හැකිදා අප රැකි "ඇයට" බැරිදා ජනසෙවණින් පිහිට



තම දියණියන් තිදෙනා සමඟ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් ස්‌වර්ණකුමාරි පිටතට ගියේ ජයග්‍රාහී සිනහවක්‌ සමගිනි. ඇය පැමිණි කාරණයට විමල් වීරවංශ ඇමැතිවරයාගේ කාරුණික අවධානය යොමු වූ නිසා ඇය සැනසුම් සුසුමක්‌ හෙළුවද ඇය පැමිණි කාරණය සඵල නොවුණානම් ඇයට ජයග්‍රාහී ලෙස සිනහසීමටවත් මේ සටහන මේ ආකාරයෙන් තැබීමටවත් නොහැකි වනු ඇත.

කොළඹින් සැතපුම් දෙසීයකටත් වඩා ඈතින් පිහිටි රිදීමාලියද්ද අති දුෂ්කර ප්‍රදේශයක ස්‌වර්ණකුමාරි ඉපදුනත් අද ඇය ඉන්නේ අගනුවරය. ඇය මීට කාලයකට පෙර සුන්දර ජීවිතයක්‌ ගත කළද මේ වන විට දියණියන් තිදෙනෙකු සමඟ ජීවිත සටනට මුහුණදී සිටින්නේ දැඩි අධිෂ්ඨානයකිනි.

කොටි ත්‍රස්‌තවාදය ප්‍රබලව පැවතුණු කාලයේදී ස්‌වර්ණකුමාරි ගුවන් හමුදා සෙබළියක්‌ ලෙස රට රැකීමට දායක වූයේ තම යුතුකම් කොටස රට වෙනුවෙන් මනාව ඉටුකරමිනි.

බදුල්ලේ පදිංචිකරුවකු වූ ඩී. එම්. ගාමිණී ප්‍රියන්ත සේවය කළේ අගනුවර මූල්‍ය සමාගමකය. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා කාර්මික ශිල්පිනියක්‌ ලෙස තම උපරිම සේවා ඉටුකළ ස්‌වර්ණකුමාරි පහළොස්‌ අවුරුදු සේවා කාලය අවසන් වීමෙන් අනතුරුව විශ්‍රාම ගියාය. ඒ සමගම ඔවුන් දෙදෙනා විවාහ වූහ. ඔවුන් සිතූ පරිදි මුලින්ම ලැබුණේ දියණියකි. දෙවැනි දරුවාත් දියණියක්‌ වූවාය. තෙවැනි දරුවා පිළිසිඳගෙන මාස දෙකක්‌ පමණ යන විට ස්‌වර්ණකුමාරි මුහුණදුන්නේ ඇය කිසිසේත්ම නොසිතූ අත්දැකීමකටය.

එක්‌ දිනක්‌ උදේ පාන්දර අත රිදෙන බව පවසමින් නාන කාමරයට ගිය ගාමිණී සිහිසුන් නොමැතිව ඇද වැටුණි. බරපතළ හෘද රෝගයකට ගොදුරු වූ ගාමිණී ස්‌වර්ණකුමාරිත්, දියණියෝ දෙදෙනාත් බිහිවීමට සිටි දරුවාත් සඳහටම අතහැර දමමින් මෙලොව හැර ගියේය. ගිය වසරේ මැයි මාසයේදී ස්‌වර්ණා තම දරුවන් සමඟ මෙලොව තනිවූ අතර බොහෝදෙනෙකු ඇයට උපදෙස්‌ ලබාදුන්නේ කුසට මාස 2 ක්‌ පමණ වන නිසා එම දරුවාව නැතිකරගන්නා ලෙසයි. කෙතරම් අගහිඟකම්වලට මුහුණදුන්නද තමා නොමැරුණොත් දරුවන් තිදෙනාම හොඳින් හදාගන්නා බවට ස්‌වර්ණා අදිටන් කර ගත්තාය. මාස 8 කින් පසුව ඉපදුණේ තවත් සිඟිතිs දියණියකි. තමන්ට කවදාවත් තාත්තාගේ මුහුණ දකින්න නොලැබෙන බව තාමත් නොදන්නා සිඟිති දියණිය ස්‌වර්ණාට තුරුළු වී සිටින්නීය.

ස්‌වර්ණාගේ කතාවට ඇයගේ වචනවලින්ම සවන්දෙමු. "ලොක්‌කිට අවුරුදු දහයකට ළඟයි. දෙවැනියාට පහමාරයි. සිඟිති දියණියට මාස 4 යි. දැනට මං මාතෘ නිවාඩු මත ඉන්නේ. ගාමිණී ජීවත්වෙලා ඉඳිද්දී මාගේ අවුරුදු 15 සේවා කාලය අවසන් වූ වහාම විශ්‍රාම ගන්න තීරණය කළා. එහෙම කරලා මං දරුවන් හදාගන්නත්, ගාමිණී රට යන්නත් තීන්දු කරලයි තිබුණේ. මට මාතෘ නිවාඩු අවසන් වෙද්දී විශ්‍රාම යන්න ලැබෙනවා. විශ්‍රාම ගත්දා සිට වැටුප් ගෙවන දවස දක්‌වා අපිට ජීවත්වෙන්න විදිහක්‌ නෑ. හැම සතේම දරුවන් වෙනුවෙන් වියදම් කළා. ලොකු දුව සමස්‌ත ලංකා මට්‌ටමේ ගායන හා ඉංග්‍රීසි සහතික රැසක්‌ මේ වන විටත් දිනාගෙන තිබෙනවා. දැන් ඉන්න ගෙට මාසෙකට රුපියල් 12,000 ක්‌ කුලිය ගෙවන්න ඕන. මේ මාසේ මං විශ්‍රාම යනවා. ඊට පස්‌සේ අප තවත් අසරණ වෙනවා. මගේ අසරණකම දැකලා ගුවන් හමුදා සුබසාධක සංගමයෙන් මට ගෙයක්‌ හදලා දෙන්න කැමැත්ත පළ කළා. නමුත් ඉඩමක්‌ නැහැ. මගේ අසරණකම දැකපු විමල් වීරවංශ ඇමැතිතුමා කොළඹ ප්‍රදේශයෙන් ඉඩමක්‌ ලබාදෙන්න ඉදිරිපත් වුණා. මේ ගැන ජනාධිපතිතුමාටත්, විමල් වීරවංශ ඇමැතිතුමාටත් මගේ ස්‌තුතිය ප්‍රකාශ කරනවා. අමාත්‍යාංශයට එන්න කියලා ඇමැතිතුමා අදාළ ඉඩම ලබාදෙන්න කියලා නිලධාරීන්ට උපදෙස්‌ දුන්නා. මට උදව් කරන හැමෝටම පිං. ජනසෙවණ නිවාස වැඩසටහන තව තවත් සාර්ථක වේවා.

බොහෝ හැඟීම්බර ස්‌වර්ණා එසේ පවසන්නේ දැඩි අධිෂ්ඨානයකිනි. ඇයගේ අධිෂ්ඨානයේ ශක්‌තියට අපේ ගෞරවය.

ඩබ්. කේ. ප්‍රසාද් මංජු

ඡායාරූප - නුවන් දිනේන්ද්‍ර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.