ලියමි සොඳුරු කතාවක්‌ ගනු මැන ආදර්ශයක්‌



"පුංචි උන් මල් වගේය. උන්ගේ ලෝකය ලස්‌සනය. උන් සමනල්ලු සේ සැහැල්ලුවෙන් උන්ගේ ලෝකයේ සරන්නෝය. ඒ ලෝකය පුදුමාකාර තරම් පිවිතුරුය......."

ඔබේ ඇකයේ ඔබේ උනුහුමේ සැනහෙන ඔබේ ලෙයින් උපන් කිරිසප්පයා සම්බන්ධව සමහරවිට මේ විසිතුරුව සහතික ඇත්තක්‌ වන්නට පුළුවන. එහෙත් අප සහසුද්දෙන්ම දන්නා නමුත් පිළිගැනීමට සූදානම් නැති ඛේදවාචකයක්‌ බඳු ඇත්තක්‌ තිබේ.

අපේ රටේ බොහෝ පුංචිඋන්ගේ ලෝකය ලස්‌සන නැත. උන් සමහරෙක්‌ දරුවෙක්‌ ලෙස දරුවෙකුට හිමි කිසිම අත්දැකීමක්‌ විඳ නැත. රැකවරණයක්‌ ලබා නැත. ආදරය පිළිබඳ හැඟීමක්‌ නැත. මේ සමහර නොදරුවන් දූෂණය වන්නේත් අපහරණයට ලක්‌වන්නේත් අම්මාගෙන් කිරි උරා බී නින්දට යන අතරවාරයේය.

ඒ රුදුරු කටුක ළදරු ජීවිත ගැන කියෑවෙනා මේ ඡායාරූප පෙළ මහා මානුෂිය කතාවක්‌ අපට කියවාදෙමින් හිඳී. එක්‌ ඡායාරූපයක ඔබ දකින මේ දරුවෝ හඬති. ඉකි ගසමින් කෑමොර දෙමින් හඬති. කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ තුවක්‌කු අතර ඉපදී සිටි මේ නොදරුවන් වෙඩි හඬ ඇසෙන විට බියවී හඬා තිබුණේ නැත. වැළලු බිම් බෝම්බවලින් දෑත් දෙපා අහිමිවන යුද්ධයේ බිහිසුණු ගොදුරුවී කුඩු පට්‌ටම්ව මිය යන ස්‌වකීයයන් දුටුවිට උන් හඬා තිබුණේ නැත. එහෙත් ඔවුන් දැන් බියෙන් තැතිගෙන හඬමින් සිටිති. ඒ ජීවිතයේ පළමු වරට ඔවුන් ඔන්චිල්ලාවක නන්වා ඇති නිසාය. මුල්ම වරට සෙල්ලම් මිදුලක උපකරණ හා ක්‍රීඩා කිරීමට ඔවුන්ව යොමුකර ඇති නිසාය. ජීවිතයේ මුල්ම වරට අත්දුටු ළමයින් ගේ ලෝකය මේ දරුවන්ට අතිශයින්ම ආගන්තුක එකක්‌ වී ඔවුන් තැතිගන්වා ඇති නිසාය. ඒ ඇත්ත සියොල`ග ලොමු දැහැගන්වයි. මේ කිරිසප්පයින් ඔවුන්ට හිමි ළමා ලෝකයට එපමණටම ආගන්තුකය.

එහෙත් මේ කතාව දැනෙනසුළු ලෙස කියවාගත හැකිදැයි අප ඔබෙන් අසන්නේ නැත. මක්‌නිසාද යත් අපේ පොඩිඋන් යහතින් නම් රටේ පොඩි වුන්ට හෙණ ගැහුවත් අප බොහෝ දෙනෙකුට වගක්‌ නැති බව අප දන්නා බැවිනි. ආදරය අනුකම්පාව හා වෙනකෙකුගේ ජීවිත පිළිබඳව උපදිනා මානුෂීය සහකම්පනයට සංවේදී අවයව ජීවත් වීම සඳහා කරන බලු පොරයේදී අප බොහෝ දෙනෙක්‌ විසින් ගලවා ඉවත්කර දමා දැන් බොහෝ කල්ය.

