මෙවන් උතුම් මිනිසුන් වාසනාවන්!

බෞද්ධයකු වේවා, අන්‍යාගමිකයකු වේවා තම සිරුරෙහි ඉන්ද්‍රියක්‌ දන් දේ නම් එය මහත් ඵල ආනිසංස ලබන කුසල කර්මයකි. මන්දයත් මෙලෙස තම ඉන්ද්‍රියයන් දන් දෙන්නේ තවත් පුද්ගලයකු ජීවත් කරවන්නටය. එනම් මරණය අභියස සිටින පුද්ගලයකු ඉන් ගලවා ගැනීමටය. මෙය මහත් ඵල මහානිසංස කුසල කර්මයක්‌ වුවද අප බොහෝ දෙනාට ඒ සඳහා සිත් පහළ නොවේ. ඇතැම් විට යමෙකුට එලෙස සිත් පහළ වුවත් එය ක්‍රියාවේ යෙදවීමට බාධා මතුවේ. මෙලෙස දන් දීමට මතුවිය හැකි බාධා මැඩගෙන සිය ඉන්ද්‍රියයන් දන් දුන් අයකු ගැන උදාවූ වෙසක්‌ පුන් පොහෝ සතියේ පැවැසීමට ලැබීමත් අප ලැබූ භාග්‍යයකි.

ඔහු නමින් ප්‍රතාපලාගේ ලලිත්ය. වයස අවුරුදු 40 කි. තුන්වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන දියණියක්‌ සිටින පියෙකි. සබරගමුව පළාත් සභාව යටතේ පවතින පැල්මඩුල්ල පරිවාස හා ළමාරක්‍ෂක කාර්යාලයේ කාර්යාල සේවකයකු ලෙස සේවය කරයි. ඔහු සිය එක්‌ වකුගඩුවක්‌ මරණය අභියස සටන් කරනා වකුගඩු රෝගියකු බේරා ගැනීම සඳහා දන් දුන්නේ මීට පෙර කිසිදු දැන හැඳුනුම්කමක්‌ නැති ඥති සම්බන්ධයක්‌ද නැති කාන්තාවක්‌ වෙනුවෙනි.

වකුගඩුවක්‌ ඉල්ලා පුවත්පතක පළවූ ලිපියක්‌ දැක ඔහු මෙලෙස සිය වකුගඩුවක්‌ දන් දීමට තීරණය කර ඇත. එය අපූරු සිතුවිල්ලකි.

ආගම දහමට වැඩි නැඹුරුවක්‌ ඇතිව මම ජීවිතය ගත කරනවා. සමාජ සේවා කටයුතුවල යෙදෙනවා. දානමාන කටයුතුවල නිරත වෙනවා. ඉතිං මට ජීවිතයේ නිස්‌සාර බව හොඳින් වැටහී තියෙන්නේ. ඔය අතරතුරදී මම දැක්‌කා පුවත්පතක පළවී තිබූ වකුගඩුවක්‌ ඉල්ලා සිටින කාන්තාවකගේ තොරතුරු. දෙදරු මවක්‌ වන ඇයගේ සැමියා කරණවෑමියෙක්‌. බිරිඳගේ අසනීප තත්ත්වය නිසා ඔහුට සිය රැකියාවත් හරි හැටි කර ගන්න බැරිවෙලා තියෙනවා. මට සිතක්‌ පහළ වුණා මගේ වකුගඩුවක්‌ දන් දී මෙම කාන්තාවගේ ජීවිතය බේරා දෙන්න.

වකුගඩුවක්‌ දන් දුන් ලලිත් ඒ ගැන අපට පැවසුවේ මෙසේය.

