ආර්ථිකයේ විදේශ අංශය යථා තත්ත්වයට පත් වේවි
අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

රුපියල පිරිහීමේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පොලී අනුපාත වැඩි කිරීම, බැංකුවල ණය සීමා කිරීම සහ වාහන බදු වැඩි කිරීම ඇතුළුව රජයත්, මහ බැංකුවත් ගත් ක්‍රියාමාර්ග හමුවේ මහජනතාවට යම් යම් පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. මේ නිසා ආර්ථික හා මුල්‍ය අංශවල මෙන්ම සාමාන්‍ය මහජනතාව තුළ ද ආර්ථික කරුණු කාරණා ගැන වෙනදාට වඩා වැඩි අවධානයක්‌ යොමු වී තිබේ. මෙවන් වාතාවරණයක සිදුවූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස්‌ සමාගමේ කොටස්‌ මිලදී ගැනීමේ ගනුදෙනුවද සමාජය තුළ දැඩි ආන්දොaලනයක්‌ ඇති කර තිබේ. මේ ගනුදෙනුවට අදාළ ගෙවීම සිදු නොකිරීම හොඳ දෙයක්‌ වුවත් මේ නාටකය අවසන් කරන්නට යන්නේ කිසිවෙකු වරදකරුවන් නොවන ආකාරයට දැයි මහජනතාව විමසිල්ලෙන් සිටිතිs. අනිත් අතට මේ සිදුවීම නිසා කොටස්‌ වෙළෙඳපොළ විශ්වාසනීයත්වයට ඇති වූ පළුදුවීමට වග කියන්නේ කවුදැයි කොටස්‌ වෙළෙඳපොළට සම්බන්ධ පාර්ශ්වයෝ ද ප්‍රශ්න කර සිටිති. මේ අනුව "රුපියලේ ප්‍රශ්නය" ඇතුළු ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ අංශයේ ඉදිරි අපේක්‍ෂා පිළිබඳව සහ මෙකී ගනුදෙනුව පිළිබඳවත් අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රශ්න කළෙමු. ඒ අනුව මෙවර "ආර්ථික ඇසින්" තීරුව වෙන් වන්නේ මහ බැංකු අධිපතිවරයා සමග අප කළ සම්මුඛ සාකච්ඡාවකටය.

ප්‍රශ්නය - පසුගිය කාලයේ අපේ ආර්ථිකයේ විදේශ අංශයේ නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා. ඒ අනුව ආනයන වැඩි, වී වෙළෙඳ හිඟය ඉහළ ගියා. රුපියල අව ප්‍රමාණය වුණා. මේ තත්ත්වය සමනය කර ගැනීමට රජයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් නොයෙකුත් පියවර ගනු ලැබුවා. මේ අනුව අපේ විදේශ අංශයේ වත්මන් තත්ත්වය කොහොමද?

පිළිතුර - ගිය වසරේ (2011) අපි දුටුqවා, අපේ ආනයන අපි හිතුවට වඩා සෑහෙන අන්දමකට වර්ධනය වෙලා තිබුණා. ඒ වුණත් ඒ තත්ත්වයට බාධා නොකර අපි යන්න දුන්නා. ගිය වසර තුළදී ඒ තත්ත්වය අපට දැරිය හැකි බව අප විශ්වාස කළා. ඒක ඇත්ත. ඒ වසර ඉතාමත් සාර්ථක වසරක්‌ බවට පත් වුණා. ආර්ථිකය සියයට 8.3 කින් වර්ධනය වුණා. ඊට පසු මේ තත්ත්වයේ යම් ආකාරයක වෙනස්‌කමකුත් අවශ්‍ය බව අපට පෙනී ගියා. දිගින් දිගටම ආනයන ශීඝ්‍ර ලෙස වැඩිවීමේ තත්ත්වය සමනය කිරීම අවශ්‍යයි. හේතුව වූයේ අපනයන එපමණ තත්ත්වයකට වැඩි වන්නේ නැති නිසයි. අපනයන, විදේශ විනිමය ප්‍රේෂණ සෘජු විදේශ ආයෝජන සහ සංචාරක යන ක්‍ෂේත්‍රවලින් අපට විදේශ මුදල් ගලා එනවා. ඒ සියල්ල එකතු කළ විට අපේ ආනයනවලට වඩා වැඩිවෙන්න අවශ්‍යයයි. එහෙම නොවෙනවා නම් යම් වෙනසක්‌ කරන්න අවශ්‍යයි. අපි ඒ වෙනස කළා. එනම් පොලී අනුපාත වැඩි කිරීම, බැංකුවලට ණය දීමේ සීමාවන් පැනවීම, රුපියල වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වීමට ඉඩ දීම, රජයේ පැත්තෙන් වාහන බදු වැඩි කිරීම සහ තෙල් මිල සංශෝධනය කිරීම වැනි ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව අපේ ආනයන වියදම් අඩු කර ගැනිමට අපි කටයුතු කෙරුවා.

මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුව ආර්ථිකයේ විදේශ අංශයේ ගැටලු සමනය වී යාවි. එනම් ආනයන අඩුවීම, ආනයන අඩුවීම නිසා වෙළෙඳ පරතරය අඩුවීම සහ ඒ නිසා ගෙවුම් ශේෂය යහපත් වීම යන තත්ත්වයන් ඇති වෙනවා. දැන් මේ ක්‍රියාවලිය සිදුවන බව අපට ඉතාමත් ම පැහැදිලියි. එහෙම තත්ත්වයක්‌ තියෙද්දී රුපියල ගැන සමපේක්‍ෂණය (Speculation) කරල, ඉන් වාසි ලබාගන්න හදන අයත් ඉන්නවා. ඒ අයගේ ක්‍රියාමාර්ගවලින් වන බලපෑම් තිබුණත්, අපේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවලින් ඉතාමත්ම ඉක්‌මනින් තව මාස කීපයක්‌ තුළ ඒ වෙනස සිදු වෙනවා. ඒ අනුව ආර්ථිකයේ විදේශ අංශය නැවත යථා තත්ත්වයට පත් වෙනවා.

ප්‍රශ්නය - ඔබ සඳහන් කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගනු ලැබූවත් තවමත් රුපියලේ අගය අපේක්‍ෂා කළ පරිදි ශක්‌තිමත් වී නැහැ. මහා භාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව ඩොලරයක රුපියල් අගය රු. 125 ට අඩු අගයක ස්‌ථාවර වනු ඇති බවයි. එහෙත් එසේ නොවූයේ සමපේක්‍ෂකයන්ගේ කටයුතු නිසා බවත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. මේ පිළිබඳ ඔබේ තක්‌සේරුව කුමක්‌ද?

පිළිතුර - සාමාන්‍යයෙන් මහ බැංකුවෙන් අගයක්‌ ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙත් අපට පේන හැටියට දැන් තියන තත්ත්වයට වඩා රුපියල සෑහෙන දුරට ශක්‌තිමත් විය යුතුයි. දැන් තියෙන තත්ත්වය ආර්ථික සිද්ධාන්ත අනුව වන දෙයක්‌ නොවන බවයි අපට පෙනෙන්නේ. තාවකාලිකව මෙවැනි තත්ත්වයන් තිබුණත්, අප ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලින් ඉදිරි කාලය තුළ වෙළෙඳ හිඟය අඩු වන බව නියතයි. වෙළෙඳ පරතරය අඩු වී අපේ විදේශ ලැබීම් ද ශක්‌තිමත් වෙනවා නම් අපේ රුපියලේ අගය ඒ තත්ත්වයේම තියෙන්නේ නැහැ. ඒක ඉතාමත්ම පැහැදිලි හා සරල නිගමනයක්‌. ඒක අනිවාර්යයෙන්ම සිදු වෙනවා. භාණ්‌ඩාගාර ලේකම්තුමා කියල තියන එක හරි. එතුමා යම් අගයක්‌ම කියල තියෙනවා. මම අගයක්‌ නොකිව්වත් මට පේනව ඇතැම් විට එතුමා කියපුq අගයටත් වඩා අඩු අගයකට රුපියල ශක්‌තිමත් වෙයි කියල. ඒක සිදු වෙයි. ඒක ආර්ථිකමය සිද්ධාන්ත අනුව සිදුවිය යුතු දෙයක්‌. අපිට හරියටම දිනයක්‌ කියන්න බැරිවෙයි. ආර්ථිකය තුළ විවිධ කෝණවලින් බලන අය ඉන්නවා. ඒ අනුව ක්‍රියා කරන අය ඉන්නවා. ඒ නිසා යම් කාලයක්‌ ගත විය හැකි වුවත් අප අපේක්‍ෂා කරන සිදුවීම ඉදිරි කාලය තුළ නියත වශයෙන් ම සිදු වෙනවා.

