විද්වත් හමුව

අපේ බෞද්ධ සංස්‌කෘතියේ
මුල් ගිලිහෙන්ට පටන් අරන්!

කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ
අධ්‍යයනාංශයේ මහාචාර්ය අසංග තිලකරත්න


වෛරය සංසිඳෙන්නේ වෛර නොකිරීමෙන් බව බුද්ධ දේශනාවයි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ දේශනා කර තිබෙන්නේ යමෙක්‌ ඔබේ එක්‌ කම්මුලකට ගැසුව හොත් අනෙක්‌ කම්මුලත් ඔහු දෙසට හරවන ලෙසය. තමන්ට අවහිරයක්‌ කරදරයක්‌ කරන්න එන අයෙකු දිනාගත යුත්තේ ඔහුට දයාවත් කරුණාවත් දැක්‌වීමෙන් බව නබිනායකතුමාණෝ අවධාරණය කළහ.

නමුත් මේ උතුම් ශාස්‌තෘවරුන්ගේ අනුගාමිකයන්ගෙන් සැදුම්ලත් වර්තමාන අපේ සමාජය වෛරයෙන්, ක්‍රෝධයෙන් හා තණ්‌හාවෙන් පිරී ගිය එකකි. උනුන් මරාගන්නා බිහිසුණු තැනකි. සම්බුද්ධත්වයෙන් වසර 2600 ක්‌ එළඹුණු මේ මොහොතේ අපේ සමාජය මෙබඳු මරුකතරක්‌ වූයේ කෙසේද. කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය අසංග තිලකරත්න ඒ පිළිබඳ කරන විග්‍රහයකි මේ.

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රජයත් අපේ රටේ විවිධ ආයතනත් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක්‌ දියත් කළා. අධික වියදමකුත් විශාල ප්‍රචාරයකුත් සමග සමාජය පිළිවෙතින් පෙළ ගසන්නට දැරූ ප්‍රයත්නය මේ වනවිට කොතෙක්‌ දුරට සාර්ථක වී තිබෙනවාද?

2600 සම්බුද්ධත්ව ජයන්තිය කියන්නෙ බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා වසර 2600 ක්‌ සම්පූර්ණ වීමයි. බුද්ධ කියන වචනයේ තේරුම අවබෝධකර ගැනීම කියන එකයි. බුද්ධත්වය ලබා ගැනීම එක්‌ මනුෂ්‍යයකුගේ මනස තුළ සිදුවන විශාල පරිවර්තනයක්‌ නිසා ඇතිවූ අසිරිමත් සිදුවීමක්‌. බුදුරජාණන්වහන්සේම මේ සිදුවීම විස්‌තර කරන්නෙ ආලෝකෝ උදපාදී එනම් ආලෝකයක්‌ ඇතිවුණා ආදී වශයෙනුයි.

ලෝකයේ තිබෙන අනෙක්‌ සියලුම ආගම් ගත්තොත් ඒ සියලුම ආගම්වලින් කරන්නේ හෙළිදරව් කිරීමක්‌. බුද්ධාගමෙන් කරන්නෙ හෙළිදරව් කිරීමක්‌ නෙමෙයි. බුද්ධත්වය කියන්නෙ සිදුහත් කුමාරයා සිද්ධාර්ථ තවුසන් ලෙස භාවනා කරලා සොයා ගත්ත දෙයක්‌. එනම් මිනිස්‌ මනස තුළ ඇතිවූ අසිරිමත් වෙනසක්‌. ඒ අසිරිමත් සිදුවීමෙන් අද වෙනකොට අවුරුදු 2600 ක්‌ ගතවෙලා. ඒ නිමිත්තෙන් අපේ රටේ සංවිධානය කළ උත්සව මාලාව තුළින් ජන ජීවිතය වෙනස්‌ කරන්න කිසියම් බලපෑමක්‌ වුණාද විමසා බැලීම කාලෝචිතයි.

