මුහුද මොටද අල්ලන්නට බැරි මාළු

ශ්‍රීලාංකික ධීවරයන් විසි හය දෙනකු සමඟ බෝට්‌ටු පහක්‌, ඉන්දීය වෙරළාරක්‍ෂිත හමුදාව විසින් පසුගිය සතියේදී අත්අඩංගුවට ගනු ලැබීය. දිගින් දිගටම ඉන්දීය අත්අඩංගුවට පත්වීමේ අවදානමට ශ්‍රී ලංකාවේ ධීවරයා නතුවීමත් සමග ධීවර රැකියාවට ආවේණික වූ සයුරෙන් තිබෙන අවදානමට අමතරව, සිපිරි ගෙට ගාල් වීමේ අවදානමකටද අපේ ධීවරයා ලක්‌වී සිටියි. බත් පතේ තිබෙන මාළු කෑල්ල, මෙතරම් අවදානමක්‌ ඉසිලීමේ අවසාන ඵලය නම්, රටේ ධීවර කර්මාන්තයේ කොතැනක හෝ වැරැද්දක්‌ තිබිය යුතුමය. ඒ වැරැද්දට පිළියම් නොකරනතාක්‌ කල් ධීවරයන් අත්අඩංගුවට පත්වී, ඇමැතිවරයාට හා ආණ්‌ඩුවට බැන වැදීමත්, අනුන්ගේ වතුවල පොල් කඩන්න ගියාම ඕක තමයි වෙන්නේ යෑයි කියමින් ඇමැතිවරයා විසින් ධීවරයාට දෝෂාරෝපණය කිරීමත් අතර ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ අනාගතය දියත් වනු ඇත. රටට අවශ්‍ය වී ඇත්තේ දෙපිල බෙදී එකිනෙකාට දොස්‌ තබන මට්‌ටමේ ධීවර කඹ ඇදිල්ලක්‌ නොව සැලසුමකට අනුකූලව දියත්වන ධීවර කර්මාන්තයකි.

ධීවර කර්මාන්තයේ ගැටලු බොහෝමයක්‌ තිබෙනවා විය හැකිය. ධීවරයන්ගේ නිවාස ප්‍රශ්නය, මාළු වෙළෙඳපොළේදී අතරමැදියා තබා ගන්නා ලාභ තීරුවේ ප්‍රමාණය, ධීවර ක්‍ෂේත්‍රයේ ඵලදායිතාව ආදී සමහර ප්‍රශ්න තුළින් ධීවර කර්මාන්තය බරපතල අර්බුදයකට ඇදී යන්නේ නැත. ඒවා දේශපාලන හයියකින් යුත් ආකෘතියක්‌ මගින් වුවද විස¹ ගත හැකි ඒවාය. නමුත් අපේ ධීවරයා එතෙර වෙරළ තීරයේ මාළු ඇල්ලීම පිණිස යැම පිටුපස ඇති තත්ත්වය එවැනි ගණයේ ප්‍රශ්නයක්‌ නොවේ. පසුගිය කාලය පුරා ධීවරයන් එතෙරදී අත්අඩංගුවට පත්වූ ආකාරය දෙස බලන විට පෙන්නුම් වන්නේ, ලංකාවේ ධීවර කර්මාන්තය අර්බුදකාරී තලයකට පැමිණෙමින් සිටින බවය. 2008 වසරේදී යාත්‍රා 105 ක්‌ සමග ධීවරයෝ 547 ක්‌ ද, 2009 දී යාත්‍රා 170 ක්‌ හා ධීවරයෝ 774 ක්‌ ද, 2010 දී යාත්‍රා 375 ක්‌ හා ධීවරයෝ 67 ක්‌ද 2011 ක්‌ද යාත්‍රා 34 ක්‌ හා ධීවරයෝ 168 ක්‌ ද ලෙස, ශ්‍රී ලංකාවේ ධීවරයන් හා යාත්‍රා එතෙරදී අත්අඩංගුවට පත් වූහ. 2012 වසරේ මේ වනවිට යාත්‍රා 10 ක්‌ හා ධීවරයෝ 48 ක්‌ ද එසේ අත්අඩංගුවට පත් වූහ. 2010 සිට මේ දක්‌වා අත්අඩංගුවට පත්වී සිටින ධීවරයන් එක්‌ අයෙකු මත්ද්‍රව්‍ය රැගෙන යැමේ චෝදනාවට වැරැදිකරු වී ඇති අතර ඔහු හැර අන් සියලු දෙනාම මුදා ගන්නට රජය සමත් වී තිබේ. ඉන්දියාවේ ඔරිස්‌සා ප්‍රාන්තයේදී අත්අඩංගුවට පත්වූ යාත්‍රා හයක්‌ එහිදී රාජසන්තක වූ අතර ඒ හැර අන් සියලුම යාත්‍රා මුදා ගන්නටද සමත්වී තිබේ.

