උගත් පාඩම්වල නිමක්‌ නැත
එහෙත් ඉගෙන ගත් දෙයක්‌ ද නැත


මිනීමරු ප්‍රභාකරන් වරෙක කියා තිබුනේ අප රටේ ජනතාවට ඕනෑම දෙයක්‌ මතක තිබෙන්නේ දින පහලොවක්‌ පමණක්‌ බවය. සිදුවන දේවල් දෙස බලන විට එහි සත්‍යයක්‌ නැතුවාම නොවේ. අප වරින් වර අමතක නොවන පාඩම් ඉගෙන ගන්නෙමු. එහෙත් ඒවා ද ටික කලකින් අමතක කර දමන්නෙමු.

ජිනීවා සම්මේලනයේදී අපේ ලොකු අයියලා, මාමලා හා බාප්පලා විසින් ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ගෙන ආ යෝජනාව එහෙයියාවෙන් යුතුව සම්මත කරන ලදී. ඒ අතර කොඳු ඇටය ඇති ඇතැම් රටවල් අප රටට පක්‍ෂව ඡන්දය දී ඇත. කෙසේ වෙතත් මෙහිදී යුක්‌තිය පරදා අපට ද අරුමයක්‌ නැති ශක්‌තිය ජයග්‍රහණය කර ඇත.

ඉන්දියාව මෙම සිද්ධියේදී ජාත්‍යන්තර වශයෙන් අපට සිදු කළ හානිය එසේ මෙසේ එකක්‌ නොවේ. ඉන්දියානු දේශපාලනයේ මෙන්ම විදේශ ප්‍රතිපත්තියේ ද විශාල කලු පැල්ලමක්‌ ඉන් ඇතිකර ඇත. අනාදිමත් කාලයක සිට ලංකාව හා ඉන්දියාව අතර පැවැති සුහදතාවයට ඉන් සිදුවූයේ හානියකි. එහෙත් බටහිරයන් ලංකාවට තැබූ අත කවදා හෝ ඉන්දියාවට ද තැබීමට හැකි බව අප අමතක කළ යුතු නොවේ.

අප උගන්නා පාඩම්වලින් හරි හැටි ප්‍රයෝජන ගන්නේ නැත. ජනතාව පාඩම් ඉගෙන ගත්තත් රෑ වැටුන වළේ දවල් ද වැටෙති. බලධාරීන් ඒ දෙස බලමින් කොක්‌ හඬලති. දැන් දැන් බටහිරයන් ද ඒ බව වටහා ගනිමින් ඒ අනුව කටයුතු කරමින් සිටිති.

පාලකයන් පත්වන්නේ ජනතාව අතුරෙනි. එනිසා මූලික විය යුත්තේ රටක ජනතාවය. ජනතාව යට වී පාලකයන් නැගී ඒම මහත් අනිටු පලදෙන්නකි. මැද පෙරදිග ඇතැම් රටවල ප්‍රශ්න ඇතිවීමට මූලික හේතුව වූයේ පාලකයන් ජනතාව අමතක කොට සැපවිඳීමට යාමය. තෙල් නිසා පොහොසත් වූ ඊජිප්තු වැසියන් පසුගියදා රජයට විරුද්ධව පාරට බැස්‌සේ රොටි සෑදීමට පිටි ලබාදෙන ලෙස ඉල්ලමිනි.

ලෝකයේ බොහෝ රටවල පුරාවිද්‍යාඥයන් සිය කැනීම් මගින් පර්යේෂණයකොට සොයා ගත්තේ පැරණි රජදරුවන්ගේ, ඇමැතියන්ගේ මෙන්ම ආගමික පූජකවරුන්ගේ හා ආගමික ස්‌ථානවල පෞරාණික ඉතිහාසයයි.

ගල්කණු, පොකුණු, රජමාලිගා, විහාර සංකීර්ණ, ගොඩනැගිලිවල පාදම්, රෝහල් ආදී සියල්ලම පැරණි රජවරුන්ට හෝ භික්‌ෂූන් වහන්සේලාට සම්බන්ධ අවශේෂයන්ය. මිසරයේ පිරමීඩ වලින් හෙළිවන්නේ ද පාරාවෝ රජවරුන් නයිල් නිම්නයේ ගත කළ සුඛෝපභෝගී ජීවිතවල ස්‌වභාවයයි. කපිලවස්‌තුව, බරණැස වැනි ස්‌ථානවල අවශේෂ බුදුන් වහන්සේට හා එකල සිටි භික්‌ෂූන් වහන්සේලාට සම්බන්ධය. මේ කිසි තැනකින් සාමාන්‍ය ජනතාවගේ ගොඩනැඟිල්ලක හෝ වෙනත් පාරිභෝගික වස්‌තුවක හෝ අඩුම තරමින් අමුඩ ලේන්සුවක හෝ අවශේෂයන් හමුවී නැත.

