කුසපබා බලන්න ප්‍රභාවතී දේවිත් ඇවිත්



මම එදා මුහුදු වෙරළට වෙලා හුඟාක්‌ දේවල් ගැන හිතුවා. ජීවිතය ගැන, මිනිසුන් ගැන, ඒ වගේම ස්‌ත්‍රී පුරුෂ සම්බන්ධය ගැන එහෙම.

මගේ හිතට ඒ වගේ අදහස්‌ ආවෙ පහුගියදා ආපු කුස පබාවතී සිනමා සිත්තම බැලුවට පස්‌සෙ වෙන්නැති. ඒකෙ මිනිස්‌සුන්ට හිතන්න දේවල් හුඟක්‌ දේ තිබුණා.

ටිකෙන් ටික කරුවල වැටීගෙන ආවත් මට නොදැනෙන තරමට මම සිත ඇතුළට ගිහින් හිටියෙ. එතකොට තමයි මට තේරුණෙ කවුරුහරි කෙනෙක්‌ මා ළඟ හිටගෙන ඉන්නව වගේ. බැලින්නම් තරුණ පහේ ගෑනු කෙනෙක්‌. ඇඳුම් පැළඳුම් නම් අපට හුරුපුරුදු ඒවා නෙවි.

මට ගෙදර යන්න රෑ වුණා. අයිය මෙතැන ඉන්නව මම කීප දවසක්‌ දැකල තියනව. මාත් මෙතැන වාඩිවුණාට කමක්‌ නැද්ද? කියල එයා ඇහැව්වා.

අපොයි වාඩි වෙන්න. වෙරළ කාටත් පොදුයිනෙ. ඒකට මගෙන් අවසර ගන්න ඕනද?

ඒ වුණාට මට දැන් බයයි. මම දැන් හොඳටම රැවටිලා ඉන්නෙ. තවත්

රැවටෙන්න මට ඕන නෑ.

කවුද ඔබ රැවැට්‌ටුවෙ. ඔබ වගේ සුන්දර කාන්තාවකට එහෙම කරන මිනිහ මහ මෘගයෙක්‌ වෙන්න ඕන. හැබෑට කවුද ඒ?

කුස තමයි වෙන කවුද?

මොකක්‌ · කුස කුමාරයා · දඹදිව කුසාවතී පුරයේ මහ රඡ්ජුරුවන්ගෙ පුතා· අර කැවුම් මුහුණක්‌ තියන හාදයද? මොනවද ඔබ මේ දොඩවන්නෙ. ඔබ රාජ කුමාරිකාවක්‌ කියලද මට කියන්නෙ· ඒත් ඔබ කොහොමද මේ පාළු මුහුද අයිනෙ ඉන්නෙ?

ඒ ගැන එහෙම හිතන්න එපා අයිය· දැන් අපි ඉන්නෙ සයිබර්Êඅවකාශෙ නෙ. අද මෙතැන හිටිකෙනාට ඊළඟ මොහොතෙ ලෝකයෙ උතුරු කොණේ ඉන්න පුළුවන්නෙ. මටත් වුණේ ඒ ටික. මට මාළිගාවේ ඉන්න බැරි තැනදියි කාටත් නොකියා වහංවෙලා ආවෙ.

දෙවියන්ට ඔප්පු වෙච්චාවෙ. ඔබ ප්‍රභාවතී දේවින්නාන්සෙද? ඔක්‌කාක රජතුමාගෙ දූ කුමරි ප්‍රභාවතීද?

බයවෙන්න එපා අයිය. මොන වගේ පට්‌ටම් තානාන්තරවලින් හැඳින්වුවත් ගෑනු පිරිමි අපි කාගෙත් ළඟ තියෙන්නෙ එකම විදියෙ හැඟීම් බන්ධන. කවුරු වුණත් ගෑනියෙකුට සලකන්නෙ මේ කුමාරිද, සිඟන්නිද කියල නෙවි. ආදරය, වේදනාව, ඊර්ෂ්‍යාව, වෙන්වීම මේ කාටත් පොදුයි.

