කුඹුක්‌කන මළ ගෙයක්‌ කළ කොඩිවින සැකය

කොඩිවිනයක්‌ සිදු කිරීම පිළිබඳව ඇති වූ සැකය පියකු හා දියණියක ඉතා කෲර ලෙස ඝාතනය කළ මොනරාගල කුඹුක්‌කන ප්‍රදේශයේ පුද්ගලයෙක්‌ තම ජීවිතය ඇතුළු හතර දෙනකුට කොඩිවිනයක්‌ වුවේය. සම්බුදු තෙමඟුල සමරන වෙසක්‌ පොහොය ආසන්නයේම මෙම අමානුෂික ඝාතනය සිදුවිය. මනුෂ්‍යයන්ට පමණක්‌ නොව කුරා කුහුඹුවකුටත් මෛත්‍රිය හා කරුණාව දක්‌වන ලෙස දහම් දෙසු ගෞතම බුදු රජාණන්ගේ සරණ ගොස්‌ සිටි ඝාතකයා සැබෑ ලෙසම බුදු දහමට අනුව ජීවත් වූවාද යන ගැටලුව නිතැනින්ම පැන නැගේ.


මියගිය පියා දයාරත්න
 

දියණිය චිත්‍රානි

සම්බුදු තෙමඟුල සමරනු වස්‌ දාන, ශීල හා භාවනා වැනි ආගමික කටයුතු ද තොරණ, පහන් කූඩු වැනි සෞන්දර්යාත්මක නිර්මාණ කරමින් ලංකාවාසීන් මහත් උද්යෝගයෙන් කටයුතු කිරීම බුදු දහම සිරිලකට ලැබුණ දා සිටම කෙරෙමින් පවතී. කුඹුක්‌කන ගමේ වෙසෙන බෞද්ධ ජනතාව ද සම්බුදු තෙමඟුල සැමරීමට විවිධ කාර්යයන් සිදු කරමින් මෙවර වෙසක්‌ මංගල්‍යයට සූදානම් වූහ. වෙසෙසින්ම කුඹුක්‌කන තරුණ පිරිස්‌ එකමුතු වී තොරණක්‌ ඉදිකර සම්බුදු තෙමඟුල සැමරීමට අදිටන් කරගෙන පසුගිය දිනවල වෙහෙසෙමින් තොරණ ඉදිකිරීමේ කටයුතු වල නිරත වූහ.

ලෝක කම්කරු දිනය වූ මැයි පළමුවැනිදා සුපුරුදු පරිදි කුඹුක්‌කන තරුණ පිරිස්‌ තොරණ ඉදිකිරීමට දායක වූහ. ඉතා පුදුම සහගත සිදුවීමක්‌ වූයේ ඝාතකයාද මෙදින තරුණ පිරිසට එකතු වී තොරණ සෑදීමට තම දායකත්වය සැපයීමය. තරුණ පිරිස සමග උරෙනුර ගැටෙමින් ඉතා උද්යෝගයෙන් තොරණ ඉදිකිරීමේ කටයුතු සඳහා ඝාතනය සිදු කළ තරුණයා කටයුතු කර ඇත. අවිහිංසාව පිළිබඳ දේශනා කළ ශාස්‌තෘවරයකුගේ සැමරීම් උත්සවයට දායක වූවද ඝාතකයාගේ හදවතේ වෛරී සිතුවිලි බුර බුරා නැඟෙමින් තිබෙන්නට ඇත.

කුඹුක්‌කන ගමේ තරුණයා මාර වෙස්‌ ගෙන කළ අපරාධය සම්බුදු හිමි ජීවමාන කල සිටි අංගුලිමාල සිහිගන්වයි. ශිල්ප ඥනය ලබාදුන් ඇදුරුතුමාගේ වෛරයට පාත්‍ර වී ඔහු යෙදු කපටි උපායට රැවටී අහිංසක නම් තරුණයාද එදා දඹදිව භීතියෙන් කුළුගන්වා මහා මනුෂ්‍ය ඝාතනයක්‌ සිදු කළේය. ඔහු මනුෂ්‍ය ඝාතනය සඳහා යොදා ගත් ආයුධය වූයේ කඩුවකි.

