සියලු වාද අතරින් භයානකම වාදය

සියලු 'වාද' අතුරින් භයානකම 'වාදය' ජාතිවාදය විය යුතු ය.

ජාතිවාදයට ත්‍රස්‌තවාදය ඇති කිරීමට පුළුවන. ත්‍රස්‌තවාදයට රටවල් දුහුවිලි බවට පත්කර මිනිසුන් වාෂ්ප බවට පත් කිරීමට පුලුවන.

මේ නිසා ඇතැම් අවස්‌ථාවලදී ත්‍රස්‌තවාදයේ පියා බවට පත් වීමට ජාතිවාදයට පුළුවන. පුතාගේ උපත වැළැක්‌වීම සඳහා පියා මැරිය යුතුම ය. පියකු මැරීම පාපයක්‌ වුවද ත්‍රස්‌තවාදයේ පියා වන ජාතිවාදය නමැති පියා මැරීමෙන් පින් මිස කිසිදු ආකාරයක පවක්‌ පිරෙන්නේ නැත.

කිසිදු ජාතිවාදී බලවේගයකට හිස ඔසවන්නට ඉඩ නොතබමු යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (15 දා) ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදී පවසා තිබේ. ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතයට ජාතිවාදය විසින් බොහෝ අනතුරු කරනු ලැබීමට ඉඩ ඇති බැවින් ජනාධිපතිතුමා මේ ඉල්ලීම කළ බව පෙනෙන්නට තිබේ. ජාතිය හෝ ආගම පදනම් කරගෙන ලෝකයේ රටවල් අවුරුද්දකට දෙක බැගින් දෙකඩවීමේ ප්‍රවණතාවක්‌ මේ මොහොතේදී පවතී. පසුගිය අවුරුදු කිහිපය තුළ එක්‌සත් ජාතීSන්ගේ සංවිධානයේ වුවමනාව මත සහ වෙනත් පාර්ශ්වවල ආධාර මත රටවල් කිහිපයක්‌ දෙකඩ විය. කොසෝවාව වෙනම රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශයට පත් විය. සුඩානය දෙකඩ කැඩින. ඕනෑම රටක පළාතක්‌ හෝ අගනුවරක්‌ වෙනම රාජ්‍යයක්‌ හැටියට ප්‍රකාශයට පත් කර දීමේ කොන්තරාත්තුව භාර ගැනීමට කැමැති අය මේ මොහොතේ සිටිති. කොසෝවා ව වෙන රාජ්‍යයක්‌ බවට පත් වූයේ ජාතිවාදී පදනමක්‌ මත ය. සුඩානය දෙකඩ වූයේ ආගමික පදනමක්‌ මතය. එනම් රටේ එක පැත්තක ඉස්‌ලාම් භක්‌තිකයෝ ද, රටේ අනෙක්‌ පැත්තේ ක්‍රිස්‌තියානි ආගමිකයෝ ද වූය. මේ දෙගොල්ල එකට ජීවත් වීම ප්‍රතික්‍ෂේප කළ නිසා රට දෙකඩ විය. අද ක්‍රිස්‌තියානු සුඩානය සහ ඉස්‌ලාමීය සුඩානය එකිනෙකා යුද කර ගනිති. මේ අතර ස්‌කොට්‌ලන්තය ද බ්‍රිතාන්‍යයෙන් වෙන් වී යැමට සූදානම් වෙමින් සිටී. ඒ සඳහා වන ජනමත විචාරණය ළඟදී පැවැත්වීමට නියමිතය.

රටක්‌ දෙකඩ වීමේ පදනම ජාතිවාදය වේවා, ආගම්වාදය වේවා, අන්තිමට එළියට එන්නේ ත්‍රස්‌තවාදය යි. සුඩානයේ ඇති ආගම්වාදය මේ මොහොතේදී මල්ටි බැරල් තුවක්‌කු බවට පත්ව දේශසීමා හරහා උණ්‌ඩ වැසි වස්‌සවයි. ජාතිවාදය හෝ ආගම්වාදය ත්‍රස්‌තවාදය ලෙසින් එළියට බැසීමේදී ඇති වන බිහිසුණු තත්ත්වයට හොඳම උදාහරණ දෙක කොටි ත්‍රස්‌තවාදය සහ අල්කයිඩා ත්‍රස්‌තවාදයයි. ප්‍රභාකරන් ජාතිය විකුණූ අතර ඔසාමා බින් ලාදින් ආගම විකුණුවේ ය. මේ දෙක ම ඉතා සංවේදී මාතෘකාවන් ය. ජාතියට තුවාල වූ විට මිනිස්‌සුන්ට ඉතා තදින් රිදෙයි. දෙවියන්ට තුවාල කරන්නට හැදූ විට ඒ දෙවියන් අදහන බැතිමතුන්ට රිදෙයි. එවිට මේ මිනිසුන් දෙවර්ගයම අතට හසුවන ඕනෑම ආයුධයකින් පහර දීමේ ආවේගය සිත තුළ එක්‌රැස්‌ කර ගනී. ත්‍රස්‌තවාදී නායකයකුට මේ ආවේග සමුදාය ඉතා ප්‍රයෝජනවත් ය. ඔහු ධනය මෙන් එක්‌රැස්‌ කරන්නේ මෙකී ආවේගයන් ය. ඒ බැවින් ජාතිවාදය, ආගම්වාදය වැනි වාද එක්‌රැස්‌ කරන ත්‍රස්‌තවාදීන් හඳුනාගෙන හෙළිදරව් කිරීමේ වගකීම ජනමාධ්‍ය සතුව තිබේ. ශ්‍රී ලංකාවේ ජාතිවාදයේ බීජ සිටවූවෝ යටත්විජිත වාදීහු ය. උතුරු පළාතේ දෙමළ පදිංචිකාරයන්ට එම ප්‍රදේශය අයත් බවට ඉතිහාසයක්‌ එවකට සිටි ලන්දේසි පාලකයන් විසින් මයිල්වාගන පුලවර්Êනමැති දෙමළ ලේඛකයා ලවා යාල්පාන වෛපවමාලෙයි යනුවෙන් 1736 දී ලියවන ලදී. මෙය තනිකරම ප්‍රබන්ධයකි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන සම්පූර්ණ විස්‌තර කියන මහාවංශයේ හෝ දීපවංශයේ කොතැනකවත් මයිල්වාගන පුලවර්ගේ යාපනේ ඉතිහාසය ගෑවීවත් නැත. පසුව සී. බ්‍රිටෝ නමැති පරිවර්තකයකු ලවා යාල්පාන වෛපවමාලෙයි ඉංගිරිසියට පරිවර්තනය කර ලෝකය පුරා යෑවීමට උත්සාහ කරන ලදී. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ලාබෙට ගෙන්වා කඳුකරයේ පදිංචි කරවී ය. අපේ රටේ ජාතිවාදය හා ත්‍රස්‌තවාදය උපදින්නේ එතැන් පටන් ය. මේ ගිනි ජාලාවෙන් පුරා වසර 30 ක්‌ තිස්‌සේ අපි පිළිස්‌සුනෙමු. නැවත ඒ තත්ත්වය ඇති වීමට ඉඩ දිය යුතු නැත. ඒ ගින්න මොලවන තැන් බලා හෙළිදරව් කිරීම සියලු දෙනාගේම වගකීම ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.