මැයි දිනය නිරුවත් කළ කාන්තා මරණ දෙකක්‌

අපේ රටේ සිටින මේ කම්කරුවා 'අමුතු සතෙකි'. ඒකා කම්කරුවෙක්‌ ලෙසින් ඉපැදෙන්නේ මැයි පළමුවැනිදා පාන්දරය. එසේ ඉපිද මොහොතකින් ඒ සත්වයාගේ නිවස ඉදිරිපසට බසයක්‌ පහලවේ. එවැනි 'අමුතු සත්තු' කිහිපදෙනෙක්‌ මේ බසයට නගිති. ආසන 28 ක්‌ ඇති බසයකට මෙවැනි 'අමුතු සත්තු' 15 ක්‌ පමණ ගාල් කෙරෙති. අනතුරුව මොවුන්ව රෑළ පිටින්ම කොළඹට හෝ මේ නාඩගමේ අධ්‍යක්‍ෂකවරුන්ට අවැසි තැනකට දක්‌කති. ඒ අතරතුර තමන්ගේ ගම්පළාතම ඇන්දූ උන්දෑ විසින් දෙන උන්දෑගේ නම ගැසූ ටී-ෂර්ටය මුන්දැලා ඇඳගන්නේ ඕනෑ නම් ඒ උන්දෑගේ නම ගැසූවක්‌ ඇඳීම පමණක්‌ නොව, උන්දෑගේ නමින් හණ ගැසුවත් ඒද සැපක්‌ බව කියමිනි. අනතුරුව නියමිත තැනින් බසයෙන් බැසගන්නා මේ අමුතු කම්කරු සත්වයාව තම හාම්පුතාගේ නම ගම පිංතූරය හෝ ඒකාට ඇවැසි 'බෝඩ් ලෑලි නඟුලකට' බඳී. ඉන්පසු ඒකා සටන් පාඨයක්‌ යෑයි තමන් සිතනා (තම හාම්පුතාගේ උවමනාව ඉටුවන) මොනවාදෝ කියමින් තප්පුලමින් කුර ගෙවෙන තුරු පාරක්‌ පාරක්‌ ගානේ දැක්‌කෙති. අවසානයේ මේ කම්කරු සත්වයාව පළාතේ ප්‍රසිද්ධ පිට්‌ටනියක දිගේලි කෙරෙනු ලැබේ. එතැන පටන් ඒකා 'උම්බෑ' කියනු වෙනුවට 'ජය වේවා' යි කියයි. ඒ වන විට මේ අමුතු කම්කරු සත්වයා වසරකට එපිට මෙවැනි දිනක, කම්කරුවෙක්‌ව මෙලෙසම ජීවත්වුණදා සැන්දෑවේ ලද 'තුන්කුරුදුස්‌ පානය' ගැන තම අතීත භව මතක සිහිවී කෙළ පෙරයි. අවසානයේ සුපුරුදු පරිදි බත් පතකට සහ මත් බිඳකට තම ආත්මය දන්දී මේ එක්‌දින ආයුශැති කම්කරු 'සතා' මියයයි. යළිත් මේ අමුතු 'කම්කරු සතා' උපදින්නේ හරියටම වසරකින් පසුවය. නගුට සහ අං නොපිහිටීමේ වාසනාව හේතුවෙන් ඒකා එතුවක්‌ කල් මස්‌කඩයේ මුදලාලිගෙන් බේරී ජීවත්වීමට වරම් ලබයි.


මියගිය ආරියවතීගේ දියණිය ඉන්දිකා සමන්මලී

එහෙත් සැබෑම කම්කරුවෙක්‌ද මේ රටේ සිටියි. ඒ කම්කරුවා උපදින්නේ තම වෘත්තීය ජීවිතය ඇරඹුණුදාය. ඒ කම්කරුවා බත්පතකට, මත් බිඳකට තම ආත්මය නොවිකුණයි. එනිසා ජීවිතය සරිකරගැනීම පිණිස ඒ මිනිසා මැයි පළමුවැනිදාටද වැඩය. කිසිදා 'පිං- ගොනෙකු' නොවන මේ කම්කරුවාට, තමන්ගේ නමින් මේ පක්‍ෂ නාම්බන් 'මෝඩ චූන්' ලබාදෙනවා බලන්න යැමට වෙලාවක්‌ නැත. එදාටද ඔහු හෝ ඇය සැබෑම කම්කරුවෙක්‌ය. ආරියවතී සහ ඇසිලින් දෙදෙනා මැයි පළමුවැනිදා තමන් වැඩකරන වත්තේ වැඩට යන්නේද මේ යථාර්ථය අනුවයි.

