දැසින් දැකල පවසන්නේ දුටු ඇත්ත
මාසෙන් වැනසියව් මේ විනකළ හැත්ත



අපට කතාවක්‌ හා අතුරුකතා මාලාවක්‌ කියන්නට තිබේ. ඒ කතාව කියන්නේ අප නොවේ. විලච්චියේ මිනිස්‌සුන්ය. විලච්චිය සිවලාපිටිය ගමේ මිනිස්‌සුන්ය. අපට තවමත් නොවැටහෙනා වැටහුනත් කිසිවෙකුත් වටහාගත් බව කියන්නට උත්සාහ නොගන්නා මේ රටේ කවුරුන් හෝ බලවතෙකුගේ අණක්‌ ඉටු කිරීමට සිවලාපිටිය ගමට පැමිණි එස්‌.ටී.එෆ්. කාරයින්ගෙන් ඇට කටු තලාගත්, කඳුළු ගෑස්‌ ප්‍රහාරවලට ලක්‌වූ, ජංගම දුරකථන විනාශ කරගත්, මරණීය තර්ජන හා බියවැද්දීම් වලට ලක්‌ කළ නිරායුධ මිනිස්‌සුන්ය. ජාතියේ පපු කැවුතු හාරමින් රට පුරා එළිපිට දියත්වී ඇති තුච්ඡ පුරාවස්‌තු මංකොල්ලයේ අමානුෂික තිරිසන් ස්‌වරූපයේ නිරුවත ගලග්‍රහයෙන් ගෙන රටට හෙළිදරව් කළ මිනිස්‌සුන්ය. මේ රටේ ජීවත්වන සියලූම දෙනා නපුංසකයින් නොවන බව මෑත ඉතිහාසයේදී රටට දැනෙන සුළු ලෙස සන්නිවේදනය කළ මිනිස්‌සුන්ය.

මේ ඔවුන් අපට කියනා කතාවය.

සිවලාපිටිය මිනිස්‌සු කියනා කතාව

පහුගිය දෙවෙනිදා බදාදා අපේ ගමට වාහන කීපයකිනුයි මෝටර් බයිසිකල් වලිනුයි එස්‌.ටී.එෆ්a එකේ කට්‌ටියක්‌ ආවා. ඒ අය එක්‌ක සිවිල් මිනිස්‌සු කීපදෙනෙකුත් හිටියා. ඒ අය එනකොට හවස 6 ට විතර ඇති. එහෙම ඇවිත් එයාලා කට්‌ටියක්‌ සිවිල් කණ්‌ඩායමත් එක්‌ක ගියා ගමේ වැව පැත්තට. ඒ අය ගිය වෙලාවෙ ඉඳලා ගමේ කාටවත් ඒ පැත්තටවත් යන්න දුන්නෙ නෑ. පාරවල් හරස්‌ කරලා අපිව පන්නනවා.

මේ පැමිණීම ඉතාම සැක සහිතවග අපිට තේරුණා. මොකද මේ වැව් තාවුල්ලේ වළදමාපු පුරාවස්‌තු වගයක්‌ ගැන කියවෙන කතාවක්‌ ගමේ පැතිරිලා තියනවා. අපේ උදවිය එහෙම වස්‌තුවක්‌ මේ බිමේ තියනවා කියලා විශ්වාස කරනවා. අවස්‌ථා හත අටකදීම එක එක ජාතියේ කාලකන්නි ඇවිත් මේ පුරාවස්‌තු ගන්න උත්සාහ කළා. ගමේ අයගේ මැදිහත්වීමෙන් ඒක නැවතුනා. ඒ හින්ද මේ පැත්තේ කරක්‌ගහන උන් ගැන අපි කොහොමත් හිටියේ හෝදිසියෙන්.

