යාපනේ නොගිය නම් ලැයිස්‌තුව මේ සතියේ රනිල් අතට!

පියසේන දිසානායක

ඒකාබද්ධ විපක්‍ෂය යාපනයේ දී පවත්වන ලද රැලියට සහභාගි නොවූ සහ පවරන ලද වගකීම් ඉටු නොකළ එක්‌සත් ජාතික පක්‌ෂයේ මහජන නියෝජිතයන්, සංවිධායක වරුන් සහ ක්‍රියාකාරීන් සම්බන්ධව සොයා බලා සකස්‌ කරන ලද විශේෂ වාර්තාවක්‌ පක්‌ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා විසින් නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ සතියේ භාරදෙනු ලබයි.

නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව මහ ලේකම්වරයා විසින් මැයි දිනයට පසුදින සිට ක්‌ෂේත්‍ර ගණනාවක්‌ කෙරෙහි අවධානය යොමු කරමින් මෙම වාර්තාව සකස්‌ කර ඇත.

පක්‌ෂ නායකත්වය වෙත භාරදෙන ලද මෙම වාර්තාව මීළඟ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි රැලියට සහභාගි නොවූ සහ වගකීම් පැහැරහැරිය ක්‍රියාකාරීන් සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට නියමිතව ඇත.

මේ සම්බන්ධව එක්‌සත් ජාතික පක්‌ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතාගෙන් "දිවයින ඉරිදා සංග්‍රහය" කළ විමසුමකට පිළිතුරු ලෙස එ.ජා.ප. මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා කියා සිටියේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි යන මහත්වරු මැයි දිනයට සහභාගි විය නොහැකි බව තහවුරු කර ඇති බවයි.

රෝසි සේනානායක, සුජීව සේනසිංහ යන දෙදෙනා විදේශගතව ඇති අතර තවත් මන්ත්‍රීවරු 6 දෙනෙක්‌ කිසිදු දැනුම්දීමකින් තොරව මැයි රැලියට සහභාගි නොවූ බව පැවසීය.

කරු ජයසූරිය, රංජිත් මද්දුමබණ්‌ඩාර, තලතා අතුකෝරළ මහත්මිය, දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ, අශෝක්‌ අබේසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක්‌ද යාපනයේ පැවැති මැයි රැලියට සහභාගි වී නැත.

පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ගනු ලැබූ තීරණය කඩකරමින් මේ අය මැයි දින රැලියට සහභාගි නොවීම පිළිබඳව ඉදිරි කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේ දී සාකච්ඡා කර පියවර ගැනීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.