මැයි පෙළපාලිවලට සෙනඟ නොගෙනා
පක්‌ෂ විපක්‌ෂ සංවිධායකයින්ට
දෙපැත්තෙන්ම වැඩ වරදියි


ලෝක කම්කරු දිනය යෙදී තිබුණ බැවින් පසුගිය සතිය තුළ දේශපාලනය කරන කොයි කවුරුත් සිටියේ කාර්ය බහුලවය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් එක්‌සත් ජාතික පක්‍ෂයත් ජනතා විමුක්‌ති පෙරමුණත් සෙසු ලොකු කුඩා පක්‍ෂත් මැයි දිනය සමරන්නට ලහි ලහියේ සූදානම් වීම නිසා කාර්ය බහුලව සිටියහ. මැයි දිනයට තම ආසනයෙන් සෙනඟ ගෙන ඒම අනිවාර්ය වී තිබූ බැවින් ඊට පෙර යෙදුණු සති අන්තය තුළ අපේ මැති ඇමැති මන්ත්‍රීවරු හුඟදෙනෙක්‌ සිටියේ ගම්පළාත්වලය.



ඒ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිරිසේන, ඩලස්‌ අලහප්පෙරුම, අලෙවි මවුලානා, සුසිල් ප්‍රේමජයන්ත වැනි නායකයෝ පසුගිය සෙනසුරාදාත් ඉරිදාත් දිගින් දිගටම රැස්‌ වෙමින් කතාබහ කරමින් ලක්‌ ඉතිහාසයේ පැවැත්වුණු ලොකුම මැයි දින පෙළපාලිය පවත්වන්නට සූදානම් වෙමින් සිටියහ. කොළඹට මැයි දිනයේදී ලක්‍ෂ 5 කට වැඩි සෙනඟක්‌ ගෙන්වන්නට සියලු වැඩ කටයුතු ලහිලහියේ සූදානම් වෙමින් තිබිණි.

පසුගිය 28, 29 සෙනසුරාදා ඉරිදා දින දෙක ජනපති මහින්ද මෙන්ම සෙසු නායකයෝ ද සිටියේ එම වැඩ කටයුතු අධීක්‍ෂණයට ලක්‌ කරමිනි.

ක්‍රිකට්‌

දැන් මන්ත්‍රීවරුන්ට ක්‍රිකට්‌ තරගවලින් අඩුවක්‌ම නැත. සැම තැනම දැන් මන්ත්‍රීවරු මැති ඇමැතිවරු සහභාගි වන ක්‍රිකට්‌ තරගය. සමහරු කීවේ ලංකාවේ ක්‍රිකට්‌ කැප්ටන් සනත් ජයසූරිය මන්ත්‍රීවරයකු වීම නිසා ඔහු පාර්ලිමේන්තුවටත් ක්‍රිකට්‌ ගෙනැවිත් කියාය.

එය කෙසේ වෙතත් පසුගිය ඉරිදාත් මන්ත්‍රීවරු මැති ඇමැතිවරු සහභාගි වන ක්‍රිකට්‌ තරගයක්‌ මහරගම ජාතික තරුණ සේවා සභාවේ ක්‍රීඩාංගණයේ පැවැත්විණි. මේ සඳහා සහභාගි වූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පිලකුත් ලංකාවේ සියලුම පළාත් සභා නියෝජනය වන පරිදි පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ඒකාබද්ධ පිලකුත්ය.

මන්ත්‍රීවරුන්ගේ පිලේ නායකයා වූයේ සනත් ජයසූරියයි. ඊට අමතරව නාමල් රාජපක්‍ෂ ඩලස්‌ අලහප්පෙරුම, සුසිල් ප්‍රේමජයන්ත, ජගත් පුෂ්පකුමාර, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරු ක්‍රීඩා කළහ. මෙම තරගයේ ප්‍රධාන අමුත්තන් වූයේ බන්දුල ගුණවර්ධන සහ අලෙවි මවුලානාය. පළමුව පන්දුවට පහර දුන් පාර්ලිමේන්තු පිල සියලු දෙනාම දැවී ලකුණු --- ක්‌ ලබාගත්හ. එහෙත් ප්‍රසන්න රණතුංගගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ කණ්‌ඩායමට සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු ---- කි. උපාලි කොඩිකාර වැනි තරමක්‌ තරබාරු පළාත් සභා මන්ත්‍රීවරු පිටියේ පන්දු රකිද්දී පන්දු අතහරින ආකාරය හා පන්දු රකින්නට බිම පෙරළෙන ආකාරය බලා සිටින්නන්ට ඉමහත් සතුටක්‌ ගෙන දෙන කාරණා විය.

