ඊළම නොකියා ඊළම ඉල්ලන දෙමළ සංධානය

කොටි සංවිධානය තමන් වෙනම රාජ්‍යයක්‌ වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කර ඒ වෙනුවෙන් කටයුතූ කළත්, දෙමළ ජාතික සංධානය ද සිය අරමුණ ප්‍රකාශ නොකරම වෙනම රාජ්‍යයක්‌ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව පැහැදිලි කාරණයක්‌ වුවත් එම සංවිධානය ද, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් ද, එම චෝදනාව දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කරමින් සිටියි. එසේ වුවත් එම චෝදනාව දෙමළ ජාතික සංධානයේම ප්‍රකාශන යොදා ගෙන තහවුරු කළ හැකි බව සඳහන් කළ හැක.

දෙමළ ජාතික සංධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ (ඉංග්‍රීසි පිටපතේ) මෙසේ සඳහන් කර ඇත. 16 වැනි සියවසේ දී බටහිර බලවේග සිලෝන් නමැති මෙම දූපතට පැමිණීමට පෙර මෙහි රාජ්‍ය තුනක්‌ පැවතුණි. එක්‌ රාජ්‍යයක්‌ උතුරේ පැවැති අතර එය දෙමළ ජාතිකයන්ට අයත් විය. මධ්‍ය කඳුකරයේ පැවැති නුවර රාජධානිය 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් වට්‌ටන ලදී. 1833 දී බ්‍රිතාන්‍යය විසින් පරිපාලනමය පහසුව සඳහා එම ජාතින් තුන එක්‌සත් කරන ලදී. මෙලෙස ආරම්භ වන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උතුර සහ නැගෙනහිර යන පළාත් දෙමළ ජනතාවගේ "සම්ප්‍රදායික නිජභූමිය" ලෙස එම ජනතාව සලකන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.



දෙමළ ජාතික සංධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ අතීතයේදී උතුරේ දෙමළ රාජධානියක්‌ පැවැති බව සහ උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ සම්ප්‍රදායික නිජභූමිය බව ප්‍රකාශ කිරීම තුළින් පැහැදිලි වන්නේ එම සංධානය එම ඊනියා අයිතිය මුල්කර ගනිමින් එය දිනා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. දෙමළ ජාතික සංධානය උතුරේ සහ නැගෙනහිර පළාත් සභා සඳහා ඉඩම් සහ පොලිස්‌ බලතල ඉල්ලා සිටින්නේ ඔවුන් සඳහන් කරන ඓතිහාසික සාධක පදනම් කරගෙන බව සඳහන් කළ හැක. 1987 දී අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුම මගින් උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ සම්ප්‍රදායික වාසභූමි ලෙස පිළිගෙන ඇති පසු බිමක, එම ප්‍රදේශවල ඉඩම් සහ පොලිස්‌ බලතල එම ප්‍රදේශයේ පළාත් සභාවන්ට (දෙමළ ජාතික සංධානයේ අභිලාෂය වී තිබෙන්නේ එම දෙපළාතම සඳහා එක්‌ පළාත් සභාවක්‌ පිහිටුවීමයි) ලබාදීම මගින් දෙමළ ජාතික සංධානයේ අරමුණ ඉටුවන බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ නැත.

එම පසු බිම තුළ කොටි සංවිධානය අපේක්‍ෂා කරන ආකාරයේ සම්පූර්ණයෙන්ම වෙන් වූ දෙමළ රාජ්‍යයක්‌ නිර්මාණය නොවුණත් පෙඩරල් රාජ්‍යයක්‌ තුළ දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ බිහි වන බව පැහැදිලිය.

එම පසුබිම තුළ තවදුරටත් සිංහල ජනතාවට උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශ තම මාතෘ භූමියට අයත් භූමි ප්‍රදේශ ලෙස සලකා කටයුතු කළ නොහැක. දෙමළ ජාතික සංධානයේ ඕනෑ එපාකම් අනුව කටයුතු කළහොත් සිංහල ජනතාවගේ නිජභූමිය වන්නේ උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශයන් පමණි. අවසානයේ දී එම ප්‍රදේශයන් සිංහලයන්ගේ නිජභූමිය ලෙස නොව ශ්‍රී ලාංකිකයන්ට අයත් ප්‍රදේශ ලෙස සලකා කටයුතූ කිරීමට සිංහල ජනතාවට සිදුවනු ඇත. මෙම තත්ත්වය සිංහල ජනතාව නිවැරදි ලෙස තේරුම් ගෙන ඇති බැවින් ඊනියා බලය බෙදීම රට බෙදීමක්‌ ලෙසම සිංහල ජනතාව තේරුම් ගෙන කටයුතු කරමින් සිටි. මේ දක්‌වා ක්‍රියාවට නැගීමට උත්සාහ දරණ ලද බණ්‌ඩාරනායක - චෙල්වනායගම්, ඩඩ්ලි - චෙල්වනායගම්, 13 වැනි සංශෝධනය සහ 1995 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුතු පොදු පෙරමුණ විසින් ගෙන එන ලද දේශපාලන යෝජනාවලිය හෙවත් පැකේජය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ සිංහල ජනතාවගේ මෙම නිවැරදි අවබෝධය හේතුවෙනි.

