මාර රැප් එක

"අපිට කන්න දෙනවනම්, අපිට බොන්න දෙනවනම්, අපිට හිත හැදෙන්න මනී දෙන්නෙ නැත්තෙ ඇයි?" කියල මේ දවස්‌වල අලුත් සෝන්ග් එකක්‌ ගහන්න කොල්ලො සැට්‌ වෙනවලු. ජිප්සි එකේ සුනී අයිය කියපු සෝන්ග් එකක්‌ පොඩ්ඩක්‌ වෙනස්‌ කරල මේ සෙල්ලම් පිට්‌ටනියට එන බෝයිස්‌ල සින්ග් කරන මේ සෝන්ග් එක මොකක්‌ද කියල තෙවැනි විනිසුරුටත් හරිම ඇප්සැට්‌ලු. එයා මේක හොයන්න පිට්‌ටනියටම ගියාලු.

අම්මප මෙලෝ යකෙක්‌ නැති සෙල්ලම් පිට්‌ටනියෙ නන්නත්තාර වෙච්ච යංග්ස්‌ බෝයිස්‌ල සැට්‌ එකක්‌ කොනක ඉඳන් ෆන් එකේ කියන මේ සෝන්ග් එක මොකක්‌ද කියල තෙවැනි විනිසුරු විපරම් කරන කොට එකෙක්‌ මෙහෙම රැප් කරාලු. "කොණ්‌ඩ මාලි, කොණ්‌ඩ මාලි, රග්බො කැන්ඩි බෝයිස්‌", "වට්‌ස්‌ ද මනී වටස්‌ද මනී" කියල. අම්මප මෙහෙව් රටේ සෙල්ලමට චියර් කරන බෝයිස්‌ල මෙහෙව් රටෙයි ෆොරින් කන්ටි්‍රවලයි ගිහිල්ල ඇට ඉරාගෙන වැඩදාල ඩොලර් මිලියන්ස්‌ සොච්චමක්‌ හොයාගන්න ජාතික වස්‌තුවලට දාන රැප් එක.

තෙවැනි විනිසුරුට මුලින්ම මනී දෙන්න කිව්වහම මතක්‌ වෙලා තියෙන් කකුල් බෝල් එකේ හිටපු මනීලව. ඒත් මනීලා මනීවලට ලොස්‌ නැති හින්ද තක්‌කෙටම මේ කොණ්‌ඩ මාලියලයි කැන්ඩි රග්බො බෝයිස්‌ලයි මනී මදි කියල රෙක්‌ස්‌පට්‌ දාන හින්ද තමයි මේ චියර් කරන බෝයිස්‌ල මේ සෝන්ග් එක හදන්න ඇත්තෙ කියල හිතපු තෙවැනි විනිසුරුත් සෝන්ග් එකයි රැප් එකයි මුමුණ මුමුණ ෆන් එකේ යන්න ගියාලු.

කොණ්‌ඩ මාලිට අම්මප මොකද මේ එක පාරට මනී කන්ට්‍රැක්‌ මදි කියන්නෙ. එයාට ඉතිං අර්ජු අයිය ඉන්න කාලෙ දුන්නු ෂොට්‌ එකට තමයි මේ කොමිටලේ සැට්‌ එකට ගෙම්බර් දානව ඇත්තේ. මොකද අර්ජු අයිය කොණ්‌ඩ මාලිව ශත පහකටවත් කෙයාර් කළේ නැහැනෙ. අඩුම ගානේ ඉන්ජට්‌ වුණ වෙලාවෙ එයාව බැලුවෙත් නැහැ කියල ඔය කොණ්‌ඩ මාලි තැන තැන පසුගිය දවස්‌වල දොඩව දොඩව ගියාලු. ඒකෙ රිටන් එක තමයි ධර්මෙ ලොක්‌කගෙ කොමිටලේට මෙයා දෙන්න හදන්නෙ. හැබැයි ත්‍රිකට්‌ එකේ පොරවල් කියන්නෙ මෙහෙව් රටේ තව ප්ලේයර්ස්‌ල නැත්නම් ඉතිං කොණ්‌ඩ මාලිට ඉල්ලන ඉල්ලන ගාන දෙන්න පුළුවන් කියල. අනිත් එක එදා වේල ටුවර්ස්‌ වගේ ඉන්න කොමිටලේට මෙහෙම දෙන්න කොහෙන්ද මනී.