තරගයේ ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කළේ බන්දුල ඇමැතිවරයාය. බන්දුල ත්‍යාග ලබාදෙන විට නාමල් රාජපක්‍ෂ විහිළුවක්‌ කළේය. තරග වැදුණු සෑම ක්‍රීඩකයකුටම බන්දුල ගානේ රු. 2500 ක්‌ බැගින් ලියුම් කවරයක දමා ලබාදෙන බව ඔහු කීවේය.

ඒ මොකද ඒ...

ඇයි 2500 න් මාසයක්‌ කන්න පුළුවන්ද කියල බලන්න. නාමල් එසේ කියන විට බන්දුලට පවා සිනා ගියේය.

කෙසේ වෙතත් ක්‍රිකට්‌ තරගයෙන් පසු ඩලස්‌ ඇතුළු පිරිස වැඩි වේලාවක්‌ එතන සිටියේ නැත. ඔහු නාමල් ඇතුළු මන්ත්‍රීවරු පිරිසත් ඉතා ඉක්‌මනින් පිටව ගියේ මැයි දිනයේ විවිධ සංවිධාන කටයුතු පෙළගැස්‌වීමටය. විශේෂයෙන් නාමල් මන්ත්‍රීවරයා ඒ සියල්ලටම සහභාගි වී පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට අත හිත දෙමින් උදව් කිරීම විශේෂත්වයකි.

රනිල් වික්‍රමසිංහ ද පසුගිය සෙනසුරාදා සිට මැයි දිනයේ වැඩ රාජකාරි පටන් ගත්තේය. ඔහු ඒ සඳහා සෙනසුරාදා උදෙන්ම තිස්‌ස අත්තනායක හා රවි කරුණානායක සමඟ එක්‌ස්‌පෝ ලංකා ගුවන් යානයක නැගී යාපනේ බලා පිටත්ව ගියහ.

ඔවුන් යාපනයේ නවාතැන් ගත්තේ චුන්නාකම්වල පිහිටි එක්‌ස්‌පෝ නිවාඩු නිකේතනයේය.

ඒ වන විට යාපනය එජාප මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් රනිල්ට ඇවිදින්නට යන්න විශේෂ ගමන් කිහිපයක්‌ම සංවිධානය කර තිබිණි. චුන්නාකම්වලින් දිවා ආහාර ගෙන හවස රනිල්, තිස්‌ස රවී හා විජයකලා පුනරින්, කිලිනොච්චි ප්‍රදේශවලට ගියහ. කිsලිනොච්චි බස්‌ නැවතුම්පළට ගොඩ වූ රනිල් ජනතාව සමඟ කතාබහ කළේය.

අනාගත එජාප ආණ්‌ඩුවක්‌ යටතේ මේ තිබෙන ප්‍රශ්න විස¹ සැමටම එක ලෙස නිදහසේ සිටිය හැකි වාතාවරණයක්‌ සාදන බව රනිල් මෙහිදී ජනතාව හමුවේ කියා පෑහ.

පුනරින් හා කිලිනොච්චි ප්‍රදේශවල ඇවිද ගිය රනිල් ඇතුළු පිරිස සමඟ නවාතැනට පැමිණ විවේක ගත්හ. ඉන් පසු පසුදා උදේ විජයකලා සමඟ මේ පිරිස ගියේ ඩෙල්aµaට්‌ දූපතටය. මේ වන විට ගාමිණී ජයවික්‍රම පෙරේරාත් පැමිණ සිටියහ.

නාවික හමුදා යාත්‍රාවක නැගී ගිය මෙම ගමනට පැයක පමණ කාලයක්‌ ගතවිය. දූපත පුරා රනිල්ලා ඇවිද ගියේ අත්ට්‍රැක්‌ටරයක නැගීය. එය මහත් විනෝදජනක ගමනක්‌ වූ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයා අත්ට්‍රැක්‌ටරයකින් ඇවිදීම ඩෙල්µaට්‌වල වැසියන්ට ද අපූරු අත්දැකීමක්‌ ගෙන දුන්නේය.

