වැව්ගම් පේරුව
දහම් මඟ පෑදු අපගේ වෙසක් අවුරුදු

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානයේදී "බොදු තෙමඟුල" සිදුවූයේ වෙසක්‌ පුර පසළොස්‌වක මහා පෝය දිනකදීය. මේ පින්වත් දිනය පුරාණ ගම්වල ඇත්තන් තවත් අවුරුද්දක ඇරඹුම ලෙසින්ද සැලකූහ. ඒ නිසාම වහරේ ඊට "වෙසක්‌ අවුරුද්ද" යයි - පැවසූහ. මේ දවසට ද කැවිලි පෙවිලි පළතුරු, පස්‌ගෝරස වලින් දන් පිළිගැන්වූහ. දන්සැල් පැවැත්වූහ. සැරසිලි කළහ. උත්සව පැවැත්වූහ.

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව පැමිණෙන පළමු මහ පොහොය වූ වෙසක්‌ පෝය පිං කටයුතු පුරණ වරුෂයේ පළමුවන පෝය වීමද උත්සව සිරිය ගැනීමට හේතු විය. යල් මෝසම බක්‌මහේ ඇරඹීමත් සමඟ වියළී අහසට නටු විහිදාගත් ගහකොළ දළුදා හරිත වර්ණයෙන් බබලයි. අක්‌වැස්‌සට පෙර ඉසිනු තල හේන්වල ගස්‌ කොබෙයියන් උසට වැඩී සුදු පැහැ මල් එකදෙක පිපෙයි. මේ සියල්ල බුදුන් පුදන්නට සොබා දමින් දුන් පරිත්‍යාගයන්ම වෙයි.

ජයසිරිමා හාමුදුරුවන්ගේද මේ රූ බෝධි පත්‍ර ඉකුත්ව නව බෝ පත් උදාවී වෙසක්‌ පෝයට සැරසෙයි. සම්මතයෙන් ලද දැනුමින් ගම්මුන් වෙසක්‌ දාට වූ විශේෂ සිදුවීම් මහත් භක්‌තියෙන් සිහිකොට පින්කම් වල යෙදුණි. ඉන් පළමුවැන්න ජම්බුද්වීපයේ ලුම්බිණි සල් උයන්හිදී සිදුහත් කුමරා මහාමායා බිසවුන්ගේ කුසෙන් බිහිවීමේ සිද්ධියයි. මේ පෝදිනකදීම ගිහිගෙයින් නික්‌ම අනේක විධ අභියෝග පරදා, සාර සංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක්‌ පුරාගත් පෙරුම්බලය සපල කර ගනිමින් බුද්ධගයාවේ මහා බෝධි මූලයේදී සර්වඥතා ඥනාබෝධයෙන් සිදුහත් තවුසාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූ සේක. එසේම උත්තම බුදුරජාණන් වහන්සේ අනුපාධිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් කුසිනාරා නුවර සල්උයනේ දී මොලොව හැරයැමේ සම්මුති සිරිතෙහි පිහිටා පරිනිර්වාණයට පත්වූයේද වෙසක්‌ පුර පසළොස්‌වක පෝය දිනකදීමය. ඒ බුදු තෙමඟුල් අවස්‌ථායි.

අපේ ඇත්තන්ට වෙසක්‌ පෝ දිනය අමතක නොවීමට හේතුවූ තවත් කාරණාද තිබිණි. සිදුහත් කුමාරයාණන්ගේ පියපස ඥතීන්ගේ මානය බිඳ දැමීමට බුදුරදුන් කිඹුල්වත් පුරයට වැඩම වීම ද, මේ දිනක දීම සිදුවීම එවන් එක්‌ හේතුවකි. එසේම ලක්‌වැසි අපගේ ඉතිහාසයේ ප්‍රබල කඩඉමක්‌ වූ විජය රජුගේ සංක්‍රමණයද මෙම වෙසක්‌ දිනදාම සිදුවී යෑයි මහාවංශයේ කියවේ. එහිම බුදුරදුන්ගේ තුන්වන ලංකා ගමනය කැලණියට පැමිණීමද, ස්‌වර්ණමාලී සෑරදුන්ගේ වැඩ ඇරඹීමද මෙම වෙසක්‌ පෝදා කෙරුණු බව කියවේ. මහසෑයට ද්‍රව්‍ය රැස්‌කිරීම මෙදින සිදුවී ඇසළ මහ පෝයට වැඩ ආරම්භ කළ බවටද කරුණු හමුවේ. ඒ ගැන මත දෙකක්‌ ඇති බවද සිහිකරමු.

