මම එදා කියපු දේවල් අදටත් වලංගුයි
සොමි රත්නායක

ගම්පෙරළිය, නිධානය ගිය තැන්වලට
අපිට කිට්ටු වෙන්න බැහැ

අපේ රටේ දැන් තරු නැහැ

''සොමිනන්ද රත්නායක'' ගේ නමට ඉදිරියෙන් ලිවිය හැකි පූර්විකාව ඉතා දිගු එකකි. එය වඩාත් කෙටි කරන්නට ගත් උත්සාහය ''ගුලි කර'' ඉවත දැමූ සටහන් කොළ ගණනාවකි.'කෙටි කරන්නට ගත් උත්සාහය තුළ... ''සොමිනන්ද රත්නායක'' අම්බලන්ගොඩ ඉපැදී රත්නපුරයේදී අකුරු කර ඉතා අසීරු ගමනකින් පසු මෙරට සිනමාවේ, වේදිකාවේ, ටෙලි නාට්‍යයෙහි සළකුණක්‌ තැබූවෙක්‌ බව මූලිකව සටහන් තබමි.'අනතුරුව මේ ක්‍ෂේත්‍රයන් තුළ ඔහුගේ ප්‍රතිභාව සනිටුහන් කළ අවස්‌ථා මෙසේ කෙටියෙන්ම සටහන් තබමි.'''සොමිනන්ද'' රංගනයෙන් දායක වූ සිනමා පට අතර හුලවාලි, උතුමාණෙනි, දඩයම, සුද්දිලාගේ කතාව, බව දුක, බව කර්ම, සුරබි දෙන ඇතුලු තවත් රැසකි. වරංගා, දළ රළ පෙළ, සුද්දහාමි, ටෙලි නාට්‍ය රංගනයන් පිළිබඳව සිහිපත් කරයි. අධ්‍යක්‍ෂණය කළ ටෙලි නාට්‍ය අතර දාසි, ඉන්ද්‍රජාලි ද අධ්‍යක්‍ෂණය කළ වේදිකා නාට්‍ය අතර එනස්‌ කෝලා, රන් සලකුන, සබඳ මම රස්‌පුටින් ද වේ. මේ කෙටි සටහන් තැබීමම, සොමිනන්ද රත්නායක යනු අන්කවරකුත් නොව මෙරට සිනමා වේදිකා නාට්‍ය රසිකයන් ආදරය කළ ගැඹුරු කටහඬ පෞරුෂයකින් යුත් රංගධරයකු වන ''සොමී රත්නායක'' බව ඔබට සිහිපත් කරන බව දනිමි.'මේ දුරු රට ගොස්‌ සිටින ''සොමී'' මේ බිමට පැමිණ අස්‌වැසිල්ලේ අපි මුණ ගැසුණු මොහොතයි.

'''ඔබ රංගන ශිල්පියෙක්‌ වෙන්න ඕන කියන ඉලක්‌කයෙන් වැඩ කළ පුද්ගලයෙක්‌ද?
'ඇත්තටම නෑ... මම නළුවෙක්‌ වුණේ අහම්බෙන්.

'එතකොට ''නළුවෙක්‌'' කියන ඉලක්‌කය නොතිබුණු නිසාද රට අත්හැරලා ගියේ.
'නෑ.... මම නළුවෙක්‌ වීම අහම්බයක්‌ වුණාට, පස්‌සේ කාලෙක මගේ වෘත්තිය වුණේ, ඉලක්‌කය වුණේ ''රංගනය'' ම තමයි.'