1956 බුද්ධ ජයන්තිය වෙනුවෙන් සංවිධානය කළ උත්සව මාලාවෙන් පසු ඒ පිළිබඳ කර ඇති විමසුමේදී එම උත්සව මාලාව හේතුවෙන් සිදුවූ සමාජ පරිවර්තනය පොත්පත්වලත් සඳහන්ව තිබෙනවා. බුද්ධ ජයන්ති උත්සවයෙන් පසු රටේ අපරාධ අඩුවූ ආකාරයත් රට පුරාම ධර්ම ප්‍රබෝධයක්‌ ඇතිවූ ආකාරයත් එදා ඒ උත්සව මාලාව සඳහා උරදී කටයුතු කළ මඩිහේ නාහිමිපාණන් ප්‍රමුඛ පිරිස්‌ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. 1956 බුද්ධ ජයන්ති උත්සව මාලාවෙන් පසු මිනිසුනට දැනෙන වෙනසක්‌ සමාජය තුළ සිදුවුණා. නමුත් 2600 සම්බුද්ධත්ව ජයන්ති උත්සව මාලාවෙන් පසු එබඳු දැනෙන වෙනසක්‌ සමාජය තුළ සිදුවූ බවක්‌ පෙනෙන්නට නැහැ.

අපේ රට තුළ ඉතාම අලංකාර බෞද්ධ සංස්‌කෘතියක්‌ තිබෙනවා. මේ වෙසක්‌ සමයේ කොළඹ බෞද්ධාලෝක මාවතෙන් පටන් ගත්තහම මුළු රට පුරාම බොදු බැතියෙන් ඇලලුණු අසිරියක්‌ තිබෙනවා. නමුත් ඒ කලාත්මකභාවයත් සමග ඒ පිටුපස තිබෙන ධාර්මික පණිවිඩය හැමදෙනාගෙම හදවත් තුළට යන්නට ඕන. අද සමාජයේ සිදුවන අපරාධ, දූෂණ, අක්‍ර්‍රමිකතා දෙස බලන විට සම්බුද්ධත්ව ජයන්තියෙන් මූර්තිමත් කරන පණිවිඩය නිසි ලෙස සමාජගතවී ඇති බවක්‌ පෙනෙන්නට නැහැ.

මේ වෙසක්‌ සතිය තුළ බුදු තෙමඟුල ඉතාමත් උත්කර්ෂවත් ලෙස සමරන්නට අපේ රටේ සෑම බෞද්ධයෙක්‌ම වගේ සැදී පැහැදී ඉන්නවා. නමුත් බෞද්ධයන් වැඩි දෙනකු සිටින මේ සමාජය තුළ අපරාධ දූෂන හා අක්‍රමිකතාත් ඉහ වහා ගොස්‌ තිබෙනවා. මේ පරස්‌පර විරෝධී තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

බුදු දහමේ තිබෙන ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජා යන දෙකෙන් පරමාය පූජාය පටිපත්ති පූජා ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කර තිබෙන්නේ වඩා ශ්‍රේෂ්ඨවන්නේ ප්‍රතිපත්ති පූජාව බවයි. බුදුරජාණන්වහන්සේට කරන සැබෑ ගෞරවය වන්නේ උන්වහන්සේ අනුදැන වදාළ මගෙහි ගමන් කිරීමයි.

