පෙම් යුවළගේ මරණයෙන් මතු වූ
කළුගං පතුළේ හරඹ කරන සම්මාන නැති වීරයෝ


ගං දියේ හරඹ කරන මේනක

කාලයේ රිදී පැහැ වැලි තලා අතරින් මේ යොවුන් ප්‍රේමය නිදහසේ ගලා ගියේය. දෙමාපිය ආශීර්වාදය ලැබීමත් සමග ඔවුන්ගේ ආදරයට තව තවත් ජීවය ලැබිණි. ඔවුහු අනාගතය ගැන සිහින දකින්නට පටන් ගත්හ. ඒ සිහින සැබෑ වන්නැයි කියා ඔවුන් ප්‍රාර්ථනා කරන්නට ඇති. එදත් මේ පෙම් යුවළ කළුතර බෝ සමිඳුට මල් පූජා කර ඔවුන්ගේ ආදර ලෝකයේ තනි වෙන්නට සිතා කළු ගං දෑල දෙසට ගමන් කළහ. වෙනදා මෙන් නොව, එදා මාරයා ඔවුන් එන පෙර මඟ බලා සිටියේය. දත් විළිස්‌සාගෙන සිටින මාරයා වරෙක ඔවුන්ට අත වැනුවේය. දෙදැලේ හැපෙමින් ගලන ගඟ දියට උඩින් ඇති පදික පාලම ඔවුන්ගේ නෙත ගැටිණි. "අපි මේ පාලමෙන් එගොඩට යමු." ඔවුන් දෙදෙනාගෙන් එක්‌ අයෙකු එසේ කියන්නට ඇති. දින ගණනක්‌ ඇදහැලෙන වැස්‌සෙන් ගඟ තරමක්‌ මුරණ්‌ඩු වී ඇති බව ඔවුහු නොදුටුහු. පදික පාලමේ ලෑලි වැස්‌සට තෙමී බත් වී ඇති බව ඔවුන්ට නොවැටහිණි. ආදරය ඔවුන්ව අන්ධ කර තිබිණි.

ආදර බස්‌ තෙපලමින් ඔවුහු දෙඅත් අල්ලාගෙන පාලමේ ඉදිරියට ගමන් කළහ. ඈතින් පෙනෙන මහ මුහුදේ මෙන්ම ගළු ගං කොමළියගේ ද සුන්දරත්වය රිසි සේ විඳගන්නට ඇති. එහෙත් ඔවුන්ට පදික පාලමෙන් එගොඩටට යැමට නම් දෛවය ඉඩ නොදුන්නේය.

අගලවත්ත දාපිලිගොඩ පදිංචි තරිඳු ප්‍රියංකරගේත් පානදුර අළුබෝමුල්ලේ පදිංචි ටිල්ෂානි මධුවන්තිගේත් දෑස්‌ ප්‍රථම වරට එකිනෙක ගැටුණේ කතරගම පූජා භූමියේදීය. ඒ පුණ්‍ය භූමියේදී ගැටුණු දෑස්‌ ආදරයක්‌ බවට පෙරළී හිමි හිමින් ගලාගෙන විත් කළුතර බෝ සමිඳු අසලිsන් කළු ගඟට ගසාගෙන ගියේ ඔවුන්ගේ සංසාරගත ආදර කතාව පමණක්‌ නොව ඔවුන්ගේ ජීවිත කතාවද සමගය. එය කොතරම් දෛවෝපගතද? තහංචි නොමැති ඔවුන්ගේ ප්‍රේමයට දෛවය මෙලෙසින් සැහැසි වූයේ මන්ද? මේ අහිංසක පෙම් යුවළ මෙලෙසින් කළු ගං පතුළේ සඟවාගැනීමට ඔවුන් කර ඇති අකුසලය කිමැද? මරණය මොන තරම් නම් අනපේක්‍ෂිත දෙයක්‌ද? පණැති සියලු මිනිසුන් පිටුපසින් මරණය සෙවණැල්ලක්‌ සේ ලුහුබඳින බව සැබෑය. එහෙත් මේ තරම් ඉක්‌මනින්... අනපේක්‍ෂිත ලෙස ඔවුන් පසු පස මරණය හඹා අවේ ඇයි?