දරුවන් හතරදෙනෙකුගේ මවක වන එම්. ඒ. ආරියවතී 58 හැවිරිදිය. 56 හැවිරිදි ඇසිලින් අවිවාහක කාන්තාවකි. පහළ හේවාපොළ පදිංචිකාරියන් වන මේ දෙදෙනා ගමේ තවත් කාන්තාවන් දෙදෙනෙකුද සමඟ ඉකුත් මැයි පළමුවැනිදා කුරුණෑගල - මහනුවර මාර්ගයේ හේවාපොළ කුමර විදුහල අසළින් ඉදිරියට ඇදුනේ තමන්ගේ එදා වේල සොයාගැනීම පිණිස පෞද්ගලික වත්තක කුළියක්‌ කිරීමටය. නැතිව ඔවුන් මැයි පෙළපාලියක ගියා නම් නොවේ. එහෙත් අවාසනාවක තරම....

හැල්මේ පැමිණි වෙසක්‌ වෙළෙන්දෙක්‌ (වෙසක්‌ කාඩ් පත් රැගත් වෑන් රථයක්‌) තම රථය පාලනය කරගනු නොහැකිව ආරියවතී සහ ඇසිලින්ව යටකරගෙන පාරේ කාණුවකට පෙරළිණි. ඔවුන් දෙදෙනා සමඟ ගමන්ගත් අනෙක්‌ කාන්තාවන් දෙදෙනා මදක්‌ ඉදිරියෙන් ගමන්ගත් බැවින් හාස්‌කමකින් මෙන් නිරුපද්‍රිත විය. වෑන් රියට යටවූ ආරියවතී සහ ඇසිලින්ගේ සිරුරු කාණුවට වැටුණි. ඒ මරණවල භයානකත්වය කොතරම්ද යත් අනතුරෙන් ඇසිලින්ගේ සිරුර දෙකඩව තිබිණි.

මරණය අරුමයක්‌ නොවේ. එය ඉඳුරාම පැමිණෙන්නකි. එය නොවැලැක්‌විය හැකි දහමකි. එය කර්මය කර්මඵල වල ස්‌වභාවය පෙන්වා දෙන්නකි.

නමුත් මැයි පළමුවැනිදාවක කුළියක්‌ කිරීම පිණිස යහතින් ගෙදරින් පිටවූ මේ කම්කරු කතුන් දෙදෙනා කාණුවක මළ සිරුරු බවට පත්වන්නේ මැයි දිනය පිළිබඳ නැවත කියවීමක්‌ අවශ්‍ය බව පාරක්‌ අයිනක තම ලෙයින් ලියාතබමිනි. කම්කරු දිනය දා දේශපාලකයන් විසින් කුළියට ගත් ඊනියා කම්කරුවන් සටන් පාඨ කියා මොරදෙමින් පාරවල් වල 'පොරවල්' වෙද්දී, සටන් පාඨ නොමැති මේ රටේ සැබෑම කම්කරුවාට ජීවන සටන ජයගැනීම පිණිස මැයි දිනයදා ද කුළියක්‌ කිරීමට සිදුව ඇත. සැබෑ තත්ත්වය එසේවද්දී කොළඹ සිදුවූයේ කුමක්‌ද? යාපනයේ සිදුවූයේ කුමක්‌ද? මැයි දිනයදාට සිදුවන්නේ කුමක්‌ද? දේශපාලකයන් විසින් තම පිරිස්‌ බලය පෙන්වන 'ජවුසමක්‌' හෝ හුදු සම්ප්‍රදායානුකූල 'කතා පොළක්‌' මිස අද මෙරටට මැයි දිනයේ මොන අර්ථයක්‌ද?