අපේ වර්තමාන සමාජයේ බෞද්ධයෝ ආමිසය සඳහා විශාල ලෙස මුදල් වියදම් කරනවා. සම්බුද්ධත්ව ජයන්ති උත්සව මාලාවටත් විශාල මුදලක්‌ වියදම් කළා. මා කියන්නේ එය නොකළ යුතු දෙයක්‌ බව නොවෙයි. නමුත් බුදු දහමේ වැදගත්ම හරය වන්නේ ප්‍රතිපත්ති පූජාවයි. වර්තමාන සමාජය තුළ අද මේ දක්‌නට ලැබෙන දේවල් තුළින් පෙනෙන්නෙ බුදුදහමේ හරයෙන් සමාජය ඈත් වෙමින් සිටින බවයි. එක්‌ අතකින් මෙය සාම්ප්‍රදායික බෞද්ධ රටක තිබෙන තත්ත්වයක්‌ හැටියට හඳුන්වන්නත් පුළුවන්. වර්තමාන අපේ සමාජය බුදු දහමේ බාහිර අංගෝපාංග ඉස්‌මතු කරගෙන සිටිනවා. එය එහි දර්ශනය දෙස වැඩි අවධානයක්‌ යොමුකර නැහැ. නමුත් යුරෝපීය බෞද්ධ රටවල් තොරණ, පෙරහැර වැනි බෞද්ධ සංස්‌කෘතික අංග පිළිබඳ උනන්දු වෙනවා අඩුයි. ඔවුන් බුදු දහමේ දර්ශනය පිළිබඳ විශාල උනන්දුවක්‌ දක්‌වනවා. ඇමරිකාව වැනි රටවල් අද මානසික සහනය ඇතිකර ගැනීම සඳහා අනාපාන සති භාවනාව භාවිතා කරනව. එම රටවල ඇතැම් අය මේ සඳහා "පේටන්ට්‌ බලපත්‍ර" පවා සකස්‌ කර ගැනීමේ ප්‍රයත්න දරනවා. අනාගතයේදී මේ පෙරදිග රටවල උරුමයන් අපට අහිමි වෙන්න පුළුවන්.

බුදු දහම කියන්නෙ මිනිසුන්ට තියෙන ආගමක්‌ පමණක්‌ නොවෙයි. එය ජීවිතයට දර්ශනයක්‌ ලබා දෙනවා. ඊ. එෆ්. ෂූමාකර් නමැති විශිෂ්ඨ බුද්ධිමතා ඔහු ලියූ ස්‌මෝල් ඉස්‌ බියුටිµqල් නම් පොතේ බුඩිස්‌ට්‌ ඉකොනොමික්‌ස්‌ නමින් වෙනම පරිච්ඡේදයක්‌ තිබෙනවා. ඔහු මේ පොත ලියන්නෙ බෞද්ධ ආර්ථිකයක්‌ ගැන කිසිවකු කතා නොකළ හැටේ දශකයේ තරම් ඈත කාලයකදියි. අපේ රටේ මොන ආර්ථික විද්‍යාඥයන්ද බෞද්ධ ආර්ථිකයක්‌ ගැන අවධානය යොමු කළේ? අයවැය වාර්තාව හදද්දි විවිධ අංශවලට මුදල් වෙන්කරන විට අපි මේ ගැන අවධානයක්‌ යොමු කරනවද? පිටරටින් ආර්ථික විද්‍යාඥයෝ ඇවිත් මේව ගැන අපිට උපදෙස්‌ දෙනවිට අපි ලඡ්ජා වෙන්න ඕන. අපි මේ තරම් නිධානයක්‌ තියාගෙන ඒ උඩ නිදාගෙන ඉන්නෙ.

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් වර්තමාන ලෝකයේ බුදු දහම පැතිරී යන ස්‌වරූපයක්‌ අළලා අප සම්පාදනය කළ විශාල ග්‍රන්ථයේ මේ කරුණුවලටත් අපි අවධානයක්‌ යොමු කළා. අද ලෝකය පුරා ඇති බුදු දහම පැතිරී තිබෙන රටවල් දෙස බලනවිට ඒ රටවල පැහැදිලිව ඉස්‌මතු වී පෙනෙන සංකල්පයක්‌ තිබෙනවා. එනම් සමාජ කාර්යයන්හි බෞද්ධයන් දැඩිව නිරත විය යුතුය කියන අදහස. අද මෙන් ලොව පුරා පැතිරෙමින් යන සංකල්පයක්‌. පරිසරය රැක ගැනීම වැනි බරපතළ අර්බුදවලට පවා ලෝකය අද විසඳුම් සොයන්න උත්සාහ දරන්නෙ බුදුදහමින්. අපේ රටේ අපි බුදු දහමේ තිබෙන මේ විසඳුම් පිළිබඳ අවධානයක්‌ යොමු නොකිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්‌. මෙය රටක ආගමක්‌ සාම්ප්‍රදායික ලෙස ආගමක්‌ ලෙස පවතින විට ඇතිවන තත්ත්වයක්‌. එවිට රටේ ජනතාව වැඩිපුර ගමන් කරන්නෙ පුද පූජා පැත්තටයි. ඉතාම අලංකාරව ඒ කටයුතු කළාට ආගමේ දර්ශනය දෙසට ඔවුන් ගමන් කරන්නෙ නෑ. වෙසක්‌ පහනක්‌ දැල්වීම හොඳයි. නමුත් ඉන් නොනැවතී ආලෝකෝ උදපාදී කියන බුදු වදන සිහිපත් කරගෙන මේ ආලෝකය උපදින්නේ අපේම අභ්‍යන්තරය තුළ බව අවබෝධ කරගන්නට ඕන.