දෙමළ ජාතික සංධානය සමඟ ආණ්‌ඩුව දිගින් දිගටම සාකච්ඡා සිදුකළත් අවසාන තීන්දුවකට එළඹීමට නොහැකි වී තිබෙන්නේ ද දෙමළ ජාතික සන්ධානය සිය දේශපාලන පදනම සේ සලකා කටයුතු කරන මෙම බොරු ඉතිහාසය හේතුවෙන් බව පැහැදිලිය. එසේ වුවත් දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී දේශපාලනය දැන හෝ නොදැන ඊට අනුග්‍රහය දක්‌වන පුද්ගලයන් දිගින් දිගටම ආණ්‌ඩුවට යෝජනා කරමින් සිටින්නේ දෙමළ ජනතාවට පිළිගත හැකි ඔවුන්ගේ ගෞරවය ආරක්‍ෂා වන විසඳුමක්‌ ලබාදිය යුතු වන බවයි. පසු ගිය 21 දා මෙරටට පැමිණි ඉන්දීය විපක්‍ෂ නායිකාව ද ප්‍රකාශ කර තිබුණේ දෙමළ ජනතාවගේ ආත්ම ගෞරවය රැකෙන විසඳුමක්‌ අවශ්‍ය වන බවයි.

එසේ වුවත් දෙමළ ජනතාවගේ ඊනියා ප්‍රශ්න විසඳීම වෙනුවෙන් පෙනී සිටින එකදු පුද්ගලයකු හෝ උතුරේ සහ නැගෙනහිර පැවැති ඊනියා ඓතිහාසික නිජ භූමියක්‌ පිළිගත යුතු බව ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියි. මෙහි දී පැන නගින ගැටලුව වන්නේ ඓතිහාසිකව දෙමළ නිජභූමියක්‌ පැවැතියාය යන විශ්වාසය හැර දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරන ප්‍රශ්නය කුමක්‌ ද යන්නයි. දෙමළ ජාතික සන්ධානය දෙමළ කතා කරන ජනතාව යන සටන් පාඨය යටතේ මුස්‌ලිම් ජනතාව ද සිය සටනට එකතු කර ගැනීමට උත්සාහ දැරුවත් එම උත්සාහය ලත් තැනම ලොප් වී ඇති බව පැහැදිලි වන්නේ මුස්‌ලිම් ජනතාව ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙනම දේශපාලන පක්‍ෂ පිහිටුවා ගෙන ඇති බැවිනි. මුස්‌ලිම් ජනතාව තබා කඳුකරයේ ජීවත් වන දෙමළ ජනතාවවත් තම සටනට එක්‌ කර ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමත් වී නැත. දෙමළ ජාතික සන්ධානයට පෙර, එම දේශපාලන පෙරමුණේ සිටින දේශපාලනඥයන් බොහෝ දෙනකු පෙනී සිටියේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ යන නාමය යටතේය.

අප්පාපිල්ලේ අමිර්තලිංගම් ගේ නායකත්වය යටතේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ පිහිටුවා ඇත්තේa 1976 මැයි මස 14 වැනි දින වඩුක්‌කොඩෙහි දී පැවැති දෙමළ එක්‌සත් සංගමය පැවැත්වූ සම්මේලනයේ දීය. දෙමළ එක්‌සත් පෙරමුණ ගොඩ නඟා ඇත්තේ දෙමළ රාජ්‍ය පක්‍ෂය හෙවත් ඊලන්කෙයි තමිල් අරසු කච්චි, දෙමළ කොන්ග්‍රසය, මෙන්ම සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා වතු කම්කරු සංගමය ඇතුළු දේශපාලන පක්‍ෂ ඒකරාශි වීමෙනි. නමුත් 1976 මැයි මස 14 වැනි දින ඓතිහාසිකව පැවැති දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පිළිබඳ වූ අදහස මත පිහිටා වෙනම දෙමළ රාජ්‍යයක්‌ ලබා ගැනීමට තීරණය කිරීමත් සමගම සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා වතු කම්කරු සංගමය එම සංවිධානයෙන් ඉවත් වී ඇත. එමෙන්ම බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් දිගින් දිගටම දෙමළ කතා කරන ජනතාව යන සටන් පාඨය යටතේ මුස්‌ලිම් ජනතාව ද සිය කොඩිය යටතට ගැනීමට උත්සාහ දැරුවත් එම උත්සාහය ද අසාර්ථක වී ඇත.