මෙවර අප හොඳින්ම දුටුවේ කොළඹ මැයි දිනයයි. සුපුරුදු පරිදි ආණ්‌ඩු පක්‍ෂය විසින් ලංගම බස්‌ සියල්ලම පෙර සඳහන් කළ ආකාරයේ 'එක්‌ දින කම්කරු සත්වයින්' පටවා කොළඹට දැක්‌වීය. ඒ අතර පෞද්ගලික බස්‌රථද විය. සෙසු පෞද්ගලික බස්‌ වලින් බහුතරය විපක්‍ෂය විසින් කුළියට ගෙන තිබිණි. සාමාන්‍ය පොදු ප්‍රවාහනය පිණිස මාර්ගවල බස්‌ රථ අවම විය. තමන්ගේ පාරේ දිවෙන එකම ලංගමයද එදාට පෙළපාලි ගොස්‌ තිබීම නිසා එවැනි ගම්වල වැසියන් අනාථ විය. සාමාන්‍ය මගී ජනයා එලෙස නන්නත්තාරවද්දී මැයි පෙළපාලි වලට පිරිස්‌ දැක්‌වූ බස්‌ රථ සියලලේමපාහේ අසුන් ගණනටවත් සෙනඟ නොසිටියේය. මෙවැනි බස්‌ සියගණනක්‌ කොළඹට ඇදෙනු අපි දුටිමු. මේ බස්‌රථයක්‌ වෙනුවෙන් දැවෙන සෑම ඉන්ධන බිඳුවක්‌ම මෙරටින් පිටරටට ඇදී යන මුදලක්‌ නොවේද? රථයක ක්‍ෂයවෙන (ගෙවෙන) සෑම කොටසක්‌ම පිටරටට ඇදී යන මුදලක්‌ නොවේද? ඒ සියලු වැය ප්‍රමාණ කළේනම් කොපමණක්‌ද? මේ මොන අපරාද වියදමක්‌ද? එහෙන් රුපියල බැස ඇත. මෙහෙන් තෙල් මිල නැග ඇත. රුපියල බාල්දුවීමෙන් ආනයන වියදම අධික වී ඇත. එවන් මොහොතක සියලු නාස්‌ති නවතා මේ ආර්ථික අභියෝගයන්ට මුහුණදීම පිණිස රටම ඒකරාශී විය යුතු අවස්‌ථාවක්‌ පැමිණ ඇත. ඒ සඳහා දැවැන්ත ආකල්පය වෙනසක්‌ අවශ්‍යය. එම ආකල්පමය වෙනස ඇති කිරීම පිණිස ආණ්‌ඩුවක්‌ වශයෙන් අතිශයින් වටිනා ආදර්ශයක්‌ දිය හැකිව තිබූ අවස්‌ථාවක්‌ පාලකයන් විසින් මඟහැරි බව අපේ අදහසයි.

ඒ විතරක්‌ද මේ 'කුණ්‌ඩවාල' සංවිධාන කරන ඇත්තන් එදා දවසේ සාමාන්‍ය ජනතාවගෙන් ඇසූ බැණුම් කන්දරාව කොතෙක්‌දැයි ඔවුන් දන්නවා ඇත්ද? නොදන්නවා නම් දැනගැනීම පිණිස මෙසේ ලියමු.

එදින ගමට ඇති එකම බසයද ගමේ 'එක්‌දින කම්කරු සත්වයන්' රැළ පටවාගෙන කොළඹ ගොසිනි. උණට බේත් උගුරක්‌ ගැනීමට ඉස්‌පිරිතාලය වෙත යැමට පැමිණි අසරණයා බසය නැතිව කම්බස්‌ය. ලොක්‌කන් ගමේ බසය රැගෙන පෙළපාලි යද්දී එවැනි අසරණ ඇත්තන් පාද යාත්‍රාවෙන් තම ගමන ගියේය. නිකම් නොව ඒ අතරතුර අර ලොක්‌කාටද අමතක ඒකාගේ මෑණියන්දෑව මතක්‌ කරමිනි.

කොළඹට ඇතුළුවීමට පැමිණි බස්‌ රථ කන්දරාවත් කොළඹ මාර්ග කිහිපයක්‌ පෙළපාලි වෙනුවෙන් වසාදැමීමත් නිසා සමහර ස්‌ථාන වල උග්‍ර මාර්ග තදබදයක්‌ ඇතිවිය. කොළඹ මහ රෝහලේ සිටින තම ඥාතියාව බැලීමට නිවාඩු දිනයේ දුර බැහැර සිට පැමිණි අයෙක්‌ අලුත් පාලම උඩ මේ වාහන තදබදයට හසුව, රෝගීන් බැලීමේ වේලාව ගෙවීයන තුරුම කැලණි ගඟ ඉහත්තාවේ 'සිරගත' විය. එවන් මොහොතක මේ රැළි කැඳවූ ලොක්‌කෙකු හසුවී නම් ඔහු විසින් ඒ උන්දෑව කුදලා කැලණි ගඟට අතහරිනු නියතය.

