සමනල කන්දට උඩින් ගිහින්
ශ්‍රී පාදය වැඳල බහින්න පුළුවන්


දැන් ශ්‍රීපාද වන්දනා සමය අවසන් වී ඇත. හැම වසරකම උඳුවප් මාසේ පුර පසළොස්‌වක පෝය දිනෙන් පටන් ගෙන ඊළඟ වසරේ වෙසක්‌ පෝයෙන් අවසන් වන මාස 6 තුළ දිවයිනේ මෙන්ම අනිකුත් රටවල බෞද්ධ බැතිමතුන් මෙන්ම සංචාරකයන්ද මෙහි පැමිණ වන්දනා මාන කිරීම මෙන්ම පරිසර අසිරිය විඳ ගැනීමට යන ස්‌ථානයක්‌ ලෙස ශ්‍රී පාදය ගෞරවයට පාත්‍ර වී ඇත.

ශ්‍රී පාදස්‌ථානයේ පිහිටීම අනුව අනිකුත් කාල සීමාවල වැස්‌ස හා සුළඟ අධික වීම නිසා ගමන අපහසුවත් අනිකුත් පහසුකම් ලබාගැනීමේ දුෂ්කරතාවත් නිසා එම කාලසීමාව තුළ ශ්‍රීපාද කන්ද තරණය සවි ශක්‌තිමත් තරුණයන්ට පවා අවදානමකින් යුක්‌ත වීම නිසා එම ගමන යැමට මැලිවේ. මේ නිසා කාලගුණ යෝග්‍යතාවද සැලකිල්ලට ගෙන ඓතිහාසිකව මෙම ශ්‍රී පාද වන්දනා සමය ඉතා යෝග්‍ය කාලයක්‌ ලෙස සලකා පුද පූජා පැවැත්වීමටත් සමන් දෙව් පිළිරුව වැඩම කිරීමේ හා උත්සව කාලයෙන් පසුව නැවත රත්නපුර සමන් දේවාලය වෙත පිළිරුව වැඩම කිරීමේ පෙරහැර කටයුතුද සංවිධානය වී ඇත. මෙම කාලසීමාව තුළ දහස්‌ සංඛ්‍යාත බෞද්ධ මෙන්ම අන්‍යාගමික බැතිමත්හුද ශ්‍රී පාදස්‌ථානය වැඳපුදාගැනීම සිදු කරනු ලබති.

ශ්‍රී දළදා මාළිගාව මෙන්ම ශ්‍රී පාදස්‌ථානයද රජුගේ අවධානය ඇතිව පුද පූජා පැවැත්වීම සිදුව ඇති බව පෙනී යයි. ඒ අනුව ශ්‍රී පාදස්‌ථානය නඩත්තුව හා වන්දනාමාන කරන ජනතාවට පහසුකම් සැලසීම සඳහා රජයෙන් වාර්ෂිකව විශාල මුදලක්‌ වැය කොට විශ්‍රාම ශාලා නඩත්තුව, සෞඛ්‍ය පහසුකම් ලබාදීම මාර්ග පහසුව සඳහා පඩි පෙළවල් හා නවාතැන් පොළවල්, ගමනාගමනය පහසුවන පිණිස හොඳින් තනා සකස්‌ කොට විදුලි පහන් ආලෝකය ලබාදීම හා පානීය ජලය ලබාදීම ආදී සේවාවන්ද කරනු ලබයි. එසේම ශ්‍රී පාදස්‌ථානය වැඳ පුදා ගන්නා බැතිමතුන්ට ගමන් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා වර්තමාන රජයේ අවධානය යොමුව ඇත. 2005 දී එවකට බුද්ධ ශාසන අමාත්‍ය හා අග්‍රාමාත්‍යතුමා ලෙස රත්නසිරි වික්‍රමනායක මහතා අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවක්‌ මඟින් කේබල් කාර් පහසුකම් ලබාදීම සඳහා ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ගන්නා ලදී. එහෙත් මෑතක්‌ වන තෙක්‌ එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති අතර වර්තමානයේ ජනාධිපතිතුමාගේ අවධානය අනුව මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව උනන්දුව වැඩිවී ඇත. මෙම පහසුකම් වැඩිදියුණු කිරීම මගින් ඇතිවන ආර්ථික හා සමාජයීය ඵලදායීතාව ගැන සොයා බැලිය යුතුය.