මෙම කටයුතු සඳහා ධීවර අමාත්‍යාංශය වැය කර ඇති මුදල රුපියල් මිලියන 12 ක්‌ ඉක්‌මවා තිබේ. සාපේක්‍ෂ ලෙස බැලුවහොත් සමස්‌ත ධීවර ගහනයට සාපේක්‍ෂව මෙය එතරම් ගැටලුවක්‌ නොවන බවද සිතිය හැකිය. 2004 සුනාමි ව්‍යසනයෙන් පසුව ලබාගෙන ඇති දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා 3150 ක්‌ තිබේ. මිරිදිය ධීවර යාත්‍රා ද ඇතුළුව මුළු යාත්‍රා ප්‍රමාණය 38520 කි. පවතින සංඛ්‍යාලේඛන අනුව රටේ සක්‍රීය ධීවරයන් සංඛ්‍යාව 1,66,460 ක්‌ පමණ වේ. සෘජු හා වක්‍ර ලෙස ධීවර කර්මාන්තය ජීවනෝපාය කරගත් පිරිස හාරලක්‍ෂ හැත්තෑ පන්දහසක්‌ පමණ වේ. මෙම ප්‍රමාණයත් සමග බලන විට එතෙරදී අත්අඩංගුවට පත්වන ධීවරයන් සංඛ්‍යාව ප්‍රමාණයෙන් සුළු වුවත් ඔවුන් අත්අඩංගුවට පත්වන හේතුව, ධීවර කර්මාන්තයේ අනාගතය සමඟ තිබෙන බැඳීම සුළුපටු නැත.



