වසර හත්සිය දහයක්‌ සපිරෙන අස්‌ගිරි මහා විහාරය

මෙම වෙසක්‌ පුර පසළොස්‌වක දිනයට බෞද්ධාගමට, සංස්‌කෘතියට භාෂාවට සිංහල ජාතියට හා ජාත්‍යන්තරය ඇතුළු සෑම අංශයකටම විශිෂ්ට මෙහෙවරක්‌ ඉටු කළ මහනුවර අස්‌ගිරි මහා විහාරයට අවුරුදු හත්සිය දහයක්‌ සපිරේ. අස්‌ගිරි මහා විහාරය ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ ද මූලස්‌ථානයයි. මෙම වෙසක්‌ මසට දළදාව සෙංකඩගල මාලිගයට වැඩමවා අවුරුදු හාරසිය දහනමයක්‌ සම්පූර්ණ වන අතර විමලධර්මසූරිය මහ රජතුමා 1597 වර්ෂයේදී රඛකංග දේශයෙන් භික්‍ෂූන් වැඩම කරවා වෙසක්‌ මස අවසතවක ලත් සඳු දිනක ගැටඹේ උපසම්පදා මංගල්‍යය පවත්වා අවුරුදු හාරසිය පහළොවක්‌ ඉක්‌මවන්නේ ද මෙම වෙසක්‌ පොහෝදාය. අවුරුදු දෙදහසකට අධික වූ කාලයක්‌ තුළ ලෝකයේ පැවති රාජ පරම්පරාවක්‌ වූ සිංහල රජ පරපුර අහෝසි වී වඩුග පරපුරට මෙරට හිමි වූයේද අදින් අවුරුදු 273 කට ඉහතදීය. ඒ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ භාණ්‌ඩාගාරය භාරව හඟුරක්‌කෙත සිටි රජුගේ මස්‌සිනා වූ විජය ශ්‍රී විජය රාජසිංහ නමින් 1939 වෙසක්‌ පොහෝ දින සිංහලේ සිහසුනට පත් වීමත් සමගය. දුම්බර කුණ්‌ඩසාලේ පිහිටි රාජ්‍ය මූලස්‌ථානය සෙංකඩගලට ගෙනාවේ ද මේ ශ්‍රී විජය රාජසිංහ ය. මෙම සියලුම සිද්ධීන් අනුස්‌මරණය කිරීම් වස්‌ ජනාධිපතිතුමාගේ උපදෙස්‌ පරිදි විහාරභූමිය පූජා භූමියක්‌ වශයෙන් නම් කිරීමට අවශ්‍ය සංවර්ධනයට මෙන්ම භෞතික සම්පත් දියුණු කිරීමට ද පියවර රැසක්‌ ක්‍රියාත්මක වේ.

