අනේ ඒ වෙසක්‌ සඳ  ආයේ කවදා පායයිද?

එකල වෙසක්‌ දවස කියන්නේ හරිම සුන්දර දවසකට. කාලගුණයත් ඒ දවසට ඔබින විදියට හැඩ ගැහිලා. ගස්‌වල මල් පිපිලා. ළා හිරු රැස්‌ ගස්‌වල අතු අතරින් ගලා හැලෙන හැටි බලන්න ලස්‌සනයි.

උදෑසන පවතින්නෙ හරිම මිහිරි නිහැඬියාවක්‌. ශාන්ත බවත් රම්‍යතාවත් එක්‌ වී අප සිත්වල ඇති කළේ කියන්න බැරි තරම් භක්‌තිවන්ත බවක්‌.

වෙසක්‌ උදාවෙන තෙක්‌ අප ඉන්නේ නොඉවසිල්ලෙන් බව කියන්න ඕන නැහැ. වෙසක්‌ ළඟාවෙන කොටම අපගේ සිත ටිකක්‌ කලබල වෙනවා. වෙසක්‌ සඳහා මෙවර කුමන සැරසිල්ලක්‌ කරන්නේද එය සවි කරන්නේ කෙසේද, එයට අදාළ චිත්‍ර ඇඳ ගත්තේ කෙසේද? අප නිතර කතාබහ කළ හැටි මට මතකය.

මේ ගැන අප දස අතේ කල්පනා කරමින් සිටින විට අප කළ යුතු දේ ගැන අපට අදහසක්‌ දුන්නේ පන්සලේ පුංචි හාමුදුරුවන්ය.

ඒ කාලෙ බුදුහාමුදුරුවො අර පාරිලෙයිය වනයට ගිය කතාව හොඳ නැද්ද? ඒ වෙලාවේ අර කැලයේ හිටපු ඇතෙකුයි, වඳුරෙකුයි, බුදුහාමුදුරුවන්ට පලවැල ගෙනත් පූජා කළ හැටි, හරිම අපුරු කතාවක්‌නෙ

"ඇත්තමයි"

බොහෝ මහන්සි වී අප එම වෙසක්‌ සැරසිල්ල සාදා නිම වන විට වෙසක්‌ දින රාත්‍රිය ළඟා වෙමින් තිබුණා. වෙසක්‌දා රැයට එය ප්‍රදර්ශනය කළ නොහැකි වේයෑයි අප සිටියේ මහත් බියකින්.

සැරසිල්ල සකස්‌ කිරීමේදී ඉතා දුෂ්කර කාර්ය වූයේ අවශ්‍ය උපකරණ සපයා ගැනීමය. එකල කුඩා විදුලි මෝටරයක්‌ සොයා ගැනීම අද මෙන් ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවෙයි. වැස්‌සට අසූ වූ විට සේදී නොයන සේ සායම් මිශ්‍රණයක්‌, චිත්‍ර ඇඳීම සඳහා යොදා ගත යුතුවිය.

වෙසක්‌ දා රාත්‍රිය උදාවිය. සැරසිල්ල සඳහා ඉදි කරන ලද කුඩා අට්‌ටාලයේ අප සැරසිල්ල සවි කළේ. පාළු හුදකලා වනාන්තරයේ තනි වී සිටි බුදුන් වහන්සේ වටා යමින් අපගේ කාඩ්බෝඩ් ඇත්රජාත් වඳුරාත් උන්වහන්සේට පලතුරු පූජා කරන අයුරු. පුදුමවන සුළු මනස්‌කාන්ත දර්ශනයක්‌ විය.

එකල අප විසින් කරන ලද මේ අපූරු වෙසක්‌ සැරසිල්ල ගැන සඳහන් කළේ එදා අප ළමා වයසේ සිටිද්දී කළ මේ දෙය අද ඉන්නා දරුවන්ට කළ හැකිද යන්න විමසීමටය.

වෙසක්‌ සඳහා මෙවැනි කුඩා නිර්මාණාත්මක සැරසිල්ලක්‌ කිරීමට අද බොහෝ දරුවන්ට ඉවසිල්ලක්‌ හෝ ඉස්‌පාසුවක්‌ හෝ ඕනෑකමක්‌ද ඇති බවක්‌ පෙනෙන්නේ නැත. මව්පියන් විසින් බල කරනු ලදුව මවුන් බොහෝ විට වාසය කරන්නේ ටියුෂන් පන්තිවල සටහන් පිටු අතරය. එසේ නොමැති නම් සයිබර් අවකාශයේ ය.