'' ඒ අහම්බය ගැන ටිකක් කතා කරමු
'මගේ යාළුවෙක්‌ වේදිකා නාට්‍යයක්‌ කරනවා කිව්ව නිසා මම සුදර්ශියට ගියා. එතැනදී මාව සුමන ආලෝක බණ්‌ඩාරගේ ''එරබඳු මල් සිනාසුනා'' නාට්‍යයට තෝරා ගත්ත. ඒක විරල අත්දැකීමක්‌. මම ''සුමන'' ගෙන් පස්‌සේ කාලෙක ඇහුවා ඇයි මාව තෝරා ගත්තේ කියලා. එතකොට සුමන කිව්වේ ''ඔය කටහඬ තියෙන්න ඕන වේදිකාවේ'' කියලයි.'පස්‌සේ කාලෙක මම දයානන්ද ජයවර්ධනගේ ''අමරණීය ආදරය'' චිත්‍රපටයෙන් සිනමාවට සම්බන්ධ වෙනවා. හැබැයි ඒ සම්මුඛ පරීක්‍ෂණයකින් සමත් වෙලයි. පස්‌සේ කාලෙක මට හොඳ චරිතයක්‌ කරන්න ලැබෙන්නේ ''සෙලීනාගේ වලව්ව'' චිත්‍රපටයෙනුයි.

'ආව තරම් වේගයෙන් සිනමාවේ ස්‌ථාවර වෙන්න ඒ කාලයේ අමාරුයි නේද?''ඔව්. අපිට නිතරම හොඳ චරිත ලැබෙන්නෙත් නෑ. විජය, ගාමිණී. රවීන්ද්‍ර මේ වගේ අය අතරේ අපිව එතරම්ම කැපිලා පෙනුනේ නෑ. ඒ නිසාම අපි වේදිකාවට ගියා. හැබැයි මොන හේතුවක්‌ උඩ හරි මට චිත්‍රපට නොලැබී තිබුණෙත් නෑ.'ක්‍ෂේත්‍රයට ආපු දා ඉඳලම ''වෘත්තීය'' නළුවෙක්‌ බවට පත්වුණාද?'ඇත්තටම කිව්වොත් මම මුල් කාලයේ පොඩි රස්‌සාවක්‌ කරන ගමන් තමයි වේදිකාවට ආවේ. හැබැයි කෙටි කාලයකින් අර රස්‌සාවට යන එක නතර කළා. අපි එතරම්ම කැපවීමක්‌ ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ යුතුයි කියලා හිතුනා.'හැබැයි මම පාසල් ජීවිතයට ආයුබෝවන් කිව්වට පස්‌සේ මම දිගින් දිගටම රස්‌සාවක්‌ හෙව්වා. පොලිසියට, හමුදාවට, ගුවන් හමුදාවට බැඳෙන්න මම උත්සාහ කළා. ඒත් හරි ගියේ නෑ.

'හැබැයි අද වෙනකොට ක්‍ෂේත්‍රයට එන්න ඔය කියන තරම් අමාරු නැහැ නේද?
'ඇත්තටම ඔව්. අද ඕනෑම කෙනෙක්‌ මුලින්ම එන්නේ ටෙලි නාට්‍යවලට. ඊළඟට සිනමාවට. ඒ කාලයේ අපි වේදිකාවට ආවත් අපිට තිබුණ එකම ආකල්පය සිනමා නළුවෙක්‌ වීමයි. සිනමා නළුවකුට ඒ කාලයේ සමාජයේ ලැබුණු පිළිගැනීම ගැන අපිට ලොකු ආශාවක්‌ තිබුණා. අපි ඒ කාලයේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌ මුණගැහුනම ඒ අයගේ අවධානය දිනාගන්න නොකරන දෙයක්‌ නෑ. අධ්‍යක්‍ෂවරයෙක්‌ කතා කරලා චරිතයක්‌ දෙන්නම් කිව්වොත් ඒක අපිට විශාල සතුටක්‌ ගෙන දුන්නා. එක වතාවක්‌ අධ්‍යක්‍ෂවරයෙක්‌ චරිතයක්‌ දෙන්නම් කිව්ව නිසා මම එයාට දුරකථන ඇමතුම් එකසිය පනහක්‌ විතර දුන්නා. ඒත් චරිතය ලැබුණේ නෑ. එදා සිනමාවට එනවා කියන එක එතරම්ම ලේසි වුණේ නෑ.