අපිත් බබ්බු නෙමෙයිනෙ මහත්තයා. අපේ ගමේ වැවේ වළලා තියෙන ආයුධ වගයක්‌ හොයන්න කියලා එකපාරට කඩාපත් වෙච්චි මේ එස්‌.ටී.එෆ්. කාරයින් ආවෙ මොකටද කියලා අපිට ඉවක්‌ තිබුණා. ඒ හින්දා මුලින්ම කළේ ගමේ උදවිය 119 ගහලා සිද්ධිය කියපු එක. ටිකකින් පොලිසීයෙන් ආවා. විලච්චියෙ ඕ. අයි. සී මහත්තයයි නොච්චියාගම ඕ. අයි. සී මහත්තයයි දෙන්නම කට්‌ටියත් එක්‌ක ආවා. ඇවිත් බලලා යන්න ගියා.

ගමේ තියනවා ලොකු වතුර ටැංකියක්‌. පොලීසිය ගියාට පස්‌සෙ ගමේ කොල්ලො ටිකක්‌ නැග්ග මේ වතුර ටැංකියට. උන්ට පේනවා වැව් තාවුල්ලේ කට්‌ටිය එහෙ මෙහෙ යනවා. මොකක්‌හරි යාගයකට ලෑස්‌ති වෙනවා. පන්දම් පත්තුවෙනවා. ටෝච් වදිනවා. මහා ලොකු වැඩකට ලෑස්‌ති වෙනවා වගේ. ගමම මේ ගැන හිටියෙ අවදියෙන්. ඔය අතර පාන්දර තුනට විතර බැකෝ එකක සද්දයක්‌ ඇහෙන්න ගත්තා. දැන් ආයෙ මොනව බලන්නද?. ගමේ හැමෝම එකට එකතු උනා. එකතුවෙච්චි පිරිස දෙදාහක්‌ විතර ඇති. අතට අහුවෙන දේවල් අරගෙන එකතුවෙලා සද්දෙ එන පැත්තට ආවා. එතකොට එස්‌.ටී.එෆ්. එකෙන් අපිව නැවැත්තුවා. උන් අපිට ගහන්න පටන්ගත්තා. ගෑනු කෙනෙක්‌ එක්‌ක පස්‌දෙනෙක්‌ හොඳටම ගුටි කෑවා. ඒත් අපි කාගෙන හිටියා.

මේ වෙනකොට වටේ තියන කදුරුපිටිය, දුනුමඩලාව, ඉට්‌ටිකුලම ගම්මානවල උදවියත් මේ අපරාධෙ දැනගෙන හිටියෙ. මේ ගම්මාන හරහා ගිහින් තමයි සිවලාපිටියෙන් කෙනෙකුට ඔයාමඩුවට හරි නොච්චියාගමට හරි යන්න පුළුවන්. මේ ගම්මානවල හිටපු අය ඒ යන්න පුළුවන් පාරවල් සේරම වහලා දැම්මා. කට්‌ටිය යන්න එන්න විදියක්‌ නැතිවෙලා කොටු උනා. අන්තිමට ගම මැද්දට එස්‌.ටී.එෆ්. එකේ කට්‌ටිය එකතුඋනා. එළිය වැටෙන්න ලං වෙනකොට උන් අපිට කඳුළු ගෑස්‌ ගැහුවා. දුම් බෝම්බ ගැහුවා. අල්ලගෙන ගැහුවා. බැරිම තැන මරණවා කියලා අපිට තුවක්‌කු දික්‌කළා. අහසට වෙඩි තිබ්බා. අපි හිටපු තැන්වලින් හෙල්ලුනේ නෑ. මේ අතරේ ගමේ සමහර කට්‌ටිය ඒ අයගේ ෙµdaන් වලින් පින්තූර ගත්තා. වීඩියෝ කළා. ඒක දැකපු එස්‌.ටී.එෆ්. කාරයො ඒ ෙµdaන් අරන් පොළවෙ ගහලා පාගලා කුඩු කරලා දැම්මා. එහෙම ෙµdaන් හයක්‌ කුඩු උනා.

