ඇමැති ලක්‍ෂ්මන් යාපාගේ ප්‍රකාශය

වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදාක හොඳ ප්‍රකාශයක්‌ කර තිබුණි.

නරක දේශපාලනඥයන් ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කළ යුතුය යන්න එම ප්‍රකාශයයි. ඒ අය පත්කරන්නට ඡන්දය දෙන්නේ ජනතාව විසින්මයි. එසේ පත්කළ පසු ඔවුන්ගේ විෂමාචාර පැවතුම් සම්බන්ධයෙන් රජයට විවේචන එල්ල කරන්නේ ඇයි දැයි අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

බැලූ බැල්මට මෙම ප්‍රකාශයෙහි ඇත්තක්‌ ඇති බව පෙනේ.

නරක බව දැන දැනත් සමහර දේශපාලනඥයන්ට ඡන්දය දී පත්කර ගත්තේ අප විසින්මය. ඉක්‌බිති ඒ දේශපාලනඥයන් මහජනයා ඉදිරියේ නොයෙකුත් අනදර කටයුතුවල යෙදෙන විට "අනේ අපිත් මෙයාට ඡන්දය දුන්නා නොවේ" දැයි මුසුප්පු වතින් බලා සිටින්නෙමු.

අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා කියන්නේ මේ සත්‍යයයි.

එහෙත් ජනතාව වශයෙන් අපේ පැත්තෙන්ද කියන්නට කාරණා තිබේ.

එවැනි නරක යෑයි ප්‍රසිද්ධව පිළිගැනෙන දේශපාලනඥයන් අපේක්‍ෂක ලැයිස්‌තුවලට ඇතුළත් කරන්නේ දේශපාලන පක්‌ෂ විසින්ම වීමය. කුමක්‌ හෝ චණ්‌ඩිකමක්‌ කිරීමෙන් ප්‍රසිද්ධියක්‌ ලබාගන්නා මහජන නියෝජිතවරු දිගින් දිගටම එම විෂමාචාරයෙහි යෙදෙන්නේ ප්‍රසිද්ධිය තව තවත් අපේක්‍ෂාවෙනි. එවැනි නියෝජිතයන් අපේක්‌ෂක ලැයිස්‌තුවලට නම් කිරීමට දේශපාලන පක්‌ෂද උත්සුක වෙති. දේශපාලන පක්‌ෂවලට අවශ්‍ය වන්නේ හොඳින් හෝ නරකින් ජයග්‍රහණය කරන්නෙකි.

ඉදින් නරක දේශපාලනඥයන් කරලියට ගෙන ඒමේ වරද සහමුලින්ම මහජනතාව වෙත පැවරීම යුක්‌ති සහගත නොවේ. චණ්‌ඩි පිළිවෙතින් ප්‍රසිද්ධියට පත්වන දේශපාලනඥයන් අපේක්‌ෂක ලැයිස්‌තුවලට ඇතුළත් කිරීම වාසිදායක යෑයි දේශපාලන පක්‌ෂ නායකයන් සිතන බවක්‌ පෙනේ.

පසුගිය මහා මැතිවරණයේදී මහත්මා දේශපාලනයේ යෙදුණු අමැතිවරු පවා පරාජය වූහ. ඒ වෙනුවට චණ්‌ඩීහු වැඩිම මනාපයෙන් තේරී පත්වූහ. ඇතැම් ඉතා හොඳ හැසිරීමෙන් යුත් ඇමැතිවරු මන්ත්‍රීකම රැක ගත්තේ ඉතා අමාරුවෙනි.

මෙසේ වූයේ ඇයි?

මැර අපේක්‍ෂකයන් මහත්වරුන් පරදා ඉහළට නැගුණේ කෙසේද? අත දිගහැර වියදම් කිරීමෙන් බව හැම දෙනාම දන්නා කරුණකි. නොනිල අල්ලස්‌ දීමෙන් මැර අපේක්‍ෂකයන් බහුතරයක්‌ වූ පීඩිත පංතියේ ඡන්ද දිනා ගත්හ. මහත්මා දේශපාලනයෙහි යෙදුණු ඇතැම් අපේක්‍ෂකයන්ට ලැබුණේ වැදගත් ඡන්ද පමණි.