හදවත් සසල කරවන මේ පුවත කණ වැකුණු ඇතැම්හු පැවසුවේ ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා මෙවැන්නක්‌ සිදු වූ බවය. එමෙන්ම කළුතර දුම්රිය පාලමට සමාන්තරව ඇති පදික පාලම නිසි නඩත්තුවක්‌ නොමැති හෙයින් මේ තරුණ ජීවිත දෙක ගඟට බිලි වූවායි තවත් අය පැවසූහ. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ වෙනත් කතාවකි. ඔවුන්ගේ නිගමනයට අනුව දුම්රිය පාලමේ එම කොටස භාවිත කළ හැක්‌කේ, දුම්රිය මාර්ගය නඩත්තු කරන සේවකයන්ට පමණකි. දුම්රිය ආඥ පනතට අනුව පදික මගියෙකුට එහි ගමන් කිරීම ද සපුරා තහනම්ය. එහෙයින් මේ ළාබාල සොඳුරු පෙම් යුවළ ගං පතුලේ සැඟව ගිය කාරණය කිසි විටෙකත් ඔවුන්ට ආදාළ නොවේ. එය සැබෑවක්‌ විය හැකිය. එහෙත් අප දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පමණක්‌ නොව, මේ රටේ අවිධිමත් මාර්ග කළමනාකරණයට වගකිවයුතු සියල්ලන්ගෙන්ම මෙසේ විමසා සිටිමු. මේ බව දන්නා අය මේ රටේ කොපමණක්‌ වෙසෙත්ද? දුම්රිය දෙපාර්තමේන්තුව මේ කියන තහනම පිළිබඳ කෙනෙක්‌ දැනගත්තේ ද මේ සිදුවීමෙන් පසුවය. එහෙයින් කොතන හෝ වරදක්‌ සිදුව ඇති බව අපි අවධාරණය කරමු. මේ අනවසර පදික පාලමේ පෙම්වතුන් මෙන්ම ලොකු කුඩා විවිධ පුද්ගලයන් ගමන් කරනවා අපිදු දැක ඇත්තෙමු. එය සුලබ දසුනක්‌ ද වේ. දුම්රිය බලධරයිනි, ඒ අනවසර මගෙහි ගමන් කරන්නන් කී දෙනකුට මේ වන විට නිතීයෙන් දඬුවම් ලබාදී තිබේද? දුම්රිය පාලම අලුත්වැඩියාව සඳහා භාවිත කරන පදික පාලමට නිසි නඩත්තුවක්‌ කර තිබුණා නම් තරිඳුත් මධුවන්තිත් තවමත් අප අතරය. එහෙත් එය එසේ සිදු නොවීය. මෙම සිදුවීම් පෙළෙන් සමාජයට උගත හැකි පාඩම් බොහෝය. ප්‍රදේශවාසීන් පවසන ආකාරයට බොහෝ විට මෙම පදික පාලමේ ගමන් කරන්නේ පෙම්වතුන්මය. ඒ ගමනේ අවදානම දැන් ඔබට තේරෙනවා ඇති. ආදරය කළ යුතුය. ආදරයේ මිහිරියාව සිත් පුරා විඳගත යුතුය. එහෙත් මරු කපොල්ලට ගොස්‌ දොඩන ආදර බස කිමැයි?

