පානදුර මුහුදේ අබලන් නැව සාගර දූෂණයකට අතවනයි


නැව මෙවනවිට දිරාපත්ව ඇති තරම

ශ්‍රී ලංකාවට අයත් පානදුර ආශ්‍රිත මුහුදේ නැංගුරම්ලා ඇති නැවක්‌ ගිලීයාමේ අවදානමක්‌ පවතින බවද, එසේ වුවහොත් එහි ඇති දැවි තෙල් මෙටි්‍රක්‌ ටොන් 370 ක ප්‍රමාණයෙන් හා අනෙකුත් අවශේෂ උපද්‍රවකාරී ද්‍රව්‍යයන්ගෙන් අපගේ මුහුදු තීරයට මහත් පාරිසරික ව්‍යසනයක්‌ සිදුවිය හැකි බවටද පරිසර අමාත්‍යාංශය ඉකුත්දා නිවේදනය කළේය.

සයිප්‍රස්‌ රජයට අයත් Thermo Pylae  Sirrra නමැති මෙම වෙළෙඳ නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ මේ වනවිට වසර පහක්‌ ගතවී ඇත. ශ්‍රී ලංකාව හරහා අරාබි කලාපයට ගමන් කරමින් තිබියදී අදාළ නැව් හිමියන් හා භාණ්‌ඩ හිමියන්අතර ඇතිවූ ආරවුලක්‌ හේතුවෙන් 2007 අගෝස්‌තුවේදී ශ්‍රී ලංකා වානිජ්‍ය මහාධිකරණයේ මෙම නැවට අදාළව නඩුවක්‌ පවරා තිබීම නැව අපගේ මුහුදු තීරයේ අක්‍රිය කොට නැංගුරම්ලා තිබීමට හේතුවයි.

1985 දී නිෂ්පාදිත මෙම නෞකාව දිගින් මීටර් 155 ක්‌ වන අතර, පළල මීටර් 127 කි. මෙහි ඉහළ මාලයේ සිමෙන්ති සෑදීමේ යන්ත්‍රයක්‌ද යකඩ පයිප්ප ඇතුළු ටොන් 15612 ක භාණ්‌ඩ ප්‍රමාණයක්‌ද, දැවි තෙල් මෙටි්‍රක්‌ ටොන් 370 ක ප්‍රමාණයක්‌ ද අඩංගු බව හඳුනාගෙන තිබේ. අක්‍රීය තත්ත්වයේ පවතින මෙම නෞකාව ගිලීයාමේ අවදානමක්‌ පවතින බවට හඳුනා ගැනීමෙන් පසු සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය මෙයට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සෘජු අධීක්‍ෂණයෙන් ක්‍රියාමාර්ගවලට එළැඹි බව පරිසර අමාත්‍යාංශය කියා සිටී. වසර හතරකට ආසන්න කාලයක්‌ මෙසේ පානදුර ආශ්‍රිත මුහුදේ අනාරක්‍ෂිතව පවතින මෙම නෞකාවෙන් සිදුවිය හැකි පාරිසරික විනාශය පිළිබඳව පසුගිය (2011) නොවැම්බර් මස සිට අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය දිගින් දිගටම අධිකරණය දැනුවත්කර ඇති බවද පරිසර අමාත්‍යාංශය නිවේදනය කර සිටී. ළඟ එන නිරිතදිග මෝසම් සමයේදී මුහුද රළු වීමත්, එනිසාම නෞකාව අනතුරට ලක්‌වීමේ අවදානමක්‌ පැවතීමත් නිසා ඊට වහා පියවර ගැනීමට අදාළ සාකච්ඡා වට කිහිපයක්‌ම ඉකුත්දා පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත. එහිදී තීරණය වී ඇත්තේ මෙසේ දිරාපත්වෙමින් පවතින නෞකාව යම් හෙයකින් ගිලී ගියහොත් හෝ අනතුරකට ලක්‌වුවහොත් එය ගණනය කළ නොහැකි විනාශයක්‌ ඇතිකරන බැවින් එය ජාතික ආපදා තත්ත්වයක්‌ බවට පත්විය හැකි බවයි. එනිසා ඊට පෙර මෙම නෞකාව දැන් පවතින ස්‌ථානයෙන් ඉවත්කර නිරිතදිග මෝසම් වර්ෂාවේ සෘජු බලපෑමට හසු නොවන ප්‍රදේශයකට රැගෙන යන ලෙස පරිසර අමාත්‍යවරයා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිවරයාට දැනුම්දී ඇත. 2008 සමුද්‍ර දූෂණ වැළැක්‌වීමේ අංක 35 දරණ පනතේ 24 වගන්තිය යටතේ සමුද්‍ර දූෂණයක්‌ සිදුවිය හැකි යෑයි පැහැදිලි සාක්‍ෂි ඇති ඕනෑම අවස්‌ථාවක එය වැළැක්‌වීමේ ඕනෑම පියවරක්‌ ගැනීමේ බලය අධිකාරිය සතු වෙයි. එහිදී මෙවන් නෞකාවක කාර්ය මණ්‌ඩලයට, හිමිකරුට හෝ වෙනත් බලයලත් පුද්ගලයකුට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අණකිරීමට හෝ නෞකාව ඉවත් කිරීමට හෝ ගිල්වා දැමීමට වුවද බලතල මෙම අධිකාරියට ඇත.