අස්‌ගිරි මහා විහාරයේ කතාන්තරය සෙංකඩගල රාජධානියේ ද කතාන්තරයයි. එම අන්දරය ගෙතී ඇත්තේ දුම්බර ඉතිහාසයට හා ජනතාවටද සමගාමීවය. එබැවින් එම අංශ තුනම එකිනෙකට වෙන් කර දැක්‌වීම අපහසුය. එය එකම හුයක බැඳි මැණික්‌ගල් තුනක්‌ එබ්බවූ රන් මාලයකි. එම අන්දරය සාමාන්‍ය පාඨකයන්ට වැටහෙන පරිදි සරල බස්‌ වහරකින් දින හැරීම මෙම ලිපියෙහි අරමුණයි. දඹදෙණි යුගය ආරම්භ කළ දුම්බර තුන්වන විජයබාහු (1232-36) ගේ පුත්‍රයා වූ පළමු වන බුවනෙකබාහු (1272-1284) දඹදෙණිය සිය රාජ්‍ය මුලස්‌ථානයෙහි පිහිටුවා රජ කළේය. පසුව ඔහු යාපහුවේ සිට දොළොස්‌ අවුරුද්දක්‌ රජකම දැරීය. මොහු දඹදෙණි යුගය ආරම්භ කළ දුම්බර තුන්වන විජයබාහුගේ පුතෙකි. මොහුගෙන් පසුව ඔහුගේ පුත් දෙවන බුවනෙකබාහු (1293-1302) කාලයේදී රජ පැමිණ කුරුණෑගල සිය මූලස්‌ථානය වශයෙන් තෝරා ගත්තේය. වත්හිමි බුවනෙකබාහු, යාපහු බුවනෙකබාහු නම්වලින් හැඳින්වූ ඔහු දුම්බර ගලහිටියාවේ කුමාරයෙකි. දුම්බර කඩඉම්පොත මොහු හඳුන්වන්නේ මානා පතිරැන්නහේ යනුවෙනි. තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අද අයත් වන වේඩරුවගම ඉදිකළේ ඔහුය. මොහු පොසොන් මාසයේ උපසම්පදාව පැවැත්වීමට මහා සංඝයා වහන්සේලා පොළඹවා එම කටයුතුවලට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයද ලබා දුන්නේය. මොහු රටෙහි ජාත්‍යන්තර වෙළෙඳාම දියුණු කරමින් මධ්‍යධරණී මුහුද අවට රටවල් සමගද වෙළෙඳ සබඳතා ගොඩනඟා ගත්තේය. මෙම රජතුමාගෙන් පසුව රජවුයේ ඔහුගේ හදාගත් පුත්‍රයකු වූ හතරවන පරාක්‍රමබාහු ය (1302-1326). මහා වංශය ඔහු රජතුමාගේ පුතෙකු ලෙස හඳුන්වතත් දුම්බර කඩයිම්පොත කියන්නේ මොහු රජමාලිගාව තුළම ඇති දැඩි වූ චෞහන් ගෝත්‍රික හමීර්ෂන්ඛාන්ගේ පුත්‍රයා බවය. කෙසේ වෙතත් පොත් රාශියක්‌ ලියූ මොහු පණ්‌ඩිත පරාක්‍රමබාහු නමින්ද ප්‍රසිද්ධය.

අස්‌ගිරි සේනාසන ආරම්භය

රජතුමා සිරිවර්ධන නාමාභිධාරි සේනාධිකාරී ඇමැතිවරයාට අණකළේ කටුබුලුව දනව්වට ගොස්‌ එහි සේනාසනයක්‌ ගොඩනගන ලෙසටය. මෙම පෙදෙස අද වටපුළුව නමින් මහනුවර නගර සීමාවෙහි පිහිටා ඇති අතර මෙම ලියුම්කරුද එහිම පදිංචිකරුවෙකි. එදා කටුබුලුව දනව්ව අදට වඩා භූමි ප්‍රමාණයෙන් විශාල වූ ගම් රාශියක්‌ (අරුප්පල, මාවිල්මඩ, සියඹලාගස්‌තැන්න ආදිය එක්‌ වූ) ඒකාබද්ධ වූ ප්‍රදේශයකි. විමලධර්මසුරිය රජතුමා උපසම්පදාව මෙරටට ගෙන ඒම සඳහා රකඛංග දේශයට යෑවූ දූත පිරිසෙහි නායකත්වය දැරුවේද මේ කටුබුලුව දනව්ව බද මාවිල්ඔය නුවර විඡේසිංහ මුදියන්සේය. සේනාධිකාරී සිරිවර්ධන ඇමැතිවරයා පරිවාර සේනාවක්‌ සමග කටුබුලුවට පැමිණ ප්‍රදේශය එළිපෙහෙළි කරවා රජතුමාට වැඩ සිටීමට සුදුසු ස්‌ථානයක්‌ සොයනුයේ උතුරු දෙසින් වූ ස්‌ථානයක භාවනානුයෝගීව සිටිනා තවුසකු දැක එම ස්‌ථානය එළිපෙහෙළි කරවා රාත්‍රියෙහි නැවතීමට සුදුසු ස්‌ථාන, දවාලට සිටීමට සුදුසු ස්‌ථාන, භාවනා කිරීමට සුදුසු ස්‌ථාන, දිය නෑමට, දානශාලා ඉදිකිරීමට, සක්‌මන් මළුවට ආදී සෑම කාර්යයක්‌ සඳහා යෝග්‍ය ස්‌ථාන ද සලකුණු කර සේනාසනයකට සුදුසු භූමියක්‌ හමුවූ බව කුරුණෑගල සිටි රජතුමා වෙත දන්වා යෑවීය. මෙම කාල සීමාව වන විට රටේ පැවති අභ්‍යන්තර වියවුල් සතුරු ආක්‍රමණ දුර්භික්‍ෂ මෙන්ම සංඝයා වහන්සේලා අතර තිබූ භේද ආදිය වර්ධනය වෙමින් තිබිණි. පොලොන්නරුවේ දිඹුලාගල සිටි මහරහතන් වහන්සේලා ඇතුළු සංඝයා වහන්සේලා කොටසක්‌ දඹදෙණියටද කොටසක්‌ යාපහුවේ අස්‌ගල් වෙහෙරට ද තවත් පිරිසක්‌ ඉන්දියාවට ද වැඩම කොට වනවාසීව සිටියහ. රජතුමා දිඹුලාගල දීපංකර මහතෙරණුවන්ගේ ශිෂ්‍ය පලාබත්ගල ධර්මකීර්ති හිමියන්ට නව සේනාසනයක්‌ සොයාගත් බව දැනුම් දී එහි වාසය සඳහා සුදුසු සංඝයා වහන්සේලා පිරිසක්‌ තෝරා එවන ලෙස ඉල්ලීය.