කෙසේ හෝ ටිල්ෂානි අබලන් පාලමෙන් ලෑල්ල කඩාගෙන කළු ගඟට වැටුණු පසු තරිඳු නියම ප්‍රේමවන්තයෙක්‌ ලෙස ඔහුගේ පෙම්වතිය බේරා ගැනීමට කළු ගඟට පැන්නේය. වර්තමාන සමාජයේ බොහෝ ප්‍රේමවන්තයන් මෙන් ඔහු ඇඟ මසට ලොබ බඳින නිවට නියාලු ප්‍රේමවන්තයෙක්‌ නොව, ප්‍රේම්වන්තිය වෙනුවෙන් තම ජීවිතය පූජා කළ අපේ කාලයේ කලාතුරකින් දකින්නට ලැබෙන ප්‍රේමවන්තයෙකි. ඔහුගේ අවාසනාවකට ඔහුට තම පෙම්වතිය බේරාගැනීමට නොහැකිය විය. දෙදෙනාම කළු ගං කොමළිය තුරුළේ අවසන් සුසුම් පොද ජල කඳටම මුදා හැරියහ.

මේ ඛේදනීය කතාවේදී කතා කළ යුතු තවත් පිරිසක්‌ සිටිති. කිසිවෙක්‌ කතා නොකරන පිරිසද ඔවුන්මය. සටහන තරමක්‌ දිගු වේ. එහෙත් මේ ටිකත් පැවසිය යුතුමය.

තරිඳු සහ මධුවන්ති දෙපළ කළු ගඟට වැටුණායි කියන ආරංචිය කළුතර ප්‍රදේශයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඉඟිලි යැමත් සමග නාවික හමුදා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ තරුණයෝ ද එකතු වී ඔවුන් සොයා කළු ගඟේ කිමිදුණහ. හමුදා නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසී තරුණයන් දින දෙකක්‌ තුළදී එකම මානුෂීය මෙහෙයුමක නිරත වෙමින් මධුවන්තිගේ මෙන්ම තරිඳුගේ ද ප්‍රාණය නිරුද්‍ර සිසිරු සොයාගත්හ. මේ සිරුරු දෙකම සොයාගැනීමට සමත් වූයේ ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකි. ඒ 24 වියෑති මේනක සහ 26 වියෑති තවත් තරුණයෙකි. පසුගිය දිනක අපි ඔවුන් සොයාගෙන කළුතරට ගියෙමු. එහෙත් අපට ඔවුන් දෙදෙනාවම හමු නොවීය. මේනක පමණක්‌ අපට හමු විය.

කළුතර පලාතොට ලාගොස්‌වත්තේ පදිංචි ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියෑදුරෙකි. ඔහු සමග කළු ගඟේ කිමිදුණු අනෙක්‌ තරුණයා ද ලාගොස්‌වත්තේම පදිංචිකරුවෙකි. ඔවුන්ගේ මුල් පදිංචිය කළුතර දුම්රිය නැවතුම්පළ පිටුපස වත්තය. එම ප්‍රදේශය සුනාමි අවදානම් ප්‍රදේශයක්‌ කිරීමත් සමග ඔවුහු ලාගොස්‌වත්තෙ පදිංචියට ගියහ.

"අපි ඉස්‌සර හිටපු ගෙදර දොට්‌ට බැස්‌ස ගමන් පේන්නෙ කළු ගඟ. පුංචි කාලේ ඉඳන් කළු ගඟ දකින අපිට ගඟ හුරුපුරුදු තැනක්‌ වුණා. ගඟට බහින්න බය නැති වුණා. අපි වැටි වැටි ඇවිදින කාලෙත් අපේ අම්මලා අපිව නෑව්වේ ඔය කළු ගඟෙන්. පුංචි කාලේ අපි බෝල ගහනකොට බෝලෙ ගඟට ගියාම අපි ගඟේ පීනලා ගිහින් බෝලෙ ගත්තා. අපි ඔට්‌ටු සෙල්ලම් කරනකොට ගඟේ පීනලා අයින්වල හැංගුණා. අන්තිමේ අපිට ගඟ ගෙදර වගේ වුණා. වත්තේ හැමෝටම එහෙම තමයි. වත්තේ කෙල්ලන්ටත් හොඳට ගඟේ පීනන්න පුළුවන්. අපේ අම්මලා තාත්තලාටත් එහෙමයි."