ඒ අනුව පරිසර අමාත්‍යවරයා මේ සඳහා අවධානය යොමු කරමින් ක්‍රියාමාර්ග ගැනීම අගේ කළ යුත්තකි. ඉදිරියේදී පැමිණෙන මෝසම් වර්ෂාව පිළිබඳව සලකා නෞකාව නැගෙනහිර නාවික විධානයට අයත් කලාපයකට රැගෙන යාමටත්, නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට හානි නොවන ඕනෑම ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන් සමග පැවති අවසන් සාකච්ඡාවේදී දැනුම් දී තිබේ. මෙහිදී නෞකාව ආරක්‍ෂිත ස්‌ථානයක්‌ කරා රැගෙන යැමට මාස්‌ටර් ඩයිවර්ස්‌ ආයතනයට භාරකෙරී ඇත. තවද මෙම අනතුරුදායක නැව ත්‍රිකුණාමලය ප්‍රදේශයට රැගෙන යැම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්‌ටර් (වරාය භාරකරු) වෙත උපදෙස්‌ ලබාදී ඇත.

එහෙත් අප දකින තරමින් මෙම නෞකාවෙන් සිදුවිය හැකි අනතුරු සියයට සියයක්‌ම පහව ගොස්‌ නැත. යම් හෙයකින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී හෝ රැගෙන යන අතරතුරදී වුවද, නැව අනතුරට ලක්‌වීමේ ඉඩකඩ තිබේ. එසේ වුවහොත් කළින් අපේක්‍ෂා කළ සමුද්‍ර දූෂණයද ඒ අයුරින්ම සිදුවිය හැකිය. එසේ නම් මෙම නැවට එරෙහිව පවතින මහාධිකරණ නඩු විභාගය නිමවන තෙක්‌ අපගේ මුහුදු සීමාවේ රඳවා තැබීමට සිදුවේද? නැතහොත් එහි ඇති උපද්‍රවකාරී ද්‍රව්‍ය ඉන් ඉවත්කොට තැබිය නොහැකිද? එසේ ඉවත්කර නැවට ඉදිරි ක්‍රියාමාර්ග ගත නොහැකිද? යන ප්‍රශ්නද අප හමුවේ නැඟේ. සැබැවින්ම එහි ඇති උපද්‍රවකාරී ද්‍රව්‍ය ඉවත්කර තැබීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ග බව අපට හැඟේ. එනම් දැවි තෙල් මෙටි්‍රක්‌ ටොන් 370 එයින් ඉවත්කර තැබිය හැකිය. මේ පිළිබඳව අප කළ විමසුමකදී සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි රියර් අද්මිරාල් එස්‌. ආර්. සමරතුංග මහතා මෙසේ පැවැසීය.

"මේ නැව ශ්‍රී ලංකා රජයේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ 2007 අගෝස්‌තු මාසයේ සිට. ඒ නැව් හිමියන් හා එහි පවතින භාණ්‌ඩවල හිමිකරුවන් අතර ප්‍රශ්නයක්‌ මත කෙසේ හෝ මේ නැව සුළු අලුත්වැඩියාවක්‌ සඳහා ලංකාවට පැමිණීමෙන් පසුව වරාය අධිකාරිය අලුත්වැඩියා සමාගම, නැවේ සේවකයන් යනාදී පාර්ශ්ව ගණනාවකට අදාළ නැව් සමාගම මුදල් ගෙවිය යුතුව තිබෙනවා. මේ නිසා නැවට අදාළව නඩු විභාග හා නීතිමය ගැටළු රැසක්‌ මතුව තිබෙනවා. ඒ නිසයි තවමත් නැව අත්අඩංගුවේ පවතින්නේ.

