බුදුදහම හා බටහිර විද්‍යා කතන්දර

බුදුදහම හා බටහිර විද්‍යාව අතර ඇති ප්‍රධානම වෙනසක්‌ නම් බුදුදහම "වෙනස්‌" නොවීමත් (මෙයින් නිත්‍ය යන්නක්‌ නොහැඟෙයි. බුදුදහම ලෝකයෙන් තුරන් වන දිනයක්‌ උදාවන බව අපි දනිමු.) බටහිර විද්‍යා ප්‍රවාද හෙවත් කතන්දර කල්යැමේදී ප්‍රතික්‍ෂේප වී ඒ වෙනුවට නව ප්‍රවාද ආදේශ වීමත්ය. උදාහරණයක්‌ ලෙස දැනට අවුරුදු සියයකට පමණ පෙර නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ කතාව වෙනුවට අයින්සිටයිනීය අවකාශ - කාල වක්‍රතා කතාව ආදේශ විය. ගුරුත්වාකර්ෂණය යනු නිව්ටන් විද්වතා නිර්මාණය කළ කතාවක්‌ පමණක්‌ බවත් ගුරුත්වාකර්ෂණය යනුවෙන් ඊනියා ප්‍රපංචයක්‌ නැති බවත් බටහිර භෞතික විද්‍යාඥයෝ යම් පිරිසක්‌ දනිති. එහෙත් බුදුදහමෙහි එසේ ආදේශයක්‌ නැත. එයට ප්‍රධාන හේතුව බුදුදහමෙහි ප්‍රවාද හෙවත් කතන්දර නොමැති වීමය. එහෙත් මෙයින් කියෑවෙන්නේ බුදුදහම යනුවෙන් ලොවෙහි සියල්ලන් පිළිගන්නා දැනුම් පද්ධතියක්‌, ත්‍රිපිටකයක්‌ හෝ වෙනත් එවැන්නක්‌ හෝ ඇති බව නොවෙයි. අභිධර්මය බුදුන්වහන්සේගේ දේශනයක්‌ ලෙස නොපිළිගන්නා බෞද්ධයෝ ලෝකයේ වෙති, වූහ. උදාහරණයක්‌ ලෙස ගතහොත් සෞත්‍රින්තිකයෝ අභිධර්මය බුදුන් වහන්සේගේ දේශනයක්‌ ලෙස නොපිළිගත්හ. එමෙන්ම හීනමානය, මහායානය, තන්ත්‍රයානය ආදී වශයෙන් බුදුදහම යානවලට බෙදෙයි. ඇතැමුන් නොදනිතත් ථෙරවාදය යනු හීනයානයේ එක්‌ කොටසක්‌ පමණකි. ථෙරවාදය වුව ද සියලු දෙනා පිළිගත් එක්‌ ධර්මයක්‌ ලෙස සැලකිය නොහැක්‌කේ ඒ සම්බන්ධයෙන්ද විවිධ අර්ථකථන ඇති බැවිනි. අපේ අටුවා ටීකා ටිප්පනී හා ත්‍රිපිටකය එක්‌ ඛණ්‌ඩයක්‌ ලෙස සලකා එය ථෙරවාදය යෑයි සිතන බෞද්ධයෝ විශාල පිරිසක්‌ මෙරට වෙති. එහෙත් ඒ සමගම බුද්ධඝෝෂ හිමියන්ගේ සිට ලියෑවුණු අටුවා, සූත්‍ර පිටකය සමඟ සංසන්දනය කර ඇතැම් අවස්‌ථාවල අටුවා වැරැදි යෑයි ප්‍රකාශ කරන බෞද්ධ ගිහි, පැවිදි පිරිස්‌ ද මෙරට වෙති. ඒ අය අතර භාවනානුයෝගීන්ද සිටින බව අමතක නොකළ යුතුය. එවිට ථෙරවාදය යනු කුමක්‌ද යන ප්‍රශ්නය ද ඇතිවෙයි. අපට දැනට කිවහැක්‌කේ ථෙරවාදයට වුවද විවිධ අර්ථකථන තිබෙන බව ය.