"යම්තම් උස්‌ මහත් වුණහම අපි වැඩිහිටියොත් එක්‌ක මාළු අල්ලන්න ගඟට ගියා. සමහර දවස්‌වලට උදේ ඔරුවට නැග්ගහම ආයිත් ගෙදරට එන්නෙ හවසට. දවස ගඟේම ගෙවිලා ගියා."

"දවසක්‌ අපි පාළම යට මාළු අල්ල අල්ල ඉන්නකොට "ජබොස්‌" ගාලා ශබ්දයක්‌ සමග වතුර කැළඹුණා. අපි හිතුවා ලොකු මාළුවෙක්‌වද කියලා. ශබ්දය ආපු පැත්තට හැරුණා. ඒක පාරට කෙල්ලෙක්‌ උඩට ඇවිත් ආයිත් නොපෙනී ගියා. දෙපාරක්‌ හිතුවේ නෑ මම ඔරුවෙන් ගඟට පැනලා කෙල්ල යට ගිය තැනට පීනුවා. ඒ සමගම නැවත ඒ කෙල්ල උඩ ආවා. කෙස්‌ වැටියෙන් අල්ලපන්... කෙස්‌ වැටියෙන් අල්ලපන් කියලා... ඔරුවේ හිටිය මාමා කෑගහනවා. ඒ කෙල්ල නැවත උඩ මතු වුණා. මම එක පාරටම කෙස්‌ වැටියෙන් අල්ල ගත්තා. අල්ලගෙන උඩුබැලි අතට හරවගෙන ඔරුව ළඟට පීනුවා. එතකොටත් කෙල්ලට හොඳට වතුර පෙවිලා. අපි උස්‌සලා ඔරුවට දාගෙන උඩට ගෙනාවා. එතකොටත් මිනිස්‌සු පාළම ළඟ පිරිලා බලාගෙන ඉන්නවා."

"කෙල්ලව නාගොඩ ඉස්‌පිරිතාලෙට ගෙනිච්චා. ඒ ටියුෂන් පන්ති ආපු කෙල්ලෙක්‌. පොත් ටික පාළම උඩ තියලා සෙරෙප්පු දෙකත් එතනම ගලවලා තමයි කෙල්ල ගඟට පැනලා තිබුණේ. කෙල්ලගේ ජීවිතේ බේරුණා. අපිට පස්‌සෙ ආරංචි වුණා ඒ කෙල්ල කොල්ලෙක්‌ එක්‌ක යාළුවෙලා ඉඳලා කොල්ලා එක එක තැන ගෙනිහින් පස්‌සේ අතහැරලා දාලා කියලා. කෙල්ලට එච්චර වයසකුත් නැහැ. ඒ වෙනකොට අවුරුදු පහළොවක්‌ විතරලු වෙන්නේ. මම ඒ කෙල්ලව බේරගන්නකොට මටත් වෙන්නෙ අවුරුදු දහසයයි. මම මුලින්ම ගඟට පැනලා බේරගත්තා කෙනා ඒ කෙල්ල. ඊට පස්‌සෙත් ඔය පාළමෙන් ගඟට පැනලා ජීවිත නැති කර ගන්න හදපු ගැහැනු තුන් හතර දෙනෙක්‌ම බේරගෙන තියෙනවා. ගඟට පැනලා මැරුණු අයගේ සිරුරු අපි කොච්චර නම් ගොඩට අරන් ඇත්ද"

"මෙන්න මේ ටික මහත්තයෝ සමාජයට දැනගන්න කියන්න ඕනා. ඔය මැරෙන්න ගඟට පනින හැමෝම අන්තිමේ බේරෙන්න දඟලනවා. හිතේ ඇති වෙන ආවේගට ගඟට පැන්නට ඒකෙ බැරූම්කම තේරෙන්නෙ ජල කඳ සමග ඔට්‌ටු වෙනකොට."