සමානුපාතික ඡන්ද ක්‍රමයත් සමගම දේශපාලන රටාව වෙනස්‌ වුණි. එය අනෙකා අභිබවා නැඟී සිටීමට හැකි තැනැත්තා ජය ගැනීමෙහි ඡන්ද ක්‍රමයකි. අනෙකා අභිබවා නැඟී සිටීමේ ක්‍රමය හොඳින් හෝ නරකින් විය හැක. නරකින් යනු තම පක්‌ෂයෙන්ම ඉදිරිපත් වන අනෙකාගේ පක්‌ෂ කාර්යාල කඩාදැමීම පහරදීම පමණක්‌ නොවේ. ඡන්දදායකයන්ට මුදල් දීම, යම් යම් භාණ්‌ඩ දීම, ජාවාරම් කටයුතු සඳහා ඉඩකඩ සපයාදීම වැනි කටයුතුවලින් ඡන්ද දායකයන් දිනා ගැනීම, මැර අපේක්‍ෂකයන්ගේ ක්‍රියාවලියයි.

ඒ ආකාරයෙන් අපේක්‍ෂකත්වය දිනා ගන්නා ඇතැම් මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ද ලැබේ. එය ආවරණයක්‌ කරගන්නා ඇතැම් මැති ඇමැතිවරු තමා වියදම් කළ මුදල හෝ ධනය යළි සපයා ගැනීමට විවිධ "ව්‍යාපාරවල" යෙදෙති.

ඉඳින් මහජනයා කුමක්‌ කරන්නද?

මෙහිදී මහජනයා යනු එවැනි මැති ඇමැතිවරුන්ගේ සියලු ක්‍රියා අනුමත කරන්නෝ නොවන බව අමතක නොකළ යුතුය. නමුත් මැර වැඩට එරෙහිව ඡන්දය දෙන්නෝ හැම විටම පාහේ පරදිති.

ලක්‍ෂ්මන් යාපා අමාත්‍යතුමා කියන පරිදි නුසුදුස්‌සන් ඉවත් කිරීම ලෙහෙසි නැත. එසේ කරන්නට නම් මැතිවරණයක්‌ තිබිය යුතුය. නමුත් මහ මැතිවරණ හැමදාම නැත.

අනිත් අතට නරකම තත්ත්වය වන්නේ මැර දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව සෙසු මහත්මා දේශපාලකයන් හඬක්‌ නොනැඟීමය. එක්‌කෝ එය එක්‌ව විසීමේ සම්මුතිය රැක ගැනීම සඳහා විය යුතුය. නැත්නම් නිහඬව සිටීම හැම අතින්ම හොඳ යෑයි සිතන නිසා විය හැක. එසේත් නැත්නම් මොනව වුණත් අපේ එකෙක්‌ යෑයි සිතා නිහඬව සිටිනවා විය හැක. මේ කොයි ආකාරයෙන් හෝ මැර දේශපාලනයට එරෙහිව හඬ නොනැඟීම මැති ඇමැතිවරුන්ගේ සාමාන්‍ය සිරිතක්‌ව ඇති බව මහජනයා අවබෝධ කරගෙන සිටිත්.

ලක්‍ෂ්මන් යාපා අමාත්‍යතුමාගේ ප්‍රකාශය වැදගත් වන්නේ එවැනි වට පිටාවක්‌ යටතේය. නරක දේශපාලනඥයන් ඡන්දයෙන් නෙරපා හරින්නැයි කියාවත් හඬක්‌ නැඟීම අපගේ සන්තෝෂයට කරුණකි.

මෙය හුදෙක්‌ මගේ පුද්ගලික සිතවිලි සටහනක්‌ නොවේ. රටේ බොහෝ දෙනකුගේ අදහස්‌ ද මෙබඳුය.


චන්ද්‍රසිරි දොඩන්ගොඩ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.