පාපතර ඒජන්සිකරුවකුගේ අමන වැඩක්‌
බිරිඳ අරාබියට යවනවා කියා රඳවාගෙන
දින හතක්‌ තිස්‌සේ දූෂණය කරලා

- සැමියාගෙන් පැමිණිල්ලක්‌


කන්නවත් විදියක්‌ නැතිව දරුවන් දෙදෙනෙක්‌ සමඟ අප අසරණ වෙලා
ජනපතිතුමනි මේ දුක ගැන නම් බැලිය යුතුමයි

පිටබැද්දර - සුනිල් ගමගේ

බිරිඳ විදේශ සේවා ඒජන්සිකරුවකු මගින් ඉකුත් 17 වැනිදා සෞදි අරාබිය වෙතට යවන බවට පොරොන්දු වෙමින් ගුවන්තොටුපළේදී බාරගත් බවත් දින 7 ක්‌ එම ඒජන්සිකරු යෑයි හඳුන්වන කෙනා බිරිඳව ලංකාවේ තබාගෙන දූෂණය කර සෞදි අරාබියට යවා ඇතැයි පවසමින් දෙදරු පියකු පිටබැද්දර පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත.

මෙසේ පැමිණිලි කර ඇත්තේ සියඹලාගොඩ මහපොතුවිල පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ මාතර ශාඛාවේ පැමිණිලි අංක CDරැ050රැ1205 යටතේ ද පසුගිය 3 දා පැමිණිලි කර ඇත.

"දිවයින" ට අදහස්‌ දැක්‌වූ එම පැමිණිලිකරු සිය බිරිඳ දින 07 ක්‌ ලංකාවේ තියාගෙන විනාශ කර තියෙනවා. ඒකට වගකියන්න ඕන බිරිඳ රට යවන්න මුල් වූ පුද්ගලයා. අපි ඉන්නේ පුංචි පැල්පතක. පුංචි පුතාලා දෙන්නෙක්‌ ඉන්නවා. මේ දවස්‌ ටිකේ හරියට කෑමක්‌වත් නැහැ. පුංචි ගෙයක්‌ හදාගන්න හිතාගෙන තමයි බිරිඳ රට ගියේ. දැන් ඒ ගෙදර ඉන්න බැරිලු. හරියට කරදර කරනවලු. ඇඟ පුච්චලාලු. කොණ්‌ඩෙත් කපා දැම්මලු. එයා කොහොමහරි ලංකාවට ගෙන්වා ගන්නලු. ඒ විනාශය කළ පාපතරයා මට මැයි 11 දුරකථනයෙන් කතා කළා. බිරිඳ ලංකාවේ තියාගෙන කරදර කළ බව ඇත්ත. මට පාර්ලිමේන්තුවට විතරයි යන්න බැරි වුණේ. උඹට පුළුවන් දෙයක්‌ කරපන් කියලා මට තර්ජනය කළා. අනේ මට දැන් සිහිකල්පනාවත් නැහැ. මේ තර්ජනය ගැනත් කියලා මම පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා. කොහොම හරි මේ දරුවන්ගේ අම්මා ගෙන්වා දෙන්න. එහෙම නැති වුණොත් ගොඩනැඟිල්ලකින් පැනලා මැරෙනවා කියල බිරිඳ කියනවා. එහෙම වුණොත් මේ දරුවන් දෙදෙනාත් එක්‌ක මමත් අනාථ වෙනවා. මේකට මුල් වූ පුද්ගලයාට නිසි දඬුවම් දෙන්න කියලා මම ජනාධිපතිතුමන් ඇතුළු සියලුම වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා යෑයි ද පැමිණිලිකරු පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.