"ඔන්න එක දවසක්‌ කාන්තාවක්‌ ගඟට පැන්න කියලා කෑගැහිල්ලක්‌ ආවා. අපි හිටියේ ගඟ අයිනේ. එතන හිටිය කොල්ලෝ හතර පස්‌ දෙනාම ඇඳගෙන හිටිය ඇඳුම් ගලවලා දාලා යට ඇඳුම පිටින් ගඟට පැන්නා. ඒ ගැහැනිය දෙපාරක්‌ම උඩට ඇවිත් ආයිත් යට ගියා. තුන් වෙනි පාර උඩට එනකොට මම කෙස්‌වල්ලෙන් අල්ල ගත්තා. උඩුබැලි අතට හරවගෙන හිමීට හිමීට එගොඩට අරගෙන ආවා. ඒ අක්‌කට හොඳට වතුර පෙවිලා. උඩ හිටපු අය ඒ වේලාවේම නාගොඩ ඉස්‌පිරිතාලෙට ගෙනිච්චා. ඒ කාන්තාවට එච්චර අමාරුවක්‌ වෙලා නැහැ. එදාම ඉස්‌පිරිතාලෙන් ටිකට්‌ කපලා තිබුණා. ඒ වේලාවෙම ඒ අක්‌කා කෙලින්ම ඇවිත් තිබුණෙ අපේ ගෙදරට. ඇවිත් එයාව බේරාගත්තා කියලා අපේ හත්මුතු පරම්පරාවටම පින් දුන්නා. අතේ තිබුණු මුද්ද ගලවලා මගේ අතට දීලා කිව්වා "මල්ලි මට වෙන දෙන්න දෙයක්‌ නැහැ මේක තියාගන්න" කියලා. මම ගත්තේ නැහැ මහත්තයෝ. මැරෙන්න යන කෙනෙක්‌ගෙ පණ බේරගෙන තෑගි මුදල් ගන්න පුළුවන්ද? අපි තෑගි බලාපොරොත්තුවෙන් නෙමෙයි ගඟට බිලි වෙන්න යන ජීවිත බේරගන්නෙ. අපි දන්න දෙයින් සමාජයට යම් සේවයක්‌ කරන්නයි. තෑගි බෝග ගත්තොත් ඒක ගනුදෙනුවක්‌ වෙනවා. සල්ලි හොයන්න ඕනා නම් කුලියක්‌ කරනවා. මැරෙන්න යන මිනිස්‌සුන්ව බේරගෙන සල්ලි ගන්න තරම් අපි පහත් තත්ත්වයට වැටිලා නැහැ. අපේ වත්තේ හැම කොල්ලෙක්‌ම එහෙම තමයි."

"ඒ අක්‌කා ගඟට පනින්න හේතුව එයා වැඩට ගිහින් එනකොට එයාගේ කසාද මනුස්‌සයා එයලාගේ ගෙදරම වෙනත් ගෑනියෙක්‌ එක්‌ක එකට ඉන්නවා දැකලා. එයාට පුංචි දරුවෝ දෙන්නෙකුත් ඉන්නවලු. ඉතින්... අපි ඇහුවා දරුවෝ දෙන්නා ගැනවත් හිතන්නෙ නැතුව ඇයි ජීවිතේ නැති කරගන්න හැදුවේ කියලා. එතකොට එයා කිව්වා මමයි හම්බ කරලා මිනිහවත් ජීවත් කරවන්නේ. මම එහෙම කරනකොට ඒ මිනිහට තවත් ගෑනු ගන්නවා. මට කිසිම දෙයක්‌ හිතා ගන්න බැරිව ගියා. මගේ හිත කිව්වේ උඹ තවත් ජීවත් වෙලා වැඩක්‌ නැහැ ජීවිතේ නැති කර ගනිං කියලා. මට දරුවෝ දෙන්න ගැන හිතුනේ නැහැ. මම බස්‌ එකකට නැගලා කළුතරට ආවා. බෝධියට ඇවිත් පඬුරක්‌ දාලා ටිකක්‌ වෙලා බෝධිය දිහා බලාගෙන ඉඳලා පාළම පැත්තට ඇවිත් ගඟට පැන්න" කිව්වා. ගඟ ගලන්නාක්‌ මෙන් මේනකගේ හඬ ද එසේ ගලා ගියේය.