ප්‍රශ්නය - ඔබ කියන ප්‍රතිඵලය ඉතා ඉක්‌මනින් උදාවිය හැකි වුවත් ඒ සඳහා ගත් ක්‍රියාමාර්ගවල අහිතකර බලපෑම්වලින් ජනතාවට පීඩා විඳින්න සිදු වෙනවා. ණයක්‌ ගැනීමේදී පොලී වැඩියි. වාහන බදු විශාල ලෙස වැඩි වුණා. තෙල් මිල ඉහළ ගිය නිසා බස්‌ ගාස්‌තු ඇතුළු බඩු මිල ගණන් ඉහළ ගියා. මේ නිසා මහජනයාගේ පැත්තෙන් ඔවුන් කියන්නේ "ජීවත්වීම අමාරුයි" කියලයි. මේ තත්ත්වය කෙතරම් කාලයකට පවතීද?

පිළිතුර - දැනටමත් ඕන කෙනකුට ගන්න අපේ රටේ වාහන ඇති වෙන්න තියෙනවා. මම දුටුවා වාහන පරණ මිලටම දෙන බවට පසුගිය දවස්‌වල පුවත්පත් දැන්වීම් පළ වෙලා තිබුණා. ඒ නිසා ඔය කියන තරම් වාහන මිල වැඩි වෙලා නැහැ. ඒ නිසා යම් අයකුට වාහනයක්‌ ගන්න අවශ්‍ය නම් ඒ අයට සාධාරණ මිලකට වාහන ගැනීමට අවස්‌ථාව තියෙනවා. හේතුව බොහෝ දෙනෙක්‌ පසුගිය කාලයේ වාහන විශාල ප්‍රමාණයක්‌ ගෙනාවා. ගිය වසරේ (2011) ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වාහන ගෙනාවා. රත්තරන් ගෙනාවා මිලියන 600 ක. ඉතිං දැන් මේ බඩු ලංකාවෙ තියෙන්න ඕනනේ. මේවා ඉදිරි කාලය තුළ වෙළෙ¹මට භාජනය වෙන නිසා වාහන සම්බන්ධයෙන් ඒ තරම් හිඟයක්‌ සිදු වෙන්නේ නැහැ.

මීළඟට ලෝක තෙල් මිල වැඩි වන විට අපි හිතපු ගණන්වලටම තෙල් ලබා දෙන්න බැහැ. වෙන රටවල තෙල් මිල අපට වඩා වැඩියි. අපි සියලුම තෙල් ගේන්නේ පිටරටින්. අඩුවෙන් දුන්නොත් රජයේ පාඩුව මහා භාණ්‌ඩාගාරය හරහා අවසානයේ බදු ගෙවන්නන්ටමයි දරන්න සිදු වෙන්නේ. සමස්‌ත බදු ගෙවන්නන්ට බර පටවනවද? නැත්නම් තෙල් භාවිත කරන අයට සාපේක්‍ෂව ඒ බර වැඩියෙන් දරන්න සලස්‌වනවද කියන එකයි මෙතැන තියෙන්නේ.