මේ ගැන මම මුලින්ම සබරගමු ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකු බණ්‌ඩාර මහතා හමුවී පැවසුවා. එතුමා මට මෙම පුණ්‍යකර්මයේ ඇති ආනිසංස පැහැදිලි කර දුන්නා. ඔබ වැනි අයකු මා යටතේ සිටීම මා ලැබූ විශාල භාග්‍යයක්‌ යෑයි එතුමා මට ප්‍රසංසා කරමින් පැවසුවා. ඉන් මා තවත් දිරිමත් වූවා. ඉන්පසු මම මහනුවර රෝහලට ගොස්‌ මේ පිළිබඳව තොරතුරු පැවසුවා. එහිදී මට රෝහල් වෛද්‍යවරු පැවසුවේ වකුගඩුවක්‌ බද්ධ කිරීම සඳහා ගන්නේ රෝගියාගේ ඥති පාර්ශ්වයේ අයකුගෙන් හෝ පැවිදි කෙනෙකුගෙන් පමණයි කියලා. එහිදී මම වෛද්‍යවරුන්ට පැවසුවා පැවිදි වී හෝ මට වකුගඩුවක්‌ දන් දීමට අවශ්‍යයි කියලා. මගේ ඉල්ලීම අනුව වෛද්‍යවරුන් අදාළ රෝගියාගේ සිරුරට මගේ වකුගඩුවක්‌ ගැලපෙනවාදැයි කියා සොයා බැලීමට වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක්‌ පැවැත් වූවා. සමහර පරීක්‍ෂණ සඳහා වැය කරන්න එම කාන්තාවට මුදල් තිබුණේ නැහැ. ඒ නිසා සියලු පරීක්‍ෂණ කටයුතු සිදුකර අවසන් කරන්න මාස 7 ක පමණ කාලයක්‌ ගත වූවා.

ඉන්පසු මගේ වකුගඩුව ඇයට ගැලපෙන බව ඔප්පු වුණා.

ඔබගේ මෙම පරිත්‍යාගය සම්බන්ධව බිරිඳගේ ප්‍රතිචාරය වූයේ කුමක්‌ද?

ඇත්තටම මුලින්ම ඇයත් මගේ දුවත්, දෙමාපියනුත් බිය වූවා. මගේ වකුගඩුවක්‌ දන්දී තව අයකු ජීවත් කරන්න යැමේදී මගේ ජීවිතයට හානියක්‌ සිදුවේ යෑයි කියා එයාලා සිතුවා. නමුත් මම ඒ අයට ඒ ගැන පැහැදිලි කර දුන්නා. ඊට පස්‌සේ එයාලා කැමැති වුණා අපි නැගූ ප්‍රශ්නයට ලලිත් පිළිතුරු දුන්නේ එලෙසිනි.

මම වකුගඩුව දන් දුන්නේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්. ඒ අනුව 2012 පෙබරවාරි 21 වැනිදා මහනුවර වකුගඩු රෝහලේදී මගේ වකුගඩුවක්‌ සැත්කමකින් ලබාගෙන අදාළ කාන්තාවට එය බද්ධ කළා.

වකුගඩුව ලබා ගැනීමේදීත් අපූරු සිද්ධියකට මුහුණ දීමට ලලිත්ට සිදුව ඇත. ඒ ගැන ඔහු අපට කීවේ මෙලෙසිනි.

සාමාන්‍යයෙන් බද්ධ කිරීමට ලබා ගන්නේ නිරෝගී පුද්ගලයාගේ වම් වකුගඩුව බව වෛද්‍යවරු පැවසුවා. සැත්කමේදී මගේ වම් වකුගඩුව ඉවත්කළ නොහැකි ගැටලුවක්‌ මතුවී තිබුණා. එනිසා වෛද්‍යවරු මට ඒ ගැන පැහැදිලි කළා. නමුත් මගේ අධිෂ්ඨානය කිසි ලෙසකවත් අඩපණ කරන්න මම ඉඩ දුන්නේ නැහැ. එනිසා මම වෛද්‍යවරුන්ට පැවසුවා එහෙනම් මගේ දකුණු වකුගඩුව ඉවත් කර ගන්න කියලා. මොකද මම ආවේ වකුගඩුවක්‌ පරිත්‍යාග කරන්න. එය වමද දකුණද කියා වෙනසක්‌ නැහැ. මගේ ඉල්ලීමට අනුව වෛද්‍යවරු මගේ දකුණු වකුගඩුව ඉවත් කරගෙන අදාළ කාන්තාවට බද්ධ කළා.