මෙයින් පෙනෙන්නේ අනාදිමත් කාලයක සිට පොදු ජනතාව ජීවත්ව සිටියත් ඔවුන් නොවැදගත් පිsරිසක්‌ වූ බවයි. සෞභාග්‍යයෙන් ආඪ්‍යව සැප සම්පත් ඇති ජීවිත ගත කර ඇත්තේ රජවරුන් ප්‍රමුඛ පාලකයන් හා ඇතැම් පූජකවරුන් පමණක්‌ බවය. පැරණි පොත පත හා සෙල්ලිපි ආදියේ ද විස්‌තර වන්නේ එසේ ඉසුරුමත් ජීවිත ගතකළ වුන්ගේ කියුම් කෙරුම්ය. රටේ ධනය එක්‌රොක්‌වී ඇත්තේද එවැනි අතලොස්‌සක්‌ වූ පිරිසක්‌ වෙතය. මෙය අදට ද සාධාරණය.

චීන මහා ප්‍රාකාරය ලොව සුපතල පිරමීඩ ආදිය ඉදිකිරීම සඳහා මහා මිනිස්‌ ශ්‍රමයක්‌ හා ධනයක්‌ වැයවූ බව නොරහසකි. හිට්‌ලර් වැනි යුද උම්මත්තකයන්ගේ සිට අද වන විට බටහිර අධිරාජ්‍යවාදයේ පැවැත්ම හා විවිධ වූ විමුක්‌ති සටන් සඳහා ද අති විශාල ජීවිත ප්‍රමාණයක්‌ විනාශ වී ඇත.

අද වන විට ද මෙම තත්ත්වය වෙනස්‌ වී නැති අතර බලකාමය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල සිදුවෙන යුද ක්‍රියාමාර්ග නිසා අතිවිශාල මිනිස්‌ ජීවිත ප්‍රමාණයක්‌ මරණයට ගොදුරු වෙති. තිස්‌ අවුරුදු භීෂණය නිසා දෙපැත්තෙන්ම වැඩි වශයෙන් විනාශ වී ඇත්තේ සාමාන්‍ය ජනතාවය.

ලෝකයේ පවතින විවිධ දේශපාලන ක්‍රම මගින් පොදුජන ජීවිත සුත මුදිත කිරීම අපේක්‌ෂිතය. එහෙත් එම ක්‍රියාවලිය සාර්ථක වී නැත. අද වන විට රාජ්‍ය පාලනය බොහෝ රටවල හිමිව ඇත්තේ වරප්‍රසාද ලත් එක්‌තරා පංතියකටයි.

ප්‍රජාතන්ත්‍රීය පාලනයක්‌ යටතේ වුවද ලංකාවේ මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට බොහෝ විට ඉඩ ලැබෙන්නේ දැනට දේශපාලනයේ නියෑළෙන්නන්ගේ දූ පුතුන්ට, ඥාති පුතුන්ට, බිරියන්ට, හා ළඟම නෑයන්ටය. දේශපාලන විද්‍යාව උගන්නා සිසුන් බොහොමයක්‌ සිටියත් දේශපාලන ක්‌ෂේත්‍රයට ඒමට ඔවුන්ට ඉඩ ලැබෙන්නේ කලාතුරකිනි. මෑතකදී තරුණ සේවා සභාව විසින් යොවුන් පාර්ලිමේන්තුවක්‌ ස්‌ථාපනය කර ඇතත් එම රැස්‌වීම් ශාලාවේ විදුලි බිල පවා ජනතාවට බරක්‌ වනවා මිස ඉන් වන සෙතක්‌ද නැති විය හැක. එයද හුදෙක්‌ දේශපාලකයන්ගේ සිතැඟි පරිදි කටයුතු කරනු ලබන තවත් ආයතනයක්‌ මිස එයින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් බිහිවීමද සැකසහිතය.