නමුත් තවමත් මිනිස්‌සු සතු උත්තම මානුෂීය සංවේදනාවන් මරා නොගත් අතලොස්‌සක්‌ මේ රටේත් ඉතිරිව සිටිති. මේ කෙටි සටහන තබන්නේ එබඳු විරල මිනිසුන් පිරිසකගේ මියනොගිය මානුෂීය ප්‍රාර්ථනාවන්ට ගෞරවයක්‌ වශයෙනි.

ඒ කතාව මීට අවුරුදු දහයක්‌ පමණ අතීතයට දිවයන්නකි. ඒ වකවානුවේත්a මේ රටේ පෙර පාසල් දාහත්දාහක්‌ තිබුණේය. එහෙත් කිසිම විධිමත් ප්‍රමිතියක්‌ මේ පෙර පාසල් වලින් බොහෝමයකට නොතිබිණි. දරුවෝ පෙර පාසල් ආහ. පෙරපාසල් පාලිකාවෝ උන්හ. එහෙත් මුල් ළමාවිය සංවර්ධන සංකල්පය අපේ පෙර පාසල්වල ක්‍රියාත්මක වූයේ නැත. ලෝකයේ මුල් ළමාවිය සංවර්ධන න්‍යායන් අපේ සංස්‌කෘතික පරිසරය තුළ ප්‍රායෝගික කරනු ලබනා ආදර්ශ නොවීය.

එහෙත් මේ වනවිට එවැනි ආදර්ශ පෙරපාසල් තිස්‌තුනක්‌ මේ රටේ උතුරු නැගෙනහිර ඇතුළු දිස්‌ත්‍රික්‌ක 13 ක නිර්මාණය වී ඇත. හද්දා පරණ මුඩුක්‌කු වැනි ගුබ්බෑයම්වල උතුරේත් නැගෙනහිරත් පවත්වාගෙන ගිය පෙර පාසල් දැන් ආදර්ශ පෙර පාසල් බවට පරිවර්තනය වී තිබේ. ලංකාව පුරාම එකම ආකෘතියකට එකම සැලසුමකට නිර්මාණය වී ඒ ඒ සංස්‌කෘතික පරිසරයන්ට ගැලපෙන ළමා සංවර්ධන න්‍යායන් සහිතව මෙම පෙර පාසල් ක්‍රියාත්මක වෙමින් ඇත. ඒවායේ දරුවෝ තුන්දහසකට වැඩි පිරිසක්‌ දැන් සංවර්ධනය වෙති.

මීට සමගාමීව පෙර පාසල් සිය ගණනක ප්‍රමිතිය දියුණු කර තිබේ. දිස්‌ත්‍රික්‌ක දහතුනක්‌ පුරා පෙරපාසල් ගුරුවරුන් එක්‌ දසහස්‌ හාරසියයකට වැඩි පිරිසක්‌ පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා ප්‍රමිතියක්‌ සහිත පුහුණුවක්‌ ලබා ඇත. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයත් රටේ විශාලම පුද්ගලික ආයතනයක්‌ වූ හේමාස්‌ ආයතනයේ හේමාස්‌ අවුට්‌රිච් පදනමත්, ළමා හා කාන්තා කාර්යාංශයත් සමෝධානගතව පුරා දශකයක්‌ තිස්‌සේ නිහඬව රටේ අසරණ නොදරුවන් වෙනුවෙන් කැපකරනු ලැබූ ව්‍යාපෘතියක සාර ඵල රටට ලැබී ඇත්තේ එසේය.

එම ව්‍යාපෘතිය නම් කර තිබුණේ පියවර නමිනි. වරක එය ව්‍යාපාරික අංශය මැදිහත්ව කෙරෙනා ආසියාවේ හොඳම සමාජ සද්කාරක ව්‍යාපෘතිය ලෙස සම්මානයට පාත්‍ර වූයේය. හේමාස්‌ අවුට්‌රිච් පදනමේ විධායක අධ්‍යක්‌ෂවරිය ලෙස රජය හා එක්‌ව මෙම ව්‍යාපෘතිය නිර්මාණය කරන්නී ශිරෝමි මාස්‌කෝරාලය. ඒ සමාජ කාර්යයේ ප්‍රමාණය ගැන ඇය අපට කියන්නීය.