කෙනෙකුගේ සිතට දරාගැනීමට නොහැකි ලෙස සිත් වේදනාවක්‌ ඇති වූ විට ඔහුගේ හෝ ඇයගේ මනසේ ඇති වන ව්‍යාකූල තත්ත්වය කොතරම් බරපතලවේද කිවහොත් ගඟක මුහුදට පැන, වස විසක්‌ ශරීරගත කරගෙන හෝ ගෙල වැළලාගෙන සියදිවි නසාගැනීමට ප්‍රයත්න දැරීමට තරම් එය ප්‍රබල වේ. එවැනි පුද්ගලයන්ගේ ජීවිත බේරුණද ඔහු නිතීය ඉදිරියේ වරදකරුවෙකි. එමෙන්ම තම ජීවිතය විනාශ කරගැනීම මෙන්ම, ප්‍රයත්න දැරීම ද ආත්ම ගණනකට මනුෂ්‍ය ආත්මයක්‌ නොලැබෙන අකුසල කර්මයක්‌ ද වේ. එහෙයින්ම ඔබ විසින් කෝපය පාලනය කළ යුතුවා මිස කෝපය විසින් ඔබ පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. මිනිස්‌සු වන අපට අපේ ජීවිතය පිළිබඳ අතිමහත් වගකීමක්‌ ඇති බවත් තේරුම්ගත යුතුය.

"ගඟට කෙනෙක්‌ව වැටෙන්නෙ බොහෝම කලාතුරකින් මහත්තයෝ. එක්‌කෝ ගඟට පනින්න ඕනා. නැති නම් කවුරුහරි ගඟට තල්ලු කරන්න ඕනා. එහෙමත් නැති නම් ගඟට දාන්න ඕනා. පුංචි ළමයින්ව ඔය අම්මලා ගඟට විසිකරලා යනවා. ඔය තරිඳුලාව වැටිලා තියෙන පදික පාළමෙන් අපේ වත්තේ කෙල්ලෝ දෙතුන් දෙනෙක්‌ම වැටිලා තිබුණා. ඒ කෙල්ලෝ නම් පීනලා ගොඩට ඇවිත් තිබුණා."

"වහින දවස්‌වලට ගඟ පතුලේ කිසිම දෙයක්‌ පෙන්නෙ නැහැ. දුඹුරුම දුඹුරු පාටයි. එතකොට අපි කරන්නෙ ගඟ පතුලේ අත් තිය තියා අත ගගා බලනවා. එහෙම හොයලා තමයි තරිඳුයි මධුවන්තිගේ සිරුරු හොයාගත්තේ. හැබැයි ලුණු වතුර එන කොට ගඟ හොඳට පැහැදිලිsයි. සමහර අය කියනවලු කළු ගඟේ කළුතර පාළම ළඟ මරු වැල් වගේ දිය වැල්, දිය සුළි තියෙනවා කියලා. ඒවා බොරු කතා මහත්තයෝ. එහෙම දිය වැල් නැහැ. උඩහා ගං වතුර ගලන කොට ගඟ වේගයෙන් ගලා යනවා. එහෙම නැතිව ඔය කියන සුළි නැහැ. පීනන්න පුළුවන් අයට පීනන්න පුළුවන්." මේනක එසේ කීවේය.