උදේ හත විතර වෙනකොට සීනියර් ඩී.අයි.ඩී මහත්තයයි, ඩී.අයි.ජී මහත්තයයි, එස්‌.එස්‌.පී මහත්තයයි පොලිසියෙ සීයක්‌ විතර එක්‌ක ආවා. ඇවිත් අපි දවසක්‌ තිස්‌සේ නිදිමරාගෙන නීතිය ඉස්‌සරහට යවන්න පොලිසිය එනකම් කොටු කරගෙන හිටපු එස්‌.ටී.එෆ්. එකේ කට්‌ටියව වාහන වල පටවලා පිටත් කරලා යෑව්වා. අපි ඇහුව ඇයි මහත්තයො එහෙම කරන්නෙ. අපේ කී දෙනෙක්‌ ගුටි කෑවද?. අපි ඇහින් දැක්‌ක නේද මේ කරපු අපරාදෙ. නීතිය ඉදිරියට මේ මිනිස්‌සුන්ව යොමු කරන්න හිතාගෙන නේද අපි පොලිසිය එනකම් බලාගෙන හිටියෙ. ඇයි මෙහෙම කරන්නෙ කියලා.

ඒ වෙනකොට එස්‌.ටී.එෆ්. මහත්තුරු මේ පුරාවස්‌තු ගොඩදාන්න කලින් කරපු යාගෙක ලකුණු තිබ්බා. යාගෙ කරන්න කපුවොත් එස්‌.ටී.එෆ්. එකෙන්ම එක්‌කගෙන ඇවිත් තිබුණා. අපි එතෙන්ට එනකොට ඩිෙµන්ඩර් වල දාලා ඒ කපුවන්ව පිටකරලා ඇරලා තිබුණා. අපේ කොල්ලො වතුර ටැංකිය උඩ හඳ එළියෙ යන්තම් දැකලා තිබුණෙ මේ යාගෙ කටයුතු තමයි. යාගෙ ඉවරකරලා බැකෝඑකදාගෙන වැව් තාවුල්ලෙ වලවල් ගානක්‌ හාරලා තිබුණා. බැකෝ එක ළග පාරක්‌ හදන්න ආපු පුද්ගලික ආයතනයක එකක්‌. ඒක ගෙනත් තිබුණෙ බැකෝ කාරයව බය කරලා වග පස්‌සෙ ආරංචි උනා. දැන් මේ බැකෝ එක නොච්චියාගම පොලීසියෙ තියනවා. හාරලා තිබුණ ලොකු වලේ ගැඹුර අඩි දහයකට වැඩියි. මේ ඉතිරිවෙලා තිබුණ හැම සලකුණක්‌ම ඩී.අයි.ජී. මහත්තුරු දැක්‌කා. ඒ අයට අපි කියනදේ අහගෙන ඉන්නවා ඇරෙන්න වචනයක දෙයක්‌ කියන්න තිබුණෙ නෑ.

මේක පැහැදිලිව ලියලා තියන්න මහත්තයො. මේ හැමදේම උනේ දෙනෝදාහකගෙ ඇස්‌ ඉස්‌සරහා. මේ කියපු හැම වචනයක්‌ම සහසුද්දෙන් ඇත්ත. සිය ගානක්‌ මේ අපරාදෙට සාක්‌කි දරනවා. මේ අපරාදෙ කළේ පිටින් ආපු හොරු නෙමෙයි. අපි ඇස්‌ වලින්ම දැක්‌ක විදියට මේ එස්‌.ටී.එෆ්. එක. මේවා හෙණ ගහන අපරාධ මහත්තයො. දැන් කව්රුහරි අපිට කියලා දෙන්න ඊට පස්‌සේ මොනවද කරන්නේ කියලා.

සිවලාපිටිය මිනිස්‌සුන්ට ඒ ගැන කියාදෙන්නට මේ රටේ කාටවත් පුළුවන්කමක්‌ ඇතැයි අපට සිතෙන්නේ නැත.