මේ අනුව දේශපාලකයන්ගේ කජු කිරි කොල්ලන්ට ඇතැම් විට දේශපාලනය ගැන නොදන්නා පුද්ගලයන්ට ඡන්දය දීමට ජනතාවට සිදුවේ. ජනතාවට පාඩම් ඉගෙන ගන්නට ලැබෙන්නේ ඉන්පසුවය. දේශපාලකයන්ගේ කජු කිරි කොල්ලන් ජනතාවට අම්බානට නෙලුවත් මරා දැම්මත් ජනතාවට වගේ වගක්‌ නැත. ඊළඟ මැතිවරණවලදීද ඇතැම්විට නැවත බලය දෙන්නේ උගත් පාඩම් අමතක කරමිනි. නීති විරෝධී ලෙස මුදල් ඉපැයීමට වෙහෙසන ඇතැම් පුද්ගලයන් පිළිබඳ දේශපාලන ක්‌ෂේත්‍රයේ ද දැන් දැන් අසන්නට ලැබෙන්නේ ඒ අනුවය.

මේ අතර රටේ නීතිය වල් වැදී ඇතැයි බොහෝ තැන්වලින් කියෑවේ. රජය මත්පැන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට වෙහෙසෙන බව පෙනුනත් එහි ප්‍රතිඵලය ඉතා අඩු බව කිවයුතුය. මේ අතර බහු මිනීමැරුම් නඩුවකදී එල්ලුම් ගහට නියම වූ චූදිතයන් පිරිසකට ජීවිත සමාව ලැබී ඇත. එල්ලුම් ගහට නියමවූවන් හට ද එල්ලුම්ගහට නැගීමට සිදු නොවේ. එනිසාම අපරාධ වැඩිවී ඇති බවක්‌ද කියෑවේ.

ඇතැම් දේශපාලකයන්ද මත්කුඩු ජාවාරම්කරුවන් හා සම්බන්ධතා පවත්වන බවට තොරතුරු ඇත. එමතුදු නොවේ, ඒ වෙනුවෙන් මිනී මරා ගනිති. කහවත්තේ ඝාතනය පිළිබඳ විවිධ විවේචන නැගුණි. මත්කුඩුවලට මිනීමැරුම්වලට මෙන්ම පාපතරයන් බේරා ගැනීමට දේශපාලන හස්‌ත ක්‍රියාත්මක වන අයුරු රටම දනී. මෙවන් අවස්‌ථාවන්හිදී ජනතාව නීතිය අතට ගෙන ක්‍රියාකිරීමද දක්‌නට ලැබෙන්නේ එහෙයිනි.

කලකට පෙර කැලෑ විනාශ කිරීම, අනවසර මැණික්‌ ගැරීම, අනවසර වැලි ගොඩදැමීම, නිධන් වස්‌තු හෑරීම හා ආගමික හා ඓතිහාසික වස්‌තුන් විනාශ කිරීම සොරකම් කිරීම ආදිය බහුලව සිදුවිය. මේවාට දේශපාලන බලපෑම් තිබූ බව කියෑවුන අතර අද ද මේ තත්ත්වය නැවතී නැත.

එමෙන්ම එවැන්නන්ට ජනතාව ඉගැන්වූ පාඩම් ඇතැම් දේශපාලකයන්ට අද අමතක වී ඇත.

දූෂණය හා අල්ලස රජවූ රටකට අනාගතයක්‌ නොමැති බව ජනතාව දැන සිටියහ. එහෙත් අද ද ඇතැම් දේශපාලකයන් වෙනුවෙන් එවැනි චෝදනා නැගෙමින් පවතී. සමහරු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගනිති. කෝප් වාර්තාවේ ඇතැම් රාජ්‍ය ආයතනවල කෝටි ගණනින් වංචා සිදුවූ බව දක්‌වා ඇත. පසුගිය ආණ්‌ඩු කිහිපයකම එසේ අනවශ්‍ය ලෙස රාජ්‍ය බලය යොදවා කලු සල්ලි ඉපැයූ දේශපාලකයන් රාශියක්‌ ජනතාව විසින් පරාජය කර ඇත.

