අපේ කිරි කඳුල පාරට හලාපන්
රටේ පොඩි උන්ට විසකිරි පොවාපන්


උම්බලාට ලියන්න මම මොන ගොං එළදෙනෙක්‌ ද කියලා උම්බලා හිතන්න පුළුවන්. ඒත්......... මේ දුක තවදුරටත් උහුලගෙන ඉන්න බැහැ. මගේ පැටියාව පේන දුරින් බැඳලා ඌ බඩගින්නේ විලාප තියද්දී උම්බලා යකඩ පුනීල මගේ තන පුඩුවලට තද කරලා පැටියාට බොන්න තිබුණු කිරි ටික ලේත් එක්‌කම ඇදලා අරගෙන බෝතල්වලට පුරෝගත්තා. අන්තිමට පැටියා ළඟට යද්දී බුරුල්ල හොඳටම තුවාල වෙලා ලේ ගලනවා. මගේ පැටියා යන්තම් මගේ බුරුල්ල ලොවකාලා හාමතේ ම නිදා ගන්නවා. ඌට ලේ රස හරියන්නේ නැහැ. අපේ වරිගෙ උන් අපේ පැටවුන්ට අනුන්ගේ රීරි මාංසෙ උරාගෙන ජීවත්වෙන්න උගන්නලා නැහැ. අපි ගොංහරක්‌ වුණත් අපි අපේ පැටවුන්ව හොඳට හදලා තියෙනවා. බඩගින්නට අනුන්ගේ බොටුව මිරිකගෙන කන්න අපේ පැටව් කවදාවත් යන්නේ නැහැ. එහෙම වුණා නම් මටත් මේ තරම් දුකක්‌ නැහැ. තුවාල වෙලා ලේ ගලන තන පුඩුවට හොම්බ තියාගෙන කඳුළු හංගගෙන බඩගින්නෙම නිදා ගන්න හැටි දැක්‌කාම මගේ පපුව පත්තු වෙනවා. දවසක්‌ දෙකක්‌ නම් මදැයි. මගේ කුසින් වදාපු දරුවෝ කී දෙනෙකුට මේ දුක අත්වුණාද?...... උන් අන්තිමේදී උලාගෙන කන්න පුරුදු වුණා. මං වගේ අම්මලා කීදෙනෙක්‌ මේ දුක විඳිනවාද?.... මුළු ජීවිත කාලයම කරන්නේ දුක්‌ විඳින එක විතරමයි.

අපේ දුක උහුලගන්න බැරුව මහා පොළොව පවා කී වතාවක්‌ නම් කම්පා වුණාද? පොළොව පුපුරලා මහ මුහුද ගොඩට එවලා වැරදි කළ උන් පැත්තක තියලා අහිංසකයන් වැඩි දෙනෙක්‌ මුහුදු පතුලට ඇදගෙන ගිය හැටි මතකයිනේ. මහා පොළොව අපි වගේ හැම දෙයක්‌ ම උහුලගෙන ඉන්නේ නැහැ. මේ මිහිපිට සිද්ධ වෙන දේවල් දැක්‌කම මහ පොළොව කොහොම උහුලන්නද?

අහස වුණත් එහෙම තමයි. ශක්‍ර දෙයියෝ කෝප වුණාම විලාප නඟමින් කඳුළු සලනවා. හෙණ ගෙඩි පුපුර පුපුරා පසුගිය දවස්‌වල අහසින් වැස්‌ස හැටියට කඩාගෙන වැටුණේ ශක්‍ර දෙවියෝ අඬපු කඳුළු තමයි. ඒකෙනුත් විනාශ වුණේ අහිංසක ගොවියෝ, දුප්පත් එවුන්නේ......