මම එක උදාහරණයක්‌ කියන්නම් මේ මම අත්දැකපු දෙයක්‌. මේ වනවිට මම ලෝකයේ රටවල් සැලකිය යුතු ගණනක සංචාරය කර තිබෙනවා. නමුත් අපේ රටේ වාහනයක්‌ පැදවීමේදී පාරේ ඉන්න රියෑදුරන් අතර තියෙන රෞද්‍ර මුහුණ මම ඒ එක රටකදිවත් දැකල නෑ. අපේ රටේ බොහෝ රියෑදුරන් එක තත්ත්පරයක්‌ තරම් කාලයක්‌වත් හිතන්නෙ නැතිව මරාගෙන යන විදිහේ වාහන පැදවීම් ලෝකයේ වෙනත් රටවල නෑ. වාහන නිසා මිනිසුන් මියයන ලෝකයේ වැඩිම රටවල් අතරට අපේ රටත් දැන් ඇතු=ල්වෙලා තියෙනවා.

ඉවසීම, අනෙකාට සැලකීම, අනෙකාට ඉඩදීම අද අපේ රටේ බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු දේවල්. කවර ආගමක්‌ වුවත් එය සමාජයේ ජීවත්වන අය සන්සුන් කරවන දමනය කරන බලවේගයක්‌ විය යුතුයි.

නමුත් අපේ රටේ අද හැම ආගමකම මිනිසුන් සන්සුන් කරනවා වෙනුවට දමනය කරනවා වෙනුවට ඔවුන් නොසන්සුන් කරන ප්‍රචණ්‌ඩ කරන බලවේගයක්‌ ලෙසට පරිවර්තනය වෙමින් තිබෙනවා නේද? දඹුල්ලේ ඇතිවී තිබෙන තත්ත්වය එක්‌ උදාහරණයක්‌ හැටියටයි මා දකින්නේ.?

ලෝකය පුරාම ඉතිහාසයේ ආගම කියන සංවිධානය අනෙකුත් ආගමික සංවිධාන සමග තරග කරලා තියෙනවා. සටන් කරලා තියෙනවා. ඒ තත්ත්වය යම් ප්‍රමාණයකට හෝ අඩුවෙන් දකින්නට පුළුවන් බෞද්ධ සංස්‌කෘතික රට වල විතරයි. නමුත් සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ.