ප්‍රභාවතී දේවිය· මට නම් පේන්නෙ ඔබ මහා සිත් තැවුලකින් ඉන්නව වගෙයි. ඒත් මම අහල තියනව ඔබේ ස්‌වාමි රඡ්ජුරුවො, කුස කුමාරයා බොහොම ප්‍රතාපවත් බලපසම්පන්න කෙනෙක්‌ කියල·

ඕ මඳක්‌ මා දෙස බලා සිනාවුණාය.

අයිය ඔහොම කිව්වට කුස ගැන මම තරම් හොඳින් දන්න කෙනෙක්‌ හිටින්න අමාරුයි.

ඒක ඇත්ත· දැන් ඔය අපූරු චිත්‍රපටයකුත් හදල තිබෙන්නෙ ඔබ දෙපළගේ ප්‍රේමය ගැන.

ප්‍රේමය· මොන ප්‍රේමයක්‌ ගැනද ඔය කියන්නෙ . මම ප්‍රාන්ත රජෙකුගෙ දුවක්‌. කුස කියන්නෙ මුළු දඹදිවටම අධිපති රජුගේ පුතාට. එයාට මාව බලෙන් කුදලාගෙන යන්නත් තිබුණ අර ඇමරිකන්කාරයො ඔසාමා බින් ලාඩන්ට වෙඩි තිබ්බ වගේ.

කොහොම වුණත් ඔබ දෙදෙනා අතර සම්බන්ධයක්‌ තිබුණෙ නැහැ කියන්න බැහැනෙ. මම නම් හිතුවෙ නැහැ තරුණ ගැහැනියකට රාත්‍රි කාලයේ තමා සමග යහන්ගත වෙන තම ස්‌වාමි පුත්‍රයා හඳුනගන්න බැරුව රැවටෙයි කියල. ඇත්තටම ඔබත් කළේ බොරු මවාපෑමක්‌ නේද? මට ඕන්න ඕක දැනගන්න තමයි මම ඒ දුරකතර ගෙවාගෙන ඔය කියන චිත්‍රපටය බලන්න ආවෙ.

"මොනව· ඔබතුමිය එහෙනම් කුස පබා චිත්‍රපටය බැලුව· ඇය සමච්චල් ලෙස සිනාවෙයි.

ඔබතුමිය දකින්න ඇති පබා කුසගෙ කොකනද වීණාවෙ හැඩ අහල එකල මෙකල හිතාගන්න බැරුව වීණා වයන්නේ කව්දැයි කුදීගෙන් අහන දර්ශනයෙන් නෙ චිත්‍රපටය පටන් ගන්නෙ.

අපොයි ඔව්. මට නම් ඕක කුදීගෙන් අහන්න දෙයක්‌ නෑ අයිය. කුසගෙ ඔය කොකනද වීණාවෙ හඬ මම කොයිතරම් අහල තියනවද?

මට ඇත්ත කියන්න. ඔබතුමී කුස කුමාරයවත්, රජ සැපත් දමලගහල ආපහු ගමට ගියේ එයාගෙ කැත මුහුණ හින්දද?

ප්‍රභාවතී මඳ සිනාවෙන් යුතුව මා දෙස බැලුවාය.

ඔන්න බලන්න අයියත් මා ගැන හිතන හැටි· මං අයිය, කෙනකුගෙ අගේ කරන්නෙ එයාගේ හැඩරුව නොවෙයි. එයාගෙ ගතිගුණ. ඒ වගේම මං අහල තිබුණ එයා ඉතා දක්‌ෂ සංවේදී සංගීතඥයෙක්‌, මූර්ති ශිල්පියෙක්‌, චිත්‍ර ශිල්පියෙක්‌ කියලයි.

ඉතින්·

ඒත් ඒ ඔක්‌කොම හරි බොරු කියල අහිංසක ගෑනු රවට්‌ට ගන්න දස්‌සකමක්‌ එයාට තිබිල තියනව...