එහෙමයි කියලා මම දුක්‌ නොවී ඉන්නේ කොහොමද?...... දරු කැක්‌කුම උම්බලාට වඩා අපට තියෙනවා. උම්බලා දරුවන්ට තනකිරි දෙන්නේ ගමේ වින්නඹු අම්ම කියන නිසානේ. නැත්නම් මාස දෙකෙන්, තුනෙන් පිටි කිරි තමයි. අපේ පැටව් බඩගින්නේ තියලා, අපේ තනපුඩු තුවාල කරලා එකතු කරගන්න කිටි ටිකවත් අඩුගානේ උම්බලාගේ පැටවුන්ට බොන්න දෙනවා නම් අපට මේ තරම් දුකක්‌ නැහැ. උම්බලා කරන්නේ අපේ කිරි ටික මහා පාරේ හලල වස විස, කෘතිම පෙති ජාති දාල, දවස්‌ ගාණක්‌ නරක්‌ නොවී තියෙන්න රසායනික ද්‍රව්‍ය කලවම්කරලා, පිටි කරලා, ලස්‌සන පැකට්‌වල දාලා පිටරටින් එවන වසකිරි ටික උම්බලාගේ පැටවුන්ට බලෙන්ම පොවන එකයි. වසක්‌ විසක්‌ නැතුව හොඳ පිරිසිදුවට දෙන මගේ කිරි ටික උම්බලා මගේ පැටියාටවත් නොදී විසි කරනවා. මොනතරම් අපරාධයක්‌ද?.......... කොහොම වාවන්නද? මම.......? විසි කරනවා නම් මදැයි බිම පෙරළි පෙරළී හිනාවෙවී අපේ උන්ගේ කිරිවලින් උම්බලා හොඳ හැටි නෑවා.

ඇයි ඉතිං පිටරට කිරිකාරයෝ ඒ කාලේ ප්‍රචාරයක්‌ යෑව්වානේ අපේ කිරි බිව්වාම සෙම හැදෙනවා කියල. උම්බලා ඉතිං කිසි සෙවිල්ලක්‌ බැලිල්ලක්‌ නැහැ. උන්ට වඩා හොඳට ප්‍රචාරය යෑව්වා අපේ කිරි බිව්වාම සෙම තමයි කියලා. ඇත්ත දේට වඩා උම්බලාගේ අය විස්‌වාස කොරන්නේ කට කතා නේ. ඉතිං අපේ කිරි කොහොමටත් බොන්නේ නැහැ. අන්තිමට පිටරට කිරි බීලා, පොඩි එවුන්ට බලෙන් පොවලා, යන්තම් කරදඬු උස්‌ මහත්වෙද්දී උම්බලාගේ පැටව් වකුගඩු හිඟා කනවා. පොඩ්ඩක්‌ හිතලා බලන්න මේ රටේ වකුගඩු ලෙඩ්ඩු දවසින් දවස ම වැඩි වෙනවා නේද කියලා. ඔය පිටිකිරිවලට දාන විස දේවල් වලින් ඇටකටු ශක්‌තිමත් වෙනවා කිව්වාට අනිත් පැත්තෙන් වකුගඩු නරක්‌ වෙනවා. කොහෙද ඉතිං· අපි කියන දෙයක්‌ පිළිගන්නේ නැහැනේ. අපි ගොං හරක්‌ නේ.

පහුගිය කාලේ දේශීය කිරි ගොවියා නංවන්න කියලා ගොන් නාම්බො ගෙන්නලා දිගට හරහට අපට පැටව් හැදෙව්වා. ඒවා අපේ උවමනාවෙන් වෙච්ච දේවල් නෙවෙයි. ඒ ගැන අපි සතුටින් හිටියේ නැහැ. එක පැටියෙක්‌ වදලා අනිත් පැත්ත බලද්දී තව පැටියෙක්‌ පිළිසිඳ ගන්න විදිහට උම්බලාගේ අය වැඩ සිද්ධ කළා. අපිය කියලා ඔය හැටි දරුවෝ වදන්නේ කොහොමද?...... ඒත් අපට කුසින් වදපු දරුවෝ වැඩි නැහැ. දරුවො ගඟට දාන්න, විසි කරන්න, තැන තැන දාලා යන්න, උපන් හැටියේ මරා දමන්න අපට බැහැ. අපේ හිත්වල දරුවෝ ගැන ආදරය පිරිලා. අපේ පපුව පිරිසිදුයි. ආදරෙන් පිරිලා. ඒකනේ උම්බලාගේ එවුන් අපේ පපුව කන්න ඔයතරම් කෑදර. අපි දන්නවා ඒක.