කෙසේ හෝ අවසාන නඩු තීන්දුවේදී මෙම නැව වෙන්දේසියේ විකුණා සමුද්‍රීය දූෂණයට හා අදාළ වියදම් පාර්ශ්ව වෙත එහි මුදලින් වන්දි ගෙවීමටත් නඩු තීන්දුවක්‌ ලබාදී තිබෙනවා. මේ සඳහා තරමක කලක්‌ ගතවේවි. එහෙත් ඉදිරියේදී එන නිරිතදිග මෝසමේදී මෙම නැව ආරක්‍ෂිත තැනකට ගෙන යා යුතුයි. නැතහොත් සමුද්‍ර දූෂණ අනතුරක්‌ පවතිනවා. ඒ නිසයි අපි නැව ත්‍රිකුණාමලයට ගෙන යන්න දැන් තීරණය කරල තියෙන්නේ. නැව දැන් අක්‍රීයයි. ජෙනරේටර් සහ එන්ජිම ක්‍රියාවිරහිතයි. නැවේ භෞතික තත්ත්වය දැන් පරීක්‍ෂා කරගෙන යනවා සමාගමක්‌ මගින්. එහි කටයුතු නිම වූ වහාම ලබන සතිය වන විට නැව ත්‍රිකුණාමලයට ගෙනයන්නට අපට හැකි වේවි. සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය.

"මේ නැවේ පවතින ප්‍රධානතම සමුද්‍ර දූෂණ අනතුර දැවි තෙල් පැවතීමයි. එය ඉවත්කර ගන්නට අපට හැකිනම් ප්‍රධානතම අනතුර අඩුවෙනවා. ඒ නැතිව නැව වෙන තැනකට ගෙනගියා කියල අනතුර පහව යන්නේ නෑ නේදැයි" අපි සාමාන්‍යාධිකාරිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

ඔහු ඊට දැක්‌වූ අදහස මෙසේයි.

"ඇත්තටම මීට පෙර අපි දැවි තෙල් ඉවත් කරන්න උත්සාහ කළා. නාවික හමුදාවත් ඊට දායක වුණා. එහෙත් නැවේ අබලන් තත්ත්වයත්, එය පවතින තැනත් නිසා එසේ තෙල් ඉවත් කිරීම අපහසුයි. එය කල්ගත වන වැඩක්‌. ඒ නිසා දැන් වඩාත්ම සුදුසු මෝසමට කළින් නැව බටහිර මුහුදෙන් ඉවත් කිරීමයි. අපි දැන් කරන්නේ එයයි" ඔහු පවසයි.

"නඩු තීන්දුත් පරක්‌කු නම්, නැවත් දිරායයි නම් දැවි තෙල් ඉවත් කරන්නත් බැරි නම් ආයිමත් ඊසාන දිග මෝසමේදී නැව කොළඹට ඇදගෙන එන්න වෙයිද? නැතහොත් හදිසි සුළි කුණාටුවක්‌ හෝ ඇතිවුණොත් ත්‍රිකුණාමලයේදීම නැව මුහුදුබත් වුණොත් කුමක්‌ වේවිද?" අපි පෙරළා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධි කාරීවරයාගෙන් ප්‍රශ්න කළා."

"නැහැ, දැනටමත් නැව වෙන්දේසි කරන්නට අධිකරණ නියෝගයක්‌ නිකුත්වෙලයි තියෙන්නෙ. ඊට අදාළ කටයුතුත් මේ අතර සිදුවෙමින් පවතිනවා. ඊළඟ ඊශාන දිග මෝසමට කළින් නැවේ ප්‍රශ්නය විසඳේවි. ඔහු කියා සිටියා.

මෙහිදී මීට ප්‍රථම කොග්ගල ප්‍රදේශයේදී ලී කොටන් තොගයක්‌ රැගෙන බංග්ලාදේශය බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක්‌ ගිලී සිදුවූ පාරිසරික විනාශය අපට සිහිපත් වේ. එයින් ගලාගිය දැවි තෙල් හා අනිකුත් උපද්‍රවකාරී දැ මගින් කොග්ගල වෙරළ තීරය, කොග්ගල ඔය මෝදර ප්‍රදේශයට මහත් ව්‍යසනයක්‌ සිදුවිය. එහෙත් ඒ නොදැන එකවරම සිදුවූ අනතුරක්‌ හේතුවෙනි. නමුත් ඔයෑරපද ඡහක්‌e Sසැරර් නම් මේ අබලන් නෞකාව වසර පහක පමණ කාලයක සිට අපට තවත් අනතුරක්‌ ගැන අත වනමින් සිටී. ඊට පෙර සූදානමකින් කටයුතු කිරීමත්, අනතුර කල් තියා හඳුනා ගැනීමත් ගැන අප සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියටත් පරිසර අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ටත් තුති පුදමු. එහෙත් මේ අනතුර තවමත් අපෙන් පහව නොගිය අනතුරක්‌ බැවින් ඊට ස්‌ථිර විසඳුමක්‌ ලැබිය යුතු බවද පරිසර හිතැති අප කාගේත් බලාපොරොත්තුවයි.

ජගත් කණහැරආරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.