බුදුදහම විවිධ අර්ථකථන එකතු වී ඇති නමුත් එහි ප්‍රවාද නොමැතිකම නිසා ප්‍රවාද ප්‍රතික්‍ෂේපවීමක්‌ වී නැත. විවිධ බාධක මධ්‍යයෙහි වුවද වෙනස්‌ වූ අර්ථකථන සමගාමීව පැවැතෙයි. එහෙත් බටහිර විද්‍යාවේ එසේ නොවේ. මෙතෙක්‌ ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය ගැන බිහි වී ඇති විවිධ කතන්දරවල ඇති පොදු කරුණක්‌ නම් බටහිර විද්‍යාවේ කතන්දර වෙනස්‌ කෙරෙන බව ය. මුල දී විද්‍යාත්මක ක්‍රමය ලෙස ඉදිරිපත් වූ කතන්දරයෙහි වැදගත් කොටසක්‌ වූයේ යම් සංසිද්ධියක්‌ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන උපන්‍යාස බටහිර විද්‍යාවේ නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ සමඟ නොගැළපේ නම් ඒවා අසත්‍ය ලෙස සලකා ඉවත්කෙරී නව උපන්‍යාස ඉදිරිපත් කෙරෙන බව ය. නිරීක්‍ෂණ ආදිය සමඟ උපන්‍යාස ගැළපේ නම් ඒවා ප්‍රවාද ලෙස සලකනු ලැබේ යෑයි එදා විද්‍යාවේ දාර්ශනිකයෝ විශ්වාස කළහ. පසුව කාල් පොපර් නම් දාර්ශනිකයා එලෙස පරීක්‍ෂණ ආදියෙන් අසත්‍යකරණයට ලක්‌කළ නොහැකි දැනුම් පද්ධතීන් අවිද්‍යාව යෑයි බැහැර කළේ ය. ඔහු කියා සිටියේ දැනුමක්‌ විද්‍යාත්මක දැනුමක්‌ වීමට නම් එය අසත්‍යකරණයට ලක්‌කිරීමට හැකිවිය යුතු බව ය. විද්‍යාවේ විප්ලවවල ව්‍යqහය ගැන මෙයට හරියට ම පනස්‌ වසරකට පෙර 1962 දී මේ වකවානුවේ දී පෙරළිකාර මතයක්‌ ඉදිරිපත් කළ තෝමස්‌ කුන් නම් දාර්ශනිකයා පවා විද්‍යාවේ ප්‍රවාද කුලක රැගත්, නැත්නම් එසේ ප්‍රවාද බිහිවන, සුසමාදර්ශ (පැරඩයිම) වෙනස්‌වන බව ප්‍රකාශ කළේ ය. විද්‍යාත්මක විධි ක්‍රමයක එලෙස වෙනස්‌වීමක්‌ ගැන සියල්ලෝම කතා කළහ. විද්‍යාත්මක විධික්‍රමයක්‌ යනුවෙන් විධික්‍රමයක්‌ නැතැයි කී පෝල් ෙµයරාබන්ඩ් නම් දාර්ශනිකයා පවා ප්‍රවාද වෙනස්‌වීම් නැතැයි නො කීවේ ය. ඔහුගේ අදහස වූයේ එසේ ප්‍රවාද වෙනස්‌ කිරීමේ දී අනුගමනය කෙරෙන ඊනියා විධික්‍රමයක්‌ නැති බව ය. එසේ ම ඔහු තවත් වැදගත් දෙයක්‌ කීවේ ය. එනම් (බටහිර) විද්‍යාවෙහි ප්‍රතික්‍ෂේප කෙරෙන ප්‍රවාද මුළුමනින් ම ඉතිහාසයෙන් ඉවත් වී නොයන බව ය. ඒ ප්‍රවාද පසු කලෙක විද්‍යාඥයන් විසින් ම නැවතත් යොදා ගැනෙන බව ඔහු පෙන්වා සිටියේ ය.