ප්‍රශ්නය - මේ ක්‍රියාමාර්ග හමුවේ උද්ධමනයත් අඩු මට්‌ටමක තියාගන්න පුළුවන්ද?

පිළිතුර - ඔව්. උද්ධමනයත් පාලනය කරල, අඩු මට්‌ටමක තියාගන්න අපට අවශ්‍යයි. එහෙම නම් මේ සමපේක්‍ෂණය (Sචැජමක්‌එසදබ) හුඟක්‌ දුරට අඩු කර ගන්න අවශ්‍යයි. ඒ නිසා මේ තත්ත්වය ගැන මිනිස්‌සුන්ට හරි මතයක්‌ ලබා දෙන්න ඕන. අපි මේ වසර මුලදී නොයෙකුත් ක්‍ෂේත්‍රවලින් විදේශ ලැබීම් එන බව කිව්වනේ. දැන් ඒ විදේශ මුදල් ගලා ඒම් අප ප්‍රකාශ කළ පරිදිම සිදුවෙමින් තිබෙනවා. උදාහරණක්‌ ලෙස කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජන ලැබීම්, ඉලක්‌ක කළ පරිදි ඉහළ ගොස්‌ තිබෙනවා. එනම් මේ වසරේ (2012) මූලික ඉලක්‌කය වූ ඇමරිකානු ඩොලර් මිලියන 500 ට සාපේක්‍ෂව, ඉකුත් මැයි 02 වැනිදා වන විට ඇමරිකානු ඩොලර් මිලියන 172 ක ශුද්ධ ආයෝජන කොටස්‌ වෙළෙඳපොළට ලැබී තිබෙනවා. අනිත් අංශවල තත්ත්වයත් එහෙමයි.

මීළඟට අප ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා අපේ ආර්ථික වර්ධනය යම් මට්‌ටමකට අඩු වෙනවා. මේ සියල්ලම කරල ආර්ථික වර්ධනයත් ඒ තරම්ම තියා ගන්න බැහැ. ගිය වසරේ සියයට 8.3 ට තිබූ ආර්ථික වර්ධන වේගය තරමක්‌ දුරට අඩුවී සියයට 7.2 ක මට්‌ටමට පත් වෙයි. ආර්ථික වර්ධනය අඩු වුණත් අපිට උද්ධමනය තවදුරටත් අඩු මට්‌ටමක තියා ගන්න පුළුවන්. මාස 39 ක්‌ තිස්‌සේ අඛණ්‌ඩව උද්ධමනය අඩු මට්‌ටමක තබාගන්න අපට හැකිවීම ලොකු ජයග්‍රහණයක්‌. මෙහෙම හැම පැත්තම බලල අපි ආර්ථිකය කළමනාකරණය කළ යුතුයි.