කටුබුලු දනව්වේ සෙංකඩගල නුවරට වැඩම කිරීම සඳහා සංඝයා වහන්සේලා තෝරා ගන්නා ලද්දේ සංඝ සම්මුතියකිනි. දඹදෙණියේ වනරතන මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් මීගස්‌වැවේ මේධංකර, හිරිපිටියේ කාශ්‍යප, කෝන්ගස්‌වැවේ ධර්මකීර්ති, වලස්‌වැවේ උපතිස්‌ස මහා තෙරුන් සමග වේරවෙල කෝලිත සාමනේර හිමිනම ද මෙම පිරිසට අයත් විය. රජතුමා දඹදෙණියේ සිට කුරුණෑගල දක්‌වාද එතැන් සිට කටුබුළුදනව්වේ පරණගංතොට තොටුපළේ සිට සෙංකඩගල නුවර දක්‌වාද මග දෙපස අලංකාර ලෙස සරසවා මහ පෙරහැරකින් මෙම පිරිස වැඩම කරවීමට අවශ්‍ය සියලුම විධිවිධාන යෙදීය. එදා මෙම දූත පිරිස සෙංකඩගල නුවරට වැඩම කරවීම පිණිස මහවැලි ගඟ හරහා එතෙරවූ ගංතොට අදටත් පරණගංතොට නමින් ලංකා දුම්කොළ සමාගමේ ගොඩනැගිලි අතර දැකිය හැක. ක්‍රි. ව. 1802 දී ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කළ යුද්ධයෙහිදී ද මේජර් ඩේවි ඇතුළු ඉංග්‍රීසි හමුදාව නගරයට ඇතුල් වූයේද මෙම තොටුපළිනි. අද ගුවන් ටැක්‌සි සේවයෙන් සංචාරක පිsරිස්‌ ගොඩ බසින්නේද මෙම තොටුපළට යාබදව පිහිටුවා ඇති ගුවන් පථයකිනි. කටුබුලු දනව්වේ පිහිටි ඇඹල නිත්තවෙල බෝමලුව ආදී රජමහ විහාර ප්‍රදේශයේ ජනතාවගේ ආගමික සදාචාර හා සංස්‌කෘතික දියුණුව සඳහා අදත් කැපවී සේවාවන් සපයයි. එදා දඹදෙණියේ සිට අස්‌ගිරි මහා විහාරයට භික්‍ෂූන් වහන්සේලා වැඩම කළේ ක්‍රි.ව 1302 වෙසක්‌ පුරපසළොස්‌වක්‌ දිනයක්‌ වූ මීට අවුරුදු හත්සියදහයකට පෙරය. දිඹුලාගල තිබූ අච්චගිරි පබ්බති නමින් වූ මෙම සේනාසනය පසුව අස්‌ගිරිය විය. විටින් විට රාජ්‍ය මූලස්‌ථානය ගම්පොල දැදිගම සෙංකඩගල ආදි ස්‌ථානවලට මාරුවූ අවස්‌ථාවලදීත් රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළේත් මෙම විහාරයෙහි මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයයි. උඩරට ගිවිසුම් අත්සන් කළ 1815 මාර්තු 02 දින ඉංග්‍රීසි කොඩිය කඩා බිමට දැමුවේ අස්‌ගිරි මහා විහාරයේ වාරියපොල සුමංගල හිමියන්ය. පෝයමළු විහාරය නටඹුන් වනු දුටු වීරවික්‍රමබාහු රජතුමා නාපාන ගමින් දැව ගෙන්වා එම විහාරය නැවත පිළිසකර කළේය.