මේ නිසා සමස්‌ත ලෝක බෞද්ධ ජනතාව සමඟ අපේ වැව්ගම්වල ඇත්තෝ ද මේ මහා පෝය ප්‍රතිපත්ති හා ආමිස පූජාවට මුල්තැන දී සැමරූහ. ගමේ සියලුම දෙනාට සම්බන්ධවීමට, කොටස්‌ කරුවන්වීමට, අවස්‌ථා මේ උත්සවයේදී සමව ලැබුණි. වැඩිහිටි අය ශීල, සමාධි, ප්‍රඥ කටයුතු වල යෙදෙමින් අටසිල්, දශසිල්, බණ, භාවනාදී ප්‍රතිපත්ති පූජා පිරූහ. තරුණ දූ දරුවන් වෙසක්‌ කූඩු සාදා විචිත්‍ර දහම් පෙරහැරවල් කළහ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දියුණුවත් සමඟ තරුණ පිරිස්‌ භක්‌තිගීත කණ්‌ඩායම් ඇති කරගැනීමට ද පෙළඹුණි.

නමුත් මේවා එදා තරගකාරිත්වයෙන් සිදුනොවීය. සංගීත සංදර්ශන, ඔළුබක්‌කන් නැටුම් ආදී විසූක දර්ශන නම් තිබුණේම නැත. පළමුවරට සිල් සමාදන් වීම (කෝඩු) ශීලය පිරුවේ වෙසක්‌ මහ පෝයටය. එතැන් සිට මහපෝය හතක්‌ වත් ඒ ඇත්තන් සිල් ලබා ආරක්‍ෂා කළහ. ගමේ විහාරස්‌ථ දායක සභාවට, තරුණ බෞද්ධ සමිතියට, කුලඟන සමිතියට එකට වැඩ කිරීමට මේ පෝයදී අවස්‌ථාව ලැබිණි. ගමේ පංසල සුද්ධ පවිත්‍රකර සුදු පිරියම් කළහ. එසේම අනුරාධපුර ජයසිරිමා හාමුදුරුවන් ප්‍රධාන මහා විහාරවල සියලු කාර්යන්ට ද දායකවූහ. මේ පූජනීය ස්‌ථාන වල වෙහෙර විහාර, බෝධිඝර, බණමඩු පමණක්‌ නොව ගල් (ටැම්) පහන් පවා සුද්ධ පවිත්‍ර කළහ. ළමා ලපටින්ට "පහන් කඳු", "පහන් මාවර", "පහන් කූඩු" තරුණ හා වැඩිහිටියෝ සකස්‌ කර දුන්නෝය. ගොක්‌ සැරසිලි වලින් යුතු තොරන් ඉදිවී තිබිණි. කඩදාසි පැමිණි පසු ඉටිපහන් කූඩු සෑම ගෙදරකම දැල්වූහ. "ප්‍රීති වෙසක්‌", "බුදු සසුන බැබලේවා" වැනි පැතුම් අතර තම මියගිය දූ දරු ඥතීන්ට පිං පැමිණවීමේ පාඨයද ඊට යෙදුණි. සෑම ගෙයකින්ම පන්සලට සැරසිලි කඩදාසි මෙන්ම පහන් කූඩු ගෙන ගොස්‌ දැල්වූහ. "වෙසක්‌ අවුරුද්ද" කුඩා දරුවන්ට මහත් ප්‍රීතියක්‌ම විය. සෑම ගෙදරකම කපාගත් සැරසිලි කොළ වලින් අලංකාර විය. පන්සලේ විචිත්‍ර වර්ණ සැරසිලි හා කොඩිවලින් පිරීගිය කොඩි ගහ ගම ඉමට පවා පෙනෙන උසට සැකසුණි. භක්‌ති ගීත ගායනා කිරීම හා මේ කොඩි ගහ වෙනත් ආගමික උත්සවවලින් ගමට පැමිණ ඇතැයිද සිතේ. විචිත්‍ර ධර්ම කථික ස්‌වාමින්වහන්සේලා වැඩම කරවාගෙන ආසන දෙකේ බණ, නාට්‍ය අනුසාරි දහම් කථාවන්. රඟ දැක්‌වූහ. කිරි කෝඩුවේ සිල් ආරාධනා ලබන අයටත්, ස්‌වාමියා මියෑදුන ගැහැනුන්ටත්, ආබාධිතව තනිවූ අයටත් තම පිලි පෙට්‌ටිවලින් පිරුවට රෙදි පිරිනැමූහ. ගම් කීපයකටම නායකත්වය දුන් රජමහා විහාරවලට සෙසු ගම් වලින් පූජා ඇල්ලීමද වෙසක්‌ මහට කළෝය. මෙය ගෙඩි, කොඩි, සේසත්, පසඟතුරුනාදයෙන් පූජා බඩු පල්ලක්‌කි (දොaලා) වල පුරවා කරමත තබාගෙන ආ අලංකාර පෙරහැරකි. මේ පෙරහැර පිළිගැනීමට විහාරස්‌ථානයෙන් පිරිසක්‌ පෙරමුණට ද පෙරහැරින්ම සාදුකාර දී ගියහ.