උම්බලාටත් පුළුවන්නේ උම්බලාගේ වරිගෙ දරුවෝ වදාපු ගමන් අම්මලාගේ තනපුඩුවලට යකඩ බට දාලා මැෂින්වලින් තන කිරි ඇදලා අරගෙන බෝතල්වලට පුරවලා මුළු දවසම පැටවුන්ට බොන්න දෙන්න. වැඩට යන අම්මණ්‌ඩිලාට ඒක යස අගේට කරන්න පුළුවන්නේ. මොකටද වස විස දාපුවා බලෙන් දෙන්නේ. අන්තිමට උම්බලා වයසට යද්දී දරුවෝ අපි ගැන බලන්නේ නැහැ කියලා දුක්‌ වෙනවා. උම්බලා දරුවන්ට ආදරෙන් සැලකුවා නම් දරුවන් කවදාවත් උම්බලාව තනි කරලා යන්නේ නැහැ.

අපේ කිරි ටිකෙන් උම්බලාගේ දුප්පත් අය ජීවත්වෙනවා. අපි ඒ ගැනත් හිතලා තමයි මේතරම් කාලයක්‌ නිහඬව සිටියේ. ඒත් අපේ කිරිටික පාර පුරා හලනවා දැක්‌කාම බලා ඉන්න බැරි වුණා. පසුගිය දවසක හැටන් නගරයේදී අපෙන් ගත්ත කිරි ලීටර් 12,000 ක්‌ මහ පාරේ හැලුවා. කිරි ගොවීන් 613 කට කිරි විකුණගන්න බැරුව එහෙම කරලා. පෞද්ගලික සමාගම් කිරි මිලදී ගැනීම් සීමා කරලාලු. උම්බලාගේ ලොකු ලොක්‌කොත් පිටරට කිරි බීලා හැදිලා ඉන්න නිසා ඒ අයගේ මොළේ ඉක්‌මනින් වැඩිලා මොළේ පුපුරලා නරක්‌වෙලා ඇති. දැන් මොළෙන් වැඩක්‌ ගන්න බැරුව ඇති. ඒකනේ පිටරට කිරිකාරයන්ට ඔය හැටි රැවටෙන්නේ. අපේ දේ තරම් වටින දෙයක්‌ තවත් නැති බව ඔය මොළගෙඩිවලට වැටහෙන්නේ නැහැ. ඒ මදිවාට පොඩි දරුවන්ගෙත් මොළේ ඉක්‌මනට හදන්න කියලා එක එක නම්වල කිරි ජාති පොවනවා. අනේ ඉතිං වැඩිකල් නොගිහින් ඒ දරු පැටවුන්ගේ මොළ ගෙඩිත් මහ උන්ගේ වගේම විනාශ වෙලා වැඩක්‌ ගන්න බැරි හිස්‌ගෙඩි බවට පත්වන බව මහ එවුන්ට වැටහෙන්න ඉතිං මොළයක්‌ තියෙන්න එපා යැ.

යාන්තමට හරි මොළයක්‌ තියෙන අය ඉන්නවා නම් දැන්වත් අපේ කිsරි ටික පාරවල්වල හලන්න නොදී අපි නිසා ජීවත්වන දුප්පත් කිරි ගොවීන්ට කීයක්‌ හරි දීලා බය නැතුව අපෙ කිරි බොන්න පටන් ගන්න. හිතේ කහට නිසා හිතෙනවා නම් සෙම හැදෙයි කියලා, ඉඟුරු චුට්‌ටක්‌ තලලා දාලා රත්කරගෙන බොන්න. මගේ පැටවුන්ට වගේම උම්බලාගේ පැටවුන්ටත් යහපතක්‌ම වේවා!

(එළදෙන කී කතාවක්‌ සකස්‌ කළේ - තුෂාරී)
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.