ජාත්‍යන්තර සමුද්‍ර නීතිය අනුව එක්‌ රටකට අනන්‍ය ආර්ථික කලාපයක්‌, තවත් රටක පිරිසක්‌ විසින් උල්ලංඝනය කිරීමේදී අත්අඩංගුවට ගන්නා යාත්‍රා හා එහි කාර්ය මණ්‌ඩලය සාධාරණ ඇපයක්‌ හෝ වෙනත් සුරැකුමක්‌ මත වහාම මුදා හැරිය යුතුය. නමුත් සමහර රටවල් ඒ සඳහා වන තමන්ගේ නීති අනුව ද ක්‍රියාත්මක වන තත්ත්වයක්‌ පෙන්වයි. මෙය ඉන්දියාවේදී තවත් විශේෂත්වයක්‌ උසුලයි. ඉන්දියාව මෙතැනදී තීරණ ගන්නේ, රටේ නීතිය අනුව පමණක්‌ නොව ඒ ඒ ප්‍රාන්තවල ද නීතිය අනුවය. ශ්‍රී ලංකාවේ ධීවරයන් තමිල්නාඩුවේදී අත්අඩංගුවට පත් වූ විට, තමිල්නාඩු ධීවර නියෝජිතයන්, පොලිසිය හා වෙරළ ආරක්‍ෂක බළකාය ඇතුළත් ඒකාබද්ධ විචාරක කමිටුවක්‌ වෙත ඉදිරිපත් කෙරේ. මේ සඳහා චෙන්නායි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයටද ආරාධනය කෙරේ. මෙම කමිටුව විසින් ධීවරයන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ධීවරයන් හා යාත්‍රා නිදහස්‌ කිරීම සඳහා නිර්දේශ ලබා දෙන අතර එය දිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතියට ලක්‌ කර ධීවරයෝ හා යාත්‍රා නිදහස්‌ වෙති. නමුත් ආන්ද්‍රd, ඔරිස්‌සා, කේරළ, අන්දමන් හා නිකෝබා දූපත් මෙවැනි සමථකරණ ක්‍රියාවලියකට යොමු නොවන අතර නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කර අධිකරණය හමුවට පමුණුවනු ලබයි. තමිල්නාඩුවේදී මසකින් නිමාවෙන ප්‍රශ්නය මෙම ප්‍රදේශවලදී නිමාවීමට මාස අටකට අධික කාලයක්‌ දක්‌වා කල් ගත වන්නේ ඒ අනුවය. නෛතික ක්‍රියාමාර්ග සඳහා යොමුවන විට උසාවිය මගින් ධීවර කාර්මිකයන් හට දඩ මුදල් නියම වේ. ඒවා යාත්‍රා හිමිකරුගෙන් හෝ ධීවරයාගේ පාර්ශ්වයෙන් ගෙවිය යුතුය. ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තෙක්‌ වන අනෙකුත් සියලුම වියදම් දරනු ලබන්නේ ධීවර අමාත්‍යාංශය මගිනි. මෙම සංකීර්ණ ක්‍රියාදාමයෙන් පසු වුවද ඔරිස්‌සා වැනි ප්‍රාන්තවල නීතිය අනුව මුහුදු යාත්‍රා රාජසන්තක වන අතර යළි අපේ ධීවරයාට හිමි නොවේ.

ප්‍රශ්නය මතුපිටින් ගතහොත් මේ උපද්‍රවයට හේතුව ලෙස, අපේ ධීවරයා පිටස්‌තර සමුද්‍ර කලාපවලට පිවිසීම සඳහන් කළ හැකිය. එය සිදුවන්නේ ධීවරයන්ගේ නොදැනුවත් කමින්ද නොවේ. භාවිතයේ පවතින බහුදින යාත්‍රාවක්‌ සතුව ජී. පී. එස්‌. උපකරණ ඇතුළු මුහුදු සීමාව පිළිබඳව පැහැදිලි දත්ත ලබා ගත හැකි තාක්‍ෂණික උපකරණ තිබේ. එසේම මේ පිළිබඳ ධීවර අමාත්‍යාංශය ද අවශ්‍ය පමණින් දැනුවත් කිරීම් කර තිබේ. එසේ වුවත් අපේ ධීවරයන් විශාල පිරිසක්‌ එතෙර මුහුදු සීමාවන්ට ඇතුල් වී ඒවායේ වෙරළාසන්න කලාපයේ පවා ධීවර කටයුතුවල නියෑලීම සුලබ දෙයක්‌ වී තිබේ. එම රටවල් මගින් අත්අඩංගුවට ගන්නේ සුළු ප්‍රමාණයක්‌ වුවත් හසු නොවී විශාල ශ්‍රී ලාංකික ධීවරයෝ පිරිසක්‌ වෙනත් රටවල සමුද්‍ර කලාපයේ ධීවර කටයුතුවල නියෑලීS සිටිති.