ලංකාවේ සුන්දරත්වය අනුව සංචාරකයන් ඇද ගැනීමට සමත් වුවත් වසර 30 ක කාලයක පැවති ජනවාර්ගික අර්බුද ගැටුම් නිසා යුරෝපා රටවල සංචාරකයන්ට ඒ රටවලින් ලැබෙන උපදෙස්‌ අනුව ඔවුහු ලංකාවේ සංචාරයට මැලිකමක්‌ දක්‌වති. එහෙත් ඉන්දියාව, මියන්මාරය, බංගලිදේශය, තායිලන්තය, චීනය හා ජපානය යන ආසියා රටවල විශේෂයෙන් බෞද්ධ ජනතාව ශ්‍රී ලංකාවේ සංචාරයට කැමැත්තක්‌ දක්‌වන අතර ඔවුනට අවශ්‍ය මූලික පහසුකම් නවාතැන් හා ප්‍රවාහන පහසුකම් සංවිධානය කිරීම අවශ්‍යය. සංචාරක අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සකස්‌ කිරීම පිළිබඳ ප්‍රකාශයට අනුව ලංකාවේ බෞද්ධ ජනතාවට විදේශීය රටවල සංචාරක පහසුකම් ලබාදීමේ ඉඩකඩ ගැන බැලීම සඳහා පත්කළ කමිටු නිර්දේශයන් අනුව ස්‌වදේශිකයන්ට පිටරට සංචාරය සඳහා පහසුකම් සලසනු විනා විදේශිකයන්ට මෙහි සංචාරය සඳහා ඇති ඉඩ කඩ සැලසීම පිළිබඳ අඩු අවධානයක්‌ ඇති බව පෙනී යයි. අඩුම වශයෙන් විදේශීය සංචාරකයන් දශ ලක්‍ෂයක්‌ පමණ ලංකාවේ සංචාරය කළ හොත් එයින් ඇතිවන විදේශීය විනිමය ඉපැයීම හා දේශීය ජනතාවගේ ආදායම් වර්ධනය සඳහා සේවා සැපයීම හා නිෂ්පාදන අලෙවිය තුළින් ලබාගත හැකි ආර්ථික හා සමාජමය ප්‍රතිලාභ ගැන සොයා බැලීම වැදගත්ය. එමෙන්ම සේවා නියුක්‌තිය අතින් දැනට රැකියා අපේක්‍ෂිත බුද්ධිමත් තරුණ පුහුණු ශ්‍රමිකයන් මෙන්ම ග්‍රාමීය රැකියා විරහිත අයට රැකියාවන් සැපයීම පිළිබඳව සලකා බලා කටයුතු කළ යුතුව ඇත. ඉහත සඳහන් කළ රටවල බෞදAධ බැතිමතුන් විශේෂයෙන්ම වයෝවෘද්ධ බැතිමතුන් ලංකාව වැනි රටවල බෞද්ධ සිද්ධස්‌ථාන වැඳපුදා ගැනීම සඳහා කැමැත්තෙන් සිටිති. එමෙන්ම ඔවුන් අත ඉතිරි කරගත් තැන්පත් ධනයක්‌ද ඇත. ශ්‍රී දළදා මාලිගාවට තායිලන්තයෙන් රන් කරඬුවක්‌ පූජා කළ අවස්‌ථාවේ එහි පැමිණි බැතිමතුන් තම කණ කර ආභරණ හා මුදල් පවා පූජා කළ ආකාරයෙන් ඔවුන්ගේ භක්‌තිය පිළිබිඹු වේ. මෙවැනි අය විශාල සංඛ්‍යාවක්‌ තමනට අවස්‌ථාව නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටී. තම මහලු භාවය නිසා ශ්‍රී පාදස්‌ථානය වැඳ පුදා ගැනීමට නොහැකිව සිටින අතර ඒ සඳහා වියදම් කිරීමට කිසිදු මැලිකමක්‌ නොදක්‌වන බව ඉහත උදාහරණයෙන් පෙන්වා දිය හැකිය.

ශ්‍රීපාදය සඳහා එබඳු කේබල් කාර් ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමේදී ඒ නිසා දේපළ හෝ රැකියා අහිමිවන අයගෙන් විරුද්ධතාවන් එල්ල වේ. බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා හා බෞද්ධ ජනතාවගෙන් පරිසරවේදීන්ගෙන් විරුද්ධතාවන් ඉදිරිපත් විය හැකිය. මෙම විරෝධතා සැලකිල්ලට ගෙන ආගමට හා පරිසරයට සිදුවිය හැකි හානි පිළිබඳව ඉහත පාර්ශ්වයන් ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගෙන ව්‍යාපෘති වාර්තාව සකස්‌ කළ යුතුය. එසේ වූ විට ගැටලුවකින් තොරව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකිවනු ඇත. මේ සඳහා මෙම පාර්ශ්වයන් දැනුවත් කිරීමට පුළුල් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුය.