හා· හා· ඔබතුමිය කාරණා දන්නෙ නැතුවයි ඔහොම කතා කරන්නෙ. සීලවතී බිසවුන්නාන්සෙ පුතාට තියන ආදරය හින්දම ඔය සටකපටකම කරන බව කුස හාන්කවිසියක්‌ දැනගෙන හිටියෙ නැහැනෙ. ඒක චිත්‍රපටයෙනුත් පෙන්නුම් කරනව නේද?

ඒක ඇත්ත වෙන්න පුළුවන් අයිය. ඒත් කුස කුමරුට කිසිම ආත්ම ශක්‌තියක්‌ තිබිල නැහැ මේ වංචාව මා ඉදිරියෙ කියන්න. චිත්‍රපටයේදීවත් එහෙම කරාවි කියල මං හිතාගෙන හිටිය. ඒත් කෝ?

පුංචි වුණත් මමත් රාජ කුමාරිකාවක්‌ නෙ. මගේ දෙමාපියන්ට, මගේ රටට, මගේ ආත්මයටත් වටිනාකමක්‌ තියනව. මුළුමහත් දඹදිවටම පේන්න දිගින් දිගටම මාව රවට්‌ටන කොට මං කොහොමද තවත් ඉවසන්නේ ඔබතුමිය කියන්නේ ඇත් හලේ දී මල් පොහොට්‌ටුවකින් (ජාතක පොතේ ඇත් බෙට්‌ටකින්) ගහන කොටත්, වීථි සංචාරයේ දී ඇතු පිට සිට ඔබට උසුළු විසුළු කරන විටත් ඒ කවුද කියා ඔබ දැන සිටියා කියලද?

ඔව්. මම දැනගෙන හිටිය. මම හිටියෙ ලැඡ්ජාව උහුල ගන්න බැරුව කේන්තියෙන්. මේ අඥන මිනිස්‌සු තමන්ගෙ අදහස්‌ ඉටු කරගත්තම මුළු මහත් රටවැසියන් ඉදිරියේ මට කරන රැවටීමත්, අපහාසයත් ඉවසගන්න බැරුවයි මම හිටියෙ.

ජාතක කතාකරු මේ දේවලින් අදහස්‌ කළේ ඥතියෙකුගෙ මානය බිඳ දමන්න බෝධිසත්ත්වයන් ගන්න උත්සාහය පෙන්නන්න වෙන්න බැරිද? බුදුන් වහන්සේ ඔය කතාව ගෙන හැරපාල තියෙන්නෙ මාගමුන් (ස්‌ත්‍රිය) පසුපස ගියොත් නින්දාවට අවමානයට ලක්‌වෙන බව කියන්න නෙ.

ප්‍රභාවතී කිසිවක්‌ නොකියා සිටියාය.

ඒ වගේම චිත්‍රපටයෙ අරමුණ මේක වෙන්න බැරිද? මිනිසකුගේ විරූපී බවට වඩා ඔහුගේ හැකියාවන් හා කුසලතාවන්වලට වැඩි වටිනාකමක්‌ දිය යුතුය යන අදහස මතු කරන එක. ඉතින් ඔබතුමියට හිතෙන විදියට චිත්‍රපටයෙ අරමුණ ඔය දෙකෙන් මොකක්‌ කියලද හිතන්නෙ?

ඔය දෙකම නෙවි. අධ්‍යක්‍ෂතුමාට ඕන වෙලා තිබුණෙ සංවේදී පැරැණි කතාව නව ආරකින් ඉදිරිපත් කරන ගමන් චරිත දිහා මානුෂිකව බලන්න වගේ කියලයි මට පෙනුණේ.

අපි හිතනවට වඩා ඔබතුමී ඥනවන්තයි දේවිය. ඔබේ චරිතය රඟපාන අර හින්දි නිළිය ඔබට සාධාරණය ඉටු කළා කියල ඔබට හිතෙනවද?

ලීලානන්ද වික්‍රමසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.