කවරෙකුට වුව ජයගත නොහැකි ඉලක්‌කයක්‌ මෙදියත මත නැති බැව් මොනවට කියාපාමිනි. බෞද්ධ කොඩිය සැකිල්ල මත ගැටගැසූ පසු ක්‍රීඩාංගන භූමියේ සිට එදෙසට විශේෂිත විදුලි ආලෝක දහරාවක්‌ එල්ල කිරීමට කටයුතු යොදා ඇත්තේ කොඩියේ ස්‌වරූපය හොඳ හැටියෙන්ම දැකබලා ගැනීමට ඉඩහසර විවර කරදෙනු පිණිසය.

මේ සියලු වැඩකටයුතු වලට නිති ගුරුහරුකම් ලබාදෙමින් ඔවුන්ව දිරිමත් කරන්නේ ඉසිපතනාරාම විහාරාධිපති, බටගල්ල ධම්මරතන පරිවේණාධිපති ශාස්‌ත්‍රපති කන්දේකුඹුරේ ප්‍රඥ කීර්ති නාහිමිපාණෝය. දහසකුත් එකක්‌ වැඩ රාජකාරි මධ්‍යයේ වුවද අපි උන්වහන්සේගේ හඬටද මොහොතකට මුත් කන්දුන්නේ මේ පිළිබඳව උන්වහන්සේටද කියන්නට යමක්‌ හෝ තිබිය හැකි බැවිනි.

"2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අපේ ගම තුළින් බුද්ධ ධර්මය පිළිබඳ පණිවිඩයක්‌ ලෝකයට ලබාදීමට අපි අදහස්‌ කළා. අතීතයේ පටන්ම පිළිම දාගැබ් වැනි දේ නිර්මාණය කරමින් ලෝකයම මවිත කළ ජාතියක්‌ තමයි අපි. 2003 අවුරුද්දේදී ඇතිවූ අදහසක්‌ තමයි ක්‍රම ක්‍රමයෙන් ඉහළට විත් අද මේ විදියට මල්ඵල ගැන්විලා තියෙන්නේ. තරුණ බෞද්ධ සංගමය, දායක සභාව, දහම් පාසල් දරුවන්, වගේම හැකියාව ඇති ගමේ හැම කෙනෙක්‌ම මේ කටයුත්තට උදව් උපකාර කළා. මේක ඇත්තෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කර ජයගත් අභියෝගයක්‌. පා.ම. එරික්‌ ප්‍රසන්න වීරවර්ධන, ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර මඩුලුස්‌ස, පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්‍ෂ, චාමර විඡේරත්න සහ සුනිල් කොටුගොඩැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු වගේම බෞද්ධ සංගමයේ ලේකම් ධම්මික මහකුඹුර සහ සභාපති, කාර්මික විද්‍යාලයීය කථිකාචාර්ය දුමින්ද රඹුක්‌අංග යන මහත්වරු මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. සතියක්‌ පුරාම ප්‍රදර්ශනය කරන මේ නිර්මාණයේ අසිරිය දැකබලා ගන්න මහනුවර, බොක්‌කාවල ශ්‍රී ඉසිපතනාරාම ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස මම සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා."

කෙනකුට අනුව නම් මේ කටයුත්ත තවත් එක්‌ හුදු ප්‍රදර්ශනාත්මක කටයුත්තක්‌ම පමණි. තවත් අයෙකුට අනුව නම් මෙය එකිනෙකා අභිබවා යමින් ජයකෙහෙළි නැංවීමට කළාවූ කටයුත්තක්‌ම පමණි. එහෙත් ඒ කුහක විවේචන මඳකට පසෙකලා බැලූකලී සමඟිව එක්‌ව සමඟිව සාකච්ඡා කොට සමඟිව කටයුතු කොට සමඟිව විසිර යැම තුළින් කළාවූ මේ නිමැවුම බුදු සමයේ අරුත වඩවාලූ එකක්‌මැයි කීම කෙලෙසක නම් අතිශයෝක්‌තියක්‌ වේවිද?

අමිල දොළපිහිල්ල
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.