ඉන්දියාවේ හිටපු තමිල්නාඩු මහ ඇමැතිගේ දියණිය වංචා කිහිපයක්‌ හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. ජපානයේ හිටපු කෘෂිකර්ම ඇමැති කව්ෂු මට්‌සුඩකා මහතා පාර්ලිමේන්තුව අසලදී ගෙල වැලලාගෙන මිය ගියේ මූල්‍ය වංචා චෝදනාවක්‌ හේතුවෙනි.

මෙවන් රටකට හිටි අඩියේ සුනාමි ව්‍යසන කඩා පාත්වීම අරුමයක්‌ නොවේ. අරුමය වන්නේ මෙවන් පාපතරයන් එම ව්‍යසනවලින්ද ආරක්‌ෂා වී සිටීමය. කණගාටුව වන්නේ මෙවන් දේශපාලකයන් නැවත නැවත එම තනතුරුවලට පත්වීමය. එතැන් සිට මේ විෂම චක්‍රය නැවත ක්‍රියාත්මක වේ.

රජයේ ඉහළ තනතුරු, දේශපාලනයේ යෙදෙන ඇතැම් අඳබාලයන්ට හිමිවීමේ විපාක අප සැමදා අත්විඳිමින් සිටින්නෙමු. සභාපති, අධ්‍යක්‍ෂ පදවි මෙන්ම රජයේ ප්‍රධාන තනතුරු හා ඇමැති ලේකම් වැනි පදවි බොහෝ විට දේශපාලන අඳබාලයන්ට හිමිවනු පෙනේ. විදේශ තානාපති සේවයේ ඇතැම් පදවිවලටද දේශපාලන අඳබාලයන් පත්වීම ලංකාවේ සාමාන්‍ය දෙයක්‌ වී ඇත. එම පදවි පමණක්‌ නොව, දේවාල, පන්සල් ආදියේ කපු, නිලමේ පදවිවලට පවා පත්වන්නේ දේශපාලන බලපෑම් ඇති පුද්ගලයන්ය. ඉන් සිදුවි ඇති සමාජ දූෂණය බලධාරීන්ට නොපෙනේ. රජයට හා විවිධ පුණ්‍යායතනවලට ලැබිය යුතු විශාල ආදායමක්‌ මේ නිසා පුද්ගලීකරණය වී ඇති බවට චෝදනා ඇත. මෙම විශාල ආදායම් බොහෝවිට කිහිප දෙනකුගේ සුඛවිහරණයට වෙන්වී ඇත.

මේ අතර ඇතැම් බස්‌නායකලා එළිපිටම විවිධ දූෂණවල යෙදෙති. බාල අපචාර චෝදනා ඇති ඇතැම් භික්‌ෂූවක්‌ ඔහුගේ නිලතල අහෝසි කළ විට අතිපූජ්‍ය මහානායක හිමියන්ට පවා අභියෝග කළේ මේ නොබෝදාය. එහෙයින් සුකිරි බඩිල්ලන්ට වගකිවයුතු ඉහළ තනතුරු දීම වැළැක්‌විය යුතුය.

මේ අතර කලු සල්ලි ඉපැයීමෙන් බලවතුන් වී සිටින ඇතැම් දේශපාලකයන්ට බයිට්‌ වී ඇත්තේ සාමාන්‍ය ජනතාවය. කනගාටුව වන්නේ විශ්‍රාම යා යුතු වයසේ ඇතැම් දේශපාලකයන්ද මේවාට අනුබලදීමය. ජීවන බරින් මිරිකී සිටින ජනතාවට පාට්‌ දැමීමට දැන් දැන් බුරුතු පිටින් ප්‍රාදූර්භූතවීම එක්‌ අතකින් විසඳුම් නැති සමාජ ගැටලුවකි.

පවතින මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණ කළ හැක්‌කේ ධනවතුන්ට පමණි. කසිප්පු මුදලාලිලා, හොර හරක්‌ ජාවාරම්කරුවන්, කැලෑ පාලුවන්, දේශපාලනයට එන්නේ ඒ අනුවය. ඔවුන්ට පක්‍ෂයේ බරපැන දැරීමට හැකිවීම වාසියකි. මුදල් වියදම් කරන නිසා ඔවුන්ගේ නොසංඩාල වැඩවලට පක්‍ෂයේ අනුග්‍රහය ද ලැබේ. බලයට ආපසු වියදම් කළ මුදල් ලබා ගැනීම සඳහා ඔවුහු විවිධ අකටයුතුකම්වල යෙදෙති. රටට ගැළපෙන ලෙස ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමක්‌ හා මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්‌ අවශ්‍ය වුවත් නොකෙරෙන්නේද එයමය. ධනය, බලය හා චංඩිකම ඉස්‌මතුවීම නිසා සමාජ ස්‌ථරයේ බිඳවැටීම සිදුවේ.

