මංකඩ

අලුත්වන මතකය

වෙසක්‌ සුළඟ පටන් අරගෙන. ගත සිත ප්‍රබෝධමත් කරමින් සුළං රැලි ඇවිත් ඇඟේ දැවටෙනවා. නැහැ... ඇත්තම කිව්වොත් සුළඟ ඇවිත් ඇඟේ වැදුනත් දැනුණෙ හිතට. ඒක හරි ප්‍රබෝධමත් හැඟීමක්‌. මේ වෙසක්‌ සුළඟත් එක්‌ක හැමදාමත් අලුත් වන මතකයක්‌ තියෙනව. ඒ මේ ගෙන්දගම් පොළවෙන් හුඟක්‌ දුර ඈතක ගෙවුණ අතීතය. මගේ පුංචි සන්දිය.

සීනිපුර පන්සලත් වෙසක්‌ සුළඟත් ඒ පුංචි සන්දියත් කියන්නෙ වෙන්කළ නොහැකි අතීතයක්‌. වියළි කලාපෙ වුණත් වෙසක්‌ කාලයට හමන සුළඟ අපේ දාහය නිවාලනව. සීනිපුර පන්සල ඉදිරියෙන් දෙවෙනි අග්බෝ නිරිඳු තැනූ කන්තලේ වැව් දියෙන් පෝෂිත පුංචි ඇළ පාරක්‌ ගලා යනව. පන්සල දකුණු පස මායිම් වෙන්නෙ ෆයිනස්‌ ගස්‌වලින් වටව ඇති පුංචි වැවකට. වම් පැත්තෙන් පන්සලේ වැට පැනපු ගමන් ඉස්‌කෝලය. හරියටම අර ඇළ පාරත්, වැව් කණ්‌ඩියේ ෆයිනස්‌ ගස්‌ පේළියත් අතරින් සමාන්තරව ඇත්තේ ගුරු පාරක්‌. ඔය ගුරු පාර දිගේ අපි පාසල් වත්තෙත් වෙසක්‌ දාට සිල් ගන්න එන්නෙත් ෆයිනස්‌ ගස්‌වල අතු අතර දැවටුණු සුළං රැලි මතු කරන හීන් හැඩැති අපූරු ගී තනුව අහගෙන. වැව් දියට හාදු දීගෙන ඇවිත් අපේ ගත සිත පිරිමදින සීත සුළං රැල් විඳගෙන. ඒ ප්‍රබෝධය දෙගුණ තෙගුණ කළේ වෙසක්‌දාට හමන සුළඟ. ඒ හැඟීම කිසිදා නොමැකෙන ලෙස හිතේ ගුලි කළේ වෙසක්‌ සුළඟ.

ඒ විතරක්‌ නෙමෙයි... ඒ කාලෙ වෙසක්‌ දවසෙ හවස මේ ගුරු පාරෙන් අපි ගෙදර දිව්වෙ බාගෙට හදල ආව වෙසක්‌ කාඩ් තොරණට වෙසක්‌ සඳ නැග එන්න කලින් ආලෝකය දෙන්න. අපි ගෙදර එනකොට පුංචි වෙසක්‌ කාඩ් තොරණට තාත්තා බල්බ් වැලක්‌ සවිකර තියෙනව. සඳ නැගෙන්න කලින් අපි ඒ වෙසක්‌ කාඩ් තොරණට ආලෝකය දෙනව. ඊට පස්‌සෙ යහළුවන්ගෙ වෙසක්‌ කාඩ් තොරණ්‌ බලන්න රංචු ගැහිල ඇවිදිනව. ඒත් අද ඒ හැමදෙයක්‌ම වෙනස්‌ වෙලා. වෙසක්‌ කාඩ්වල දැන් වැඩිපුරම තියෙන්නෙ බුද්ධ රූප වෙනුවට රෝස මල්. එදා හැදුව බට පතුරු පහන් කූඩු අද "ප්ලාස්‌ටික්‌" වෙලා. වෙසක්‌ කාඩ් තොරණ විතරක්‌ නොවෙයි එක්‌ පරම්පරාවකට සෙවන දුන්න ඒ පරිසරය වෙනස්‌වෙලා. සීනි කම්හල වැසී යැමෙන් රැකියා අහිමි වූ සියල්ල ඒ පරිසරය හැරදා ගොසින්. පන්සල පාළුවී ගොසින්. ගුරු පාරේ අඩි සලකුණු මැකී ගිහින්. ඒත් අර දියවර එම ෆයිනස්‌ ගස්‌වල අතු පිරිමදින වෙසක්‌ සුළඟ තවමත් තනිවම සිහින් ගීයක්‌ මුමුණනව ඇති කියල මේ සුළඟ දැවටෙන විට මගේ හිතට දැනෙනව.

