රග්බි ගින්න නිවාලන්න...

අනේ! පිංවත අපේ ජාතික කණ්‌ඩායමට ක්‍රීඩාකරන්න එන්න" කියන්න තරම් ශ්‍රී ලංකා ක්‍රීඩා පරිපාලනය ක්‍රීඩකයන්ගෙන් හිඟමන් අයෑදීමක්‌ අනවශ්‍යය. එබැවින් කොන්ද කෙළින් තබා ජාතික කණ්‌ඩායමට වින කරන ක්‍රීඩකයන්ගේ අවිනීත ක්‍රියාවන්ට පිළිතුරු ලබාදීම ක්‍රීඩා ඇමැතිවරයාගේ සිට අදාළ ක්‍රීඩා ආයතනවල පළමු වගකීම විය යුතුය.

මෙම ලිපියේ ඉහත ආරම්භයට ප්‍රධාන සාධකය මෙරට රග්බි ක්‍රීඩාවේ ඇතැම් ක්‍රීඩකයන් වල්මත්ව ජාතික කණ්‌ඩායම මග හරිමින් වෙනත් කණ්‌ඩායම්වලට ක්‍රීඩා කිරීමට දක්‌වන රුචිකත්වය පාදක කරගනිමිනි. ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ ජාතික වස්‌තූන්ය. ජාතික වස්‌තුවක්‌ වීමට මෙරට ඇතැම් රග්බි ක්‍රීඩකයෝ අකමැති වන්නේ කුමන පදනමක්‌ ඇතිවද? මෙම පටලැවිල්ල අනුව තරාදියේ දෙපැත්තක්‌ තිබිය යුතුය. එබැවින් රග්බි ජාතික සංචිතයෙන් ඇතැම් ක්‍රීඩකයන් කට්‌ටි පැනීමට හේතු තිබිය යුතුය. ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් ජාතික රග්බි ක්‍රීඩකයන්ට ලබාදිය යුතු වරප්‍රසාද වලට වඩා දෙතුන් ගුණයක්‌ මෙරට රග්බි ක්‍රීඩා සමාජ විසින් එම ක්‍රීඩකයන්ට ලබා දෙයි. එබැවින් ක්‍රීඩකයන්ගේ වැඩි කැමැත්ත වැඩියෙන් ලැබෙන දෙයට විය යුතුය. නමුත් රට පසෙක දමා පෞද්ගලික සුබ සිද්ධිය උදෙසා ජාතික කණ්‌ඩායමෙන් කට්‌ටි පනින්නේ නම් අදාළ ක්‍රීඩකයෝ රටට කරන ෙද්‍රdaහිකමකි. එසේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ව සහ රග්බි සංගමය තරාදියේ දෙපැත්තකට දැමුවොත් එය සමවනු ඇත. එහෙත් එය එසේ වුවද රටේ නම්බුව ඉදිරියේ ප්‍රශ්නාර්ථයක්‌ මතුව තිබේ.

ජාතික රග්බි කණ්‌ඩායමට නම් කරන ක්‍රීඩකයන් පුහුණු සංචිත මග හරිමින් වෙනත් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමේ ප්‍රශ්නය වසර කිහිපයක්‌ පුරා මෙරට රග්බි ක්‍රීඩාවේ උඩුදුවන ප්‍රශ්නයක්‌ වී තිබේ. එහෙත් සුපිරි ක්‍රීඩකයෝ තමන්ට ලැබෙන වරප්‍රසාද ගැන පමණක්‌ සිතා ක්‍රියා කරන්නේ නම් මෙරට රග්බි ක්‍රීඩාව පණ අදින ලෙඩෙක්‌ වැන්න. රග්බි සංගමයද අදාළ ක්‍රීඩකයන්ව සංචිතගත කරමින් වාර්ෂික කොන්ත්‍රාත් පදනමක්‌ මත ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයට සරිලන වැටුපක්‌ ලබා දීමද තවත් ප්‍රමාද නොකළ යුතු කරුණකි.