ආශ්චර්යයට යැමේදී අප අමතක නොකළ යුතු අවස්‌ථාවන් රාශියක්‌ ඇත. අපට වඩා පහළ ආර්ථික මට්‌ටමක්‌ තිබූ ස්‌වාභාවික සම්පත්වලින් තොරවූ ඇතැම් රාජ්‍ය දියුණු වූ අයුරු අප සලකා බැලිය යුතුය. මැලේසියාව හා සිංගප්පූරුව වැනි රාජ්‍ය අද වන විට කැපී පෙනෙන ආර්ථික දියණුවක්‌ ලබා ඇත. 2015 වන විට බංගලිදේශය චන්ද්‍රිකාවක්‌ ගුවන්ගත රීමට සැරසේ. ඔවුන් මේ වන විට ලෝක ශූරතාවය දිනූ ලංකාව අභිබවා ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ද ඉදිරියට ගොස්‌ ඇත.

අපගේ ඇතැම් මැති ඇමැතීන් මෙන්ම ඇතැම් බලධාරීන් තමන්ට කළයුතු වැඩ කොටස නොකරමින් නායකත්වයේ හොඳ හිත දිනා ගැනීම් වස්‌ වාචාල බස්‌ දොඩන බඩ පිනුම් ගසන ප්‍රවණතාවක්‌ ඇතිවෙමින් පවතී. එය ජනතාවට විනෝදය ගෙන දෙමින් රජයට සිදුකරන අයහපත ගැන කිසිවෙකුත් සිතා නොබලන බවක්‌ පෙනේ.

සංඛ්‍යාලේඛන දක්‌වමින් රුපියල් හත්දහස්‌ පන්සියයකින් මසක්‌ ජීවත්විය හැකි බව හා හාල්පිටි කිලෝ එකකින් ඉදිආප්ප තුන්සිය පනහක්‌ සාදන ඇමැතිවරුන් මේ දිනවල ජනතාවට විහිළු සපයමින් සිටියත් ජනතාව එය දකින්නේ වෙනත් ආකාරයකිනි.

මෙනිසාම ඇමැතිවරුන්ට ලැබෙන ලක්‍ෂයේ ගෙවල් කුලිය ළඟම ඥාතීන් කාර්යමණ්‌ඩලයට බඳවා ගැනීමෙන් ලබන ආදායම්, තීරු බදු රහිත වාහන බලපත්‍ර විකිණීමෙන් ලබන ආදායම්, පගා කප්පම්, කොමිස්‌ ලබා ගැනීම් නොමිලේ පැට්‌රල්, දුරකථන, රක්‌ෂණ බිල් හා රෝහල් ගාස්‌තු, කුඩු ව්‍යාපාර, ගස්‌ කැපීම් හා ඇතමුන්ගේ නිධන් කොල්ලකෑම්, ඉල්ලම් පස්‌ ඉස්‌සීම් ආදිය මගින් ලබා ගන්නා ආදායම් ගැන ජනතාව අතර කථාබහ ඇති වෙමින් පවතී.

මෙවන් කඩතොලු කථාවලින් ජනතාව තුළ ඇති වන කෝපය වගකිවයුත්තන්ට නොදැනීම ද පුදුමයකි. මේ අතර තවත් වගකිවයුත්තෙක්‌ පන්සල් නොයන්නන්ගේ වැටුප් වර්ධක නවතාලන බවට ප්‍රකාශ කළේද මේ නොබෝදාය. කෙසේ වුවත් ජනතාව අතර සමච්චලයට භාජනය නොවී කටයුතු කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමකි.

පසුගියදා ලංකාවට පැමිණි ඉන්දීය නියෝජිත පිරිස විසින් උතුරු නැගෙනහිර යථා තත්ත්වය හොඳ හැටි නිරීක්‍ෂණය කර ඇත. මේ අතර තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති කරුණානිධි විසින් ලංකාවේ ඊළමක්‌ පිහිටුවීම සඳහා ජනමත විමසුමක්‌ අවශ්‍ය බව පවසා ඇත.