'හැබැයි ඒ අපහසුතාව ජයගන්න ඔබට හැකි වුණා.
'ඇත්තටම... පස්‌සේ කාලෙක සිනමාව තුළත් යම් පිබිදීමක්‌ ඇති වුණා. වෘත්තීමය ලෙසම. සිනමාව සමග කටයුතු කරන්න හැකියාව ලැබුණා. වාණිජ චිත්‍රපට බොහෝමයක්‌ නිපදවුණා. හැබැයි ඒ හැම එකක්‌ම හොඳ චිත්‍රපට. කසිකබල් නෙවෙයි. විශේෂයෙන් වේදිකාව එක්‌ක සම්බන්ධවෙලා හිටපු අයත් චිත්‍රපට කරන්න පටන් ගත්තා. කලාත්මක චිත්‍රපට එක්‌කම වාණිජ චිත්‍රපටත් හරි හරියට හැදුනා. අපි තුළ ''සිනමා නළුවෙකු විය යුතුයි'' ''එය අපේ වෘත්තිය විය යුතුයි'' කියන සිතුවිලි වලට ඒ යුගය හරියටම ගැලපුනා.' මම මුල් ප්‍රශ්නයම ඔබෙන් ඇහුවොත්, ඒ අවස්‌ථාව අතහැරලා ඔබ විදේශගත වුණේ ඇයි. 'ඇත්තටම පස්‌සෙ පස්‌සේ, ඒ කියන තත්ත්වය නැති වුණා. පසුකාලීනව ''වෘත්තියක්‌'' ලෙස තෝරා ගන්න බැරිතරමට සිනමාව කඩා වැටුණා. අද සිනමාව එන අයත් කරන්නේ ටෙලි නාට්‍ය කරන එකයි.'අපි ඒ කාලයේ හිතුවේ තවදුරටත් මේ කර්මාන්තයේ රැඳිලා ඉන්න එක මෝඩකමක්‌ කියලයි. අපිට අපේ වෘත්තීය ස්‌ථාවරය ගැන, පවුලේ ආර්ථිකය ගැන හිතන්න වුණා. ඒ කාලයේ අපි තීන්දු තීරණ ගත්තේ විජය, ගාමිණී, මාලනී ජෝ වගේ අයගේ ජීවිත දිහා බලලා. ඒ අය අපිට වීරයෝ නිසා අපි හිතුවා ඒ අයගේ වෘත්තීමය මට්‌ටමට අපිටත් එන්න පුළුවන් කියලයි. 1996 වෙන කොට මේ රටේ හිටපු එකම වෘත්තීය නළුවා මම. මම හම්බ කළේ රඟපෑමෙන් ජීවත්වෙන්න. චිත්‍රපට, වේදිකා නාට්‍ය නිෂ්පාදනයට වියදම් කළේ ඒ සල්ලි. රටේ තිබිච්ච තත්ත්වයයි..... අපේ කර්මාන්තය රැක ගන්න බැරි උදවියයි දෙගොල්ලොම නිසා සිනමාව කඩා වැටුනා. බොහෝ දෙනෙක්‌ රඟපෑවේ විවිධ රැකියා වල යෙදෙන ගමන්. තවත් අයට ව්‍යාපාර තිබුණා. ඒ නිසා මට තීරණයක්‌ ගන්න වුණා. හැබැයි මම එදා කතා කළ දේ අදටත් වලංගුයි.