අභාග්‍ය සම්පන්න කාලය

සීතාවක රාජසිංහ සමය වන විට මහා විහාරයට ලැබුවේ නරක දසාවකි. රාජසිංහ වෙහෙර විහාර වනසන්නටත් උඩරට ප්‍රභූන් ඝාතනය කරන්නටත් සංඝයා වහන්සේලා දඟගෙයි ලන්නට හා සිවුරු ගලවන්නටත් පටන් ගත් පසුව උඩරට ඇති වූයේ නොසන්සුන් තත්ත්වයෙකි. ඒ වන විට ඇස්‌ දෙකම අන්ධව අස්‌ගිරි විහාරයේ වැඩ සිටි බුවනෙකබාහු නායක ස්‌වාමීන් වහන්සේ කොටකේදෙණිය විහාරයටත් අනුනායක හිමි ඇතුළු අනෙකුත් භික්‍ෂූන් වහන්සේ සමහරක්‌ හේවාහැටටත් පලා ගියහ. සූර්යතිස්‌ස හා ඉරුගල්තිස්‌ස සහෝදර හිමිවරුන් දෙදෙනා සමග තව පිරිසක්‌ ඌව පළාතේ ගල්ගේ පිටියට ගියහ. කීප නමක්‌ දුම්බර මැද මහනුවරට ගිය අතර සමහරුන් කොත්මලයට ගියහ. ඇල්ලේපොල මංගල හා ජයවීර මහ තෙරුන් සංඝයාවහන්සේලා පිරිසක්‌ මුල්කිරිගලටද පැන ගියෝය. එසේ පැන ගිය පිsරිස අස්‌ගිරි මහා විහාරයේ තිබූ වටිනා පුස්‌කොලපත් රාශියක්‌ හා ලියකියවිලි ද රැගෙන ගොස්‌ ඇත. රාජසිංහයන් උඩරට සිටි කොනප්පුබණ්‌ඩාරගේ පියා වූ වීරසුන්දර බණ්‌ඩාරයන් ඝාතනය කොට නිකපිටියේ බණ්‌ඩාර රාජසූරිය යෑයි නම්කොට උඩරට සිහසුනෙහි තබා සීතාවකට ගියේ පෘතුගීසින්ට විරුද්ධව ඇරඹූ සටන් නිසාය. රාජසූරිය මරා දමා දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්‌ඩාරයන්ට රජකම ලබා දීමට දුම්බර අම්බාගේ ගොඩකුඹුරේ රන්හොටි මුදියන්සේ ප්‍රධාන පිරිසක්‌ කටයුතු කළ අතර රාජසිංහ විසින් මරා දැමූ විඡේසුන්දර බණ්‌ඩාරගේ පුත් කොනප්පු බණ්‌ඩාර යමසිංහ ඝාතනය කර පළමු වන විමලධර්මසූරිය නමින් ක්‍රි. ව 1592 දී රජ විය. මොහු ද දුම්බර ගම්පහේ දීගල්ලේ අයෙකි.

