බෞද්ධ අයිතිය සුරකිමු!

අසිරිමත් වෙසඟ උදාවී ඇත. ගෙවී ගියේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසරයි. දැන් සම්බුද්ධත්ව ජයන්ති 2601 වැනි වසර උදාවී ඇත. 2600 සම්බුද්ධත්ව ජයන්තිය බෞද්ධයන් මහ ඉහළින් සැමරූහ. අතීතයේ පටන් වෙසක්‌ සැමරීම පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක්‌ විය. වෙසක්‌ මඟුල ගැන මුලින්ම මහාවංශයේ සඳහන් වන්නේ (ක්‍රි( පු( 101-77) දුටුගැමුණු රජ කාලයේදීය. දුටුගැමුණු රජු වෙසක්‌ මඟුල් 28 ක්‌ පැවැත්වු බව කියෑවේ. බෞද්ධ ලංකාවේ වීරයා වූ දුටුගැමුණු රජ, එළාර පරාජයෙන් පසුව බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීම පිණිස වෙසක්‌ උත්සවය මහ ඉහළින් සැමරූ බවට සැක නැත. භාතිsය රජ (ක්‍රි( ව( 38-67) වෙසක්‌ මඟුල් 28 ක්‌ද වසභ රජ (ක්‍රි( ව( 127-171) මේ උත්සව 24 ක්‌ද සිදු කළ බව මහාවංශය කියයි. 2 වැනි සේන රජු රටවැසියන් හා එකතු වී ඔවුන්ට රිසි පරිදි ආහාර පාන හා වස්‌ත්‍ර දී වෙසක්‌ උත්සවය පැවැත්වූ බව ඉතිහාසය කියයි. ලොව පුරා වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය කෝටි 35 කට අධිකය. සැමවිටම බෞද්ධ ලෝකයට ආදර්ශ ලබාදෙන ශ්‍රී ලංකාව වෙසක්‌ උළෙලද සමරන්නේ අන්කිසි රටකට නොදෙවෙනි ආකාරයට බව පැහැදිලිය.

උදාසීන, දුක්‌මුසු, කලකිරුණු, අඳුරු පැවැත්ම බුදු දහමට පටහැනිය. එය සත්‍යාවබෝධයට බාධාවකි. ඒ නිසාම සිංහල බෞද්ධයන් අඳුර නැතිකර රටම ඒකාලෝක කරමින් වෙසඟ සමරති. මෙය ආමිස පූජාවක්‌ නමුත් කුඩා අටපට්‌ටම් කූඩුවේ සිට මහා තොරණ රාජයා දක්‌වා විහිද යන්නේ බෞද්ධකමේ ආලෝකයයි. එය නැති කිරීමට කිසිවකුට ඉඩදිය යුතු නැත. ශ්‍රද්ධාව නැති දුශ්ශීල උපාසක චණ්‌ඩාලයින්ට වෙසඟ සැමරිය නොහැක. වෙසඟ සැමරීමෙන් බෞද්ධ ලෝකය ප්‍රකාශ කරන්නේ බුදුන්වහන්සේ කෙරෙහි ඇති අප්‍රමාණ ශ්‍රද්ධාවයි. එය වසර 2600 ගෙවුණද වෙනස්‌ වී නොමැත.

බුදුදහම ශ්‍රී ලංකාද්වීපයේ වසර 2300 කට අධික කාලයක්‌ රාජ්‍ය ආගම ලෙස, බහුතර ආගම ලෙස පවතින්නේද අනවරත කැපකිරීම් මධ්‍යයේය. බුදුන් උපන් ඉන්දියාවේ වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය 1% ක්‌ පමණය. එහෙත් අපේ මුතුන් මිත්තෝ දිවි හිමියෙන් කැපවෙමින් විවිධ ආගමික ආක්‍රමණ තර්ජන ගර්ජනවලට මුහුණ දෙමින් වුවත් තම දිවි දෙවැනිකොට ආගම රැකගැනීම සඳහා කටයුතු කළහ. එනිසාම අපට 2500 බුද්ධ ජයන්තියත් 2600 සම්බුද්ධත්ව ජයන්තියත් සැමරීමට හැකි විය. වසර දෙදහසකට අධික කාලයක්‌ බුද්ධාගම රැකගත් ජාතියක්‌ ලොව අන්කිසි රටක නැත.