'සිනමාව ගොඩ ගන්න ඉන්න අයම ''රට ගියාම'' වෙන වෙන ව්‍යාපාර කරපුවාම සිනමාව කොහොමත් කඩා වැටෙනවනේ.
''ඒක හරි. ඒ කතාව හරි මම නෑ කියන්නේ නෑ. හැබැයි අපි විතරක්‌ සිනමාව ගොඩගන්න හිතනව නම් ඒක විහිළුවක්‌. මොකද මේකට පවතින රජය පාර්ශ්වයෙන් වගේම තවත් බොහෝ අයගේ එකතුවක්‌ අවශ්‍යයි. ඉන්දියාවේ සිනමාවට ඒ රජය විශාල වශයෙන් අනුග්‍රහය දක්‌වනවා.'ඒක ගැන දන්න නිසා ආයෝජකයෝ නිෂ්පාදකයෝ බය නැතුව වියදම් කරනවා. හොඳ කතා එනවා. අපේ රටේ එහෙම වෙනවද? සිනමාව ගොඩගන්න හිතාගෙන කොහොම හරි චිත්‍රපටයක්‌ කරනවා කියාගෙන ආපු අය නිසා නළු නිළියන්ට කිසිම වාසියක්‌ අත්වුණේ නෑ. නළු නිළියන්ට වෘත්තීය ගරුත්වය තියාගෙන සිය මුදල් ලබාගැනීමේ හැකියාව තියෙන්නෙ ඕන. සමහර චිත්‍රපට වලට අද වෙන කොට මිලියන බිලියන ගණන් වියදම් කරනවා. හැබැයි දුවන්නේ නෑ. වරද කොතැනද? 'මගෙත් ප්‍ර්‍රශ්නය ඒකමයි. ''වරද කොතැනද?''' මුල් යුගයේ කොහොම කොහොම වුණත් පසු කාලීනව සිනමාව කියන්නේ අපේ සංස්‌කෘතියේ එක්‌තරා අංගයක්‌ කියන එක අමතක කරන්න බැහැ. ඒත් ඒකට ලැබෙන සහ ලැබුණ වටිනාකම මොකක්‌ද? හොලිවුඩය බොලිවුඩය කොලිවුඩය මේ මේ හැම එකක්‌ම දියුණු වෙන්නේ ඇයි. 'හිටපු රාජ්‍ය නායකයන් වගේම මේ රජයෙනුත් සිනමාවට බදු සහන දීලා, ආයෝජකයෝ ලබාදීලා, තාක්‌ෂණික උපකරණවලට බදු සහන දීලා, විවිධ දේවල් කරනවා. හැබැයි සිනමාවේ අර්බුදය තවමත් එහෙමයි. අපි ජාත්‍යන්තර සිනමාවට ලංවෙන්නවත්, ඒ වෙළෙඳපොළ ජයගන්නවත් උත්සාහ දරන්නේ නෑ.

'හැබැයි ජාත්‍යන්තර අවධානයට යොමු වෙච්ච චිත්‍රපට පසුගිය කාලයේ නිපද වුණා.
'ඔව්. හැබැයි ඒ විත්‍රපටවලට සාපේක්‍ෂව ගත්තොත් 1962-64 අවුරුදු වල ගම්පෙරළිය නිධානය ගිය තැන්වලට අපිට කිට්‌ටු වෙන්නවත් ලැබිලා නෑ. ආසන් තම රටවල් එක්‌ක ගත්තොත් ජාත්‍යන්තර සිනමාවේදී අපි තව දුර යා යුතුයි. අපි ටෙලිනාට්‍ය වලට තැන දුන්නට සිනමාවට තැනක්‌ දෙන්නේ නෑ.'ඉස්‌සර ටෙලි නාට්‍ය විකාශය වුණේ සෙනසුරාදා ඉරිදා විතරයි. අද වෙනකොට හැම නාලිකාවකම එක දිගට හතරක්‌ පහක්‌ විකාශය වෙනවා.