වීදි ලාම්පුවක්‌
අතපසු වීමක්‌ සහ ජීවිතයක්‌


අපි කොහෙ ඉඳල එනවද කොහේ යනවද කොයි වෙලාවෙ යන්න වෙයිද කියල කව්රුවත් දන්නෙ නෑ. මෙච්චර අරුම පුදුම දේ සොයා ගන්න ලෝකේ ඒ ගැන සොයා ගත්ත කෙනෙකුත් නෑ. හැබැයි පුංචි කාලෙ ඉඳලම ඒ ගැන කියෑවෙන බණ පද නම් ඕනෑ තරම් අපිට ඇහිල ඇති. ඒත් ඒ බණ පද නෙත් මානයේම ඔප්පු කළ දිනක්‌ තමයි ඒ දිනය.

උදෑසන අවදිව තේ උගුරක්‌ තොල කටගානකොටම අපේ ගේ ඉස්‌සරහින් විලාපයක්‌ ඇහුණා. අනේ බලන්ඩ මෙන්න චූටියා මැරිලා වැටිලා. ඒ විලපය අපේ අසල්වැසියෙකු වන සුනීතා අක්‌කගෙ.

චූටියා කියල කිව්වෙ අපේ ගමේ තනිවම තනිකඩව ජීවත් වූ ගැමියෙක්‌. මම දන්න කියන කාලෙ ඉඳලම ගමේ හැමෝම ඔහුට කතා කළේ චූටියා කියල. චූටියා ටිකක්‌ මත්පැන්වලට ගිජුයි. ඒ ගිජුකම ඔහුට මත්පැන් උගුරක්‌ නොමැති විට ඔහු අසහනකාරී අසනීපයට පත්කරන තරම් එකක්‌ කියලයි ගමේ හැමෝම කියන්නෙ. කුමන අයුරකින් හෝ වැසි සහිත රාත්‍රියේ පාර අයිනෙ කාණුවකට වැටුණු චූටියා පසුව මියගොස්‌ තිබුණා. ඒත් චූටියා පාර අයිනේ වැටී මියගොස්‌ සිටින අයුරු මිනිසුන් දැක්‌කෙ පසුදා උදේ.

රෑ යාමෙත් මිනිසුන් නිතර මේ පාරෙන් එහෙ මෙහෙ ගියත් චූටියා වැටී සිටින අයුරු නොදකින්න හේතුවක්‌ තියෙනව. ඒ ඔහු වැටී සිටි තැන අඳුරේ පැවතීම. ඒ තැන අඳුරුව පැවතියේ ඔහු වැටී සිටි තැනට නුදුරේ ඇති වීදි ලාම්පුව අක්‍රීයව පැවතියත් මතුගම ප්‍රාදේශීය සභාවේ උදවිය එය අලුත්වැඩියා නොකිරීම. ඇතැම් විට ඔවුන් එය නොදැන සිටියා වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් චූටියත් දැන් අවසන් ගමන් ගිහින් ඉවරයි. වීදි ලාම්පුවක්‌ අලුත්වැඩියා කිරීම අතපසු වීම පුංචි කාරණයක්‌ වුණත් ඒ වගේ පුංචි දෙයකින් යළි නිවැරැදි කළ නොහැකි පාඩුවක්‌ ඛේදවාචකයක්‌ වෙන්න පුළුවන්. මේ සටහන තබන්නෙ දෙවෙනි වතාවටත් ඒ වීදි ලාම්පුව ගැන ප්‍රාදේශීය සභාවට මතක්‌ කරල.
තිසා
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.