THE සකබෝනා කොලම්



අපරාධ ගැන තොරතුරු මාධ්‍යවලට කීම පොලිසිවලට දැන් තහනම් ය. ඒ අනුව මෙකල අපරාධ ගැන තොරතුරු ලබාගැනීමට නම් එක්‌කෝ අපරාධකාරයන් හමුවිය යුතුය. නැත්නම් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ හමුවිය යුතුය.

ගාල්ලේ, උඩුගම පොලිසියේ පැමිණිල පොත අතුරුදන් වී යයි පසුගියදා අපට දැනගන්නට ලැබුණි. උඩුගම පොලිසියේ මට විරුද්ධව පැමිණිලි නැති බැවින් පොත අතුරුදන් වීම ගැන මහත් සේ කණගාටු වූ මම වැඩිදුර තොරතුරු සෙවීම සඳහා පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට දුරකථනයෙන් කතා කළෙමි.

"බොහොම කණගාටුයි. මම නැහැ. මම අතුරුදන්..." දුරකථනයේ එහා කොණින් අජිත් රෝහණගේ කටහඬ ආවේය.

"මේ රෙකෝඩින් එකක්‌ද...?" මම ප්‍රශ්න කළෙමි.

''රෙකෝඩින් එකක්‌ නෙවෙයි. මේ මගේ කටහඬ. හැබැයි මම අතුරුදන්..."

"හරි කෙලියක්‌නේ. ෂෝක්‌ එකට ටෙලිෙµdaන් එකට උත්තර දෙනවා. ඒ අස්‌සෙ කියනවා අතුරුදන් කියලා... අසාධාරණයෙදි මට මාර විදියට තද වෙයි.

"අතුරුදන් වුණාම කතා කරන්න බැරි වෙනවද?. දැන් කුමාර් ගුණරත්නම් අතුරුදන් වුණා. දිමුතු ආටිගල අතුරුදන් වුණා. ඔය පස්‌සෙ අපූරුවට කතා කළේ...?" මට තද වුණාට පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකගේ තර්කය කැඩිය නොහැක.

මම උත්තර දී ගත නොහැකි ප්‍රශ්නයකට කොටු වූ ඇමැති කෙනෙක්‌ මෙන් "හලෝ, හලෝ... ඇහෙන්නෑ... ඇහෙන්නෑ... හයියෙන් කතාකරන්න" යයි කියමින් ලයින් එක කට්‌ කළෙමි.

මට ගාල්ලේ කන්ටැක්‌ට්‌ස්‌ ගොඩක්‌ නැත. ඒ නිසා එහි සිටින මගේ එකම යහළුවා වූ නිෂාන්ත මුතුහෙට්‌ටිගම මන්ත්‍රීතුමා මට මතක්‌ විය. මම ඔහුට දුරකථනයෙන් කතා කළෙමි. "මම නෑ. අතුරුදන්වෙලා·" දුරකථනයේ අනෙක්‌ කොනෙන් ඔහුගේ කටහඬ ආවේය. ''බොරු බොරු. මිනිහ ඉන්නවා. ඔය පරුවතයක්‌ වගේ අගේට ඉන්නේ..." දුරකථනයේ එහා කොනේ සිටි විරුද්ධවාදීන් පිරිසක්‌ කෑගසනු මට ඇසිණ. එවිටම "ක්‍රිස්‌" යනුවෙන් යකඩ කපන හඬකුත් "රත්තරන් අයියේ, වැට කපන්න එපා..." යනුවෙන් කෑගසන හඬකුත් දුරකථනයේ ඒ කොනෙන් මට ඇසිණ.

අවසානයේදී පොලිස්‌ පොත ගැන දැනගැනීමට උඩුගම යැමට මම කල්පනා කළෙමි. මා ගාල්ලට ගොස්‌ උඩුගම බස්‌ සොයන විට උඩුගම බස්‌ සියල්ල අතුරුදන්ව තිබිණ. අනතුරුව පාර සොයාගෙන පයින් යන්නට හදන විට පාර අතුරුදන්ව තිබිණ. වෙන පාරකින් උඩුගමට යන විට උඩුගම අතුරුදන්ව තිබිණ. පොලිසිය සොයන විට එයද රාළහාමිලාත් සමගම අතුරුදන්ව තිබිණ.

පිස්‌සු හැදුණ මම ගාල්ලට පයින්ම විත් කොළඹ යන බසයකට නැග ටිකට්‌ එකක්‌ ඉල්ලුවෙමි. කොන්දා මා සත පහකට ගණන් ගත්තේ නැත. "රත්තරන් මල්ලි, කොළඹට ටිකට්‌ එකක්‌ දෙන්න කොල්ලෝ... "මම මහත් ආදරයෙන් ඔහුට කීවෙමි.

"අයිය කොහෙ ඉඳන්ද එන්නෙ...?"

"උඩුගම ඉඳන්..."

"ආ එහෙනම් අයියා අතුරුදන්. ටිකට්‌ නොගෙනම කොළඹ යත හැකි..."

සයින්ද ෆිට්‌ සයින් ද සකබෝනා විසිනි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.