ඉන්පසු එළිවෙන තුරුම පෙර සඳහන් කළ අයුරින් විචිත්‍ර ධර්මදේශනාව පැවැත්වූහ. මේ අවස්‌ථා ප්‍රතිපත්ති වැඩීමට මිස නැටුම් ගැයුම්වලට යොමු නොවීය. වෑ කදු, වෙල් එළි, ලඳුකැලෑ මැදින් මේ පෙරහැර ගෙවැද්දීම බාල මහලු කොයි කාටත් ප්‍රිය උපදවන මනස්‌කාන්ත දර්ශනයකි. මෙබඳු පෙරහැරකට අලියෙකු හරස්‌ වීය යෑයි එළිවෙන තුරු පෙරහැර නවතාගෙන දවුල් ගැසීමේ හාස්‍ය ජනශ්‍රැතියක්‌ "වරාගහට දවුල් ගහපි කලුන්දැවේ ඇත්තෝ" යෑයි කියුවේය. මේ පෙරහැරවල ආ ඇත්තන්ට අවුරුදු චාරිත්‍ර පරදවන තරමට, කැවිලි, පෙවිලි, ඉඳුම් හිටුම් ආදර සංග්‍රහ ලැබිණි. එතැන දීද අවුරුදු සිරිත් මතුවිය. එදා දේශනා කළ බණවර බුදු දහමේ ගැඹුරු කරුණු තේරුම් කළ ත්‍රිපිටක දහම "පරියාප්ත" ලෙසද, මනුෂ්‍යා හැඩ ගැස්‌සූ කොටස්‌ "ප්‍රතිපදා" දහම් ලෙසද, එසේ හැඩ ගැසීමෙන් ලද ප්‍රතිඵලයන් "ප්‍රතිවේද" ලෙසද වෙන්කර දැකිය හැක. මේ සියලු දේ අඩංගුවන සේ එදා විසූ යතිවරුන් ගම්වැස්‌සන්ට සරල ක්‍රමවේද භාවිත කර දහම අවබෝධ කළහ. සවස්‌ යාමේ "දිවාකථික" ලෙසින් සියලු දෙනාම පැමිණෙන තුරු අවවාද අනුශාසනා අඩංගු දහම් කරුණු දේශනා කළහ. අනතුරුව මැදියම් රාත්‍රී පසුවනතෙක්‌ "සූත්‍ර ධර්ම" කට පාඩමින් දේශනා කළ සේක. තුන්වෙනි යාමයේදී සූත්‍රවලින් කියවුණ දහම් අනුලෝම ප්‍රතිලෝම ලෙසින් "විග්‍රහ" කරදුන් සේක.

වෙසක්‌දා පමණක්‌ නොව සෑම පුරපසළොස්‌වක පෝදිනක්‌ම ගම්වැසියන් තම තමන් කළ වෘත්තියෙන් බැහැර වී පුණ්‍ය කටයුතු වලම නිරතවූහ. පෝදා වැඩවලින් පව් ඉපදෙන බවද, විෂ යනාදිය වැඩිවන බවටද සම්මතයක්‌ තිබුණි.

වෙසක්‌ හුළං හැරවීමත් සමඟ දරුවන් වැව්පිටි වෑකඳු පුරන් වෙල්යාය, වලට පැන සරුංගල්, ඇරියහ. බඹර ගැසූහ. රූං පෙත්තන් යෑවූහ. එකම විනෝදමත් කාලයක්‌ අත්කර ගත්හ. ගේ දොර ආරක්‍ෂිතව සිටි භද්‍ර යෞවනියන්ටද, මේවාට සහභාගිවීමේ වරම් ලැබිණි. පන්සලට තනිපංගලමේ යැමට, කථාබහට ඉඩසැලසුණි.

විදුලි බලය නොලද එකල, විලක්‌කු, අල්ලුපහන්, පන්දම්, ගල්කෙමපහන්, පැපොල්, පොල් බෑ පහන් අලංකාර විලාසිතාවන්ට අනුව සකසා දැල්වූහ. මේ සඳහා කොප්පරා, පොල්, තල, කෝන්, ආදියෙන් ලද තෙල් භාවිත කළහ. අලංකාර තොරන් මත මැටිපහන් දැල්වූහ.

"පවර විසිතුරු සත්ජනන්ගෙන් සැදුම්ලත් මේ මන්දිරේ
එවැනි සව්සත දහම් අසලා නිවන් පුරයට යනවරේ
දිවපුරට ගොස්‌ ඉසුරු ලබමින් සතුටු වන්නට ඇතිවරේ
මෙ අපි සැමටම නමස්‌කාරය කියන්නට දැන් අවසරේ"

යනාදී කවි, සොලෝක, චූර්ණිකා කියමින් ධර්මධරයන් වහන්සේලා පැමිණි කවරෙකු වුවද රඳවා ගැනීමට සමත් වූහ. අපේ ඇත්තන් මොලොව එලොව ජය ගැනීමට වෙසක්‌ මහාසාර පෝය දා ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී කුසල් රැස්‌කර ගත්හ. අදත් ධර්මයේ හැසිරීමට, ධර්මය දැකීමට සියලු ලෝ වැස්‌සන්ටම මෙත් සිත් පහළ වේවායි සැවොම බැතියෙන් පතමු.

මාමිනියාවේ ඒ.පී.බී. ඉලංගසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.