"ශ්‍රී ලංකාව වටේම මුහුද. එහි මසුන් ඕනෑ තරම්" යන මතයක්‌ එදිනෙදා භාවිතයේ පැවැතියත් කර්මාන්තයක්‌ ලෙස ධීවර ක්‍ෂේත්‍රය ගෙන යැම සඳහා අවශ්‍ය තරමේ මත්ස්‍ය බහුල කලාප ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ඇත්තේ සීමිත ප්‍රමාණයකි. මත්ස්‍යයන් බහුල ලෙස සිටින කලාප පිළිබඳව ධීවරයා දැනුවත් කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් නියෝජිත ආයතනය විසින් වරින්වර වාර්තා නිකුත් කරනු ලබයි. පසුගිය අප්‍රේල් මස 30 වැනිදා නිකුත් කළ එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ එවැනි මත්ස්‍ය කලාප පිහිටා ඇත්තේ හතක්‌ පමණකි. ඒවාද විශාල මත්ස්‍ය කලාප නොවේ.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසු ධීවර කර්මාන්තය සඳහා රටට යළිත් උතුර හා නැගෙනහිර මුහුදු තීරය හිමි විය. එසේම ත්‍රස්‌තවාදය හේතුවෙන් ධීවර කර්මාන්තයේ නොනියෑලුණු විශාල පිරිසක්‌ද සමුදුරට පිවිසියෝය. නමුත් රටට අයත් මුහුදු සීමාවේ මත්ස්‍යයන් බහුල කලාප අලුතෙන් බිහි වුයේa නැත. මත්ස්‍ය සම්පත් අසීමිතව පවතින්නක්‌ නොවේ. ප්‍රායෝගික තත්ත්වය අනුව මත්ස්‍යයන් බහුල කලාප අලුතෙන් ඇති කිරීම අපහසු කාරණයකි. මත්ස්‍ය සම්පත අවභාවිතයෙන් වලකාලීම එහි වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. මුහුදු පතුලේ දැල් භාවිතය, ඩයිනමයිට්‌ පිපිරවීම හා තංගුස්‌ දැල් භාවිතය වැනි ක්‍රමවේද තුලින් මත්ස්‍ය සම්පතටද රන් බිජු දමනා කිකිළිය මරා බිත්තර සියල්ල ගැනීමට යැම වැනි තත්ත්වයක්‌ උදා කිරීමකි. 2011 වසරේදී මෙවැනි, මසුන් අවභාවිතය නීතියෙන් වලක්‌වාලන්නට රජය කටයුතු කළේය. එය ධීවර කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා රජය දැරූ හිතකර ප්‍රයත්නයකි. මසුන්ගේ වර්ධනය සඳහා ඉන්දියාව වැනි රටවල්, වසරේ එක්‌ මාසයකදී මුහුදු යැම සම්පූර්ණයෙන්ම නතර කරනු ලබයි. මත්ස්‍ය බිත්තර සුරක්‍ෂිත වීමටත් පැටවුන්ට වර්ධනය වීමටත් මෙවැනි කාලයක්‌ මගින් හොඳ පිටුවහලක්‌ ලැබේ. මෙය ශ්‍රී ලංකාව තුළ ද එකවරම නොවූවත් කලාප බෙදා හෝ ඇති කරන්නේ නම් එවැනි හිතකර පරිසරයක්‌ අපේ මුහුදු කලාපය තුළ ද නිර්මාණය කර ගන්නට හැකි වනවා ඇත.

මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව 2011 වසරේදී රටේ සමස්‌ත මත්ස්‍ය නිෂ්පාදනය 15.6% කින් වර්ධනය වී තිබේ. කරදිය මත්ස්‍ය නිෂ්පාදනය 16% කින් වර්ධනය වී තිබේ. මෙවැනි වර්ධනයක්‌ රටේ ධීවර කර්මාන්තයට අවශ්‍ය වුවද පලදාව නෙළනා ක්‍රම හැරුණු විට මත්ස්‍ය සම්පත වැඩි දියුණු වන ක්‍රම ශ්‍රී ලංකාවේ කරදිය මත්ස්‍ය කර්මාන්තයේදී දක්‌නට නොලැබෙන තරම්ය.