ඩෙල්µaට්‌වල සිට ආපසු එන ගමනේදී නාගදීප විහාරය වඳින්නට ද රනිල් ගියේය. දකුණෙන් ගොස්‌ සිටි සිංහල සංචාරකයන් සමඟ කතාබහ කරන්නට ද රනිල් මෙය අවස්‌ථාවක්‌ කර ගත්තේය.

මෙම ගමන නිමවා රනිල් නවාතැනට පැමිණි පසු ඔහුට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඇමතුම ඩග්ලස්‌ දේවානන්දගෙනි.

අපේ විපක්‍ෂ නායකතුමා යාපනේට පැමිණිලා ඉන්නවා කියල මට ආරංචි වුණා. ඔබතුමාව යාපනය වෙනුවෙන් මම ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යාපනය පුරාම යන විට ඊ. පී. ඩී. පී. අයගේ ආරක්‍ෂාවත් තියෙනවා. මට ඔබතුමා මෙහිදී හමුවෙන්නත් ඕන ටිකක්‌ කතා කරන්න.

හරි අපි හෙට උදේ මේ මම ඉන්න තැනදීම හමුවෙමු. රනිල් කීය.

ටී. එන්. ඒ. හමුව

ඉරිදා රාත්‍රියේ ටී. එන්. ඒ. සංවිධානය වෙනුවෙන් එහි නියෝජිතයන් දෙදෙනකු වන මාවෙයි සේනාධිරාජා හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, රනිල් ඇතුළු පිරිසට රාත්‍රි ආහාරය සූදානම් කර තිබිණි. මෙම හමුව රාත්‍රි භෝජන සංග්‍රහය පැවැත්වුණේ ටිල්කෝ ජැµaනා සිටි හෝටලයේය. එහිදී රනිල් හා ටී. එන්. ඒ. නියෝජිතයෝ කතාබහ කළේ අඟහරුවාදා උදේ මැයි දින උත්සවය පවත්වන ආකාරය ගැනය. පෙළපාලිය ආරම්භ කර පිට්‌ටනියට යන කිලෝමීටර් 3 ක පමණ ගමන සංවිධානය කරන අයුරු ගැන ද සියල්ල කතාබහ කළහ.

පසුදා උදේ එනම් සඳුදා රනිල් හමුවන්නට ඩග්ලස්‌ දේවානන්ද පැමිණ සිටියේය. එම හමුවට පසු රනිල් යාපනයේ කතෝලික රදගුරුතුමන්ලා හා පියතුමන්ලා හමුවන්නට ගියේය. මැයි දිනය සමරන්නට යාපනය තෝරාගැනීම පිළිබඳ ඔවුහු රනිල්ට ස්‌තුතිය පළ කළේය.

ඒ අයුරින් එදා දවස ද ගෙවී ගියේය. පසුදා මැයි පෙළපාලිය සඳහා නායකයෝ එක එක්‌කෙනා පැමිණෙමින් තිබිණි. දයා ගමගේ ද අම්පාරේ සිට ගුවනින් යාපනයට පැමිණ සිටියේය. අනුරාධපුර, පොලොන්නරුව, කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කවලින් ආසනයෙන් 100 දෙනකු බැගිනුත් සෙසු පළාත්වලට ආසනයකින් 50 ක්‌ බැගිනුත් යාපනයට රැගෙන එන ලෙස රනිල් කල් තියාම නිවේදනය කර තිබිණි. රනිල් එම වගකීම සංවිධායකයෝ කෙසේ ඉටුකර තිබේදැයි සෙවීමට වෙනමම අධීක්‍ෂණ මණ්‌ඩලයක්‌ ද රහසිගතව පත්කර තිබීම විශේෂත්වයකි.

මැයි දිනය

රට එකට යන තේමාව යටතේ සංවිධානය කරන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැයි දින පෙළපාලිය ඉතිහාසයේ වැඩිම සෙනගක්‌ සහිත මැයි දින පෙළපාලිය ලෙස පවත්වන්නට සියල්ල සූදානම් වී තිබිණි.