බටහිර විද්‍යාවෙහි ප්‍රවාද වෙනස්‌ කෙරෙන බව අපි දු පිළිගනිමු. එය අද ඉතිහාසයෙහි ද වෙනත් විෂයයන්හි ද බටහිර දැනුම් පද්ධතියෙහි සිදුවෙයි. බටහිර විද්‍යාවට පෙර තිබූ දැනුම් පද්ධතීන්හි එලෙස වෙනස්‌වීම් නොසිදු වූයේ ඇයි? බුදුදහම පමණක්‌ නොව වෙනත් දැනුම් පද්ධතීන් ද විවිධ අර්ථකථනවලට ලක්‌ වී ඇති නමුදු බටහිර විද්‍යාව මෙන් වෙනස්‌වීම්වලට ලක්‌ නොවේ. බටහිර විද්‍යාඥයන් ද, කිසිම ප්‍රවාදයක්‌ නිර්මාණය කරගත නොහැකි මෙරට ඔවුන්ගේ අනුගාමිකයන් ද මේ ප්‍රවාද වෙනස්‌වීම ගැන කතාකරන්නේ අභිමානයකිනි. තමන් ආධානග්‍රාහී නො වේ යෑයි ඔවුහු කියා ගනිති. මේ ඊනියා ආධානග්‍රාහී නොවීම හෙවත් ප්‍රවාද වෙනස්‌ කිරීම බටහිර විද්‍යාවේ නොහැකියාවක්‌ ප්‍රදර්ශනය කරන්නක්‌ යෑයි ප්‍රකාශ කරමු. ඒ නොහැකියාව බටහිර විද්‍යාඥයන්ට සෘජුව හෝ වක්‍රව හෝ ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමට බැරි වීම ය. මෙය ගැලීලියෝ විද්වතාගේ කාලයේ සිට ම දක්‌නට ලැබෙන්නකි. පොළොව හිරු වටා ගමන් ගන්නා බව පෝලන්තයේ සිටි කොපර්නිකස්‌ විද්වතා දැනගත්තේ වෛදික තාරකා විද්‍යාඥයන්ගෙනි. ඔහු පූජකවරය ලබාගැනීම සඳහා ඉතාලියට ගියේ ඒ දැනුම ද සමගිනි. මේ දැනුම ඉතාලියේ තහවුරු කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ගැලීලියෝ විද්වතා ඇතුළු ඒ මතය පිළිගත් අයට විය.

පහළොස්‌වැනි සියවස පමණ වන තෙක්‌ ලෝකයේ බොහෝ රටවල යම් ආකාරයකට දෙවිවරුන් සමඟ (ඒ සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරුන් සමඟ පමණක්‌ නො වේ. මාරයා ද දෙවියකු බව අමතක නොකළ යුතු ය. බෞද්ධ සාහිත්‍යයට අනුව මාරයා යනු හුදු සංකේතයක්‌ නොව යම් තනතුරක්‌ දරන්නකු බව පැහැදිලි ය.) සම්බන්ධකම් පැවැත් වූ අය ජීවත් වී ඇත (විස්‌තර සඳහා විදුසර කියවන්න). එහෙත් කිසියම් හේතුවක්‌ නිසා පහළොස්‌වැනි සියවසෙන් පමණ පසුව ඒ හැකියාව විශාල ප්‍රමාණයකට නැති වී ගොස්‌ තිබේ. පැරණි වෛදික ගණිතඥයන් පොළොව හිරු වටා යන බවට වූ දැනුම සෘජුව ආධ්‍යාත්මික ශක්‌තිය වඩා ලබාගන්නට ඇත, නැතහොත් වෛදික දෙවිවරුන්ගෙන් වක්‍රව ලබාගන්නට ඇත. (පසුගිය සියවසේ ජීවත් වූ රාමනුජන් නම් ඉන්දීය ගණිතඥයා කාලි අම්මාන්ගේ ආධාරයෙන් අනන්ත ගණිත ශ්‍රේණි පිළිබඳව බටහිර ක්‍රමයේ සාධන නොමැතිව දැනුම ලබාගෙන ඇත. කැලණි විශ්වවිද්‍යාලයේ අප කණ්‌ඩායමට රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ බව කීවේ දෙවිවරුන් ය.). මේ දැනුම දහහත්වැනි සියවසේ ඉතාලියට ගිය විට ආධ්‍යාත්මික ශක්‌තියක්‌ නොතිබූ ගැලීලියෝ විද්වතා සාපේක්‍ෂ චලිතය පිළිබඳ වියුක්‌ත දැනුමක්‌ ඔස්‌සේ ඒ බව තහවුරු කිරීමට උත්සාහ ගත්තේ ය. මනස (එය අනෙක්‌ ඉන්ද්‍රිය මෙන් ම නැති මනසක්‌, මායාවක්‌ වුව ද අනෙක්‌ ඉන්ද්‍රිය යොදාගන්නා ආකාරයට එය ද යොදාගත හැකි ය.) ඔස්‌සේ සෘජුව හෝ වක්‍රව හෝ ලබාගන්නා ආධ්‍යාත්මික දැනුමට ඉතා සුළුවෙන් වුව සමීප විය හැකි දැනුම මනස ආධාරයෙන් ම ලබාගන්නා වියුක්‌ත දැනුම වෙයි. නිව්ටන් විද්වතා වියුක්‌ත ව දැනුම ලබාගැනීම ඉහළ මට්‌ටමකට වර්ධනය කළේ ය. යම්කිසි ඉන්ද්‍රිය ගෝචර ප්‍රපංචයක්‌ තේරුම් ගැනීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්‌ත කතන්දර කීම බටහිරයන් ගැලීලියෝ විද්වතාගෙන් පසුව අනුගමනය කර ඇති විධි ක්‍රමය වෙයි. මේ කතන්දරවලට බටහිරයෝ ප්‍රවාද යෑයි කියති. විදග්ධයන්ගේ කතන්දර ප්‍රවාද වන අතර සාමාන්‍ය ජනයාගේ කතා ජනප්‍රවාද වෙයි. එයට කලින් වෛදිකයන් අතර වියුක්‌ත දැනුම සුළුවෙන් තිබී ඇති නමුත් ඔවුහු ආධ්‍යාත්මික ව ද දැනුම ලබාගත්හ. කෙසේ වෙතත් වියුක්‌ත දැනුම යනු ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ නො වේ. එහි දී සිදුවන්නේ යම් ප්‍රපංචයක්‌ තේරුම් ගැනීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නොවන එහෙත් හැකිතාක්‌ සංගත කතාවක්‌ ගොතා කීම පමණකි. පෘථිවිය ආසන්නයේ වස්‌තු එකම ත්වරණයෙන් ඇද වැටෙන්නේ ඇයි ද යන්න තේරුම් කිරීම සඳහා නිව්ටන් විද්වතා ගුරුත්වාකර්ෂණ කතාව ගෙතී ය. එය යම් ප්‍රමාණයකට සංගත වුවත් පට්‌ටපල් බොරුවක්‌ බව පුස්‌සන් වන මෙරට බොහෝ ඊනියා විද්‍යාඥයෝ නො දනිති. ගුරුත්වාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ කළ කිසිවකු නැත. එහෙත් ආධ්‍යාත්මික ව ලබාගන්නා දැනුම ප්‍රත්‍යක්‍ෂ වෙයි. බටහිර විද්‍යාඥයන් වියුක්‌ත කතා කියන්නේ ඔවුනට ආධ්‍යාත්මික ව ප්‍රත්‍යක්‍ෂ දැනුම ලබාගැනීමට නොහැකි බැවිනි. තම කතා නිවැරැදි නොවන බැවින් ඒ කතාවල ඊනියා සත්‍යාසත්‍යතාව සංඛ්‍යානාත්මක ක්‍රම මගින් යම් ප්‍රතිශතයක ඊනියා නිවැරැදිතාවට යටත්ව ප්‍රකාශ කිරීමට ඔවුන්ට සිදු වී ඇත. විශේෂයෙන් බටහිර ජෛවීය විද්‍යාවන්හි හා බටහිර වෙදකමේ සංඛ්‍යානයෙන් තොර නිවැරැදිතාවක්‌ නැත. බටහිර වෙදකමේ රෝග විනිශ්චය ද ප්‍රතිකාර ද සංඛ්‍යානය මත රැඳෙන අනුමාන හා අනුමාන පමණක්‌ ම වෙයි.