ප්‍රශ්නය - මේ දිනවල ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ද µsනෑන්ස්‌ සමාගමේ කොටස්‌ මිලදී ගැනීමේ ගනුදෙනුව ගැන ලොකු ආන්දොaලනයක්‌ ඇතිවී තිබෙනවා. රජය විසින් එම බැංකුවේ හිමිකරු ලෙස අදාළ ගෙවීම නතර කළා. සුරැකුම්පත් හා විනිමය කොමිසම අදාළ කොටස්‌ ගනුදෙනුව හා එය සිදු කළ තැරැව්කාර ආයතනය ගැන පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබෙනවා. එසේම මහජන මුදල් තැන්පතු සම්බන්ධ වන නිසා අදාළ බැංකුව ගැන පරීක්‍ෂණයක්‌ කිරීමේ වගකීම මහ බැංකුවටත් ඇති බව ඇතැම් අය ප්‍රකාශ කරනවා. මේ ගැන ඔබේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර - මම දැක්‌ක ඒ අදහස කියා තිබූ පුද්ගලයා. ඔහු බැංකුවක හිටපු සභාපතිවරයෙක්‌. ඔහු ඒ ප්‍රකාශය කර තිබෙන්නේ මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය ගැන කිසිම අවබෝධයකින් තොරවයි. මුදල් නීති පනත අනුව අපට පැවරිලා තිබෙන්නේ මුල්‍ය පද්ධතියේ ස්‌ථායිතාව රැක ගැනීමටයි. එහෙම සමස්‌ත මූල්‍ය පද්ධතියේ ස්‌ථායිතාව රැක ගන්නව කියන්නෙ බැංකුවෙන් බැංකුවට ගිහින් කොටස්‌ කීයක්‌ ගත්තද කියල ඒ අයගෙ ගනුදෙනුවෙන් ගනුදෙනුව සොයල බලන එක නෙවෙයි. අපේ වගකීම වන්නේ මේවායේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය හරියට වැඩ කරනවද, අදාල කටයුතු කිරීමට ඒ අයට බලතල තියෙනවද, හරි වෙලාවට රැස්‌වීම් තියෙනවද, නිසි වැඩපිළිවෙළක්‌ අනුව කටයුතු කරනවද සහ නිසි අවදානම් කළමනාකරණ ක්‍රම අනුගමනය කරනවද යන්න සොයා බැලීමයි. බැංකුවක ගන්න තීරණ ඒ අයගෙ තීරණ. එක්‌ බැංකුවක්‌ තීරණයක්‌ ගන්න පුළුවන් "ඒ" නම් සමාගමට ණයක්‌ දෙන්න. තවත් බැංකුවක්‌ තීරණය කරන්න පුළුවන් "ඒ" සමාගමට ණයක්‌ නොදෙන්න. "ඒ" සමාගමට ණය දුන්නෙ මොකද නැත්තෙ මොකද කියල අහන එක අපේ වගකීම නොවෙයි.

බැංකුවකට අවදානම් තක්‌සේරු කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒ සඳහා වත්කම් තක්‌සේරු කිරීමේ, අවදානම් කළමනාකරණය කිරීමේ කමිටු යනාදිය බැංකුවක පවතිනවා. මේවායෙන් හරියට අවදානම ගැන බලල, අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට කරන්න තියෙන්නේ හරි තීරණය ගැනීමයි. ඒ නිසා මහ බැංකුවේ වගකීම වන්නේ සමස්‌ත මුල්‍ය පද්ධතියේ ස්‌ථායිතාව රැක ගැනීමයි. ඒවායේ ගනුදෙනු එකිනෙක සොයා බලන එක නොවෙයි. මේ ගැන ඇතැමුන් කරන ප්‍රකාශවලින් මහජනයා නොමග යනවා. ඒ නිසා අපි මේ ගනුදෙනුව ගැන වෙනම බලන්නේ නැති වුණත් මුල්‍ය පද්ධතියේ සමස්‌ත තත්ත්වය දෙස බලනවා.

ප්‍රශ්නය - එහෙත් මේ ගනුදෙනුවෙන් කොටස්‌ වෙළෙඳපොළ විශ්වාසනීයත්වයට ලොකු හානියක්‌ සිදුවන බවත් පැවසෙනවා.?

පිළිතුර - මේ ගනුදෙනුව පිළිබඳ සියලු විස්‌තර මම නොදන්නා නමුත්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම, කොටස්‌ වෙළෙඳපොළ, තැරැව්කාර ආයතනය ඇතුළු සියලු පාර්ශ්වයන් එකතුවෙලා මේ ප්‍රශ්නයට යම් විසඳුමක්‌ ලබාදීමට කටයුතු කර ඇති බව මම දන්නවා. එම විසඳුම ලබාගැනීමේදී යම් පාර්ශ්වයක්‌ තමන්ගෙ තිබූ ස්‌ථාවරයන් වෙනස්‌ කිරීම හරහා එම විසඳුමට එළැඹෙන්න පුළුවන්. විසඳුමක්‌ කියල කියන්නේ නම්‍යශීලීභාවයකින් ඒ විසඳුම සඳහා එළැඹීමයි. ඒ සඳහා දැන් යොමු වී තිබෙනවා. අදාළ පාර්ශ්වයන් යම් යම් සාකච්ඡාවන් අනුව එවැනි විසඳුමකට එළැඹී ඇති බව මට ආරංචියි. ඒ විසඳුමට අපි ඉඩ දෙන්න ඕන. එහෙම විසඳුමක්‌ හරහා යම් දෙයක්‌ සිදු වෙනව නම් විශේෂ තත්ත්වයක්‌ ලෙස සලකල, මේකෙන් තිබූ බලපෑම සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. එවැනි දෙයක්‌ සිදුවීම ගැන මම සන්තෝෂ වෙනවා. මේ වගේ ප්‍රශ්නවලදී අපි යම් නම්‍යශීලීභාවයකින් කටයුතු කරල විසඳුමක්‌ ඇති කර ගන්න ඕන. සුරැකුම්පත් කොමිසමේ සභාපතිතුමත් මේ සඳහා මැදිහත්වෙලා තියෙන බව මට ආරංචියි. එහෙම නම්‍යශීලිභාවයකින් විසඳුමක්‌ ලබා ගන්න පුළුවන් නම් හොඳයි කියන එකයි මගේ අදහස.

ප්‍රශ්නය - ඔබ සහ ඔබ පවුලේ අයගේ පරිහරණයට මහ බැංකුවේ වාහන වැඩි ප්‍රමාණයක්‌ භාවිත කරන බවටත් ඔබට චෝදනාවක්‌ තිබෙනවා?

පිළිතුර - එක එක අය මඩගහන්න මේ වගේ චෝදනා කරනවා. මට මඩ ගැසීමට ලොකු ව්‍යාපාරයකුත් දියත් කර තිබෙනවා. ඒක අපව අධෛර්යමත් කරන්න, මානසිකව වට්‌ටන්න දරන වෑයමක්‌. දැනට වසර ගණනාවක සිට මේ වාහන මහ බැංකු අධිපති නිල නිවසේ ගාල් කරනවා. එතැන අක්‌කරයක පමණ ඉඩ ප්‍රමාණයක්‌ තියෙනවා. මහ බැංකුවේ තිබෙන වාහන කොහෙ හරි ගාල් කරන්නත් ඕන. ඒ නිසා ඇවිත් මෙතැන ගාල්a කරනවා. මට ඕන නම් එපා කියන්නත් තිබුණා. මුහුද ළඟ ගාල්a කරනවට වඩා මෙතැන ගාල් කරන එක හොඳයි. මෙතැන මම පාවිච්චි කරන වාහන වගේම පාවිච්චි නොකරන වාහනත් තියෙනවා. අපි දිවා රෑ නොබලා වැඩ කරන අය. ඒ සඳහා ගමනාගමනය කරන්න ඕන. ආරක්‍ෂක නිලධාරීනුත් මා එක්‌ක යන්න ඕන. ඒ අය ගෙදර ඉඳල මම තනියම පිටට ගිහින් වැඩක්‌ නෑනේ. මම සෙනසුරාදා, ඉරිදා, පෝය දවසෙ වගේම නත්තල් දවසෙත් වැඩ කරනවා. ගෙදර ඉඳනුත් වැඩ කරනවා. මහ බැංකුවේ අනිත් නිලධාරීනුත් එහෙමයි. කැපවීමෙන් වැඩ කරනවා. හුඟ දෙනෙක්‌ කියන්නෙ වැඩ කරන්නේ නෑ කියලනෙ. මේ ප්‍රශ්නෙ අහපු නිසයි මම කිව්වේ. නැත්නම් මිනිස්‌සු හිතනවා ඇති අපි නිකං ඉන්නව කියල. මම ගිය වසරේ (2011) කතා 600 ක්‌ පවත්වලා තියෙනවා.


ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.