පෙළපාලිය කැම්බල් පිටියෙන් හරියටම එකට ගමන් ගැනිණි. නිල් බළකායේ බට හමුදාව ලෙස තරුණයෝ 3500 ක්‌ පේළි ගැසී සිටියහ. නාමල් ඊට නායකත්වය ලබා දී ඇති අයුරු පෙනිණි. ඩලස්‌ අලහප්පෙරුම කැම්බල් පිටියටත් නගර සභා පිටියටත් යමින් කටයුතු සොයා බැලුවේ මෝටර් බයිසිකලයක පිටිපස නැගිලාය. නාමල් මන්ත්‍රීවරයා ද බොරැල්ලේ සිට පයින් නගර ශාලාවට පැමිණියේය.

පෙළපාලියේ නගර සභා පිටියට ඇතුළු වන ජනතාව හා සංවිධායකයෝ දොරටුව අසල සිට පිළිගත්තේ ද ඩලස්‌ ඇමැතිවරයා හා නාමල් මන්ත්‍රීවරයාය. ටික මොහොතකින් ඒ කටයුත්ත සම්පූර්ණයෙන්ම පක්‍ෂයේ මතු අනාගතය වෙත (නාමල්ට) පවරා ඩලස්‌ ඇමැතිවරයා ද පිටත්ව අනෙකුත් සංවිධාන කටයුතු බලන්නට ගියේය. මෛත්‍රී, සුසිල්, බැසිල් හා ඩලස්‌ සියලු කටයුතු නිසි පරිදි පෙළගස්‌වා තිබිණි.

සෑම ආසනයකින්ම සෙනග ගෙන්වා ඇති ආකාරය හා ප්‍රමාණය ගණනය කිරීමට තැන තැන පෙළපාලිය වීඩියෝ කරන්නට ද ඩලස්‌ කල්තියා වෙන වෙනම කැමරාකරුවන් යොදවා තිබිණි. ඒ පිළිබඳ රහස්‍ය වාර්තාවක්‌ ජනාධිපතිවරයා ඉල්ලා තිබිණි.

පසුගිය වාරවල මෙන්ම මෙවර ද වාර්තාගත වැඩිම සෙනගක්‌ ගෙන්වා තිබුණේ දඹුල්ලෙන් අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන්ය. දඹුල්ලේ සාමාන්‍ය ජනතාවගේ හා මුස්‌ලිම්වරුන්ගේ අයිතිය වෙනුවෙන් කතා කළ ජනක ඇමැති ප්‍රදේශයේ කොයිතරම් ජනප්‍රියද කියා මේ පැමිණ සිටින සෙනගෙන්ම පැහැදිලි වන බව ඇතැම් මැති ඇමැතිවරු කීහ. ජනක 7000 කට අධික සෙනගක්‌ ගෙන්නවා තිබිණි. මෛත්‍රිපාල සිරිසේන පොලොන්නරුවෙන් 3000 ක්‌ පමණ ගෙනැවිත් තිබිණි. නිමල් සිරිපාල, අනුර යාපා, බන්දුල ගුණවර්ධන, ඩිලාන්, මහින්දානන්ද වැනි නායකයන් වැඩිම සෙනඟක්‌ ගෙන ආ සෙසු ඇමැතිවරු ලෙස කැපී පෙනිණි.

සබරගමුව හා වයඹ පළාත්වල ඇමැතිවරු දෙදෙනෙක්‌ පැමිණ සිටියේද නැත.

රැස්‌වීම හරි වෙලාවට පටන් ගැනිණි. එය හවස 7.00 වන විට ඉවර කළේය. ඒත් පෙළපාලිය ඉවර වී නොතිබිණි. පෙළපාලියේ අවසානම කොටස ලෙස බොරැල්ල ජනතාව සමග තිලංග සුමතිපාල නගර සභා පිටියට එන විට රාත්‍රි 8.30 ද පසු වී තිබිණි.

රැස්‌වීම ඉවර වී මුත් පිට්‌ටනියට ඇදී එන මහා ජන ගඟ දුටු ජනාධිපතිවරයා වහාම පිළිගැනීමේ පීඨිකාවට ගොස්‌ ජනතාව පිළිගන්නැයි මෛත්‍රිට, ඩලස්‌ට, සුසිල්ට හා නාමල්ට නියම කළේය.

