කොට්‌ට පොරයක්‌ නිසා මේ තරුණ ජීවිතය අහිමි විය

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

මේ මරණය ප්‍රීතිමත් ඉසව්වකින් ආරම්භ වී ශෝකයෙන් කෙළවර වූවකි. අලුත් අවුරුදු උත්සවවල නොයෙකුත් තරග ඉසව් තිබේ. කොට්‌ට පොරය ඒ ඉසව් අතරින් ජනප්‍රිය වූවකි. එය තරුණයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවකි.

පසුගියදා ජාඇල කුඩහකපොල පැවැති අවුරුදු උත්සවයක්‌ බැලීමට ගිය නව යෞවනයකුගේ ජීවිතය ශෝකාන්තයකින් කෙළවර වූ දුක්‌මුසු කතාවක්‌ අපි ඔබට කියන්නෙමු.

ජාඇල වෑවල පදිංචි ෂෙහාන් ධනංජය අවුරුදු 17 ක ලාබාල තරුණයෙකි. ඔහු ක¹න ශාන්ත සෙබස්‌තියන් පිරිමි මහා විද්‍යාලයේ ඉගෙනගත් සිසුවෙකි. ඔහු එම විදුහලේ දීප්තිමත් ශිෂ්‍යයකු යෑයි කියන්නට බොහෝ කාරණා තිබේ.

ඔහු එම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ය. ප්‍රධාන ශිෂ්‍ය නායකයා වන්නට බොහෝ සුදුසුකම් තිබිය යුතුය. ඉගෙනුමෙහි සමත් බව, විනය ගරුක බව, පෞරුෂය, සෑම කාර්යයකදීම යුහුසුළු දක්‍ෂ බව ආදී ගුණාංග ශෙහාන් ධනංජය සතුව තිබිණි.

එපමණක්‌ නොව පාසලේ වොලිබෝල් ක්‍රිකට්‌ සහ පාපන්දු යන ක්‍රීඩා ත්‍රිත්වයේම හේ දස්‌කම් පෑයේය.

ෂෙහාන් ධනංජය ගේ පියා කලක්‌ යුද හමුදාවේ සේවය කළ අයෙකි. ඔහු කොට්‌ට පොර ශූරයෙකි. තාත්තාගේ ආභාෂය ලැබූ පුතා ද කොට්‌ට පොර ක්‍රීඩා විෂයෙහි ඉමහත් සේ දස්‌කම් පෑයේය. තාත්තා මෙන්ම ෂෙහාන් ද කොට්‌ට පොර ක්‍රීඩාවට සහභාගි වී ත්‍යාග රැසක්‌ දිනා ගත් අයෙකි. ඉකුත් 28 වැනිදා ෂෙහාන් මිතුරකු සමඟ කුඩහකපොල පැවැති අවුරුදු උත්සවයකට ගියේ එතැන පැවැත්වෙන කොට්‌ට පොර ඉසව්වට සහභාගිවන අදහසිනි.

පොරය ඇරඹිණි. පළමු ප්‍රතිවාදියා සමඟ සටන ඔහුට එතරම් අපහසු වූයේ නැත. නමුත් ප්‍රතිවාදියාගේ පහරකින් ඔහුගේ කනකින් ලේ ගලා ගියේය. ඔහුගේ මිතුරෙකුගේ මවක්‌ ඔහුගේ කනට අයිස්‌ කැටයක්‌ තැබුවාය.

දෙවැනි ප්‍රතිවාදියා කොට්‌ට පොර කඳට නැගුණේය. ෂෙහාන් යළිත් කඳ මතට නැගුණේය. ඔහුගේ පහර කෑමෙන් සෑම ප්‍රතිවාදියෙක්‌ම බිම ඇද වැටුණි. ඊළඟ සටන තිබුණේ අවසාන ප්‍රතිවාදියාත් සමගය. ඔහු ලෙහෙසියෙන් ඇදවැටුණේ නැත.

පැය එකහමාරක්‌ තිස්‌සේ සටන පැවතිණ. කවුරු ජය ගනිත්දැයි ජනයා රොක්‌ වී බලා සිටියහ. ෂෙහාන් කඳෙන් නොවැටී දිරියෙන් සටන් කළේය. අවසානයේදී කවදත් කොට්‌ටා පොර ශූරයා ශෙහාන් බව ඒත්තු ගන්වමින් ශෙහාන්ගේ ප්‍රහාරයකින් ප්‍රතිවාදියා බිම ඇද වැටිණි. ජයග්‍රාහකයා වූයේ ෂෙහාන් ය. ඊට හිමි ත්‍යාගය ද ලබා ගෙන ෂෙහාන් ගෙදර ගියේය.

නමුත් ෂෙහාන් සිටින්නේ අසනීප තත්ත්වයෙන් බව ඔහුගේ මවට පෙනුණි. ස්‌වල්ප මොහොතකින් ඔහු වමනය කළේය. නොනැවතී ඔහු කිහිප වරක්‌ම වමනය කළේය. නිවසට පැමිණි පියා ඔහුගේ හිසට අත තබා බැලීය. ෂෙහාන්ට උණ ගැනී තිබිණි. මවුපියෝ පුත්‍රයා රාගම රෝහලට ගෙන ගියහ. ඔහු පරීක්‍ෂා කළ වෛද්‍යවරයා රෝගියා කොළඹ මහ රෝහලට ගෙන යන ලෙස නිර්දේශ කළ අතර, ඒ සඳහා ගිලන් රියක්‌ ද අනුමත කර දුන්නේය

ගිලන් රියේ රියෑදුරු සිටියේය. නමුත් රෝගියා භාරදීමට සහායකයකු සිටිය යුතුය. රියෑදුරා සහායකයා සොයා ගැනීමට හැම අතම ඇවිද්දේය. පැය 2 1/2 ක්‌ ගතව ගිය ද සහායකයකු සොයා ගත නොහැකි විය. අන්තිමේදී රෝගියා කොළඹ මහ රෝහලට භාර දීමට ගියේ නිර්දේශය කළ දොස්‌තර මහත්මයාය. කොළඹ ජාතික රෝහලේදී ෂෙහාන් ස්‌කෑන් පරීක්‍ෂණයට ලක්‌ කෙරිණි. අනතුරුව ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. එම ශල්‍ය කර්මය පැය 3 කුත් විනාඩි 45 ක දීර්ඝ සැත්කමකි. එහෙත් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ පසු ෂෙහාන් මිය ගියේය.

දීප්තිමත් ශිෂ්‍යයකුගේ ජීවිතය නිවී ගියේ එලෙසය.

අවුරුදු උත්සව කිහිපයකම කොට්‌ට පොර වලට සහභාගි වීම නිසා ඔහුගේ මොළයට හානි වී තිබුණේ ද එසේත් නැත්නම් කොට්‌ටවලට යොදන අමුද්‍රව්‍යවල තදබල යමක්‌ තිබුණේද? මේවා ද සැලකිය යුතු ප්‍රශ්නය.

ජාඇල ලෝරන්ස්‌ ප්‍රනාන්දුගේ පසුබිම්වාර්තාව ඇසුරිනි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.