දැන් අපට කියන්නට තියෙන්නේ සිද්ධිය හා බැඳුණු අතුරු කතාය. මුල්ම අතුරු කතාව මේ සිද්ධිය වූ වහාම පොලිසිය මේ ගැන රටට කී කතාවය.

පොලීසියේ කතාව

සහකාර පොලිස්‌ අධිකාරීවරයෙක්‌ මෙන්ම නීතිඥවරයෙක්‌ද වන පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පොලිස්‌ මූලස්‌ථාන ලිපි ශීර්ෂයක 2012.05.02 දින පැය 14 ට මෙම සිද්ධිය ගැන රටට කියන්නට මෙවැනි මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කළේය. එම නිවේදනය මෙසේ පළකරන්නේය.

සිවලාපිටිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූයේ කුමක්‌ද?

2012.05.01 වන දින සවස පොලිස්‌ මූලස්‌ථානය වෙත පැමිණි පිs§රිසක්‌ අනුරාධපුරය ප්‍රදේශයේ වැවක්‌ සකස්‌ කිරීමේදී මීට අවුරුදු 04 කට පමණ පෙර යම් පෞරාණික වස්‌තුවක්‌ හමු වී ඇති බවත් එම වස්‌තුව විලච්චිය ප්‍රදේශයේ ස්‌ථානයක සඟවා ඇති බවත් අද දින රාත්‍රියේ යම් පිරිසක්‌ එය ගැනීමට සූදානමින් සිටින බවත් දැනුම් දෙන ලදි.

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ සහකාර පොලිස්‌ අධිකාරී වරයෙකුගෙන් යුත් විශේෂ කණ්‌ඩායමක්‌ අදාල තොරතුරු පරීක්‌ෂා කිරීම සඳහා පිටත් කර යෑවූ අතර අදාල බලධාරීන් සියලුදෙනා මේ සම්බන්ධව දැනුවත් කරන ලදී. කෙසේ වෙතත් ප්‍රදේශීය පොලීසි වෙත දැනුම් දීමක්‌ නොකළ අතර එයට හේතුව මෙය විශේෂ වැටලීමක්‌ වූ බැවිනි.

ලද තොරතුරු අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුරාධපුර කඳවුර වෙත ගොස්‌ එහි සිටි තවත් නිලධාරීන් කණ්‌ඩායමක්‌ සමග විලච්චිය පොලිස්‌ වසමේ සිවලාපිටිය ප්‍රදේශයට ගිය අතර වෙලාව පාන්දර තුන වූ අතර බිම හාරමින් සිටි පිරිසක්‌ විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්‌ථානයට ළඟා වනවිටම පලා යන ලදි. පසුව එම ස්‌ථානය පරීක්‌ෂා කිරීමේදී මල් බුලත් ආදියද තබා යම් ආකාරයක යාගයක්‌ සිදුකර ඇති බවටද පෙනී යන ලදී.

පලාගිය පුද්ගලයින් විසින් හාරන ලද ස්‌ථානයේ ඔත්තුකරුවන් සඳහන් කළ ආකාරයට යම් පෞරාණික වස්‌තුවක්‌ තිබෙන්නට ඇතැයි සැකකර පොලිස්‌ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් බැකෝ යන්ත්‍රයක්‌ද එම ස්‌ථානයට ගෙන්වාගෙන තවදුරටත් කැණීම් සිදුකරන ලදී. එසේ කැනීම සිදුකරන ලද්දේ සැකකරුවන් විසින් යම් වස්‌තුවක්‌ වල දමන්නට ඇතැයි හෝ ගොඩ ගන්නට ඇතැයි සැක කළ බැවිනි.