'ඔබ මේ වෙනකොට ඉන්නේ ඇමරිකාවේ.
ඔව්

''' 'ඇමරිකාවෙත් ටෙලිනාට්‍ය විකාශය වෙනවා.
ඔව්

''' 'හැබැයි හොලිවුඩයට දැනිලවත් නෑ නේද?
''ඒක හරි. එතැනදී මෙහෙම දෙයක්‌ වෙනවා. හොලිවුඩය සුපිරි නළුනිළියන් බොහෝ දෙනෙක්‌ ටෙලි නාට්‍ය පැත්ත පළාතකවත් එන්නේ නෑ. අඩුම වශයෙන් ''ජැක්‌ නිකල්සන්'' කියන නළුවා රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකටවත් එන්නේ නෑ. ඒ අය සිනමාව හැරුණු විට යන්නේ වේදිකාවට හැබැයි අපේ අය කොයිතරම් නම් ටෙලි නාට්‍යවලට එනවද?'මුල් යුගයේ අපේ නළුනිළියන්ට තිබ්බ ගෞරවනීය ජනප්‍රියත්වය අද නෑ. අද සිනමාවට වඩා ටෙලි නාට්‍ය ජනප්‍රියයි. ඒ යුගයේ සිනමා ''තරුවක්‌'' කියන්නේ සිනමා කර්මාන්තයේ අනන්‍යතාවක්‌. ඒක කඩා වැටුනම සිනමාවත් කඩා වැටෙනවා. ඇමරිකාවේ තියෙන්නේ ටෙලි නාට්‍ය නෙවෙයි. සෝප් ඔපෙරා, ලයිට්‌ කොමඩි '' Light Comedy සිනමාවෙන් ලබන ආශ්වාදය එයින් ලබන්න බැහැ. එසේ චිත්‍රපටයක්‌ නරඹන්න ගියාම තිරයේ මුලින්ම පේන්නේ රූපවාහිනියක්‌. මොහොතකින් ඒක පුපුරලා යනවා පේනවා. ඊළඟට තිරයට එන්නේ '' GO BIG කියලයි. ඒ පණිවුඩය වැදගත් නේද?

'වේදිකාවටත් ඔය වගේම විවේචනයක්‌ තියෙනවද?
'මුලින්ම ඔබ ඔය කියාපු කාරණය නිවැරැදි කරන්න ඕන. මම කිසිවක්‌ විවේචනය කළේ නෑ. පවතින තත්ත්වය විග්‍රහ කිරීම පමණයි කළේ.'වේදිකාව ගැන ඇත්තටම මට පැහැදිලි අදහසක්‌ කියන්න බැරි මෑත කාලයේ මට වේදිකා නාට්‍ය කිසිවක්‌ නරඹන්න හැකියාවක්‌ නොතිබුණු නිසයි. හැබැයි මම දන්න අය කිව්වේ අපේ අලුත් පරපුර ඉතාම නිර්මාණශීලීව කැපවීමෙන් වේදිකාව එක්‌ක ඉන්නවා කියලයි. ඇත්තටම ඒක වේදිකාවේ අපේ ප්‍රවීණයන්ගේ කාලයේ පටන් දකින්න ලැබිච්ච දෙයක්‌.

'ශ්‍රී ලංකාවේ නොහිටියට චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා නේද?
' ඔව්. ජයනාත් ගුණවර්ධනගේ ''පරිවර්තන'' සිනමාපටයට සම්බන්ධ වුණා. ඒක මට ලැබුණු විශේෂ අවස්‌ථාවක්‌. ''ජයනාත්'' කාලයක ඉඳල මගේ කිට්‌ටුවන්ත මිත්‍රයෙක්‌. කැමරා ශිල්පියෙක්‌ හැටියට කටයුතු කළ ජයනාත් අධ්‍යක්‍ෂවරයෙක්‌ හැටියට එළියට එන්නේ ඒ විත්‍රපටයෙන්. ඔහු කිහිප වතාවක්‌ ඇමරිකාවට කතා කරලා සිනමාවට මාව සම්බන්ධ කරගත්තා. වයස අවුරුදු තිස්‌පහේ ඉඳලා හැත්තෑව දක්‌වා විහිදෙන චරිතයක්‌ ඒක. ජයනාත් මේකට විශාල කැපකිරීමක්‌ කළා.'

''වෘත්තිමය'' නොවන මට්‌ටමෙන් හරි නැවත අපේ රටේ වේදිකාවට සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක්‌ නැද්ද?
කාලය බොහෝ දේ තීරණය කරයි.

උදේශ් සංජීව ගමගේ
ඡායාරූප-සුජාතා ජයරත්න

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.