මත්ස්‍ය සම්පත බහුල කලාප විශාල වශයෙන් ශ්‍රී ලංකාව සතුව නැති අතරේම, උතුරු පළාතේ ධීවරයා මුහුණදෙමින් සිටින්නේ වෙනත් ආකාරයේ ගැටලුවකටය. තමන්ට තිබෙන මත්ස්‍ය සම්පත ද තමිල්නාඩු ධීවරයා විසින් උදුරාගෙන යද්දී බලාගෙන සිටීමට ඔවුන්ට සිදුවී තිබේ. මෙම ආක්‍රමණය උතුරු පළාතට කෙතරම් දැඩි ප්‍රශ්නයක්‌ වී ඇත්දැයි කිවහොත්, බෝට්‌ටු 1000 කින් ධීවරයන් 5000 ක්‌ සමග තමිල්නාඩුවට ගොස්‌ මෙම ආක්‍රමණයට එරෙහිව සාමකාමී උද්ඝෝෂණයක්‌ පවත්වන බව අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්දා පවසා තිබුණි.

අපේ ධීවරයා වෙනත් රටක මුහුදකට ගොස්‌ අසුවුවහොත්, "අනුන්ගේ වතුවල පොල් කඩන්න ගියහම ඔහොම තමයි", ලෙස මෙරට ධීවර ඇමැතිවරයා ප්‍රකාශ කළ ද, තමිල්නාඩුq ධීවරයන් එවැනි තත්ත්වයකට පත් වුවහොත් ඉන්දීය බලධාරීන් දරන්නේ ඊට වඩා වෙනස්‌ම ආකල්පයකි.

තමිල්නාඩුවේ ධීවර ක්‍ෂේත්‍රය පුළුල් වූ ව්‍යාපාරික ජාලයකි. ධීවර බෝට්‌ටු විශාල ප්‍රමාණයක්‌ සහිත ධීවර ව්‍යාපාරිකයා, එක්‌කෝ දේශපාලනඥයෙකි. නැතහොත් දේශපාලනඥයාගේ කිට්‌ටුවන්තයෙකි. ඒ තුළ තමිල්නාඩු ධීවරයා වෙනුවෙන් දේශපාලන හයියක්‌ නිර්මාණය වී තිබේ. 2011 වසරේ ජනවාරි 12 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව, විසින් මරා දැමුවා යෑයි කියන තමිල්නාඩු ධීවරයාගේ මරණය සම්බන්ධයෙන් උද්ගත වූයේ එවැනි තත්ත්වයකි. ජනවාරි 27 වැනිදා එම සිද්ධියට විරෝධය පා තමිල්නාඩු ධීවරයෝ දහසක්‌ මහාමාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළෝය. ඉන්දීය මධ්‍යම රජය මෙය කොතරම් සැලකිල්ලට ගත්තා දැයි කිවහොත්, 29 වැනිදා මේ කාරණය වෙනුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාවෝ, ශ්‍රී ලංකා රජයට ඒ පිළිබඳව ඉන්දියාවේ අප්‍රසාදය පළ කළාය.