කොහොම හරි කොණ්‌ඩ මාලිව දැන් ඇපෙල් 20 මුම්බෙ සැට්‌ එකට නැතිවම බැරිලු. ඒක හින්ද එයාගෙ මැනේජර් වැඩේ කරන ඔස්‌ටිය තමයි මේ මනී ටෝක්‌ ඒක කොණ්‌ඩ මාලිට දාල මෙහෙම කරපන් කියල මාලියව ෆෝම් කරන්නෙ කියල වටේ ඉන්න චියරින් බෝයිස්‌ල දැන් ඔස්‌ටියටත් දෙහි කපනවලු.

හැබැයි පුතේ කොණ්‌ඩ මාලියලට කන්ටැක්‌ දීල, කන්න බොන්න දීල ඇති දැඩි කරපු ත්‍රිකට්‌ කොමිටලෙන් තව තව දේවල් ඉල්ලනවනම් කැතැයි හොඳේ කියල කොමිටලේ හාදයෙක්‌ හොටු පෙරාගෙන දවසක්‌ අඬනවලු. අම්මප මොකද යකෝ අඬන්නෙ කියල එතන ඉන්න සික්‌කා ඇහුවම අඬන හාදයා කියාපි, "ඇයි ඕයි කොණ්‌ඩ මාලියලට ඇට්‌ටි හැලෙන්න හැම දේම මෙහෙන් එහෙන් හැම තැනින්ම හම්බ වෙනවා. අර මෙහෙව් රටට ගහන්න බැහැ කියපු රග්බො බෝයිස්‌ලට මොනවද දෙන්නෙ. මුන් සේරම ටික රෙක්‌ස්‌පට්‌ දාල කොහේ හරි ගිහිල්ල ගොඩ යයි. ඒත් ඉතිං අපිට අවුරුදු ගාණකින් කොමිටලේ ලොක්‌කො කිසිම ගාණක්‌ වැඩි කරේ නැහැ. අපි කාටද මේව කියන්නෙ..." කියල අඬන මෑන්ස්‌ කොමිටලේ දෙවනත් වෙන්න ටෝක්‌ස්‌ එකක්‌ දෙන කොටම ලොක්‌ක එළියට බැහැල කිව්වලු. "ඒයි දැන් කොමිටලේ සද්ද භද්ද මුකුත් බැහැ. මොකද එළකිරි වගේ ගේම ගහන පොරක්‌ ඉන්නෙ. ඒක හින්ද ෂටප්." කියල.

කොණ්‌ඩ මාලිය ඉතිං මනි කන්ටැක්‌ එක මදි කියල කිව්වට මොකද මහ රජුගෙ සන්ස්‌ලා ප්ලේ කරන රග්බො සයිඩ් එකටත් කැන්ඩි බෝයිස්‌ල සැට්‌ එකක්‌ එන්න බැහැ කියපු එකේ. ඒගොල්ලන්ට කන්න බොන්න දීල මදිලු. මනීත් ඕන හින්ද මෙහෙව් රටේ රග්බෝ ස්‌කොඩ් එකෙනුත් ආයින් වුණාලු. කොහොමද මෙහෙව් රටේ ඉන්න රෙක්‌ස්‌පට්‌ සෙල්ලම්කාරයො ටික. මුන්ට දැන් මනී නැතිව චූ කරන්නත් බැහැ කිව්වොත් තමා පුදුමෙ. කියල ඇට්‌ටි හැලෙන්න බැන බැන චියර් කරන හාදයෙක්‌ සෙල්ලම් පිට්‌ටනියෙ තිබුණ පුටුවකටත් පයින් ගහල යන්න ගියාලු.

අර කොදෙව් රටේ හතර රියන් වගේ ඉන්න ගේලා කාරයත් මනී මදි කියල ඇපෙල් 20 ගහන්නෙ. කෝ කොදෙව් ත්‍රිකට්‌ කොමිටුව ගේලාව ගත්තද එහෙව් රටට ප්ලේ කරන්න ඉල්ලන මනී ටික දීල. නැහැ නේද? ඒක හින්ද තෙවැනි විනිසුරු කියන්නෙ මෙහෙව් රටේ සෙල්ලම්කාරයන්ටත් ගේලාට කරපු වැඩේ කරානම් ආයිත් ඔය වගේ අංචි දාන පොරවල් බිහි වෙන එකක්‌ නැහැ කියලලු. මොකද මහ රජතුමා කියන්න වගේ පළමුවයි, දෙවනුවයි, තෙවනුවයි අපිට ඉතිං එක මෙහෙව් රට නොවැ. මේක ඉතිං සෙල්ලං කාරයො දන්නවත් ඇති. ඒත් ඉතිං මනී මදියි කියල උන් ලතවෙන එක නොවැ පුදුමෙ.

සා

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.