"පියවර ව්‍යාපෘතිය අපි ආරම්භ කරන්නේ 2002 දී. කිසිම ප්‍රචාරණයකින් තොරව, ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තු නොවී රටේ දරු පැටව් වෙනුවෙන් යහපත් දෙයක්‌ කරන්නයි අපේ පරමාර්ථය උනේ. අපිට මේ රටේ පුංචි උන් ගැන උන් වෙනුවෙන් කළයුතු දේ ගැන අවබෝධයක්‌ තිබුණා. දැක්‌මක්‌ තිබුණා. දියුණු රටවල්වල දරුවෙක්‌ නිර්මාණය වන විදිය ගැන අප දැනගෙන හිටියා. දරුවෙක්‌ පෞරුෂවත්ව නිර්මාණාත්මක චින්තනයක්‌ සහිතව අභිමානයක්‌ ඇතිව සමාජගත කරන්න පදනම හැදෙන්නෙ අවුරුදු පහට අඩු කාලෙදී. මේ පදනම නැතිව හැදෙන දරුවන් අතින් නිර්මාණය වන්නේ විනයක්‌ හා සංයමයක්‌ නැති සමාජයක්‌. මේ හැම නොදියුණු ප්‍රශ්නයක්‌ම නිර්මාණය වන්නේ ඒ වැනි සමාජයක්‌ ඇතුළෙයි. අනාගතය සඳහා අපට එහෙම රටක්‌ ඕන වෙන්නෙ නෑ. පියවර ගොඩනගන්න හිතුවෙ ඒ හින්දයි."

"මෙහිදී අපි මුලින්ම කළේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධවෙලා මුල් ළමාවිය සංවර්ධනය ස`දහා ආදර්ශ පෙරපාසල් නිර්මාණය කරලා ඒවා ජාතික පද්ධතියට එකතු කිරීම. ඇත්තටම 2002 වනවිට ලංකාවෙ පෙරපාසල් 17 000 තිබුණා. රටේ ජාතික ප්‍රතිපත්තියක්‌ තිබුණත් මේ පෙර පාසල් වල ප්‍රමිතියක්‌ තිබුණෙ නෑ. රට හැම තැනම එහෙමයි. ඒත් යුද්ධය පැවති උතුරු නැගෙනහිර දරුපැටවුන්ගේ තත්ත්වය මහා ඛේදවාචකයක්‌ උනා. 2002 දී අප යාපනයට යනවිට යාපනයේ පෙරපාසල තිබුණෙ ගරාජයක. මඩකලපුවෙ පෙරපාසල තිබුණෙ කුණුගොඩක. මේ තැන්වල ඇවිත් රජයේ නියෝජිත ව්‍යාපෘතියක්‌ විදිහට නිදහස්‌ මනසකින් වැඩකරන්න ඒ කාලෙ එල්.ටී.ටී.ඊ. ය අපට ඉඩ දුන්නේ නෑ."

"කෙසේ නමුත් මුලින්ම අපි වැඩ පටන්ගත්තේ දිස්‌ත්‍රික්‌ දහයක ආදර්ශ පෙර පාසල් හදන්න කටයුතු කරමින්. 2003 වසරෙදී ඒ ව්‍යාපෘතිය සඳහා රජයත් සමග අප අවබෝධතා ගිවිසුමකට අත්සන් කළා. ආදර්ශ පෙරපාසල් නිර්මාණය කිරීමත් සමගම දිස්‌ත්‍රික්‌කයේ තියන පෙරපාසල් අලුත්වැඩියා කරලා ප්‍රමිතිය නැන්වීමටත් කටයුතු කළයුතුව තිබුණා. 2004 දී එක්‌ දිස්‌ත්‍රික්‌කයකින් පෙරපාසල් ගුරුවරු 100 ගානේ තෝරගෙන මේ දිස්‌ත්‍රික්‌ක දහය ඇතුළෙ පෙරපාසල් ගුරුවරු පුහුණු කළා. 2005 දී දිස්‌ත්‍රික්‌ක 10 ට තවත් දිස්‌ත්‍රික්‌ක 3 ක්‌ රජයේ ඉල්ලීම මත එකතු කළා.