ඉන්දියාව මෙසේ බලය උපයෝගී කර ගැනීමෙන් අසරණ භාවයට පත්ව සිටින්නේ උතුරු පළාතේ සිටින දෙමළ ධීවරයන්ය. උතුරේ තත්ත්වය නිරීක්‍ෂණය සඳහා තමිල්නාඩුqවෙන් හා ඉන්දියාවෙන් නිරන්තරයෙන් නියෝජිත නඩ පැමිණේ. ඔවුන්ට උතුරේ දෙමළ ජනතාව ගැන ඇත්තේ පුදුමාකාර කැක්‌කුමකි. 13 හෝ 13 ප්ලස්‌ දී එම ජනතාව සනසන ලෙස ඔවුහු ශ්‍රී ලංකාවට කියති. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙසද කියති. නමුත් උතුරේ දෙමළ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට අසාධාරණයක්‌ වී ඇත්තේ තමිල්නාඩුවේ සිට පැමිණ අපේ මත්ස්‍ය සම්පත සූරාගෙන යන පිරිසකගෙනි. එතැනදී උතුරේ සිටින දෙමළ ජනතාව ගැන උණුවීමක්‌ තමිල්නාඩුවට හෝ ඉන්දියාවට නැත. ඉන්දීය මුහුදු සීමාවේ නොමැති ගල්මාළු, ශ්‍රී ලංකාවේ පරිභෝජනය නොකරන නමුත් එතෙරදී ජනප්‍රිය ආහාරයක්‌ වන මුහුදු කූඩැල්ලා වැනි මත්ස්‍යයන් සොයමින් උතුරු ධීවරයාගේ මුහුදු තීරය, තමිල්නාඩුව විසින් ආක්‍රමණය කරන්නේ හිතාමතාය. ඩෙල්µaට්‌ දූපත අසල තමිල්නාඩු ධීවර යාත්‍රා දෙතුන් දහසක්‌ බොහෝ දිනවල තිබේ. උතුරේ ධීවරයා එදාට කරන්නේ, මුහුදු නොගොස්‌, තම සම්පත තමිල්නාඩුවෙන් පැමිණ කොල්ල කන ආකාරය දෙස බලා සිටීමය. මෙම කොල්ලය සාධාරණය කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ධීවරයකු තමිල්නාඩු මුහුදේදී අත්අඩංගුවට පත් වුවහොත් ඔහු සිරගත නොකර, සමාදාන ක්‍රියාවලියකින් යළි එවීමේ උපක්‍රමයක්‌ තමිල්නාඩුව භාවිත කරනු ලබයි. එයට ශ්‍රී ලංකාව ප්‍රති උපකාර දක්‌වන්නේ ඉන්දියාවෙන් පැමිණෙන එක්‌ දුරකථන ඇමතුමකට, තමිල්නාඩු ධීවරයා නිදහස්‌ කිරීමෙනි.

තමිල්නාඩු ධීවරයන් විසින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු තීරය ආක්‍රමණය කිරීම නතර කළහොත් මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා වැදගත්ම සාධකයක්‌ බවට එය පත්වනු ඇත. අනෙක්‌ අතට එය ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද වැදගත්ය. තමිල්නාඩු ධීවර බෝට්‌ටු හරහා එල්. ටී. ටී. ඊ. යට අවශ්‍ය ආයුධ, බෙහෙත්, ආහාර ඇතුළු බොහෝ දේ උතුරට පැමිණියේය. රටට මත්ද්‍රව්‍ය පැමිණීමේ ප්‍රධාන ආකාරයක්‌ වී ඇත්තේ ද මෙසේ අනවසරයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන යාත්‍රාය. 2005 දී ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී මෙම ප්‍රශ්නය ගැන සංවේදී වෙමින් "ශ්‍රී ලංකා රජයේ අනුමැතිය නොමැතිව විදේශ ධීවර යාත්‍රා පැමිණ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මසුන් මැරීම වැළැක්‌වීමට පියවර ගන්නෙමි. - පිටුව 47 යනුවෙන් සඳහන් කර තිබේ. එම ප්‍රතිපත්තියට වසර හතක්‌ ගත වී ඇතත් එය තවම ක්‍රියාත්මක තලයට පැමිණ නැත. එයට හේතුව වී ඇත්තේ ඉන්දියාව හෝ තමිල්නාඩුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික අවුලක්‌ ඇතිවේ යෑයි ආණ්‌ඩුව බිය වීමය. තමිල්නාඩුව විසින් සිත්සේ අපේ මුහුදු තීරය ආක්‍රමණය කිරීමට ඔවුන්ගේ ධීවරයාට දී ඇත්තේ එවැනි අවුලක්‌ ගැන කිසි දෙයක්‌ නොසිතාය. ආක්‍රමණයකදී රාජ්‍ය තාන්ත්‍රික අවුලක්‌ ඇති කරන්නේ, ආක්‍රමණිකයා මිස එයට මුහුණ දෙන්නා නොවේ. මෙතැනදී සිදුවී ඇත්තේ ආක්‍රමණිකයා සිතු සේ හැසිරීමත් හානියට ලක්‌වන්නා රාජ්‍ය තාන්ත්‍රික භාවය සලකා ඔළුව නවාගෙන සිටීමත්ය.

