මේ සාපැටවුන්ට පිහිටක්‌ වෙමු

කෙදිනක හෝ මව් පදවිය ලැබීම ඕනෑම ගැහැනියක තුළ පවතින ආශාවකි. ජීවිතයේ කවර දිනක හෝ පීතෘත්වය ලැබීමට පිරිමින් තුළ ඇත්තේද ඒ හා සමානම කැමැත්තකි. මේ එවැනි ඇසුවන් සතුටු කරවන තරමේ පුවතකි.

එම වාසනාවන්ත දරු උපත් සිදුවූයේ මහියංගන රෝහලේය. දුර්ලභ තුන් නිවුන් දරු ප්‍රසූතියකට අවශ්‍ය සූතිකා ප්‍රතිකාර කරමින් වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පසුගිය අප්‍රේල් 12 වැනි දින ඉතා බැරෑරුම් සිසේරියන් සැත්කම කළහ. එම අවස්‌ථාවේදී පිරිමි දරුවන්ම තිදෙනකු සිසේරියන් සැත්කම මාර්ගයෙන් දමයන්ති තිලකරත්නට තිළිණ කළ මහියංගන වෛද්‍ය කාර්ය මණ්‌ඩලය දැයේ ශක්‌තිය ගොඩනංවන්නට අවශ්‍ය මානව සම්පත රටට ලබා දීමට ඉතා සුවිශේෂි මෙහෙවරක්‌ කළේය.

දමයන්ති පෙරත් දරුවන් සිව්දෙනකු මෙලොවට බිහි කළ වාසනාවන්ත මව්තුමියකි. එහෙත් එදා ඇයට ලැබුණු නිවුන් දරුවන්ගෙන් එක්‌ දරුවකුට අකාලයේ මෙලොවින් නික්‌ම යන්නට සිදු වූයේ මොළයට විෂබීජයක්‌ ඇතුල්වීම හේතුවෙනි. එම අභාග්‍ය සම්පන්න සිදුවීම දමයන්තිත් ඇගේ සැමියාත් දරාගත්තේ මහත් ආයාසයෙනි. එහෙත් දෙවියන් නැවතත් ඔවුන් කෙරෙහි කාරුණික වූවා වැන්න. දමයන්ති නැවතත් ගැබ්බර වූවාය. එහෙත් මෙවරද ඇයට පිහිටියේ සාමාන්‍ය දරු ගැබක්‌ නොවේ. මෙවරද ඇය දරුවන් තිදෙනකු වැදුවාය. ඉකුත් සතියේ මහියංගනය රෝහලේදී විනාඩි දෙකක්‌, තුනක්‌ වැනි කාලයකදී ලෝකය දකින්නට වාසනාවන්ත වූයේ ඒ තුන් නිවුන් දරු පැටවුන්ය. එය ඇසූ ඇසූවන් සනසවන පුවතක්‌ වූයේ එසේය.

මෙවැනි දරුවන් ලැබීම වාසනාවන්ත වුවත් දමයන්තිලාගේ පවුල් පසුබිම මත එහි ලොකු පහරක්‌ ඇත. දෙවියන් සියල්ල එක තැනකට දෙන්නේ නැත. රූප සම්පන්නව උපදින ඇතැම් මිනිසුන් ළඟ ගුණධර්ම අඩුවෙන් පිහිටන අවස්‌ථා ඇත. සියලු සැප සම්පත් යස ඉසුරු ඇති සමහර මිනිසුන්ට දරු සම්පත් නොපිහිටන්නේය. මේ දහම දමයන්තිලාටත් පොදු වූවා බඳුය. ඇති වෙන්නට දරු ඵල පිහිටියත් ඒ දරුවන් හදා වඩා ගැනීමට තරම් ආර්ථික සවියක්‌ දමයන්තිලා සතුව නැත. මෙතෙක්‌ ඔවුන්ගෙ ඉරණම ලියෑවී ඇත්තේ දරිද්‍රතාවයෙන් පහළම තැනක දිවි ගෙවන ලෙසය. ඒ නිසා අලුතින් දමයන්තිලාගේ ලෝකයට එක්‌වූ පුංචි සා පැටවුන්ටත් සිදුව තිබෙන්නේ ඒ දරිද්‍රතාවයේ කටු අඬුවලට හිර වී ඉරණම් ගමනක්‌ යන්නටය. ඒ අවාසනාවන්ත ඉරණම තවත් කටුක එකක්‌ බවට පත්ව ඇත්තේ පෙර නිවුන් දරු උපතේදී මේ අසරණ පවුලේ සෙවණට පැමිණි එක්‌ දරුවකු (මිය ගිය දරුවා නොවේ) ආබාධිත බවකින් පෙළීමය.

එහෙත් කුමන අග හිඟකම් තිබුණද දාරක ප්‍රේමය යන පොදු ධර්මතාව දමයන්තිලාටත් පොදුය. කුමන අගහිඟකම් මත වුවද මේ නිවුන් දරුවන් පස්‌දෙනා (පෙර නිවුන් දරුවන්ද සමඟ) ජීවත් කරවීමට ඔවුන් අපා දුකක්‌ හෝ විඳීමට සූදානම්ව ඉන්නේ ඒ නිසාය. එහෙත් එතරම් රෞද්‍ර ඉරණම් ගමනක්‌ උරුම මේ සා පැටවුන් ඉන් මුදා යහපත් ජීවිතයක්‌ ඔවුනට ලබාදීමට සමත් පිංවත් දැත් මේ ලක්‌ පොළොව සතුව පවතින්නේය. ආර්ථික දරිද්‍රතාවයේ පහළම සිටින ඔවුන්ට යම් සහනයක්‌ ලබාදිය හැක්‌කේ ඒ පින් ඇති මහතුන්ටය. යමකුට ඒ පිළිබඳ පින් සිතක්‌ පහළ වන්නේ නම්,

දමයන්ති තිලකරත්න, 172, වෙහෙරගලයාය, හඳුන්ගමුව ලිපිනයෙන් විමසීම් කළ හැකිය. දුරකථන අංක 0725445844 ලෙස ඇමැතුමක්‌ දී ඇති තතු පහදාගෙනම උපකාරයක්‌ කළ හැකිය. මහජන බැංකුවේ විල්ගමුව ශාඛාවේ 122200160039027 යන ගිණුම් අංකයට ක්‍ෂණිකව මුදලක්‌ බැර කර ඔවුන්ගේ දුක්‌ත ඉරණම් ගමන වෙනස්‌ කිරීමට පුංචි හෝ අතදීමක්‌ කළ හැකිය.

හසලක - ස්‌වර්ණ ජයවික්‍රම
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.