කෙසේ වෙතත් ගම්වාසීන් පිරිසක්‌ එම ස්‌ථානයට පැමිණීම නිසා නොසන්සුන් වාතාවරණයක්‌ ඇතිවී ඇති අතර එම නිසා විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා ගම්වාසීන් අතර අනවබෝධයක්‌ද හටගෙන ඇත. විශේෂ කාර්ය බලකාය සමග ගිය ඔත්තුකරුවන්ද ගම්වාසීන්ගේ ග්‍රහණයට හසුවී ඇති අතර පසුව ඔවුන් මුදාගෙන ඇත.

පසුව උතුරුමැද පළාත් භාර ජ්‍යෙaෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සහ එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් එම ස්‌ථානයට ගොස්‌ ඇත. තත්වය පාලනය කර ඇති අතර දැනට සිදුවීම් කිසිවක්‌ නැත.

තවදුරටත් අවධාරණය කරන්නේ ඊයේ රාත්‍රි පුරාවස්‌තුවක්‌ ලබාගැනීමට උත්සාහ කරන ලද බවට ලත් තොරතුරුමත පාන්දර 0300ට පමණ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක්‌ සිවලාපිටිය ප්‍රදේශයට ගිය අතර ඔවුන් එසේ ගියේ ඔවුන්ට පැවරුණ රාජකාරියක්‌ ඉටුකිරීමට බවය.

ඉන් අනතුරුව අපට අතුරු කතාවක්‌ කියන්නේ පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයාය. මේ ඔහුගේ කතාවය.

පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කියනා කතාව

පොලීසිය ඉන්නෙ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ අය නීතිය නොදැන ඉන්න බෑ. පොලීසියට පුරාවස්‌තු සංහාරයක්‌ හෝ විනාශයක්‌ ගැන තොරතුරක්‌ තියනවානම් ඒ ඔස්‌සෙ ඔවුන්ගේ මට්‌ටමෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒත් පුරාවිද්‍යා බිමක හෝ වෙනයම් ඕනෑම තැනක පුරාවස්‌තුවක්‌ හොයන්න ඒ අය කැණීම් කරන්නෙ කොහොමද?. ඒ පිළිබඳව තීන්දු ගැනීමේ පූර්ණ අයිතිය තියෙන්නෙ පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට. ඒ බලය මෙම තනතුර දරන කෙනාට හිමිවෙන්නෙ රටේ ක්‍රියාත්මක වන නීතිය ප්‍රකාරව පුරාවිද්‍යා ආදී පනතෙන්. එහෙම තියාගෙන පුරාවස්‌තු හොයන්න විශේෂ කාර්ය බලකාය බැකෝ දාගෙන කැණීම් කළා කියන මේ මාධ්‍ය ප්‍රකාශය මුළුමනින්ම නීති විරෝධී සහ බරපතල ගැටලු ඇති කරන එකක්‌.

අනෙක මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ මුළු ක්‍රියාවලියම ඉතාම ගැටලු සහගතයි. කෙසේ වෙතත් රටේ ජාතික උරුමය ආරක්‌ෂා කිරීමේ කටයුත්ත ආයතනයක්‌ විසින් මුරකාරයෝ දාලා කරන්න බෑ. එය ප්‍රජාව අතින් සිදුවිය යුතුයි. සිවලාපිටිය ගම් වාසීන් ඒ වගකීම මේ අවස්‌ථාවෙදි ඉටුකරලා තියනවා කියන හැඟීම මා තුළ තියනවා.

අපට කියන්නට ඇති කතාව

සිද්ධි පෙළගැසී ඇති ආකාරය ඕනෑම මෝඩයකුට වටහා ගත හැකිය. මේ රටේ දවසකට විනාශ කරන පුරාවස්‌තු වල ප්‍රමාණය කොතෙක්‌දැයි කිසිවෙක්‌ දන්නේ නැත. ජාතික කෞතුකාගාරයත් බිඳ පුරාවස්‌තු කොල්ලකන රටක විලච්චියේ සිවලාපිටිය වැවේ වැව් තාවුල්ලේ පුරාවස්‌තු හොරකමක්‌ සිදුවෙනවාය යන ඔත්තුවට පොලිස්‌ මූලස්‌ථානය කලබල වන ආකාරය සැබෑ ලෙසම මේ ලියන අපත් කම්පනයට පත්කර ඇත.