මේ නිසා බොහෝ නිවෙස්‌වල වෙසක්‌ දා රෑට එල්ලෙමින් තිබෙන්නේ පවුලේ අය විසින් සාදන ලද කූඩු නොව කඩවලින් මිලට ගත් වෙසක්‌ කූඩුය. අවුරුදුදාට ලහිලහියේ දිව ගොස්‌ µqඩ්සිටියෙන් කැවුම් ගෙනත් අවුරුදු කෑවාක්‌ මෙන්ම වෙසක්‌ පහන් එල්ලන්නෙත් ඒ අන්දමටය.

අද බොහෝ ළමයි "අටපට්‌ටම" බැලීමට මිස අටපට්‌ටම් වෙසක්‌ පහනක්‌ සෑදීමට දන්නේ නැත. ඔවුන් පමණක්‌ නොව ඔවුන්ගේ දෙමාපියන්ද එවැනි කූඩුවක්‌ සෑදීමට දන්නේ දැයි සැක සහිතය. කොහොම වෙනත් කඩේට දුවගොස්‌ වෙසක්‌ කූඩුවක්‌ ගෙනවිත් එල්ලීම මොන තරම් පහසුද? ලාභද?

එහෙත් තමා විසින් සාදන ලද වෙසක්‌ කූඩුවක්‌ දල්වා එල්ලන විට ලැබෙන ප්‍රීතිය හා ආශ්වාදයෙන් දහයෙන් පංගුවක්‌වත් එයින් ලැබෙන්නේ නැත.

වෙසක්‌ කූඩුවද අපේ සංස්‌කෘතිය නියෝජනය කරන සංවේදී අංගයකි. මෙම අංග ඇතුළත් සංස්‌කෘතිය දරුවන්ට පවරා දෙනු ලබන්නේ දෙමාපියන් හා ගුරුවරුන් ය. මෙහිදී මහඟු කාර්ය මඟහැරී ගොස්‌ යමක්‌ නිර්මාණය කිරීමට උගෙනීමේ අවස්‌ථාව ගිලිහී ගොස්‌ය.

වෙසක්‌ කූඩුවක්‌ තනන විට කාලයක්‌ ගත වෙයි. මහන්සියක්‌ද දැරිය යුතුය. පවුලේ අය එකතු වී කරන්නේ නම් ඔවුන් අතර සහජීවනය හා එකමුතුකම ඇති වෙයි. උනුනුන් අතර කතාබහ ඇති වී අදහස්‌ හුවමාරු වී ගැටලු ඇතිවීමේ අවස්‌ථා අවම වෙයි. කඩයෙන් ගෙනවිත් වෙසක්‌ කූඩුවක්‌ එල්ලීමෙන් මේ සියල්ල අහිමි වෙයි. වෙළෙන්දා තර වෙයි. තමාගේ පසුම්බියට තට්‌ටු වෙයි.

බොහෝ අය දැන් වෙසක්‌ උළෙල පවත්වන්නේ බොහොම ලාභයටය. එකල මාතර නූපේ මංසන්දියේ විශාල තොරණක්‌ ඉදිවූවා මට මතකය. දැන් එතැන තොරණක්‌ ඉදිවන්නේ නැත. යහපත් තරුණ කණ්‌ඩායමක්‌ හොඳ බෞද්ධ නාට්‍යයක්‌ ඉදිරිපත් කළාද මතකය.

ඒ නාට්‍යය ද නැත. අනිත් පළාත්වලද තත්ත්වය එසේය. තොරණ ඉදිවන්නේ ඉතා අඩුවෙනි. මේ අන්දමට වෙසක්‌ උළෙලේ උත්කර්ෂවත් බව පැතූ බොහෝ දෙනා දැන් ජීවතුන් අතර නැත. තවත් අය මහලුය. තරුණ පෙළට ඒ ගැන උනන්දු වක්‌ ඇති බවක්‌ නොපෙනෙයි.