පසුගියදා පිලිපීනයේ පැවැති ෆයිව් නේෂන් රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත්විය. ශූරතාව දිනා ගැනීමට අවස්‌ථාව තිබුණද අවසන් තරගයේදී සත්කාරක පිලිපීන කණ්‌ඩායම හමුවේ පරාජය වීමෙන් ආසියානු සුපිරි කණ්‌ඩායම් පහ අතරට පත්වීමේ සිහිනය යළිත් බිඳ වැටිණි. අදාළ පරාජය ගැන ශ්‍රී ලංකා රග්බි නායක යෝෂිත රාජපක්‌ෂ පවසන්නේ, "ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නැතිවීම පාඩුවක්‌. එහෙත් අපි තරගාවලිය හොඳින් ක්‍රීඩා කළා" යනුවෙනි.

ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු පීල් ග්‍රිනින් පවසන්නේ, "මාස කිහිපයකට පසුව ශ්‍රී ලංකා රග්බි කණ්‌ඩායම දැක්‌වූ මෙම දක්‍ෂතා ඉතාමත් විශිෂ්ඨ බවයි. ඔවුන් පළමු තරග දෙකේදී ක්‍රීඩා කළ ආකාරය විශිෂ්ටයි." යනුවෙනි. අදාළ වදන් වලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවට මෙවර පළමු කාණ්‌ඩයේ ශූරයන් වීමට බොහෝ සේ අවස්‌ථාව තිබුණද ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයෝ ජාතික කණ්‌ඩායමෙන් කට්‌ටි පැනීම හේතුවෙන් අදාළ ජයග්‍රහණය බොඳ වූ බවකි.

"දුන්නොත් දානය ලැබෙයි නිධානය" යනුවෙන් කියමනක්‌ තිබේ. එබැවින් ජ්‍යෙෂ්ඨ රග්බි ක්‍රීඩකයෝ පිලිපීන සංචාරය මග නොහැර ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියට සහභාගි වී ශූරතාව දිනා පසුව ඔවුන්ගේ අඩුපාඩු පිළිබඳව හඬ නැඟුවේ නම් ක්‍රීඩකයෝ නම්බුකාරයෝ වනු ඇත. ඔවුන් එසේ ශූරයන් වූයේ නම් රග්බි සංගමයට ලෙහෙසියෙන් කට්‌ටිය පැනිය නොහැකිය. තරගාවලිය නියෝජනය කිරීමෙන් වැළකී සිටි ක්‍රීඩකයන් සමග මෙරට රග්බි සංගමය සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය දෑ ලබාදී තරගාවලියට සහභාගි කරවූයේ නම් ප්‍රතිඵලය මීට වඩා යහපත් වනු ඇතැයි අපගේ වැටහීමය.

අදාළ තරගාවලියට සහභාගි වීම මගහරිමින් නවසීලන්තයේ තරගාවලියට සහභාගි වීම සඳහා ගොස්‌ සිටි ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයන් වූ ෆසීල් මරීජාට සහ රොෂාන් වීරරත්නට එම තරගාවලියට සහභාගි විය නොහැකි ලෙස තරග තහනමක්‌ පනවා ඇති බව වාර්තා වේ. එයට හේතුව ඇත්තේ අදාළ ක්‍රීඩකයන් ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ නීති රෙගුලාසියේ 9 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමය. එම වගන්තියට අනුව ජාතික කණ්‌ඩායමට නම් කළ විට එම තරගාවලියට සහභාගි නොවී වෙනත් තරගාවලියට සහභාගි වීමේ වරද අනුව එම ක්‍රීඩකයන් දෙදෙනාට නවසීලන්තයේ තරගාවලිය අහිමි වූ බව වාර්තා වේ.

පිලිපීන සංචාරය සඳහා නම් කරන ලද පුහුණු සංචිතයේ ක්‍රීඩකයන් 30 කට අධික සංඛ්‍යාවක්‌ හේතු නොදක්‌වා ඉවත්වීම සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට දැන් රග්බි සංගමය කටයුතු යොදා ඇත. විනය පරීක්‍ෂණයෙන් පසු ක්‍රීඩකයන්ට සහ රග්බි සංගමයට ඇතිව තිබෙන පටලැවිල්ල සමථයකට පත්වුවහොත්, අපිත් අනාගතයේ ආසියානු රග්බි ශූරයෝ වන්නෙමු.

අසේල විතාන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.