එම ප්‍රකාශය ඔඩු දිවීමට පෙර ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා කදිම පිළිතුරක්‌ දී ඇත. ලංකාවේ බෙදුම්වාදයට ඉඩ නැති බවත් ඊළමක්‌ අවශ්‍ය නම් එය තමිල්නාඩුවේ පිහිටුවා ගැනීම කළ යුතු බවත් එතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ඉන්දීය නියෝජිත පිරිස හමු වූ සම්බන්ධන්ලා කණ්‌ඩායම උතුරු නැගෙනහිරට පොලිස්‌ බලතල අවශ්‍ය බවත්, සියලු යුද හමුදා කඳවුරු ඉවත් කළයුතු බවත් ඉල්ලා ඇත. ප්‍රභාකරන් යුද්ධ කළේ එවැනි ඉල්ලීම් ආයුධ බලයෙන් දිනා ගැනීම සඳහාය. එය ව්‍යර්ථ කර ඇත. එනිසා පැහැදිලිව එවන් ඉල්ලීම් නොදෙන බවට රජය ජාත්‍යන්තරයට අවධාරණය කළ යුතුය.

රට බෙදීමට අවශ්‍යව ඇත්තේ දෙමළසන්ධානය, ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන් හා මෙරට සිටින පාපතර දේශෙද්‍රdaහීන් ඇතුළු පිටරට ජීවත්වන දෙමළ සුළුතරයකට පමණි. ශ්‍රී ලංකාව උගත් පාඩම් අනුව කවර ආකාරයකින් හෝ බලය බෙදීමකට ජනතාව පෙළ ගැස්‌සවිය නොහැක. ඊනියා ඩයස්‌ පෝරාවේ පුද්ගලයකු බාල දැරියක අපයෝජනය කළ සිද්ධියක්‌ පසුගිය දිනවල ප්‍රසිද්ධ විය. ඩයස්‌ පෝරාවේ ප්‍රචාරයන් බොරු බව ඉකුත් පෙබරවාරි 22 දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී හෙළි කෙරිණ. තමිල්නාඩු ධීවරයන්ට ලංකා නාවික හමුදාව පහර දෙන බව කීම අසත්‍යයක්‌ බව ඉන්දියා ධීවර ඇමැති ජයලාල් මහතා පවසා ඇත.

මේ අතර තමිල්නාඩුවේ ප්‍රභාකරන් පිළිබඳ පොතක්‌ එළිදැක්‌වීමකදී වයිකෝ එය නැවත දෙමළ තරුණයන්ට ආයුධ ගැනීමට මගපෙන්වා දෙන්නක්‌ බව සඳහන් කර ඇත. ඉන්දියාව කොටි සංවිධානය තහනම් කළ රාජ්‍යයක්‌ වුවත් ජයලලිතා මහ ඇමැතිවරියට එය අමතකව ඇත.

මේ අතර ඉන්දියානු විපක්‍ෂ නායිකා සුෂ්මා ස්‌වරාඡ් මහත්මිය අපේ දේශපාලකයන්ට ඉතා අගනා පාඩමක්‌ කියා දී ඇත. ඇය ලංකාවේදී කටයුතු කර ඇත්තේ නියම රාජ්‍ය තාන්ත්‍රික භාවයකිනි. ඇය ඉන්දියාව මිස ඇගේ පක්‍ෂයේ ප්‍රතිපත්ති නියෝජනය කොට කටයුතු කර නැත. විදේශ සංචාරවල නිරත වන අපගේ විපක්‍ෂ බලධාරීන්ට එය හොඳ ආදර්ශයකි. එහෙයින් කාගෙන් හෝ පාඩම් ඉගෙන ඒවා ලංකාවේ පැවැත්ම වෙනුවෙන් යෙදවීම ජනතාවගේ මෙන්ම දේශපාලකයන්ගේද වගකීමක්‌ බව යළි මතක්‌ කර දිය යුතුය.

අපි අතීතයේ සිට විවිධාකාර පාඩම් ඉගෙන ගෙන ඇත්තෙමු. දැන්වත් ඒ අනුව සිතා බලා අනාගතය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කළ යුතු වේ.

හි. ලි. ඔස්‌ටින් සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.