මැයි රැලිය තුළත් පෙළපාලිය තුළත් වෙනදා ඉතා උෙද්‍යාaගයෙන් සහභාගි වී සිටින නායකයෙක්‌ මෙදා නැත්තේ ඇයිදැයි කවුරුත් විමසන්නට වූහ. ඒ නායකයා අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්නය.

දි. මු. ඒ වන විට සිටියේ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගන්නට ගොස්‌ රෝහලේ නතර වීය. ඔහුට දේශපාලන කටයුතු හා අමාත්‍යාංශ වැඩ කටයුතු කිසිවක්‌ නොකරන්නැයි වෛද්‍යවරු උපදෙස්‌ දී තිබිණි. එහෙත් පෙළපාලිය පටන්ගෙන ඇති බව ආරංචි වූ ඔහුට ඊට නොගොස්‌ම බැරි විය. ඒ තියා පෙළපාලිය අතරට ගිය ඔහු තම ආසනයේ සෙනග සමග එක්‌වී ටික දුරක්‌ පයින් ඇවිද ගියේය.

ඒ අතර දි. මු. ට හිතවත් පිරිස්‌ පෙළපාලියෙන් ඉවත්ව විවේක ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලීම් කරන්නට පටන් ගත්හ. මේ නිසා දි. මු. නැවත වතාවක්‌ පෙළපාලියෙන් සමුගෙන රෝහල වෙත ගියේය.

කැබිනට්‌

මෙවර කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමට ද එහි ඇමැතිවරු හුඟදෙනෙක්‌ පැමිණ සිටියහ. නිසි පරිදි කලට වේලාවට පටන් ගන්නට බලා සිටියත් ජනාධිපතිවරයා ඊට සහභාගි වූයේ තරමක්‌ ප්‍රමාද වීය.

මේ අතර සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ උත්සවයක්‌ ද ඒ මොහොතේ අරලියගහ මන්දිරයේ තිබිණි. ජනාධිපතිවරයා කැබිනට්‌ රැස්‌වීමට පැමිණියේ ඊට සහභාගි වීමෙන් අනතුරුවයි.

මම එහා පැත්තේ තිබුණ සම්බුද්ධත්ව ජයන්ති උත්සවේ සිටියේ. ඒක නිසයි පරක්‌කු වුණේ කියමින් ජනාධිපතිවරයා ඇමැති මණ්‌ඩල සාකච්ඡාව සඳහා වාඩි වුණේය.

කැබිනට්‌ පත්‍රිකා 54 ක්‌ සාකච්ඡාව සඳහා ඉදිරිපත් කර තිබිණි. ආරක්‍ෂක අමාත්‍යාංශයට අදාළ පත්‍රිsකා 8 ක්‌ හා වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයට අදාළ කැබිනට්‌ පත්‍රිකා 8 කුත් තිබිණි. ඊට අමතරව ඩලස්‌ හා චම්පික එකතු වී ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාවක්‌ ද තිබිණි. වෘත්තීය පුහුණු ආයතනවල හා කාර්මික පුහුණු ආයතනවල පුහුණුව ලබන විදුලි කාර්මික ශිල්පය ඉගෙන ගන්නා තරුණ තරුණියන් විදුලිබල මණ්‌ඩලයේ විදුලි කාර්මික තනතුරු සඳහා බඳවා ගැනීම වෙනුවෙන් එම පත්‍රිකාව සකස්‌ වී තිබිණි. ඊට අනුමැතිය ද ලැබිණි.

මෙවර මහ ඇමැතිවරුද පැමිණ සිටියහ. ඔවුන් ද සිටින මෙම ඇමැති මණ්‌ඩල සාකච්ඡාවට ජී. එල්. පීරිස්‌ අමාත්‍යවරයා එල්. එල්. ආර්. සී. වාර්තාව පිළිබඳ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළේය. උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම පිළිබඳ නිර්දේශ ක්‍රියාත්මක කරන්න වෙනම කාර්යාලයක්‌ පිහිටුවනවා. එහි සම්බන්ධීකාරක ලෙස ජනාධිපති ලේකම්වරයා පත්කරන බව වාර්තාවෙන් ජී. එල්. ඇමැතිවරයා කියා සිටියේය.

ඊට ද ඇමැති අනුමැතිය ලැබිණි.