කොළඹ මාර්ග කිහිපයක්‌ මැයි පෙළපාලි වෙනුවෙන් වසාදැමීම හේතුවෙන් පෞද්ගලික ගමන් යැමට පැමිණි පිරිස්‌ (විශේෂයෙන්ම කොළඹ මාර්ග ගැන දැනුම අඩු උදවිය) වලට වම දකුණ මාරු විය. ඔවුන්ද වචනයෙන් මෙන්ම සිතින්ද 'නොදකින්' කීවා හැරුණු විට අමතකවීමකින් හෝ 'අගෙයි' කියා නොකීවේය.

මේ නාස්‌තිය, මේ රස්‌තියාදුව දුටු, අත්දුටු මිනිසුන් තුළ උපන් ද්වේශය, ඔවුන් නැගූ දොස්‌, මේ මෝඩ චූන් රැළි කාරයන්ට වස්‌ කවියක්‌, ශාපයක්‌ වනවා මිස සෙතක්‌,ශාන්තියක්‌ නම් නොවන බව ලෝක දහමට අනුකූල සත්‍යයකි. (මේ සටහන දැක හෝ එය තේරුම් ගැනීමට නොහැක්‌කා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'අපතයෙකි' )

මේ මැයි දිනයේ දුටු තවත් විකාර, විහිළු කතන්දර ගොඩකි. මැයි පෙළපාලි පිණිස පැමිණෙන 'අමුතු කම්කරු සත්වයන්' සියලුදෙනාම පාහේ තම දේශපාලන හාම්පුතා විසින් සැපයූ ටී-ෂර්ට්‌ ඇඳ සිටියේය. ඒ හැම ටී-ෂර්ටයකම මුද්‍රණය වී තිබුණේ එක්‌කෝ තම හාම්පුතාගේ නමය. නැතිනම් හාම්පුතාගේ බලප්‍රදේශයයි. මේ කොයිකෙනෙත් බල ලෝභීත්වයේ කෙළෙස්‌ කඳු වල තරම පෙනුනා මිස කම්කරුවකු, කම්කරුවකුගේ සුවඳ, කම්කරුවකුගේ අයිතිය නියෝජනය වුණා අපි නොදුටුවෙමු. මේ රැළ දක්‌වන්නා විහිළු සපයන අතර මේ රැළේ දැක්‌කෙන පිරිස්‌ මේ විකට ජවනිකාවේ නළුවෝ වෙති.

තවත් අපූරු විකට ජවනිකාවක්‌ අපි එදින රෑ බෝවූ විට දුටුවෙමු. කොළඹ නුවර පාරේ කැලණිය බුළුගහහන්දිය අසල සන්ධාන මැයි රැළිය අවසන් කර ඈත පළාත් වෙත යන බස්‌රථ මාර්ගයද අවහිර වනසේ නවතා තිබුණේ මේ රැළි වලට පැමිණෙන කම්කරු සත්වයන්ගේ 'දවසේ පොරොන්දුව' ඉටු කිරීම පිණිසය.

වෙනදා බස්‌ රියදුරන් මාර්ගය අවහිරවන සේ බසය නතර කළ විට පතුරු යන්නට බනින පොලිසිය මෙදා ඒ රියදුරන්ට කියන්නේ 'අනේ පොඩ්ඩක්‌ බස්‌ එක පාරේ අයිනට කරන්නකෝ' කියාය. එය අප දෑහින් දුටු දෙයක්‌ය. ඇමැතිගේ ගොට්‌ටන් කම්කරු දිනයට බලහත්කාරකම් කිරීමෙන් නොනැවතී 'අං පීදුනු' අයුරින් පාරේ ඩෙඟා නටන විට පොලිසිය සිය නඟුට පශ්චාත්භාගයේ සඟවාගෙන මෙලෙස උන්ට පින්සෙන්ඩු වනුයේ මෙය දේශපාලන නාඩගමක්‌ නිසා නොවේද? සැබෑම කම්කරුවෙකු බැරිකමකින් හෝ පොලිසිය ඉදිරියේ එවැනි දෙයක්‌ කළොත් පොලිසියේ රැස්‌ (පොට්‌) කොහොම වේවිද?

විහිළු එපමණක්‌ද?