රටක ආගම් කිහිපයක්‌ තිබෙනවිට ඒ සියලු දෙනාටම සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒ තමයි හරිම විදිහ. බෞද්ධ විදිහ ඒකයි. මෙබඳු ප්‍රශ්නයකදි අපට අපේ ආගමික දර්ශනය පාවිච්චි කරන්න බැරි නම් එතැනම අසාර්ථක භාවයක්‌ තිබෙනවා. මා කලිනුත් සඳහන් කළ පරිදි ආගමක්‌ කියන්නෙ මිනිසුන් සන්සුන් කරන, දමනය කරන බලවේගයක්‌. දඹුල්ලෙ තියෙන්නෙ ආගම් කිහිපයක පිරිස්‌ අතර ඇතිවුණු ගැටලුවක්‌. ආගමක මූලික අරමුණම ක්‍රියාත්මක නොවෙනවා කියන්නෙ අසාර්ථකයි යන්නයි. අන්‍ය මත ඉවසීම සහ අන්‍යයන්ට ඉඩදීම පිළිබඳ අපි මීට වඩා සැළකිලිමත් වෙන්නට ඕන. අපි දානය පුරුදු පුහුණු කළාට කාටවත් ඉඩ දෙන්නෙ නෑ. පාරෙ යනවිට පවා අපි තවකෙනෙකුට ඉඩ දෙන්නෙ අඩුවෙන්. ඉඩදීමත්, දානයක්‌ කියල අපට හිතන්ඩ බැරිද? පන්සලකට හෝ දුගී දුප්පත් කෙනකුට දානයක්‌ දෙනව වගේම තව කෙනකුට ඉඩදීමත් දානයක්‌. වාහනයක්‌ හරව ගන්න ඉඩ දෙන එක, පාර මරුවෙන අයට ඉඩ දෙන එක වගේ දේවලුත් දාන. හැම ආගමකින්ම උගන්වන මූලික හරයයන් ඒ විදිහට සමාජගත වෙනව නම් මේ විදිහේ ප්‍රශ්න මතුවෙන්නෙ නැහැ.

නමුත් අපේ රටේ ප්‍රධාන ආගම් දෙකම අද එහි මූලික හරයන් මත ක්‍රියාත්මක වීමෙන් බැහැර වෙමින් වෙනත් බලවේග වෙත නතුවෙන තත්ත්වයක්‌ නිර්මාණය වෙමින් තිබෙනවා නේද? පන්සල වෙනුවට අසපු නිර්මාණය වෙනවා. ක්‍රිස්‌තියානි පල්ලිය තුළත් නොයෙක්‌ මූලධර්මවාදී කණ්‌ඩායම් බිහිවෙමින් තිබෙනවා. ඒ අනුව අද ආගමකට එහි මූලික හරයන් මත සමාජගත වීමට ඉඩකඩක්‌ තිබෙනවද?

අපේ රටේ ආගම්වලට අද මුහුණදීමට සිදුවී තිබෙන මේ තත්ත්වයට බලපෑ හේතු 2 ක්‌ මා දකිනවා. ගෝලීයකරණය වෙන ලෝකය තුළ සෑම දෙයක්‌ම වෙනස්‌ වෙනවා. එය එක හේතුවක්‌. සාම්ප්‍රදායානුකූලව කිරීමට තිබුණු කාර්යය වෙනස්‌ වෙලා තිබෙනවා. එසේත් නැත්නම් සාම්ප්‍රදායානුකූලව කරන කාර්යය කරන ක්‍රමය වෙනස්‌වෙලා තියෙනවා. එය වරදක්‌ නෙමෙයි. බුදු දහම ප්‍රචලිත කරන්න අද අන්තර්ජාලය විශාල ලෙස පාවිච්චි කරනවා.

නමුත් ගෝලීයකරණය නිසා සිදුවී තිබෙන්නෙ අනෙක්‌ සියලුම ආගම් අභිබවා තමුන්ගේ ආගමික සම්ප්‍රදාය ප්‍රචාරය කරවා ගැනීමට ප්‍රයත්න දැරීමකුයි. මේ ආරම්භයම වැරදියි. නමුත් ඒ වැරදි ආරම්භය අද සාර්ථක වෙලා තියෙනවා. එයට හේතුව මේ තුළ තිබෙන මුදල් සැරිසැරීම.