ජී. එල්. පීරිස්‌ කොරියානු සංචාරය ගැන සවිස්‌තර වාර්තාවක්‌ ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව පසුගිය වසරේ මහ බැංකු වාර්තාව ද කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ අවස්‌ථාවේ බන්ධුල ගුණවර්ධන ඉදිරිපත්ව මහ බැංකු වාර්තාවේ තිබෙන අඩුපාඩු කියන්නට පටන් ගත්තේය. එන පොට හොඳ නැති බව දැනගත් ජනාධිපති මහින්ද වහාම ඉදිරිපත්ව බන්දුලව නතර කළේය.

බන්දුල... ඕක ඉතින් මෙතන කියල වැඩක්‌ නැහැ. ඕක ඔයා අජිත් නිවාඩ් කබ්රාල් එක්‌කම කතා කරල විසඳුමක්‌ කරගන්නකෝ....

ඒ අයුරින් කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම ද අවසන් වී ගියේය.

කැබිනට්‌ එක අවසන් වූ පසු ජනාධිපතිවරයා හැමෝටම ස්‌තුති කළේය. ඒ මැයි දිනය වෙනුවෙනි.

මෛත්‍රිට බැසිල්ට මෙන්ම ඩලස්‌ට පළමුව ස්‌තුති කළේය. විශේෂයෙන්ම ඩලස්‌ අලහප්පෙරුම ඇමැතිවරයාට විශේෂ ස්‌තුතියක්‌ කළේ රෑ දවල් නොබලා වෙහෙසව වැඩ කර අලංකාර වේදිකාවක්‌ අලංකාර උත්සවයක්‌ හා විධිමත් පෙළපාලියක්‌ සංවිධානය කරමින් ඓතිහාසික සෙනඟක්‌ කොළඹ එක්‌රොක්‌ වන්නට අවස්‌ථාව සලසා දීම ගැනය.

ඉන්පසුව සම්බුද්ධත්ව ජයන්ති සමාප්ති උළෙල ගැන ද කතා කළේය. මේ උත්සවයට හාමුදුරුවරු 1500 ක්‌ ආවා. ගිහියෝ හැටියට ඇමැතිවරු 25 දෙනකුට ආරාධනා කරල තිබුණා. නමුත් හතර පස්‌දෙනයි ඇවිත් සිටියේ. ඔයගොල්ලො එහෙම කරන්න එපා. එතනට අඩු සැලකිල්ලක්‌ දක්‌වපු එක වැරදියි.

අඩුම ගානේ සහභාගි වෙන්න බැරි නම් කියන්න තිබුණා ජනපති කීවේය.

මේ අතර ලක්‍ෂ්මන් යාපා කතා කරමින් තිස්‌ස අත්තනායක කළ ප්‍රකාශයක්‌ ගැන කීවේය.

යාපනය මැයි දින රැලියට කොටි කොඩි ඔසවාගෙන ගිය පිරිසක්‌ සිටියේ නැතැයි කියලයි තිස්‌ස කියන්නේ. ඒක මාධ්‍යවල නිර්මාණයක්‌ලු. ඒ අතරෙම ගාමිණී ජයවික්‍රම පෙරේරා කියනවා එහෙම දෙන්නෙක්‌ අල්ලගෙන පස්‌සේ අතඇරලා දැම්මා කියලා....

මේ කොටි කොඩි කියන අය එවලා තියෙන්නේ සජිත් ප්‍රේමදාසය කියල රනිල් කියලා තියෙනව නේ. ඇමැතිවරයෙක්‌ කීවේය.

අනේ මං දන්නේ නැහැ. මෙයාලයි නායකයා එකක්‌ කියනවා ලේකම් තව එකක්‌ කියනවා. නියෝජ්‍ය නායකයා තව එකක්‌ කියනවා. සභාපති තවත් එකක්‌ කියනවා. මුන්ගෙන් කවුරු කියන එක විශ්වාස කරනවාද කියල මට නම් තේරෙන්නේ නැහැ ජනාධිපති කීවේය.

හරි ඉතින් විපක්‍ෂ නායක කියන එකනේ පිළිගන්න ඕන... ඇමැතිවරයෙක්‌ කීවේය.