මේ බස්‌ රථවලින් පැමිණි පිරිස්‌ වෙත අමු අමුවේම 'දවසේ පොරොන්දුව' ඉෂ්ඨ වී තිබිණි. උන් මග තොට ගමන්කරනා සැමටම පෙනෙන පරිදි ලොක්‌කන් මෙන් බෝතල් ගසති. එයට මොහොතකට පෙර තමන් කොඩි, බැනර, පෝස්‌ටර රැගෙන ජයවේවා කියා කියු පක්‍ෂයේ කයිවාරුව 'මතට තිතය'. කියන විට එහෙමය. කරන විට මෙහෙමය. මුන්ට අරක්‌කු සපයන්නේ උන්ගේ දේශපාලන හාම්පුතාය. ඒ දේශපාලන හාම්පුතාට මේ අරක්‌කු වියදම ලැබෙන්නේ එක්‌කෝ ඒකා 'ගම විකුණා' ගන්නා මුදලින් හෝ ඒකාගේ දොළපිදේනියක්‌ බලාගෙන සිටින මුදලාලිsකෙනෙකුගෙනි. අන්තිමේදී තමන්ගේම ගම හෝ තමන්ගේම රට හෙවත් තමන්වම විකුණා ලැබෙන මුදලින් මේ මෝඩරැළ මත්ව රඟති. අවසානයේ කම්කරු දිනයේ වැඩිම ලාභය මත්වතුර සමාගම් වෙතය.

සැබෑ කම්කරුවාට තේ වතුරවත් නොමැත. ඒ මිනිසා එදාටද කුළියක්‌ සොයා ගෙන ගොස්‌ මහමග මියයයි.

ගමේ ඩෝප් සරාට අරක්‌කු උගුරක්‌ ලැබීම, අසවල් ගම්තුලානේ මහතුන් අයියා කොලොම්තොට බලාගැනීම, කලකින් යාපනයේ නොගිය දයාවතී නැන්දා යාපනේ 'ටි්‍රප් එකක්‌' යැම හැර මෙම මැයි රැළිවලින් සිදුවූ යමක්‌ වේද? හැකිනම් මෙම අභියෝගය පිළිගෙන මෙම මැයි පළමුවැනිදා කම්කරුවාට සිදුවූ එකදු හෝ සෙතක්‌ කියන්න?

මෙරට මැයි රැළි යනු සැබැවින්ම රැල්ලකි. රැල්ලට කරන දෙයකි. එය හුදු 'උණක්‌' මිස 'පිළියමක්‌' නොවේ. කිසිදු කම්කරු ප්‍රශ්නයකට මේ මැයි රැළිවලින් පිළියම් නැත. මැයි රැළි පවත්වන්නේ තම පක්‍ෂයේ පිරිස්‌ බලය පෙන්වන්නට මිස අන් කෙවතකටද? ඒ පිරිස්‌ බලය ආණ්‌ඩු බලයක්‌ වූ දාට කම්කරු ඉල්ලීම් ඉදිරියට වෙඩි උණ්‌ඩ, රබර් උණ්‌ඩ, ජය ප්‍රහාර වෙමින් ඒ බලය කම්කරුවා ඉදිරියටම ගමන් කරයි. එහෙත් මේ ලැ-ජාවක්‌, ආත්මයක්‌, මොළයක්‌ නැති මිනිසුන් මේ කාලකණ්‌නි, රැවටිලිසහගත ක්‍රමවේදයටම 'ජයවේවා' කියති.

ඉකුත් මැයි පළමුවැනිදා මේ විකාරය දුටු එක්‌ මිනිසකු මෙසේ කීවේය.

'මුන් මේ නිස්‌කාරනේ වියදම් කරන සල්ලි ටික එකතු කළොත් කම්කරුවා වෙනුවෙන් මොනවා කරන්න බැරිද?'

එය 'මසුරන්' කියුමකි. දේශපාලකයාට සැබැවින්ම කම්කරුවා වෙනුවෙන් පෙනී සිටීමට උවමනාවක්‌ තිබේනම් ලබන වසරේ සිටම මෙසේ කරන්න. නාස්‌තිකාර රැල්ල නවතා ඒ වෙනුවෙන් වියදම් කිරීමට නියමිත මුදල (පදනමක්‌ පිහිටුවා) කම්කරුවන් වෙනුවෙන් බැර කරන්න. අවශ්‍යනම් ඒ පදනමට (කම්කරු දිනයදා කම්කරු රැකියාවට යනවිට මහ මග මරු දුටු) 'ආරියවතී - ඇසිලින්' පදනම ලෙසින් මේ රටේ සැබෑම කම්කරුවාව නියෝජනය වන නමක්‌ යෙදිය හැක.

කම්කරු දිනය පක්‍ෂයක්‌ ලෙසින් සැමරිය යුතුම නම් කම්කරුවා වෙනුවෙන් එම වසරේ තමන්ගේ පක්‍ෂයේ ක්‍රියාත්මකවීම, සැලසුම්, යෝජනා සියල්ල මාධ්‍ය නිවේදනයකින් රටටම කියන්න. ඒ මදැයි?

ඉන්ද්‍රජිත් සුබසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.