මත්ස්‍යයන් බහුල කලාපවල සීමාසහිත භාවයත්, මත්ස්‍ය සම්පත වැඩි දියුණු කිරීම සඳහා පිළියම් නොයෙදීමත්, අපේ මත්ස්‍ය කලාප තමිල්නාඩුව අත්පත් කර ගෙන ඇති තත්ත්වයත් තුළ, අපේ ධීවරයා අවශ්‍යයෙන්ම යොමු කර ඇත්තේ තවත් මුහුදු සීමාවක්‌ වෙත යැමටය. එය නීති විරෝධී තත්ත්වයකි. මෙම ක්‍රියාව නිසා ජාත්‍යන්තරයට මසුන් විකිණීමේදී ශ්‍රී ලංකාවට ගැටලු පැනනඟිමින් තිබේ. අනවසරයෙන් අනුන්ගේ මුහුදු තීරවලදී අල්ලන මසුන් ජාත්‍යන්තර වෙළෙ¹මේදී සලකන්නේ හොර බඩු ලෙසය. හොර බඩුවලට නීත්‍යානුකූල තත්ත්වයක්‌ ලබාදීමට ජාත්‍යන්තර වෙළෙ¹මේදී ඉඩක්‌ නැත. දිගින් දිගටම අපේ ධීවරයන් එතෙර මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල යෙදුනහොත් අපේ ධීවර කර්මාන්තය රට තුළ වෙළෙ¹මකට පමණක්‌ සීමාවනු ඇත. මෙවැනි අවදානම් පවතින තත්ත්වයක්‌ තුළ අනවසරයෙන් එතෙර මුහුදේ යැම නතර කළ යුතු වුත් එය නතර නොවන හේතු ද විමසා පිළියම් යෙදිය යුතුය.

ධීවර කර්මාන්තය සඳහා රජය විසින් සහන රාශියක්‌ ලබාදී තිබේ. 2011 වසරේ අප්‍රේල් සිට ඇරඹෙන වසර පහක කාලයක්‌ සඳහා ධීවර කර්මාන්තය ආදායම් බද්දෙන් නිදහස්‌ කර තිබේ. 2011 ජනවාරි මස සිට ධීවර බෝට්‌ටු ලියාපදිංචි කිරීම හා බලපත්‍ර නිකුත් කිරීමේදී අය කළ ගාස්‌තුව ද ඉවත් කර තිබේ. ධීවර කර්මාන්තයට අවශ්‍ය වන පරිදි ණය ව්‍යාපෘති ඇති කර තිබේ. මිරිදිය ධීවර කර්මාන්තයේ වැඩි දියුණුවටද උදව් දී තිබේ. මේවා ධීවර කර්මාන්තය පවත්වාගෙන යැමට දෙන උදව් බව සත්‍යය. නමුත් ධීවර කර්මාන්තයේ අනාගතය උදෙසා අවශ්‍ය ම වනුයේ රටේ මත්ස්‍ය සම්පත වැඩි දියුණු කරමින් භාවිතයට ගැනීමය. එයට පිළියම් නොයොදා කොතෙක්‌ සහන ලබා දුන්නද ධීවර කර්මාන්තයට හිමිවනු ඇත්තේ තොරක්‌ නොමැති මහ සයුරේ අනාථ වූවෙකුගේ ඉරණම මිස අනෙකක්‌ නොවේ.

මනෝඡ් අබයදීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.