මල් කැකුළක්‌ තැලූ කෝටිපති
ව්‍යාපාරික පුත්‍රයා කොටුවූ හැටි

අනුරාධපුරයෙන් වාර්තා වූ මේ මහ පොළොව නූහුලන අපරාධය මෑත කාලයේ අසන්නට ලැබුණු දරුණුතම සිද්ධියකි. නූගත්කම දුප්පත්කම දඩමීමා කර ගනිමින් ධනය, බලය පෙන්වන කෝටිපති ව්‍යාපාරිකයන් මේ රටේ දැරියන් විනාශ කළ පළමු අවස්‌ථාව මෙය නොවේ. පියා හෝ පවුලේ ළඟම ඥතියෙකුගේ උදව් උපකාර ඇතිව ධනබලවතුන් තම ජඩ හැඟීම් කෲර ලෙස සන්තර්පනය කර ගැනීමෙහිලා හයක්‌ හතරක්‌ නොදත් අහිංසක දැරියක ගොදුරු බවට පත්වීම මොනතරම් සැහැසිද?

සම්බුදු තෙමඟුල සමරණ බෞද්ධ පරිසරයකින් යුතු සිරිමා බෝසමිඳුන් වැඩසිටින අනුරාධපුරය දිස්‌ත්‍රික්‌කයේ ළමා අපරාධ බහුලව සිදුවීම ෙ€දනීය තත්ත්වයකි. එසේම ළමා සංවර්ධන ඇමැතිවරයා නියෝජනය කරන දිස්‌ත්‍රික්‌කයද අනුරාධපුරය වීම තවත් කාරණාවකි.

ළමා අපරාධකරුවන් ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතු යෑයි වරක්‌ විෂය භාර ඇමති තිස්‌ස කරලියද්ද මහතා පවසා තිබිණි. එහෙත් එවැනි ප්‍රකාශයන් ජනතාවට හඬගා කීමෙන් ඇති පලක්‌ නැත. මේ රටේ නීතියේ හිඩැස්‌ නිසා ළමා අපරාධකරුවන් දවසින් දවස වැඩි වන බව ඇමැතිවරයාගේ අදහසයි. ඒ අනුව අදාළ නීති අංශ බලධාරීන් සමග ඇමැතිවරයා පවතින නීතියේ අඩුපාඩු සපුරාලමින් දැයේ දරු පරපුරේ රැකවරණය උදෙසා ශක්‌තිමත් නීතිමය වටාපිටාවක්‌ ගොඩනගන්නට පසුගිය දිනවල ඇමැතිවරයා නොයෙකුත් උත්සාහයක්‌ ගෙන තිබිණි. එවැනි වටපිටාවක්‌ තිබියදී පසුගියදා අනුරාධපුරයෙන් වාර්තා වූ සිද්ධිය අතිශය සංවේද ජනකය.

ජනවාරි 12 වැනිදා සැකකරුවා විසින් පාසල ඇරී පැමිණෙන දැරිය කැලයකට ඇදගෙන ගොස්‌ කෙලෙසා ඇති අතර ලේ තැවරුණු සුදු ඇඳුමින් නිවසට පැමිණි දැරිය එම ඇඳුම් සහිතවම අනුරාධපුර පොලිසියට රැගෙන යැමට දෙමවුපියන් ක්‍රියා කර තිබිණි. එහිදී අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් පැමිණිල්ල සටහන් කර ගැනීම වෙනුවට දැරිය සමග පසුදින පැමිණෙන ලෙස දෙමවුපියන්ට පවසා තිබේ. නීතියක්‌ රීතියක්‌ නොදත් අසරණ දෙමවුපියන් තම දියණියද සමග පසුදින නැවත පොලිසියට පැමිණ ඇත. ඒ වන විටත් පොලිසියට පැමිණ පොලිස්‌ නිලධාරීන් සමග සිටි සැකකාර දූෂකයා දැකීමෙන් බියට පත් දැරිය හඬන්නට පටන් ගෙන තිබේ. ක්‍රමයෙන් සිද්ධිය යටපත් විය.

පසුව ප්‍රදේශවාසීන්ට දැනගන්නට ලැබී ඇත්තේ සැකකාර දූෂකයාගේ කෝටිපති පියා දැරියගේ පියාට රුපියල් ලක්‍ෂ 22 කට අධික මුදලක්‌ ලබාදෙමින් සිද්ධිය යටපත් කරන ලෙස බලපෑම් කර තිබූ බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ දැරියගේ පියා තම ලෙයින් මසින් උපත ලැබූ ජීවිතයම පාපතරයකු විසින් කෙලෙසා දැමූ තමාගේම දියණියට එවැනි කිසිවක්‌ සැකකාර පාපතරයා විසින් සිදුකර නැතැයි ප්‍රකාශ කරන්නට තරම් මුදල් බලවත්වී පියාගේ හඬ අවදිවීමයි.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට ලැබුණු හෝඩුවාවක්‌ අනුව යමින් වහාම ක්‍රියාත්මක වූ එම අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය අධිකරණයේද සහාය ඇතිව මුදල් බලෙන් වළදැමීමට තැත් කළ මෙම අපරාධය යළි ගොඩට ඇදගෙන ආවාය. ඒ අනුව සැකකරුවන් පසුගිය 01 වැනිදා අනුරාධපුර මහෙස්‌ත්‍රාත් හමුවට කැඳවනු ලැබීය. මාස ගණනක්‌ වසන් වෙමින් සිටි දැරියගේ පියාද අධිකරණය හමුවට පමුණුවනු ලැබීය.

අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්තිකා මාරපන මහත්මිය විසින් සිය නිල මැදිරියේදී අතවරයට පත්වූ දැරිය හා දැරියගේ මව සමග දීර්ඝ ලෙස කරුණු විමසා තිබේ.

සිද්ධිය පිළිබඳව ළමා ආරක්‍ෂක අධිකාරියේ පොලිස්‌ ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බාලචන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවනු ඇත.

ළමා අපරාධ, හිංසන පිළිබඳව මේ වන විට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929 පැමිණිලි සේවාවට පැමිණිලි 10,000 කට ආසන්න සංඛ්‍යාවක්‌ ලැබී ඇති අතර එයින් සැළකිය යුතු සංඛ්‍යාවක්‌ දැරියන් දූෂණය කිරීම සම්බන්ධ පැමිණිලි බව අධිකාරිය පැවසීය. මේ තරම් අපරාධ අසන්නට ලැබුණු යුගයක්‌ තවත් නැති තරම්ය. ඒ කෙරෙහි සෘජුවම බලපානු ලබන්නේ සීග්‍රයෙන් ඉහළ යන ජීවන වියදම බවත්, ඒ හා සමානවම මේ රටේ නීතියේ ශක්‌තිමත් බවක්‌ නොමැතිකමත් බව යෑයි මෙම සිද්ධි විමර්ශනය කිරීමේදී පැහැදිලිවේ. වැඩිපුරම දුගී, දුප්පත්, අසරණ, ගොවිතැනින් එදා වේල සරිකර ගන්නා පවුල් සිටින අනුරාධපුරය, පොළොන්නරුව වැනි දිස්‌ත්‍රික්‌කවල ළමා අපයෝජන බහුලවීමෙන් ඒ බව පැහැදිලිවේ.

මේ රටේ ළමා අපරාධකරුවන් බව අධිකරණය විසින් තහවුරු කිරීමෙන් අනතුරුව දෙන දඬුවම ද එතරම් සැරපරුෂ නොවීම තවත් කාරණාවකි. එවැනි අපරාධකරුවන් දැරියකගේ මුළු ජීවිතයම කෙළෙසා දමා සිරගතවීමෙන් පසු වැඩි කලක්‌ යන්නට පෙර සුළු මුදලක්‌ ඇප වශයෙන් ගෙවා සිරෙන් නිදහස්‌ව වීරයකුසේ යළි ගමට පැමිණෙනු ඇත. යළිත් එවැනි අපරාධ සිදු කරනුයේ බිය සැක තවත් තුනී කර ගනිමිනි. ළමා අපරාධකරුවන්ට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් දීමටත් මොනම හේතුවක්‌ නිසාවත් ඇප ලබා නොදීමටත් ක්‍රියාකළ යුතු බවට විෂයභාර ඇමතිවරයාගේ යෝජනාව කෙසේ හෝ අධිකරණ නීති පද්ධතිය විසින් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

මේ රටේ දරුවන් වෙනුවෙන් ළමා සංවර්ධන අමාත්‍යාංශයක්‌, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියක්‌, පරිවාස හා ළමා ආරක්‍ෂක දෙපාර්තමේන්තුවක්‌, ඊට අනුයුක්‌තව ළමා සහ ළමා සංවර්ධන නිලධාරීන් ඇතුළු නියෝජිතයන් සෑම දිස්‌ත්‍රික්‌කයකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල යොදවා ඇති නමුත්, ඔවුන්ගෙන් බහුතරයක්‌ තම සේවාව වගකීමෙන් ඉටු කරන නමුත් දවසින් දවස ඉතා සීග්‍ර ලෙස ළමා අපරාධ වර්ධනය වීම අතිශය ෙ€දනීය තත්ත්වයකි. මෙය අද වන විට ගමේ නූගත් මිනිසුන් විසින් සිදු කරන ක්‍රියාවක්‌ නොව සැළසුම් සහගතව ධනය බලය යොදා ගනිමින් සිදු කරන්නාවූ ජාවාරමක තත්ත්වයටද පත්ව තිබෙන බව පැහැදිලිය.

දැයේ දරුවන්ට සුබ අනාගතයක්‌ යෑයි මහින්ද චින්තනයේ ඉතා පැහැදිලිව ඇති නමුත් දවසින් දවස දරුවන්ට සිදුවන අපරාධවලට කාගේ පිළිසරණක්‌ දැයි සිතන්නට කාලය එළඹ තිබේ. මෙම තත්ත්වය යටතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අධිකාරි මට්‌ටමෙන් නොව රටේ ඉහළම බලවතාගෙන්, වගකිවයුත්තාගෙන් පිළිතුරක්‌ ලැබිය යුතුය.

අපේ රටේ දරුවන් ගැන නිතරම හිතන දැයේ දරුවන්ගේ පියා යෑයි හඳුන්වන අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමන් මේ රටේ ළමා අපරාධ වැළැක්‌වීම කෙරෙහි සෘජුවම මැදිහත් නොවුණහොත් රටේ දරුවන් ගේ අනාගතය පමණක්‌ නොව වර්තමානය ද මුළුමනින්ම විනාශ වනු නොඅනුමානය. එහෙයින් ඔබතුමාගේ දරු සෙනෙහේ විදහාපාමින් රැකගනු මැනවි, අපේ දරුපැටවුන්...·

තුෂාරී කළුබෝවිල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.