නේපාලයේ මනකම්මන හින්දු දේවස්‌ථානයේ දැනට සාර්ථක අන්දමින් පවත්වා ගෙන යන කෙබල් කාර් ව්‍යාපෘතිය ආදර්ශයට ගනිමින් එහි අඩුපාඩු හා දුර්වල තැන් ගැන අවබෝධයෙන් යුතුව කුඩා ප්‍රමාණයේ (4 - 6 දක්‌වා යා හැකි) කාමර සහිත කේබල් වාහන යෙදවීම මඟින් නිරන්තර ගමනා ගමන පහසුකම් ලබාදීම කළ හැකිය. ළඟාවීමට ඇති මාර්ග දෙකෙන් වඩාත් ආර්ථික ඵලදායිතාවයෙන් යුත් මාර්ගය තෝරා අඩුම දුරකින් හා අඩුම වියදමකින් තැනීම් කටයුතු නිමකර මහජනයාගේ ප්‍රයෝජනය සඳහා පවරා දීම උචිතය.

මෙම ව්‍යාපෘතියට අවශ්‍ය වන ප්‍රාග්ධනය ලබාගැනීමට දේශීය හා විදේශීය ආයෝජකයන් උනන්දු කරවීම සඳහා බදු සහන, යන්ත්‍ර සූත්‍ර ආනයනයට පහසුකම් හා තැනීම් නිමවා ක්‍රියාත්මක කිරීමෙන් පසු රජයට පැවරීමේ පදනම යටතේ  තැනීමට ගිවිසුම් ගත විය යුතුය. එමෙන්ම දේශීය ආයෝජකයන්ද උනන්දු කරවීමට විදේශීය ආයෝජකයන් සමඟ බද්ධ ව්‍යාපාර පිහිටුවීම උනන්දු කළ යුතුය. (දැනටමත් මේ පිළිබඳව දේශීය හා විදේශීය ආයෝජකයන් කැමැත්ත පල කර ඇත.) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉඩම් ලබාගැනීමේදී හැකිතාක්‌ දුරට කැලෑ ඉඩම් විනාශ වන්නට නොදී ඒවා ආරක්‍ෂා කරමින් රැහැන් ඇදීම කළ යුතුය. එමෙන්ම පුද්ගලික ඉඩම් අත්පත් කර ගැනීමට සිදුවුවහොත් ඒවාට නොපමාව වන්දි මුදල් ලබාදිය යුතුය. පරිසරය ආරක්‍ෂා වන පරිදි හා දැනට ඇති අලංකාරයට හානි නොවන පරිදි තැනීම් කටයුතු කළ යුතුය.

මහගිරි දඹ දක්‌වා සාමාන්‍ය බෑවුම් හා නැඟීම් අනුවත් නිම්න හා කඳු මුදුන් ඔස්‌සේද ගමන් කරන්නන්ට විඩාවක්‌ ඇති නොවන පරිදි ගමන් කිරීමට පහසුකම් සලසාදිය යුතුය. මහගිරි දඹ සිට මහමළුව දක්‌වා අත්තෝලකයක්‌ (ඔසවනයක්‌) මඟින් ඉහළට යැමටද අවශ්‍ය පරිදි තැනීම් සකස්‌ විය යුතුය. එහි මහජනයාට නැවතී සිටීම සඳහා වේදිකාවක්‌ සකස්‌ විය යුතුය. මෙවැනිම වේදිකාවන් මහමළුවට පහළින්ද ඉදිවිය යුතුය. මෙතැන් සිට උඩමළුව පා ගමනින් යැමට පහසුකම් සලසා දිය යුතුය. මෙම වේදිකාවන් ඉදිකිරීමේදී උඩමළුවේ අලංකාරයට අවහිරයක්‌ නොවිය යුතුය.

ඉදිරියේදී ක්‍රියාත්මක වන මත්තල අන්තර් ජාතික ගුවන් තොටුපළේ සිට ශ්‍රී පාදස්‌ථානයට යන විදේශ සංචාරකයන්ට මෙන්ම දේශීය සංචාරකයන්ටද පහසු වන ගුවන්තොටුපළක්‌ හැටන් හෝ ආසන්න ප්‍රදේශයක පිහිටු විය යුතුය.

ඩී. ඩබ්ලිව්. අබේවික්‍රම

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.