බුදුදහමෙහි ලෞකික මෙන් ම ලෝකෝත්තර දැනුම ද ප්‍රත්‍යක්‍ෂ දැනුමකි. ඇතැම් උගතුන් බටහිර දෙස බලා අනුමානය ද බුදුදහමේ දැනුම ලබාගැනීමේ මගක්‌ යෑයි කීමට උත්සාහ කළ ද චුල්ලහත්ථිපදොaපම සූත්‍රය ආදියෙන් එය ප්‍රතික්‍ෂේප වෙයි. (කලක්‌ මම ද ප්‍රත්‍යක්‍ෂයට අමතර ව අනුමානය ද බුදුදහමෙහි දැනුම ලබාගන්නා මගක්‌ යෑයි සිතුවෙමි. එහෙත් එය වැරැදි බව මට දැන් පසක්‌ වී ඇත.). කැලයේ ඇතකු ගොස්‌ ඇති බව අනුමානයෙන් නොව ඌ දැකීමෙන් ම ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැනගත යුතු ය. ලෞකික දැනුම මනස ආධාරයෙන් අනෙක්‌ ඉන්ද්‍රිය ඇතිව හෝ නැතිව හෝ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගැනීමට බුදුදහමේ ඉගැන්වෙයි. එහෙත් ඒ දැනුම ද මායාවක්‌, නිර්මාණයක්‌ බවත් එකිනෙකාට සාපේක්‍ෂ බවත් අපි දනිමු. මා යනුවෙන් කෙනකු නැතිකල මා විසින් දැනගනු ලැබෙන පුටු ආදිය පමණක්‌ නොව ඊනියා අනෙකා ද ගැන කියනුම කවරෙ ද? නිර්මාණයක්‌ වූ ද සංඛත වූ ද ඒ ලෞකික දැනුම සංකල්ප ඇසුරෙන් ප්‍රකාශ කෙරෙයි. ඒ සංකල්පීය ලෝකය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ශුන්‍ය වෙයි. ඒ ලෝකය දැනගැනීම සඳහා බුදුදහමෙහි අනුමාන කතා ගෙතීමක්‌ නැත. කතා ගෙතීමක්‌ නැති බැවින් කතා වෙනස්‌ කිරීමට අවශ්‍යතාවක්‌ නැත. එහි ආධානග්‍රාහී බවක්‌ නැත. දැනුම ප්‍රත්‍යක්‍ෂ වෙයි. ලෞකික ප්‍රත්‍යක්‍ෂය ද, ඒ ප්‍රත්‍යක්‍ෂයෙහි පදනම වූ මනස ද මායාවක්‌ වුව ද ප්‍රවාද රහිත ව සම්මුතියෙන් ලබාගන්නා දැනුම මත පමණක්‌ ථෙරවාදී බෞද්ධයෝ ලෞකික ව ව්‍යවහාරික ව රැඳෙති. කාලාම සූත්‍රයෙහි භාගයක්‌ පමණක්‌ කියවූවන් කුමක්‌ කීවත් බටහිර විද්‍යාව බුදුදහමට මුළුමනින් ම පටහැනි වෙයි. නිවන ද ප්‍රත්‍යක්‍ෂයෙන් ම අවබෝධ කරගත යුතු ය. එහෙත් මායාවක්‌ වූ මනසින් එය කළ හැකි ද? මනස ද ඇතුළු ලෞකික ප්‍රත්‍යක්‍ෂ සංඛත මායා බව පටිච්චසමුප්පාද බව අවබෝධ කළවිට අසංඛත නිවන ප්‍රත්‍යක්‍ෂ වේ යෑයි සිතමි. එහෙත් පාරමී නැති මට ඒ ප්‍රත්‍යක්‍ෂ නැත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.