"මේ වැඩ කරගෙන යන අතරෙයි සුනාමිය ආවෙ. ඒක මහා ව්‍යසනයක්‌. ඒ ව්‍යසනය බරපතල ලෙසම හානිකළේ ජීවත්වෙලා හිටිය නොදරුවන්ගෙ හිත්වලට. සුනාමියෙන් නැගෙනහිර සීමාවේ සිට දකුණු මුහුදුබඩ තීරය දක්‌වා අවුරුදු 3-5 අතර දරුවො 42,000 අවතැන් උනා. අප විසින් අපේ සමාජ වැඩ කොටස මේ මොහොතේ" වඩාත් පුළුල් කළා. අපි ඉලක්‌ක කරගත්තේ මේ ව්‍යසනයෙන් බිඳී ගිය නොදරුවන්ගේ සිත් සුවපත් කිරීම. අපි කඳවුරුවල අයම සම්බන්ධ කරගෙන මේ අවතැන් ක`දවුරුවල සෙල්ලම් මිදුල් හැදුවා. පෙරපාසල් හැදුවා. අවතැන් ක`දවුරු වලම සිටි පෙරපාසල් ගුරුවරියන් මේ පෙරපාසල් වලට යෙදෙව්වා."

"ඊට පස්‌සෙ සුනාමියට හසුවූ නැගෙනහිර හා දකුණේ පෙරපාසල් 20ක්‌ ආදර්ශ මට්‌ටමින් දියුණු කළා. ඒ හැම පෙරපාසලක්‌ම එකම මොඩලයකටයි නිර්මාණය උනේ. බිත්ති සරසලා තිබුණෙ අපේ සංස්‌කෘතියට සම්බන්ධ, දරුවන්ගේ බිය නැතිකරනා පෞරුෂය වැඩි කරනු සංකල්ප උපදවනා සිතුවම් වලින්. ඒවගේම මේ පෙරපාසල් සඳහා මව්පිය සංගම් හැදුවා. නඩත්තුව ඔවුන්ට පැවරුවා. පවත්වාගෙන යන්න පුළුවන් පදනමක්‌ හැදුවා. දැනට අපි ආදර්ශ පෙරපාසල් 33 හදලා තියනවා. ඒවයේ දරුවො 3000 පමණ ඉගනුම ලබනවා. මේ පෙරපාසල් ඉතාම අපූරුවට පවත්වාගෙන යන්න ඒ ප්‍රජාව කටයුතු කරනවා. මේ අතර අපි දක්‌ෂිණ සංවර්ධන පදනම කියන සංවිධානයත් එක්‌ක සමාජයෙන් කොන් කරපු ගර්හාවට ලක්‌ කරපු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විශේෂ පාසලක්‌ හම්බන්තොට පටන් ගත්තා. දැන් ඒ පාසලේ දරුවො විසි ගණනක්‌ ඉගෙන ගන්නවා.

"මේ සියල්ලටම වඩා වෙනස්‌ම අත්දැකීමක්‌ අප ලැබුවෙ උතුරෙ යුද්දෙන් අවතැන් වෙච්චි නොදරුවන් වෙනුවෙන් වැඩකරද්දී. ඒ සමහර අත්දැකීම් දෙනෙතට කඳුළු නන්වන සුළුයි. එය ඔබ ඔබේ ඇස්‌වලින් දැකිය යුතුව තිබුණා. යුද්ධයෙන් අවතැන් වූවන් එක්‌ කළ දැවැන්තම කඳවුර තමයි මැණික්‌ ෆාම් කඳවුර. මේ කඳවුර රටේ ආපදා අවස්‌ථාවලදී නිර්මාණය කළ හැම කඳවුරකටම වඩා හැම අතින්ම යහපත් එකක්‌. ඉතා අවංකව මේ ටික කියන්න ඕන. කවුරු මොනව කිව්වත් මේ මිනිස්‌සු වෙනුවෙන් හමුදාව හා රජය හැකි උපරිම දේ කළා. එහෙත් මේ මිනිස්‌සු ඇවිත් තිබුණෙ අමානුෂික යුද්ධයක දශක ගණනාවක අත්දැකීම් එක්‌ක. ඔවුන්ගෙ ජීවිතය වෙලා තිබුණෙ යුද්ධයේ කටුක හා අමානුෂික ප්‍රතිඵලයි.

