ළගදීම අපිටත් හෙල්මට්‌ දාන්න වෙයි
- බිලී බව්ඩන්


බිලී බව්ඩන් යනු ක්‍රිකට්‌ පිටියේ "සොඳුරු" විනිසුරුකරුවෙකි. 1995 හැමිල්ටන්හී පැවැති ශ්‍රී ලංකා-නවසීලන්ත එක්‌දින තරගයක්‌ විනිශ්චය කරමින් ජාත්‍යන්තර විනිසුරු දිවිය ඇරඹූ නවසීලන්ත ජාතික බව්ඩන් 49 හැවිරිදිය. ආතරයිට්‌ස්‌ රෝගයේ ප්‍රතිඵලයක්‌ද ලෙස තමන්ටම ආවේනික සංඥා ක්‍රමයක්‌ භාවිතයෙන් ක්‍රිකට්‌ පිටියේ කැපී පෙනෙන අයෙකු වූ මේ විනිසුරුවරයා 2007 ජනවාරි මාසයේදී ලොව අඩුම වයසින් එක්‌දින ජාත්‍යන්තර තරග 100 ක්‌ විනිශ්චය කළ විනිසුරු ලෙසින් ගෞරවයට පත්වුණි.

මේ වන විට ඉන්දියාවේ අයි.පී.එල් තරගාවලියේ විනිශ්චය කටයුතුවල යෙදෙන බව්ඩන් විදෙස්‌ මාධ්‍යයක්‌ විසින් තම අයි.පී.එල් තරග අත්දැකීම සහ සිය විනිසුරු දිවිය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න කිහිපයකට දුන්a පිළිතුරු මෙසේ විය.

ප්‍රශ්නය - ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග විනිශ්චය සහ මෙවැනි ලීග් තරගාවලියක්‌ විනිශ්චයේ වෙනස කුමක්‌ද?

ප්‍රශ්නය - ලොකුම වෙනස තමයි අඩු දින ගණනක්‌ තුළ වැඩි තරග ගණනක්‌ විනිශ්චය කරන එක. නිකම් නෙමෙයි. තැනින් තැනට සංචාරය කරන ගමන්ම. තරගයක්‌ අතරතුර විතරක්‌ නෙමෙයි, තරගයකට පෙර සහ පසුවත් විනිසුරුවරයෙක්‌ ශාරීරික සහ මානසික යන දෙඅංශයෙන්ම ශක්‌තිමත්ව සිටිය යුතුයි.

ප්‍රශ්නය- අයි.පී.එල් තරගාවලියේ වැඩියෙන්ම ඔබ සිත් ගත කරුණ...?

පිළිතුර- ලෝකයේ හොඳම ක්‍රීඩකයන් තරගවදින, වැඩිම තරගකාරීත්වයක්‌ ඇති, ඉහළම දක්‍ෂතා විදහාදැක්‌වෙන පන්දුවාර 20 තරගාවලියේ මෙවැනි විනිශ්චයක යෙදීමෙන් තමන්ගේ විනිසුරු දක්‍ෂතා මැන බැලීමට අවස්‌ථාවක්‌ උදාවෙනවා. ඒ වගේම ඉන්දියාවේ වෙනස්‌ වෙනස්‌ නගරවල සැරිසරන්නට ලැබීමත් අපූරුයි. සහෝදර විනිසුරුකරුවන් සහ ක්‍රිකට්‌ ලෝලී ඉන්දීය ජනතාව අතර තරගයේදී සහ ඉන්පිටත ලැබෙන වෙන අත්දැකීමත් එහෙම තමයි.

ප්‍රශ්නය- මෙවැනි කෙටි තරග ක්‍රමයකදී ක්‍රීඩකයන් එල්ල කරන පහර ආදිය අනුව විනිසුරුවන්ගේ කායික යෝග්‍යතාව මෙන්ම ක්‍ෂණික ප්‍රතිචාර දැක්‌වීමත් වර්ධනය විය යුතුයි නේද?

පිළිතුර- පන්දුවාර 20 කියන්නේ විනිසුරුවන් පීඩනයට පත්කරන දෙයක්‌ නොවෙයි. කෙනෙකුගේ ශාරීරික යෝග්‍යතාව සහ තරුණ ජවය සමග පැයට කිලෝමීටර 150 ක වේගයෙන් එල්ලවෙන පහරකින් වුනත් ගැලවෙන්න පුළුවන් ජවයක්‌ තිබිය යුතුයි. වැදගත්ම දේ සෑම පන්දුවක්‌ ගැනම පූර්ණ පරීක්‍ෂාවකින් යුතුව අවධානයෙන් සිටීමයි. ඒ වගේම පන්දු යවන්නා විසින් පන්දුව නවතා ගැනීම ගැන විනිසුරුවරයාගේ විශ්වාසයක්‌ තිබෙනවා. ඒත් ගේල්, පොලාජි, පිටර්සන්, ෂෙවාර්ග් වගේ අය පන්දුවට පහරදෙන විට ඒ ගැන විශ්වාසයක්‌ තබන්න අමාරුයි. සමහර විට විනිසුරුකරුවාට එක්‌තරා ආකාරයක හෙල්මටයක්‌ පළඳින්න වන දවස වැඩි ඈතක වෙන එකක්‌ නෑ.

ප්‍රශ්නය- මුළු ලෝකයම ඔබව දන්නේ එක්‌තරා විශේෂිත ආකාරයකට විනිසුරු සංඥා ලබාදෙන්නෙක්‌ ලෙසයි. මෙය ඔබ කාලයක්‌ පුරා ගොඩනගාගත් දෙයක්‌ද?

පිළිතුර- ඔබ පිළිගත්තත් නැතත් හැම විනිසුරුවරයෙක්‌ටම ආවේනික දෙයක්‌ තිබෙනවා. ක්‍රීඩකයන්ට වගේම අපටත් අනන්‍යවූ පෞරුෂයක්‌ තිබෙනවා. අපි හැම කෙනෙක්‌ම ක්‍රීඩාව විඳිනවා, ක්‍රීඩාවට ආදරය කරනවා වගේම ක්‍රීඩාව වෙනුවෙන් රඟදැක්‌විය යුතු භුමිකාවක්‌ තිබෙනවා. හැම විනිසුරුවරයෙක්‌ටම සංඥා ලබාදීම මෙන්ම දැවීයැම් ප්‍රකාශ කරන විදිහක්‌ තිබෙනවා. මගේ විශ්වාසය නම් එයින් අදාළ විනිසුරුවරයාගේ චරිතය සහ පෞරුෂය පෙන්නුම් කරන බවයි. 1986 සිට මම ආතරයිට්‌ස්‌ රෝගයෙන් පෙළෙන්නෙක්‌. ඇඟිල්ල නවා පෙන්වමින් දැවීයැම් ලබාදීම එම රෝගය හේතුවෙන් ඇතිවූ තත්ත්වයක්‌.

ප්‍රශ්නය- පිටියේ ඔබ කැමතිම, ඔබට වඩාත් වැටහෙන විනිසුරු සගයා කවුද?

පිළිතුර - කාලයක්‌ එකට ක්‍රියාත්මක වීමේදී ඕනෑම විනිසුරුවරයෙක්‌ සමග අවබෝධයක්‌ ඇතිවෙනවා. ඒත් මගේ සිතේ ස්‌වභාවයට අනුව මට වැඩියෙන්ම සැසඳෙන්නේ අසාද් රාවුෆa සහ අලීම් ඩා යන විනිසුරුවන්.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.