ඒ කියන්නේ මේ කොටි කොඩි කාරයෝ සජිත් එවපු අය කියලද පිළිගන්න වෙන්නේ..... ජනාධිපතිවරයා සිනාසෙමින් කීවේය.

මේ අතරතුර සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ පසුවූයේ දැඩි කලකිරීමකිනි. ඔහු ඊට හේතුව ලෙස ඉදිරිපත් කළේ තම පියාගේ අනුස්‌මරණය වෙනුවෙන් පවත්වන්නට ගිය මැයි දින අනුස්‌මරණ උත්සවය තම පක්‍ෂයේම පිරිසක්‌ එක්‌ව කඩාකප්පල් කරන්නට උත්සාහ කළ බවයි.

මැයි දිනයට පෙරදා සමහර මන්ත්‍රීවරු සජිත්ට කතා කර කීවේ ගුණසමරු උත්සවයේදී පක්‍ෂයේ සෙසු නායකයෝ කළ කෙණෙහිලිකම් ගැන විවෘත ප්‍රකාශයක්‌ කරල ජනතාවට කරුණු හෙළිකරන ලෙසයි.

අනේ නැහැ. මම ඉන්නේ මට කරපු දේවල් ගැන මම තරහ නැහැ කියල ඒ අයටත් ස්‌තුති කරන්න. අපි වඩාත් ධෛර්යයට පත්වුණේ ඔවුන්ගේ කෙනෙහිලිකම් හමුවේ කියල මම කියනවා සජිත් කීවේය.

මැයි දිනය දා සජිත් හා දිලිප් වෙදආරච්චි කොළඹ සිට ප්‍රේමදාස ගුණසමරුව නිසි පරිදි පැවැත්වූයේය. ඒ අතරතුර එක්‌සත් ජාතික පක්‍ෂයේ සෙසු නායකයෝ සියල්ලෝම උතුරට ඇදී ගොස්‌ සිටියහ.

උතුරේ පවත්වන එජාප මැයි රැලියට සමහර සංවිධායකයෝ සෙනඟ රැගෙන ගොස්‌ තිබුණේ වන්දනා ගමනක්‌ යන ලෙසය. සමහර අයට මෙය විනෝද ගමනකි. කෙසේ වෙතත් දකුණේ ඈත ප්‍රදේශවල සිට ආසනයකින් 60 ගානේ යාපනයට සෙනඟ ගෙනයැම ලෙහෙසි පහසු කාර්යයක්‌ වූයේ නැත.

පෙළපාලිය නිසි පරිදි නිසි වේලාවට පටන් ගැනිණි. පෙළපාලිය පටන් ගත්තේ නල්ලුර් කෝවිල ළඟ සිටය. එතන සිට පෙළපාලිය මහ රැලිය සඳහා යායුතුව තිබුණේ යාපනය ශාන්ත රෝස්‌ ක්‍රීඩාංගණයටය. පෙළපාලිය ඉදිරියෙන්ම ගමන් කළේ ආර්. සම්බන්ධන් හා රනිල් වික්‍රමසිංහය. යාපනයේදී පවත්වන දකුණේ මැයි දිනයකදී දැකිය හැකි සැලකිය යුතු ලෙස සෙනගක්‌ එජාප මැයි රැලියට සිටියහ.

පෙළපාලියේ එක්‌ තැනකදී සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂ නායක ඒ. විඡේතුංගගෙන් තිස්‌සට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඉන් කීවේ එජාප පෙළපාලියේ කොටි සංවිධානයේ ලාංඡනය සහිත කොඩියක්‌ විටින් විට ප්‍රදර්ශනය කළ දෙදෙනෙක්‌ අල්ලා ගත් බවයි.

එක එක ජාතියේ මිනිස්‌සු ඉන්නවා. අපි මේ ඉන්නේ වගකීමක්‌ ගන්න බැරි තැනක නේ. පොලිසියට බාර දෙමු. තිස්‌ස කීවේය.

මේ අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා එතනට දුරකථනයෙන් කතා කර කීවේ ඔන්න ඕකුන් දෙන්නා පන්නලා දාන්න. අපේ පැත්තටවත් වැද්දගන්න එපා කියාය.

ඒ අනුව එජාප පාක්‍ෂිකයෝ අර තරුණයන්ව අත්හැර දමනු ලැබූහ.

නාගසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.