මේ ගෙවී යන්නේ වෙසක්‌ සතියයි. මීට දින කිහිපයකට පෙර රංගිරි දඹුළු පූජා භූමියට අයත් ප්‍රදේශයේ පිහිටි මුස්‌ලිම් පල්ලිය පිළිබඳව මහත් ආන්දෝලනයක්‌ ඇති විය. බෞද්ධ පූජා භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශයක අන්‍යාගමික දේවස්‌ථාන හෝ යාඥ මධ්‍යස්‌ථාන ඉදිකිරීම හෝ ඒවා පවත්වාගෙන යැම සදාචාර විරෝධීය. මන්ද, ලෝකයේ කිසිම මුස්‌ලිම් රටක බෞද්ධ පන්සල් ඉදිකිරීම තබා බුදුන්වහන්සේගේ ඡායාරූපයක්‌ ගෙනයැමටවත් ඉඩ ලැබෙන්නේ නැත. වසර 30 ක්‌ යුද්ධයක්‌ පැවැතුණු මේ රටට යළි ආගමික යුද්ධයක්‌ හෝ නොසන්සුන්තාවක්‌ අවශ්‍ය නැත. බෞද්ධයන් මෙන්ම මුස්‌ලිම් ආගමිකයන් වසර සිය ගණනක්‌ තිස්‌සේ මෙරට සාමකාමීව ජීවත් වූහ. වෙනත් මුස්‌ලිම් රටක ඉදිකළ නොහැකි විවිධ නිකායන්ට අයත් මුස්‌ලිම් ආගමික පල්ලි රටේ හැම තැනම ඉදි වී ඇත. පකිස්‌තානය මුස්‌ලිම් රටක්‌ වුවද සුන්නි, ෂියා ගැටුම තදින්ම පවතී. පකිස්‌ථානය බහුතර සුන්නි මුස්‌ලිම්වරුන් සිටින රටකි. ෂියා මුස්‌ලිම්වරුන්ගේ ප්‍රමාණය එරට ජනගහනයෙන් පහෙන් එකකි. නමුත් නිරන්තරව ෂියා නිකායේ පල්ලිවලට ආගමික පෙරහැරවලට මෙන්ම ෂියා ආගමිකයින් බහුලව වෙසෙන ප්‍රදේශවලටත් ප්‍රහාර එල්ල වේ. එහෙත් ශ්‍රී ලංකාවේ වෙසෙන සුන්නි මුස්‌ලිම්වරුන්ගේ විවිධ කොටස්‌ ඇතත් ඔවුන් අතර ගැටුමක්‌ නැත්තේ බහුතර බෞද්ධ සමාජය තුළ වෙසෙන නිසාය. ආගම ඇදහීමේ අයිතිය සියළුÊදෙනා සතු විය යුතුය. නමුත් බහුතර බෞද්ධ ආගමික අයිතිය සුරක්‌ෂිත වීම අනිවාර්යය. එසේ නැතිනම් තව වසර 50 ක්‌ 100 ක්‌ ගතවෙද්දී ලංකාවද මෝගල් ආක්‍රමණයට ලක්‌වනු ඇත.

තායිලන්තය ථෙරවාදී බෞද්ධ රටකි. එරට ජනගහනයෙන් 95% ක්‌ම බෞද්ධයෝ වෙති. තායිලන්තයට බුද්ධාගම හඳුන්වා දුන්නේද අශෝක අධිරාජ්‍යයා විසින් යෑවුණු සෝනුන්තර මහරහතන් වහන්සේ විසිනි. ඒ. ක්‍රි( පු( 228 දීය. ඒ කෙසේ වෙතත් අද දකුණු තායිලන්තයේ පත්තාහි, සහ නරතිවාත් යන ප්‍රාන්තවල බෞද්ධ භික්‌ෂුන්වහන්සේලාට පිණ්‌ඩපාතයේ වඩින්නට සිදුව ඇත්තේ හමුදා ආරක්‍ෂාව යටතේය. 2004 සිට ආරම්භ වූ මෙම බෞද්ධ විරෝධී මුස්‌ලිම් ත්‍රස්‌තවාදය දිනපතාම පාහේ බෞද්ධ භික්‌ෂුන් මෙන්ම බෞද්ධ ගැමියන්ද බිළිගනී. 2005 හිටපු තායිලන්ත අගමැති තක්‌සින් සිනවත්‍රා මහතා මේ මූලධර්මවාදී ව්‍යාපාරය මර්දනය කර දැමීමට කටයුතු කළද, 2006 දී ඔහු හමුදා කුමන්ත්‍රණයක්‌ මගින් බලයෙන් පහකෙරිණි. හමුදා ආණ්‌ඩුවද මේ කැරලිකාර තත්ත්වය ඉදිරියේදී නිමාවනු ඇතැයි ප්‍රකාශ කළද එය දිනෙන් දිනම උග්‍ර වී ඇත. දැන් බලයට පත් වී සිටින්නේ තක්‌ෂීන් සිනවත්‍රාගේ නැඟනිය වන යින්ලක්‌ සිනවත්‍රාය. ඇයටද මේ මුස්‌ලිම් අන්තවාදයට පිළිතුරක්‌ සෙවීමට අපහසු වී ඇත. තායිලන්තයේ තායි බෞද්ධ අයිතිය තහවුරු විය යුතු සේම දඹුල්ලේද බෞද්ධ අයිතිය තහවුරු විය යුතුය. එසේ නොවන්නේ නම් වසර දෙදහසක ඉතිහාසයක්‌ ඇති රංගිරි දඹුල්ලටද තර්ජනයක්‌ එල්ල වනු ඇත.

දඹුල්ලේදී බෞද්ධයන් පැවැත්වූ උද්ඝෝෂණ ගැන සමහරුන් වපරැසින් බලන බව පෙනේ. එහෙත් බෞද්ධයින් කිසිම විටක ආගම පැතිරවීම නාමයෙන් කිසිවකුගේ බෙලි කපා හෝ සමූල ඝාතන සිදුකර නැත. ලංකාවේ තබා ලොව කොහේවත් මූලධර්මවාදී බෞද්ධයන් නැත. බුදුදහම අපට පවසන්නේ එළඹ සිටි සිහියෙන් හෙවත් "යෝනිසෝ මහසිකාරයෙන්" යුතුව ක්‍රියා කළ යුතු බවය. එය මේ වෙසක්‌ සතියේදී අප වඩාත් සිත්හි ධාරණය කරගත යුතුය.

චතුර පමුණුව

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.