අස්‌ගිරි උදාව

නැවත වරක්‌ අස්‌ගිරි විහාරයට හා උඩරටට ශුභදායි කාල පරිච්ඡේදයක්‌ උදා වන්නේ මින් පසුවය. ඉහත සඳහන් කළ අස්‌ගිරි විහාරයෙන් පැන ගොස්‌ ඌවේ ගල්ගේපිටියේ සැඟවී සිටි දෙවනගල රත්නාලංකාර හිමියන් ආපසු පැමිණ කොනප්පු බණ්‌ඩාර විමලධර්මසූරිය නමින් බෞද්ධ චාරිත්‍රානුකූලව රජකමට හිමි කිරුළ හිස පැලන්දුවේය. ක්‍රි.ව 1593 දී සීතාවක දෙල්ගමු විහාරයෙහි සඟවා තිබූ දළදාව මහනුවරට වැඩමවා මාලිගාවක තැන්පත් කොට කොටකේදෙණියේ රාජගුරු බුවනෙකබාහු මහ තෙරුන් වෙත දළදාවෙහි තේවාවන් භාර කළේය. එදා මෙදා තුර අස්‌ගිරි මහා විහාරයෙන් බුද්ධ ශාසනයට සිංහල ජාතියට මෙන්ම පොදුවේ සකල ශ්‍රී ලාංකීය ජනතාවටම සිදුව ඇති සේවය ලියා නිම කළ නොහැක. එවන් පුණ්‍ය භූමියකට උපහාර දැක්‌වීමට ජනාධිපතිතුමා ගන්නා පියවර පොදුවේ සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාවටත් විශේෂයෙන්ම අවසාන උඩරට රාජධානියට අයත් වූ සියලු දෙනාටමත් දක්‌වන කෘතවේදී ගුණයක්‌ බව කිව යුතුය. නූතනයේදීත් අස්‌ගිරි විහාරය බද ශ්‍රී චන්ද්‍රdනන්ද විද්‍යාලය ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සුවිශේෂ මෙහෙවරක්‌ ඉටු කරයි. නූතන යුගයට ගැළපෙන පරිදි කුසලතා වර්ධනය කිරීමට නවීන තාක්‍ෂණයට දරුවන් යොමු කරවීම මෙන්ම මානසික සෞඛ්‍ය හා ශාරීරික සෞඛ්‍යය ද වර්ධනය කර ගැනීමට යෝග්‍ය පරිදි අධ්‍යාපන විෂය මාලාවක්‌ එහි ක්‍රියාත්මක වේ. ශාරීරික ව්‍යායාම්, කැඩෙට්‌ කණ්‌ඩායම්, තූර්ය වාදක කණ්‌ඩායම් ආදී නච්ච ගීත වාදිත සෑම අංශයක්‌ම ප්‍රගුණ කරනු ලැබේ. අතිගරු පූජ්‍ය උඩුගම බුද්ධරක්‌ත මහා නායක මාහිමිපාණන්ගේ මග පෙන්වීම් හා උපදේශකත්වය යටතේ විදුහලේ අධිපතිධුරන්දර පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල හිමිපාණන්ගේ අධීක්‍ෂණයෙන් දැනට විදුහලේ දෙදහසක්‌ පමණ ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ ඉගෙනීම ලබයි. ප්‍රදේශයේ දරුවන්ගේ ආගමික හා අධ්‍යාත්මික දියුණුව සඳහා ක්‍රියාත්මක වන මහා විහාරබද විහාරයන්හි ඉරුදින දහම් පාසල් රැසක්‌ද පවත්වාගෙන යනු ලැබේ. කෝට්‌ටේ රජ දවස පැවැති තොටගමුව විදාගම කෑරගල ගලකුරුමුල ගතාර වැනි පිරිවෙන් අනුව යමින් භික්‌ෂූන් වහන්සේලාට අධ්‍යාපනය ලබාදෙන නේවාසික මහා පිරිවෙනක්‌ ද විහාරය අනුබද්ධව පවත්වාගෙන යනු ලැබේ. නේවාසික භික්‌ෂූන් වහන්සේලා සියයකට අධික පිරිසක්‌ අධ්‍යාපනය ලබන එහි අධිපතිධුරය ශාස්‌ත්‍රවේදී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් විසින් දරනු ලැබේ. උන් වහන්සේ භික්‌ෂු අධ්‍යාපනය සඳහා එවැනිම පිරිවෙනක්‌ තෙල්දෙණියේ ද පවත්වාගෙන යති.

ඇස්‌. බී. කරල්ලියද්ද

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.