එදා වෙසක්‌ තොරණක්‌ අරා බැබළුණ භූමිය පුරා අද වසා සිටින්නේ දැවැන්ත මහල් ගොඩනැඟිලිය. වෙසක්‌ තොරණක්‌ ඉදිකිරීමට තබා දැන් මාතර නූපේ හන්දියේ පය තියා ගන්නටවත් ඉඩක්‌ නැත.

අද වගේම එදාත් නගරබදව දන්සල් ඉදි වී තිබුණා. ඒත් අද වගේ මහා පරිමාණයේ නොවේ. ඒවා ඉතා ඈත ගම් නියම්වලින් නගරයට ඇදෙන දුගී දුප්පත් අසරණ මගීන්ගේ කුසගිනි හා පිපාසය නිවා ගැනීම පණිස තැන තැන ඉදි වූ සැබෑ දන්සල්ය.

මෙවැනි කුඩා දන්සලකට ගොඩවී බඩ පුරා බත් කෑ හැකියි. පිපාසයට කුරුම්බා ගෙඩියක වතුර හෝ පානය කළ හැකිය. සියල්ල කෙරෙන්නේ සතුටු සිතෙන්. ලාභයක්‌ බලාගෙන නොවෙයි. කුසගිනි නිවාගත් මිනිසා දොaත පා මල් වියනක්‌ මෙන් දන්දෙන්නා සිසාරා සිටියි.

අද දන්සල්වලට පෝළිමේ යන පිරිස්‌ දැක ගත හැකිය. ඒ පෝළිමේ ඉන්නේ දුගී මගී නැති බැරි අය නොවේ. හොඳින් ඇඳ පැළැඳ ගත් නෝනලා හා මහත්තුරුය. එදා මෙදා වෙනස ඒකය. මේ විකාරය නවත්වා දැමිය යුතුය. දුගියන්ට දෙන බත්පත ගිල දැමීම ලැඡ්ජා සහගතය.

එදා බැතිමතුන් තමාගේ මඟුලට මරණයට පිහිට වන පන්සලට යාම පළමු දෙය බව මට සිහි කළ හැකිය. අද වෙසක්‌ දාට බොහෝ පන්සල් පාළුවට යාම කනගාටුදායකය.

එදා ගෙවල වැට දිගට රඹ කඳන් මත ගැසූ ඉරටු මත දැල් වූ පොල් තෙල් පහන් අසිරිය මවයි. අද ඒ වෙනුවට ලයිට්‌වැල් ඇත. මෙහි වරදක්‌ නැතත් පොල්තෙල් මැටි පහන ගාම්භීර බවෙන්, සදා බැතිබර බවෙනුත් ඉදිරියෙන් සිටී.

තම හිතවතෙකුට වෙසක්‌ පතක්‌ යෑවීමේ කිසි වරදක්‌ නැත. එහෙත් බුදුන්ගේ සේයාරුව පිටුපස උන්වහන්සේගේ දහමට නොගැළපෙන වදනක්‌ හෝ කවිපදයක්‌ ලියා ඇති බවක්‌ දැනුණු විට සිතට සංවේගයක්‌ ඇතිවේ.

වෙසක්‌ දිනය කියන්නේ සෙල්ලමට හෝ කෝලමට හරවා ගත යුතු දිනයක්‌ නොවේ. වෙසක්‌ දින කියන්නේ උතුම් මිනිසෙකු සියලු ලෝ වැසියන්ගේ හිතසුව පිණිස මහා පරිශ්‍රමයක්‌ දරා ළඟාවිය හැකි ඉහළම ඥාන මණ්‌ඩලය හා අපරිමිත කරුණාවටත් දවසක්‌.

මිථ්‍යා අන්ධකාරයේ ගිලී සිටි මිනිසාගේ ඇස ආලෝකය වෙත හැර වූ ජීවිතයේ යථා ස්‌වභාවය හෙළි පෙහෙළි කරගත් දවසක්‌.

වෙසක්‌ දවස තුන් ලොවටම අගය වන්නේ ඒ නිසා. නොවේද? එහෙත් ගැටලුව වන්නේ එදා පෑයූ කලා සපිරි වෙසක්‌ සඳ යළිත් පායාද යන්නය.


ලීලානන්ද වික්‍රමසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.