ගෝලීයකරණය වූ වර්තමාන ලෝකය තුළ තමුන්ගේ ආගම අනෙක්‌ අයට ඉගැන්වීමේ නිදහස හැම ආගමකටම තියෙන්න ඕන. ඔබේ ආගමත් හොඳයි. නමුත් මම මගේ ආගම දිගටම පිළිපදිනව කියලා යමෙක්‌ කිව්වොත් ඉන් එහාට යායුතු නැහැ. මේ රටේ තිබිය යුත්තේ බුදු දහම පමණක්‌ යෑයි මා කියන්නේ නැහැ. ක්‍රිස්‌තියානි ආගම වසර 500 ක්‌ පමණ සිට අපේ රටේ තිබෙනව. මුස්‌ලිම් ආගමත් වසර 600 ක්‌ තරම් අතීතයේ සිට තිබෙනවා. හැම ආගමකම විශ්වාසයක්‌ තියෙනව. අනෙකුත් ආගම් වැරදියි කියලා මම මගෙ ආගම හරි කියලා හිතල මම ඒක හැමෝටම දෙන්න හදනවා. බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත්වෙලා ධර්ම දේශනා කළේ බෞද්ධයන්ට නෙමෙයි. ඒ අය කුමක්‌ හෝ වෙන ආගමක අය. ඉතාමත් සහනශීලී, බුද්ධිමත් භාවයට විවෘතවුණු ආකල්පයකින් බුදුහාමුදුරුවො බණ දේශනා කළේ. සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම පවා බුදුහාමුදුරුවො තහනම් කළා. සෘද්ධි ප්‍රාතිහාර්ය පාල මිනිසුන් වසඟ කර ගැනීම බුදුරජාණන් වහන්සේ හැඳින්වුවෙ ගණිකාවක්‌ තම රහස්‌ තැන් පෙන්වා මිනිසුන් ඇද ගැනීම සමාන කරලයි.

කෙසේ නමුත් අද මේ චෝදනා තියෙන්නෙ බෞද්ධයන්ට නෙමෙයි.අපේ රටේ භික්‌ෂූන් වහන්සේ ලෝ පුරා ධර්ම ප්‍රචාරක කටයුතු කරනවා. ආගම් කිහිපයක්‌ තිබෙන අපේ වගේ රටක සදාචාරයේ සහ සභ්‍යත්වයේ සීමා ඉක්‌මවා ආගම් ප්‍රචාරය කරන්නට උගන්වන්නට නොගොස්‌ සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරනවා නම් මෙබඳු චෝදනා එල්ල වන්නේ නැහැ.

අපේ රට අතීතයේ ලෝකයේ බලගතු රටවල් තුනකට යටත්ව තිබුණා. නමුත් එදවසටත් වඩා අද අපේ රටේ බෞද්ධයන් අන්‍යාගම් වැලඳ ගනිමින් සිටිනවා. අතීතයේ ඒ අවුරුදු පන්සියයක පමණ කාලය තුළ නොසිදුවූ බරපතළ දෙයක්‌ අද සිදුවෙමින් තිබෙනවා නේද?

එයට හේතුව අද අපේ බෞද්ධ සංස්‌කෘතියේ මුල් ගිලිහෙන්නට පටන් ගෙන තිබීම. දුගී භාවය අපේ රටේ හැම ආගමිකයකුටම තිබෙන සත්‍ය දෙයක්‌. බෞද්ධයො හැටියට අපි බලන්න ඕන. අපේ දුප්පත් බෞද්ධයන්ට අපි පිහිටවෙන්නෙ කොහොමද කියලා. හොඳට මුදල් තියෙන බෞද්ධ යො අපේ රටේ ඉන්නවා. හොඳම මුදල් ලැබෙන බෞද්ධ ආයතනත් අපේ රටේ තියෙනවා. අපේ රටේ ප්‍රධාන බෞද්ධ ආයතන අරගෙන බැලුවොත් කළුතර බෝධිය, ශ්‍රී මහා බෝධිය, ශ්‍රීපාදස්‌ථානය වැනි හොඳට මුදල් ලැබෙන ආයතන තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු කළා වාගේ මේ සියලු ආයතන සාංඝීක කරලා පොදු එක අරමුදලක්‌ පිහිටෙව්වොත් හාමුදුරුවොත් බලා කියාගෙන, පන්සලුත් දියුණු කරලා, බෞද්ධයන්ටත් පිහිටවෙලා ඒ අරමුදලෙන් රජයටත් මුදල් ටිකක්‌ දෙන්න පුළුවන් වෙයි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක
ඡායාරූපය - සිරිපාල හල්වල
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.