මෙම සියලු සාධකයන්ගෙන් පැහැදිලි ලෙසම පෙනී යන කාරණය කුමක්‌ ද? එම කාරණය නම් මධ්‍යම පළාතේ ජීවත්වන තොන්ඩමන්ලා ඇතුළු දෙමළ ජනතාවට සහ මුස්‌ලිම් ජනතාවට නැති ප්‍රශ්නයක්‌ ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සංධානයට තිබෙන බවයි. එබැවින් ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය අපේක්‍ෂා කරන ඊනියා විසඳුම පොදුවේ මෙරට ජීවත් වන දෙමළ ජනතාව අපේක්‍ෂා කරන විසඳුමක්‌ ලෙස හඳුන්වාදීම සාධාරණ වන්නේ නැත. ඒ උතුර සහ නැගෙනහිරට ලබාදෙන ඊනියා විසඳුමකින් එම ප්‍රදේශවලින් පරිබාහිරව ජීවත් වන දෙමළ ජනතාවගේ ඊනියා ප්‍රශ්න නොවිසඳෙන සහ එම ජනතාව දෙමළ නිජබිමක්‌ පදනම් කරගෙන විසඳුමක්‌ අපේක්‍ෂා නොකරන බැවිණි.

එසේ වුවත් ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින සියලු පාර්ශ්වයන් කරනු ලබන ප්‍රකාශ තුළින් ගම්‍ය වන්නේ දෙමළ ජනතාව දෛනිකව මුහුණ දෙන ප්‍රශ්න විසඳීමකින් තොරව ආණ්‌ඩුව කල්මරමින් සිටින බවයි.

එසේ වුවත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉතා හොඳින් පැහැදිලි වන්නේ දෙමළ ජනතාව එබඳු ප්‍රශ්න වලින් පීඩා නොවිඳින බවයි. දෙමළ ජනතා වගේ ආත්ම ගෞරවය රැකීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් ඒ ආකාරයෙන් ලබාදීම ඓතිහාසික වරදක්‌ වන අතරම එය ඉන් අනතුරුව සිංහල ජනතාවගේ ආත්ම ගෞරවය පිළිබඳව ප්‍රශ්නයක්‌ බවටද පත්වන බව පැහැදිළිය.

දෙමළ ජාතික සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බටහිර බලවේග පැමිණීමට පෙර උතුරේ පැවැති දෙමළ රාජ්‍යයන් පිළිබඳව සඳහන් කළත්, මෙරට ජීවත් වන දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉතිහාස පොත ලෙස සැලකිය හැකි යාල්පානම් වෛපවමාලේ නම් ලන්දේසි යුගයේ දී රචනා කළ කුඩා කෘතියේ සඳහන් වන්නේ ආර්ය චක්‍රවර්ති පාලනයක්‌ පිළිබඳව පමණි. ඉන්දියාවේ හදිගුම්පා හි පිහිටි සෙල්ලිපියක පවා සඳහන් වී තිබෙන්නේ ආර්ය චක්‍රවර්තීන් දෙමළ නොවන බවයි. දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉතිහාස පොත වන යාල්පනම් වෛපවමාලේ නම් කෘතියේ සඳහන් වන ආකාරයට අතීතයේ දී වැලිගොඩ නමින් හැඳින්වූ මෙරට උතුරු පස ඉන්දියාවේ සිට පැමිණි වීදරාගවන් නම් අන්ධ කවියකුට නුවර යුගයේ සිටි රජකු විසින් නින්දගමක්‌ සේ ලබා දී ඇත. එම අවස්‌ථාව වන විට එම ප්‍රදේශයේ සිංහල ජනතාව ජීවත් වූ බවත්, එම ප්‍රදේශයේ ජීවත් වූ සියලුම බෞද්ධයන් සිංහලයන් වූ බවත් එම කෘතියේ සඳහන් කර ඇත. ඒ අනුව මහාවංශයේ ඉතිහාසය අනුව නොව දෙමළ ජනතාවගේ ඉතිහාසය ද අනුව එම ප්‍රදේශයේ ඓතිහාසිකව දෙමළ ඊළමක්‌ නොපැවති බව තහවුරු කළ හැක. එසේ වුවත් ව්‍යාජ ඉතිහාසයක්‌ මත පදනම් වී අතීත කාමයෙන් යුතුව ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ යුතුය. දෙමළ ජාතික සංධානයේ අතීත කාමය සන්තර්පනය කිරීම දෙමළ ජාතිකයන්ගේ ආත්ම ගෞරව රැකීමට නොව සිංහල ජනතාවගේ ආත්ම ගෞරවය නැසීමට හේතුවන බව නම් මෙහි දී සඳහන් කළ යුතුය. එබැවින් දෙමළ ජාතික සංධානයේ දේශපාලනයෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන බව ප්‍රකාශ කරන පුද්ගලයන්ට අපට කියන්න තිබෙන්නේ දැන්වත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා බලා නිවැරදි ප්‍රශ්නය අවබෝධ කර ගන්නා ලෙසයි.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.