අපි නොදුටු, කිසිම දිනක දැක ගැනීමටත් නොහැකි කළු ගං පතුළ කෙබඳු දැයි අසා දැනගැනීමට සිතුනද මේනකගේ මුවින් ගලා යන කතාවට බාධා කිරීමට මගේ සිත මට ඉඩ නොදුණි. මොහොතක්‌ අපගේ කතාව නතර විය. කළු ගං පතුලේ ස්‌වභාවය ගැන විමසීමට සුදුසුම අවස්‌ථාව මෙය යෑයි සිතූ මම අප අතර තිබූ කෙටි නිහැඬියාවට තිත තැබිණි.

"ගඟ පතුලේ රොන් මඩ වගේ වැල්ලක්‌ තියෙන්නේ. ඒ වගේම තැනිතලාවක්‌ කියලා තැනක්‌ නැහැ. හැම තැනම ගොඩැලි ගොඩැලි ආගාධ තියෙන්නෙ. ගඟ පැහැදිළි දවස්‌වලට ඒ ගොඩැලි දකින කොට නම් බය හිතෙනවා." මේනකගේ මුවින් ගලා යන හඬත් සමග ඇහි බැමි පවා ඉහළට එසෙවීමෙන් කියා පෑවේ කළු ගං පතුලේ රෞද්‍ර බවයි.

මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග කළු ගං කොමළිය තරමක්‌ මුරණ්‌ඩු වී ඇති සේය. ජල කඳ ද උස්‌ වී පෙනේ. එහෙයින්ම ගං පතුලේ සැඟවී ගිය මළ සිරුරක්‌ සෙවීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවේ. එමෙන්ම කිමිදුම් ඇඳුම් ද ඇඟලා නොගෙන ගං පතුළට කි¹ බැසීම මොනතරම් නම් අවදානම් ගමනක්‌ද? එවැනි අවදානමත් තුරුළු කරගෙන මේනකලා ගඟ සමග ඔට්‌ටු වෙයි.

"ඇත්තටම පොඩි අවදානමක්‌ තියෙනවා තමයි. ඒත් අපිට බයක්‌ හිතෙන්නෙ නැහැ. අපිට එගොඩ මෙගොඩ පීනන්න පුළුවන්. දිය මත පාවෙවී ටික වෙලාවක්‌ ඉන්න පුළුවන්. එහෙම හැකියාවන් තියෙද්දී මනුෂ්‍ය ජීවිතයක්‌ ගඟට බිලි වෙන්න ඉඩ දී බලාගෙන ඉන්න පුළුවන්ද? බැහැනේ."

ඔවුන්ගේ වීරත්වය පමණක්‌ නොව, අවිහිංසකත්වය අතරින් එක දිගට ගලා ගිය මහා මිනිස්‌කමක සුවඳ ද මේනක තෙපලූ ඒ වදන් අතරේ ගැබ්ව තිබෙන බව අපට නිබඳවම පසක්‌ විය. ඔහුට මහ ලොකු අධ්‍යාපන සුදුසුකම් නොමැති වුවද, උපතින්ම පොදි බැඳගෙන ආ සහජ දක්‍ෂතා ඔහු සතුය. ඒ ගඟේ, මුහුදේ පිහිනා යැම මෙන්ම කිමිදීමේ දක්‍ෂතාවයයි. ගඟ සමග ජීවත් වන ඔහු පමණක්‌ නොව, ඔහුගේ අසල්වැසි තරුණයෝද ගඟ දියේ පිහිනා යැමට දක්‍ෂයෝය. එසේ නම් ඔවුන්ගේ දක්‍ෂතා තව තවත් වැඩි දියුණු කරගැනීමට ඉඩ ලබාදුනහොත් එය රටට කීර්තියක්‌ වන තවත් මඟක්‌ විය නොහැකද?

තරංග රත්නවීර
මීගහතැන්න රුවන් විඡේවර්ධන
ඡායාරූප - විජයසිරි විද්‍යාසේක

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.