පොලීසිය කියන ආකාරයට ඔත්තුව ලද වහාම විශේෂ කාර්ය බලකායේ කණ්‌ඩායමක්‌ අනුරාධපුරය විශේෂ බලකා කඳවුරට යවා සිවලාපිටිය වැවේ වෑකන්ද වෙත යොමු කරන්නේය. ඔවුන් යන විට පුරාවස්‌තු කොල්ල කෑමට පැමිණි පිරිස පැන යන්නේය. හැත්තෑවකට ආසන්න එම විශේෂ කාර්ය බලකා කණ්‌ඩායමට පුරාවස්‌තු හාරමින් සිටි එකෙක්‌වත් අහුවන්නේ නැත. ඉන් අනතුරුව විශේෂ කාර්ය බලකාය බැකෝ යන්ත්‍ර යොදා ඒ ස්‌ථානයේ පුරාවස්‌තුව සෙවීමට තවදුරටත් කැණීම් කරන්නේය.

ආයුධ සොයන්නට ගොස්‌ මාංචු පිටින් දියට පැන පීනා යන්නට උත්සාහ කර දියේ ගිලී මැරෙන අපරාධකාරයින් ගැනත් ආයුධ පෙන්වන්ට යන අතරවාරයේ පොලීසියට වෙඩි තබන්නට ගොස්‌ වෙඩි කා මැරෙන පාතාලයන් ගැනත් කතා කරනවාට වඩා වැදගත් ලෙස මෙවැනි විලිලඡ්ජා නැති අපරාධයක්‌ වසාගැනීමට යමක්‌ මේ මිනිසුන් විසින් කිවයුතුව තිබුණි. එහෙත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කළ මේ ලිඛිත ප්‍රකාශය අමු අමුවේ පුරාවිද්‍යා ආඥාපණත උල්ලංඝනය කරනු ලැබූ නීති විරෝධී ගොං කතාවක්‌ වූයේය. උදේ තමුන් විසින් කළ ලිඛිත ප්‍රකාශය නිසා නීතිමය වශයෙන් ඇණගත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සවස එම ප්‍රකාශය රූපවාහිනී නාලිකා සඳහා වාචිකව වෙනස්‌ කර විශේෂ කාර්ය බලකාය කිසිම කැණීමක්‌ නොකළ බව පැවසුවේය.

"අප දන්නා ආකාරයට සහකාර පොලිස්‌ අධිකාරීවරයෙක්‌ සහිතව විශේෂ කාර්ය බලකායේ භට පිරිසක්‌ පොලිස්‌ මූලස්‌ථානය කියනා මේ  මෙහෙයුම " වෙත යන්නේ ගෝනහේන විශේෂ බලකා කඳවුරෙනි. එසේ යන ඔවුන් අනුරාධපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ පිරිසක්‌ද සමග අඟහරුවාදා සවස සිට සිවලාපිටිය අවට මාර්ගවල මාර්ග බාධක දමා තිබිණි. ට්‍රක්‌ රථයක්‌, ඩිෙµන්ඩර් රථ දෙකක්‌, ඩබල් කැබ් දෙකක්‌ හා මෝටර් සයිකල් හතරකින් පැමිණෙන ඔවුන් ගණනින් අසූවකට ආසන්නවී යෑයි වාර්තා විය. ඉන් කොටසක්‌ මාර්ග මුර කරන අතර අනෙක්‌ පිරිස සිවිල් කණ්‌ඩායමක්‌ සමග ගමට ඇතුළුවී තිබුණේය. ප්‍රභාකරන් සිවලාපිටිය වැව් තාව්ල්ලට පැමිණ පුරා වස්‌තු හෑරුවද ඔහුව අත්අඩංගුවට ගැනීමටවත් මේ තරම් සන්නද්ධ පිරිසක්‌ අවශ්‍යදැයි මේ රටේ සිහිබුද්ධියක්‌ සහිත මිනිස්‌සු කල්පනා නොකරන්නේ නම් පුදුමය.