එහෙම මිනිස්‌සු පිරිසක්‌ තමයි මැණික්‌ ෆාම් කඳවුරේ පදිංචි කළේ. එය කලාප හතකට වෙන්කරලා තිබුණා. ක`දවුරේ අවුරුදු 3-5 අතර දරුවන් 11 000 හිටියා. යන්තම් ඇවිදගන්න පුළුවන් නොදරුවන් හිටියා බෝම්බ වලට අහුවෙලා කකුල් නැතිව. මේ කඳවුරේම අවතැන් වූ පෙරපාසල් ගුරුවරියොත් ජීවත් උනා. ඔවුන් එකතු කරගෙන ඉතාම අලංකාර පෙර පාසලක්‌ අප කදිරගාමර්පුර කලාපයෙ නිර්මාණය කළා. බෑන් කී මුන් ලා දැක්‌කෙ මේ පෙර පාසලයි. මැණික්‌ ෆාම් ක`දවුරේ හැම කලාපයකම දරුවන්ට සෙල්ලම් මිදුල් නිර්මාණ කළා. මේ පුංචි පැටවු හුඟ දෙනෙක්‌ සෙල්ලම් මිදුලක්‌ තියා ඔන්චිල්ලාවක්‌වත් දැකලා තිබුණෙ නෑ. ලස්‌සනට ඔතලා තියන තෑග්ගක්‌ අතට දුන්නාම මේ නොදරුවො බය වෙලා හැඬුවා. ඔවුන් ජීවත්වෙලා තිබුණෙ දරුවෙකු ලෙස තමන්ට හිමිවිය යුතු හැම දෙයක්‌ම අහිමි වෙච්චි පරිසරයකයි.

අපි අමතක කරන්න හොඳ නෑ. මේ පැටව් ඉක්‌මනට ලොකු වෙනවා. අනාගතය සඳහා අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා අපි අපෙන්ම අහන්න ඕන. අපි වැඩ කරන්නෙ අපි නැති අනාගත ලෝකයක නිර්මාණය විය යුතු යහපත් සමාජයක්‌ වෙනුවෙන්. මේ සඳහා වැඩ කරද්දී අපට පුළුවන් වුනා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ඇතුළු සෑම රාජ්‍ය ආයතනයක්‌ සමගම ඉතා කාර්යක්‌ෂමව පහසුවෙන් වැඩ කරන්න. අවශ්‍ය වන්නේ අවංක අධ්‍යාශයක්‌ පමණයි.

ශිරෝමි මාස්‌කෝරාල නියෝජනය කරනා පියවර ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති මොඩල අපට දැන් අලුත් කතාවක්‌ කියයි. ඒ මේ රටේ පුද්ගලික ව්‍යාපාර වලට රාජ්‍ය ආයතන සමග ඵලදායී ලෙස ගනුදෙනු කරමින් සද් සමාජ ව්‍යාපෘතීන් ප්‍රායෝගික කළ හැකි ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳ නිදර්ශනයක්‌ ද සමගිනි. යුද්ධිය හමාර වූ පසු උතුරේ දැවැන්ත ආයෝජන කරනු ලබනා ආයතන යහපත් පරමාර්ථ සහිතව රාජ්‍ය අංශය හා එක්‌වී මේ මිනිස්‌සුන් වෙනුවෙන් අවංකව යමක්‌ කරන්නේ නම් මේ රට මොනතරම් අපූරු තැනක්‌ වනු ඇත්ද යන්න ඒ කතාවේ පළමු වැන්නය.

දෙවැන්න රටට හිතවත් , මනුෂ්‍යත්වය හා සෙනෙහසට සංවේදී ශිරෝමිලා වැනි ගැහැණු මිනිසුන් අතේ ඇඟිලි ගානටවත් වේ නම් මේ රට වැනසී යන්නේ නැතිවගට වන සුන්දර හා විශ්වාසවන්ත හැඟීමය.

ජානක ලියනආරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.