එදා මගේ වකුගඩුව ඉවත් කර ගන්නා සැත්කම සිදුකළ පැය එකහමාරක පමණ කාලය තුළ සබරගමුව පළාත් සභාවේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්‌ඩලය "ඉතිපිසෝ භගවා අරහං..." නමැති බුදුගුණ ගාථා කියමින් මට ආශීර්වාද කර තිබෙනවා. මගේ ගමේ අයත් උදේ සිට දහවල් 12.00 දක්‌වා මටත් රෝගී කාන්තාවටත් සෙත් පතලා පිරිත් සඡ්ජායනා කර තිබෙනවා.

ඌව සබරගමුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මාදොaවිට පඤ්ඤාරාම හිමි, කොටේතැන්නෙ ජයතිලක විජයරත්නාරාමයේදී සැත්කමට දින 7 කට පෙර සතියක්‌ මා වෙනුවෙන් බෝධි පූජා පවත්වා ආශීර්වාද කළා.

යම් පුද්ගලයෙක්‌ යහපත් ක්‍රියාවක යෙදෙන විට ඊට සමාජයෙන් කොතරම් ප්‍රතිචාර තියෙනවාද කියලා මට වැටහුණා. එනිසා වකුගඩුව දන් දීමෙන් පසු ඇති වුණේ කිව නොහැකි තරම් සතුටක්‌.

වකුගඩු පරිත්‍යාග කිරීමේ මුවාවෙන් වර්තමානයේ වකුගඩු විකිණීමේ ජාවාරම් ලොව පුරා ක්‍රියාත්මක වන මොහොතක මෙලෙස ජීවිතයක්‌ බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිතය දෙවැනි කොට තබා නාඳුනන අයකු වෙනුවෙන් වකුගඩුවක්‌ පරිත්‍යාග කළ ලලිත් මහතා වැන්න වුන් අප කොයි කාටත් ආඩම්බරයකි. එපමණක්‌ද නොව අප කොයි කාටත් ආදර්ශයකි.

වකුගඩුවක්‌ පරිත්‍යාග කරන්නම් යෑයි පවසමින් මුදල් ලබාගෙන එසේත් නැතිනම් තමාගේ නොයෙකුත් කටයුතු ඉටුකරගෙන ඉන්පසු වකුගඩුව පරිත්‍යාග නොකර පැන යන පුද්ගලයන් ගැන බොහෝ අසන්නට ලැබේ. එවැනි වංචාකාරී පුද්ගලයනට හසුවූ පුද්ගලයන් කිහිප දෙනකුද අපට හමුවී තිබේ. ඇතැම් පුද්ගලයන් රුපියල් ලක්‍ෂ හය හත වැයකර ඇත. තම ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ඔවුන් එසේ සිදුකර ඇත්තේ ජීවත් වීමට ඇති ආසාවට වඩා අකාලයේ මිය යැම නිසා තම දූ දරුවන් බිරිඳට මුහුණදීමට සිදුවන ගැටලු ගැන සිතමිනි.

වකුගඩුවක්‌ රෝගී වූ පුද්ගලයකු විඳින දුක වේදනාව හඳුනන මෙම වංචාකරුවන් අතර ලලිත් වැනි මහත්වරුන් මිල කළ නොහැකි මිණිකැට වැනිය. එවැනි මිණිකැට දුලබය. ලලිත් ද එවැනි දුලබ මිනිසෙකි. එනිසා මෙවැනි මිනිසුන් ගැන සටහනක්‌ තැබීම අපගේ යුතු කමකි. එය අපි ඉටු කළෙමු.

"මම හිතන්නේ මේක මගේ සංසාර පුරුද්දක්‌. දැන් මම ඉන්ද්‍රියකුත් දන්දුන් පුද්ගලයෙක්‌. මගේ එකම බලාපොරොත්තුව මේ සංසාරයෙන් හැකි ඉක්‌මනින් එතෙර වීමයි." ලලිත් පැවසූ එම වදන් වලින් අපි මෙම ලිපිය අවසන් කරන්නෙමු. මෙවැනි පුද්ගලයිනට ත්‍රිවිධ රත්නයේත් සියලු දෙවි දේවතාවුන්ගේත් පිහිට ආරක්‍ෂාව ලැබේවා.

උපාලි ද සේරම්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.