කුඹුක්‌කන තරුණයාද තම පුංචි අම්මා, බාප්පා හා නෑනාට මාරක ප්‍රහාරය එල්ල කළේද කඩුවකිනි. මැයි පළමු වැනිදා රාත්‍රි 8.00 පමණ තොරණ ඉදිකරමින් සිටි පිරිස අතරින් ඝාතක තරුණයා ඉතා රහසිගතව කිසිවකුට නොදැනෙන්ට ඉවතට විත් කුඹුක්‌කන ගම්මානයේ 4 කණුව පෙදෙසට වැටී ඇති මාර්ගයේ කඩිනමින් පියවර තබමින් තමා අරමුණු කළ ඉලක්‌කය සොයා යන්නට විය. සැලසුම් සහගතව පෙර දිනයක මාර්ගය අසල පඳුරක සඟවා තිබූ මත්පැන් බෝතල් භාගය උගුරට හලා ගත්තේ පියවි සිහියෙන් මෙම ඝාතනය කිරීමට ඝාතක තරුණයාට ආත්ම ශක්‌තියක්‌ නොතිබූ නිසා විය හැකිය. මාරක කඩුවත් තම සිරුර අස්‌සේ සඟවාගෙන තම පුංචි අම්මාගේ නිවසට ඝාතක තරුණයා ගොඩ වූයේ කිසිදු අමුත්තක්‌ නොපෙන්වමිනි. වේලාව රාත්‍රි 8.30 පමණ විය. ඝාතක තරුණයා තම පුංචි අම්මාගේ නිවසේ සාලයට ඇතුළු වී සිටින අයුරු චිත්‍රානි, කුසුමාවතී, දයාරත්න යන තිදෙනා දුටුවද ඔවුන්ට තම දිවියේ මෙලොව ගත කරන්නට ලැබෙන අවසන් විනාඩි කිහිපය යෑයි නොසිතෙන්නට ඇත. කුසුමාවතී "පුතේ" යෑයි ආමන්ත්‍රණය කර කතාවට මුල පිරුවද ඝාතක බෑණා මුවින් නොදොඩා තම සිරුර අස්‌සේ සඟවාගෙන සිටි කඩුව එළියට ඇද දිගට හරහට කුසුමාවතීට, දයාරත්නට හා චිත්‍රානිට කොටන්ට විය.

ඇසිල්ලකින් එල්ල වන්නට වූ ප්‍රහාරය ට මුහුණ දුන් ඔවුන්ට ප්‍රහාරයෙන් බේරීමට කිසිදු ඉඩක්‌ නොතබමින් ඝාතකයා කඩුවෙන් කෙටුවේය. මරලතෝනියක්‌ නැගුනද එය අසන්නට කිසිවකු හෝ කුසුමාවතිගේ නිවස අසල සිටියේ නැත. බරපතළ කැපුම් තුවාල ලබා ඇද වැටුණු තිදෙනා මරුවැළඳ ගන්නට ඇතැයි සිතූ ඝාතක බෑණා වහා එතැනින් නික්‌ම කුඹුක්‌කන්ඔය දෙසට ගොස්‌ කිසිත් සිදු නොවූ විලස යළි තොරණ ඉදිකරන ස්‌ථානයට පැමිණ තොරණ ඉදි කිරීමේ කටයුතු සඳහා දායක වන්නට විය.

ප්‍රහාරය එල්ල වී පැයක්‌ පමණ ගත වෙද්දී කුඹුක්‌කන හංදියේ තොරණ ඉදිකරන තරුණ පිරිසට මෙම සාහසික ප්‍රහාරය පිළිබඳ තතු සැල විය. වහා කුසුමාවතීගේ නිවස වෙත දිව ආ තරුණ පිරිස ප්‍රහාරයට ලක්‌ වූ තිදෙනා ත්‍රිරෝද රථයක හොවාගෙන මොනරාගල මහ රෝහල වෙත ගෙන ගියේය. දයාරත්න හා චිත්‍රානි ඒ වන විටත් මරු වැළඳ මෙලොවින් සමුගෙන තිබුණි. ඉතා බරපතළ කැපුම් තුවාල තිබුණත් කුසුමාවතීගේ පණ රැකී තිබුණි. ප්‍රහාරයට ලක්‌ වූ පිරිස රෝහල කරා ගෙන යැමට ඝාතකයා ද සහාය වී ඇත. එපමණද නොව ප්‍රහාරයට ලක්‌වූවන් රෝහල කරා ගෙන ගොස්‌ ඇත්තේ ඝාතකයාට හිමි ත්‍රිරෝද රථයෙනි.

රෝහලේදී ලද ප්‍රතිකාරවලින් යම් සුවයක්‌ ලැබූ කුසුමාවතී ප්‍රහාරය සිදු කළ තැනැත්තා පිළිබඳ සියලු තතු හෙළිකර ඇත. ඒ අනුව වගා ක්‍රියාත්මක වූ පොලිසිය ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට යොදා ගත් කඩුව කුඹුක්‌කන් ඔයට දමා තිබියදී ගමේ තරුණ පිරිස පොලිසිය සමග ඔය පීරා සොයාගෙන ඇත. පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයට හේතුවූ කරුණු එකිනෙක වමාරන්නට ඝාතක බෑණාට සිදු විය. ඝාතකයා පවසා ඇත්තේ තම පියා පුංචි අම්මාගේ කොඩිවිනයකින් අසනීප වී මරණයට පත්වී ඇතැයි තමාට දැනගන්නට ලැබුණු බවය.

යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත ශාස්‌ත්‍ර තුළ යම් සත්‍යයක්‌ ගැබ්වී තිබෙන්නට පුළුවන. එහෙත් ගුප්ත ශාස්‌ත්‍ර මගින්ම යම් සිදුවීමකට බලපෑම් එල්ල වූයේ යෑයි නිගමනය කිරීම මහත් දුෂ්කර කටයුත්තකි. කුඹුක්‌කන තරුණයාද මෙවන් ම්ලේච්ඡ අපරාධයක්‌ කිරීමට හේතු වූයේ ගුප්ත ශාස්‌ත්‍ර හිස්‌ මුදුනින් පිළිගන්නා අයකු නිසා විය හැකිය. ඉඳුරාම ඝාතක තරුණයාගේ පියා මිය ගියේ කොඩිවිනයක ප්‍රතිඵලයක්‌ ලෙස යෑයි සනාථ කරන්නට ඝාතකයාට හෝ වෙනත් කෙනකුට හැකිද යන්න බලවත් ගැටලුවකි. කොඩිවිනයකින් තමන්ට හානියක්‌ සිදු වුවා යෑයි සිතමින් යම් පුද්ගලයකුට එරෙහිව කටයුතු කිරීමට යැම ඉතා බොළඳ ප්‍රයත්නයක්‌ සේ සැලකිය හැකිය. අරාබි රටක කුඩා දැරියක යම් අසාමාන්‍ය හැසිරීමක්‌ ප්‍රසිද්ධ ස්‌ථානයක පළ කරද්දී අසල සිටි ශ්‍රී ලාංකික කතක්‌ එම දැරියට කොඩිවිනයක්‌ කළා යෑයි පවසමින් එරට පොලිසිය ශ්‍රී ලාංකික කත අත්අඩංගුවට ගෙන ඇත. එම පුවත ප්‍රවෘත්ති පත්‍රයක සටහන් වී තිබූ අතර පුවත අවසානයේ කොඩිවිනයක්‌ කළා යෑයි ඔප්පු වුවහොත් එම ශ්‍රී ලාංකික කතට දඬුවම් කිරීමට එරට අධිකරණයට හැකියාවක්‌ ඇති බවද දන්වා තිබිණි.

එහෙත් ශ්‍රී ලංකා නීති සංග්‍රහය අනුව කොඩිවින මගින් මිනිසුනට සිදුවන බලපෑම් ගැන කිසිදු සඳහනක්‌ නැත. ඒ සම්බන්ධව යම් පුද්ගලයකුට එරෙහිව ක්‍රියා කිරීමට හෝ දඬුවම් කිරීමට කිසිදු හැකියාවක්‌ නැත.

බොළඳ මත ඔස්‌සේ දුවමින් අවසානයේ වටිනා මනුෂ්‍ය ජීවිත දෙකක්‌ විනාශ කරන්නට කුඹුක්‌කන තරුණයා උත්සාහ කර ඇත. බිරිඳකට සැමියකු හා සැමියකුට බිරිඳක්‌ අහිමි කරමින් තව ගැටලු රැසක්‌ ඉතිරි කර ඝාතක තරුණයාගේ ජීවිතයද අගාධයකට දමාගෙන ඉතා අමනෝඥ තීරණයක්‌ ක්‍රියාවට නැගී ඇත. විදේශයක සිටින චිත්‍රානිගේ සැමියා අලුත ගෙනා මනාලිය තමන්ගෙන් උදුරාගත් පාපතරයාට මේ මොහොතේ දුර රටක සිට වුවද සාප කරනවා විය හැක. බලාපොරොත්තු දහසක්‌ හදවතේ දරාගෙන ජීවත් වූ පවුලක්‌ මුග්ධ පුද්ගලයකු හේතුවෙන් ඉතා අවාසනාවත්ත ෙ€දවාචකයකට මුහුණ පෑවේය.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි එල්. ඩී. ගුණවර්ධන, සහකාර පොලිස්‌ අධිකාරි ෂෂ චමින්ද පුෂ්පකුමාර යන උසස්‌ නිලධාරීන්ගේ උපදෙස්‌ මත මොනරාගල පොලිස්‌ මූලස්‌ථානාධිපති ප්‍ර. පො.ප. ඩී.බී. එච්. කලණසිරි මහතා හා පො.ප. විදානපතිරණගේ යන නිලධාරීන් මෙම ඝාතනයට අදාළ වැඩිදුර කටයුතු මෙහෙයවමින් සිටී.

"පසුබිම් වාර්තා හා ඡායාරූප" මොනරාගල සේපාල මහානාම - මඩුල්ල කේ. එම්. පී. බණ්‌ඩාර, චානක්‍ය ජයගොඩ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.