මේ පිs§රිස ගැන සැක කරන ගම්වැසියන් 119 ගැසූ විට එහි පැමිණෙන විලච්චිය හා නොච්චියාගම පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් මෙම ස්‌ථානයට ඇතුළු කරගන්නේ නැත. පොලිස්‌ මූලස්‌ථානයට අනුව එසේ වන්නේ මෙය විශේෂ මෙහෙයුමක්‌ බැවිනි. එහෙත් මේ පිළිබඳව විලච්චිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා උතුරුමැද නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට දැන්වූ විට ඔහු මේ ගැන සොයා බලන්ට සහකාර පොලිස්‌ අධිකාරීවරයෙක්‌ සිද්ධිය වන තැනට යොමු කරන්නේය. පොලිස්‌ මූලස්‌ථානය පවසන අයුරින්a මෙහෙයුම සිදුවන්නේ සියලූම අදාළ බලධාරීන් දැනුවත් වීමෙනි. එහෙත් මේ ක්‍රියාවලිය විමසීමේදී මේ විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම ගැන නියත තොරතුරු උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාද නොදැන සිටි බව සිතන්නට බොහෝ කරුණු තිබේ.

විශේෂ කාර්ය බලකාය විලච්චියේ සිවලාපිටියට යන්නේ යම් අණකට අනුව විය හැකිය. ඒ ඔවුන්ගේ බඩ රස්‌සාවය. ඒ අනුව එය රාජකාරියකි. ඒ අර්ථයෙන් ඔවුන් සිවලාපිටිය වැව්තාවල්ලේ පුරාවස්‌තු හෑරීම වරදක්‌ වන්නේ නැත. මෙවන් රාජකාරි කරන්නට ගොස්‌ ඇණගත් පසු අඩුම තරමින් රටේ මිනිසුන් හරකුන් සේ නොසලකා පිළිගත හැකි වැදගත් යමක්‌ කීම පොලිස්‌ මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ රස්‌සාවය. ඉතිහාසයේ අපට හමුවන අවාසනාවන්තම පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකයා අජිත් රෝහණ දැයි අපට සිතෙන්නේ දැන් ඔහුට කරන්නට සිද්ධවී තිබෙනා මේ දුක හිතෙන කටයුත්ත දකින විටය. මේ මොහොතේ ඔහුට කියන්නට සිදුවී ඇති මේ කතා වඩාත් ගැලපෙන්නේ රටට නොව ජින්තුපිටියටය.

අවසානයේ අප දකිනා මේ සිදුවීම් පෙළගැස්‌ම මේවග ලියා තබන්නට අපට බලකර හිඳී. මරණයට කැපවී සිටියදි ජීවිතය බේරාදුන් තරුණියක දූෂණය කර ගණිකා වෘත්තියේ යොදවන්නේ නම් එම ජීවිතය බේරාගැනීමේ ශුද්ධවූ අර්ථයක්‌ නැත. යුද්ධයෙන් භූමිය නිදහස්‌ කරගත් පසු එහි අධ්‍යාත්මික හරය ගැබ්වූ මහා ඉතිහාසය වනසමින් අවුරුදු දහස්‌ ගණනක උත්තුංග උරුමය සාහසික ලෙස හූරා කන්නේ නම් ඒ දිනා දුන් නිදහසේ අල්ප මාත්‍ර වටිනාකමක්‌ නැත.

අප ජීවත් වන්නේ වළෙන් ගොඩයන්නට අඹරාගත් ලණුවෙන් ගෙලවැලලා එල්ලෙන්නට හදනා දේශපාලනයක්‌ සහිත රටකය.

ජානක ලියනආරච්චි - හේමන්ත රන්දුණු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.